නැපෝලියන් විනාශයට පත් වූ, රුසියානු ආක්‍රමණය​

දශකයකට මඳක් වැඩි කාලයක් යුරෝපයේ බලවතා ලෙස නම් දරා සිටි නැපෝලියන් බොනපාට්ගේ පරාජයේ පැහැදිලි ආරම්භය වූයේ 1812 විනාශකාරී රුසියානු ආක්‍රමණය යි. මෙහි දී ඔහුගේ 600,000කට වැඩි හමුදාවක් සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වුණා.

මෙම යුධ ව්‍යාපාරය පිළිබඳ සාමාන්‍යයෙන් අමතක කරන වැදගත් කරුණු කිහිපයක් වනවා. එකක් නම් යුධ හමුදාවට අමතර ව විශාල අශ්වයින් පිරිසක් ද මෙහි දී නැපෝලියන්ට අහිමි වීම යි. එකල යුද්ධයේ දී අශ්වයින් ඉතා වැදගත් වූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මීට අමතර ව නැපෝලියන්ගේ පරාජය ශීතල හේතුවෙන් සිදුවූවක්යැ යි සලකා රුසියානු යුධ උපක්‍රම පිළිබඳ නොසලකා හැරීමත් රුසියානුවන් සිදුකළ කැපකිරීම පිළිබඳ යමක් නොපැවසීමත් වරදක්. රුසියානු යුධ උපක්‍රම හෝ ඔවුන් සිදුකළ කැපකිරීම් නොවන්නට නැපෝලියන්, මෙම යුධ ව්‍යාපාරයෙන් සාර්ථක ප්‍රතිඵල දිනා ගන්නට ඉඩ තිබුණා. අනෙක් අතට සිසිරය නැපෝලියන්ට පහර දෙන විට ඔහුගේ හමුදාව පසුබැසීම අරඹා තිබුණා.

යුරෝපයේ බලවතා

1810 වන විට නැපෝලියන් යුරෝපයේ බලවතා ලෙස වැජඹුණා. ඔහු ප්‍රංශයේ අධිරාජයා වුණා වගේ ම වර්තමාන බෙල්ජියම​, නෙදර්ලන්තය​, ඉතාලියේ විශාල ප්‍රදේශයක් ආදිය ප්‍රංශයට ඈඳාගෙන තිබුණා. ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ද ප්‍රංශ පාලනය ස්ථාපිත කර තිබුණා. ස්පාඤ්ඤයේ ඊට එරෙහි ගරිල්ලා යුද්ධයක් මතු වී තිබුණත් එය විශාල තර්ජනයක් වේදැ යි කිව හැකි වූයේ නැහැ. ඊට අමතර ව ප්‍රශියාව​, ඔස්ට්‍රියාව, සහ රුසියාව යුද්ධයෙන් පරාජය කර තිබුණා. රුසියාව සමග මිත්‍ර සන්ධානයක් ද ඇති කරගෙන තිබුණා. බ්‍රිතාන්‍ය නාවික බලය පරාජය කළ නොහැකි වීම හේතුවෙන් එරට පමණක් ප්‍රංශයේ බලයට යටත් නොවී තිබෙනු දකින්න ලැබුණා.

1812 දී යුරෝපය​. ප්‍රංශයට අයත් ප්‍රදේශ සහ එය හා සන් ධානයන්ට හෝ සාම ගිවිසුම්වලට හෝ එක්ව සිටි රටවල් රතු පැහැති මායිමෙන් දැක්වේ (Wikimedia Commons)

බ්‍රිතාන්‍යයේ බලය රඳා පැවතියේ එහි වෙළෙඳ ආධිපත්‍යය මත බව නිවැරදි ව වටහා ගත් නැපෝලියන් එරටට එරෙහිව වෙළෙඳ සම්බාධක පැනවූවා. එහි අරමුණ වූයේ යුරෝපා රටවල් බ්‍රිතාන්‍යය සමග වෙළෙඳාමෙහි නිරත වීම වැළැක්වීම යි. “මහාද්වීපික පටිපාටිය”ය යි නම් තබන ලද මෙය ක්‍රියාවට නැඟුණේ 1806 දී යි. 1807 දී රුසියාව සමග ඇති කර ගත් ගිවිසුමෙන් පසු එරට ද ඊට ඇතුළත් වුණා.

නමුත් යුරෝපා රටවල් සියල්ලක් ම මීට එකඟ වූයේ නැහැ. බ්‍රිතාන්‍යය සමග වාසිදායක වෙළෙඳාමක යෙදුණ පෘතුගාලය, ඊට එරෙහි වීම නැපෝලියන්ගේ 1808 පෘතුගාල ආක්‍රමණයට හේතු වුණා. රුසියාවට ද මෙම ක්‍රමවේදයෙහි අවාසි දැනෙන්නට පටන් ගැනුණා.

පෝලන්තය තුළ නැපෝලියන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ද රුසියානුවන් තුළ වූයේ සැකයක්. 1807 දී, ප්‍රශියාවෙන් ලබා ගත් ප්‍රදේශයන් අතරින් වෝර්සෝ ආදිපාද ප්‍රදේශය නිර්මාණය කෙරුණා. මෙය ප්‍රංශය සමග මිත්‍ර වූ නාමික වශයෙන් නිදහස් රාජ්‍යයක්. කෙසේවෙතත්, මෙහි ක්‍රියාකාරීත්වය තමන් යටතේ ජීවත් වූ පෝලන්ත​ ජාතිකයන් අතර, නිදහස්කාමී අදහස් වැඩිදියුණු කිරීමට හේතු වේයැ යි රුසියාවේ පළමුවන අලෙක්සන්දර් සාර්වරයා සැක පළ කළා.

ප්‍රංශයෙන් ආනයනය කළ ඇතැම් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා රුසියාව විසින් අධික බදු පැනවීම ද සිදුකෙරුණා. මේ අතරතුර අලෙක්සන්දර්ගේ සොයුරියක විවාහ කරගැනීම සඳහා නැපෝලියන් විසින් කරන ලද යෝජනාව ද රුසියාව විසින් ඉවත දමනු ලැබුණා.

මහා හමුදාව

මේ සියලු කරුණු හේතුවෙන් නැපෝලියන් අලෙක්සන්දර්ට පාඩමක් ඉගැන්වීමට ඉටා ගත්තා. ඔහුගේ ඒ සඳහා සිය අධිරාජ්‍යයෙන් සහ මිත්‍ර රටවලින් දැවැන්ත හමුදාවක් එක් කර ගත්තා. මෙයට “ග්‍රෑන් ආර්මේ” හෙවත් මහා හමුදාවයැ යි කියනු ලබනවා. එහි සම්පූර්ණ පිරිස් ශක්තිය පිළිබඳ විවිධ අදහස් තිබෙනවා. ඇතැම් වාර්තාවන් ප්‍රකාශ කරන්නේ එය 650,000ක් තරම් විශාල වූ බව යි. ඊට මුහුණ දීමට රුසියාවට සිටි සේනාංකය 240,000ක් වුණා.

මේ සමග විශාල අසරු සේනාවක් ද වූ අතර, කාලතුවක්කු ආදිය රැගෙන යාමට ද සතුන් අවශ්‍ය වුණා. මේ සා විශාල සේනාංකයකට ආහාර ගෙන යාම අසීරු වූ නිසා තමන් පසු කරන ප්‍රදේශයන්ගෙන් ආහාර සොයාගැනීමට ඔවුන් බලාපොරොත්තු වුණා. අනෙක දිගු යුධ ව්‍යාපාරයක් බලාපොරොත්තු නොවූ හෙයින් එය විශාල ප්‍රශ්නයක් වේයැ යි නැපෝලියන් සිතුවේ නැහැ.

නැපෝලියන් සිය හමුදාව සමග නීමන් නදිය තරණය කළේ 1812 ජූනි 23 වන දා යි. ඒ ගිම්හානය යි. (හිට්ලර්ගේ හමුදා සෝවියට් දේශය ආක්‍රමණය කළේ 1941 ජූනි 22 වන දා බව ඔබට මතක ඇති). මෙහි දී මතක තබා ගත යුතු කරුණ නම්, නැපෝලියන් දිගු යුධ ව්‍යාපාරයක් සඳහා සූදානමින් නොසිටි බව යි. රුසියානු සේනාංක තම විශාල නගර අතැර දමනු ඇතැ යි ඔහු බලාපොරොත්තු වූයේ නැහැ. නැපෝලියන් විශ්වාස කළේ පළමු සති කිහිපය තුළ ම රුසියානුවන් ඔහු හා සටනට පැමිණෙනු ඇති බව යි. එහි දී ඔවුන් පරාජය කර අලෙක්සන්දර් සාකච්ඡා මේසය කරා ගෙන ඒම නැපෝලියන්ගේ අභිප්‍රාය වුණා.

ස්මොලෙන්ස්ක් සටන (Albrecht Adam)

නමුත් රුසියානුවන් සටනට පැමිණියේ නැහැ. ජූනි 27 වන දා විල්නා නගරය නැපෝලියන් අතට පත් වුණා. රුසියානුවන් පසු බැස්සා. තව දුරටත් ඔහුගේ සේනා ඉදිරියට යද්දී රුසියානුවන් තව දුරටත් පසුබැස්සා. ජූලි මාසයේ දී විටෙබ්ස්ක් නගරයෙන් ද අගෝස්තුවේ දී ස්මොලෙන්ස්ක් නගරයෙන් ද රුසියානුන් පසුබැස්සා. විටෙබ්ස්ක් හි දී ගබඩා ගිනි තැබූ අතර, ස්මොලෙන්ස්ක් හි දී තරමක දරුණු සටනකින් පසු නගරයෙන් පලා යන රුසියානුවන් ඊට පෙර නගරයට ගිනි තැබුවා. මේ අතර ගොවීන් සිය අස්වනු ගිනි තබා විනාශ කර පලා ගියේ ප්‍රංශ සේනාංක අතට ඒවා පත්වීම වැළැක්වීමට යි. ආහාර සොයා යන මහා හමුදාවේ කුඩා කණ්ඩායම්වලට ගොවීන් සහ රුසියානු හමුදා විසින් පහර දෙනු ලැබුණා. විශාල වශයෙන් සෙබළුන් නැපෝලියන්ගේ සේනාංකය​ හැර ගියා.

බොරෝඩිනෝ සහ මොස්කව් ගින්න

මොස්කව් නගරයෙන් කි. මී. 120ක් පමණ බටහිරින් පිහිටි බොරෝඩිනෝ ගම්මානයේ දී ජෙනරාල් මිහායිල් කුතූෂොෆ්ගේ රුසියානු හමුදාව ප්‍රංශ සේනාව සමග පළමු වරට දැවැන්ත සටනකට යොමු වුණා. 1812 සැප්තැම්බර් 7 වන දා සිදු වූ මෙම සටනින් දෙපාර්ශවයට ම දකුණු අලාභ හානි සිදු වූ අතර, දිනය නිම වූ විට කුතූෂොෆ් පසුබැස්සා. නමුත් තමන්ගේ හමුදාව ද හෙම්බත් ව සිටි හෙයින් නැපෝලියන් කුතූෂොෆ් හඹා ගියේ නැහැ. එහෙයින් රුසියානු සේනාංකය සම්පූර්ණයෙන් ම විනාශ නොවී ගැලවුණා.

බොරෝඩිනෝ සටන​ (Louis-François Lejeune)

නැපෝලියන් දැන් සම්පූර්ණ බලාපොරොත්තු තබා තිබුණේ මොස්කව් දෙස යි. නගරය අල්ලා ගැනීම මඟින් ආහාර සහ විවේකය ද තම හමුදා වෙත ලැබෙනු ඇති බවත්, රුසියානුවන් සටන අත හරිනු ඇති බවත් නැපෝලියන් විශ්වාස කළා. සැප්තැම්බර් 14 වන දා ඔහුගේ හමුදාව මොස්කව් වෙත ඇතුල් වූයේ බලාපොරොත්තු සහගත ව යි.

නමුත් මෙය දැවැන්ත බලාපොරොත්තු කඩවීමක් වුණා. මොස්කව් වැසියන් අතිබහුතරය​ නගරය අතැර ගොස් සිටියා. නගරයෙහි ආහාර ද වූයේ නැහැ. මේ අතර එදින ම රාත්‍රියේ නගරයේ ගින්නක් ඇති වුණා. පසු දා ඊටත් වඩා විශාල ගින්නක් හටගත්තා. මෙය රුසියානුවන් විසින් සැලසුම් සහගත ව කළ දෙයක් වූ අතර, නගරයෙන් විශාල කොටසක් ඉන් විනාශ වුණා. නැපෝලියන් මෙයින් බෙහෙවින් පුදුමයට පත් වූ බව සඳහන් වනවා. රුසියානු ජනයා තම අගනුවරට ගිනි තබනු ඇතැ යි නැපෝලියන් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වූයේ නැහැ. (එකල රුසියාවේ අගනුවර සාන්ත පීතර්බුහ් වූ නමුත් මොස්කව් එරට ඓතිහාසික අගනුවර වුණා).

ජෙනරාල් කුතූෂොෆ් මොස්කව් නගරය අතැර දැමීමට තීරණය කළ අවස්ථාව දැක්වෙන සිතුවමක් (Aleksey Kivsenko)

පසුබැසීම

ප්‍රංශ හමුදාව මාසයක් මොස්කව් හි රැඳී සිටිය ද බලාපොරොත්තු වූ පරිදි අලෙක්සන්දර් සාම යෝජනා ගෙන ආවේ නැහැ. ළඟ එන සීත ඍතුව මොස්කව් හි ගත කිරීම අපහසු බව ඔහුට වැටහුණා. එහෙයින් ඔහු ඔක්තෝබර් මැද දී නගරය අතැර පසුබැසීම ඇරඹුවා.

නැපෝලියන් මුලින් උත්සාහ කළේ දකුණුදිග මාර්ගයකින් පාලා යාමට​ යි. නමුත්, මලොයරොස්ලවෙට්ස් සටනේ දී ප්‍රංශ හමුදා නවතන ලද අතර, ඒ අනුව තමන් ආ මඟ ම ගමන් කිරීමට නැපෝලියන් තීරණය කළා.

මේ අවස්ථාවේ දී රුසියානු සිසිර ඍතුව ප්‍රංශ හමුදා විනාශ කිරීමට එක් වුණා. වෙනත් වසරවලට වඩා කලින් මෙවර සීත ඍතුව ළඟා වූයෙන් ප්‍රංශ සේනා තවත් අසරණ වුණා. සීතල දරාගත නොහැකි ව දහස් ගණනක් මියගියා.

නමුත්, මෙහි දී මතක තබාගත යුතු වැදගත් කරුණ නම් සිසිරය ප්‍රංශ සේනාවට බලපෑවේ පසුබැසීමේ දී බව යි. ඒ වෙද්දී ද ඔවුන් පරාජය වී අවසන්.

නැපෝලියන්ගේ සේනාංකයෙන් හොඳ තත්ත්වයෙන් ආපසු ප්‍රංශයට පැමිණියේ ඉතා ම සුළු පිරිසක් පමණයි. මෙම පරාජයෙන් නැපෝලියන්ට පළපුරුදු සෙබළුන් රැසක් අහිමි වුණා. එමෙන්ම ඔහුට ප්‍රතිවාදී රටවල් නැවත සංවිධානය වී ඔහුට පහර දීමට පටන් ගත්තා. මින්පසු, නැපෝලියන්ගේ පරාජය ස්ථිර වුණා. එය සිදුවන්නේ කවදා ද යන ගැටළුව පමණක් ඉතිරි ව තිබුණා.

කවරයේ පින්තූරය: මොස්කව් නගරය ගිනි ගන්නා අයුරු බලා සිටින නැපෝලියන් (Albrecht Adam)

Related Articles