Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළොම්පුරේ කටුගෙයි කතාව

138 මහරගම-පිටකොටුව හෝ කොට්ටාව-පිටකොටුව බස් දුවන මාර්ගය ඔස්සේ පිටකොටුව දෙසට ඇදෙන අයෙක් ට මග නොහැරෙන ස්ථානයක් තමයි ඇල්බට් චන්ද්‍රවංකයේ පිහිටා ඇති කොළඹ ජාතික කෞතුකාගාරය. විශාල නුග රුකකට මුවා වී ඇති ශ්වේත වර්ණ දැවැන්ත මන්දිරය දකින ඕනෑ ම කෙනෙක්ගේ හිතේ ඇති වන්නේ බිය මුසු ගෞරවයක් බවට නම් සැකයක් නැහැ.

ceylondigest.com

ජාතික කෞතුකාගාරයක් කියන්නේ රටක ඓතිහාසික, සංස්කෘතික සහ ජෛව උරුමයේ කැඩපතක් සේ ම රටක අභිමානය තැන්පත් වී ඇති ස්ථානයක්. තමන්ගේ රට දැය පිළිබඳ ජනතා හැඟීම් පුබුදුවමින් ම ජාතික කෞතුකාගාරය තමන්ගේ අතීත උරුමයන් මොනවා ද යන්න ගැන ජනතාව දැනුවත් කරනවා. මේ ලක් දෙරණේ පෞඪ ඉතිහාසය මතු පරපුරට සමීප කරන කොළඹ ජාතික කෞතුකාරයේ ඉතිහාස කතාව යි.

කටුගෙයි ඉතිහාසය

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගත්තේ ක්‍රිස්තු වර්ෂ 1872 මාර්තු 4 වැනි දින යි. ඔහු එංගලන්තයේ වාසය කරන සමයේ කෞතුකාගාර ගැන ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ අයෙක්. කලා කෘතීන් ගැන ඔහු සතු වූ පුළුල් දැනුම හේතුවෙන් ම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පවා ඒ කාලයේ ඔහු සමග හවුලේ කටයුතු කර තිබෙනවා.

ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි (npgprints.com)

පස් වසරක නිල කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු නටඹුන් අතර සැඟ වී යමින් පැවතුණු සිංහල සංස්කෘතික උරුමයන් ගැන කම්පාවට පත් වුණා. මේ නිසා ම මියැදෙන ශ්‍රී ලාංකීය ඉතිහාසය රැක ගැනීම සඳහා කෞතුකාගාරයක් ගොඩ නැගිය යුතු බව ඔහු බ්‍රිතාන්‍ය රජයට යෝජනා කළ ද ඒ සඳහා වැය වෙන අති විශාල මුදල් සම්භාරය සලකා බලමින් මුල් අවස්ථාවේ දී ඔවුන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළා. නමුත් අධෛර්යයට පත් නොවූ ආණ්ඩුකාරතුමා ඔහු සතු වූ දැන හැඳුනුම්කම් භාවිතා කරමින් දිගින් දිගට ම ශ්‍රී ලංකාවේ කෞතුකාගාරයක් තැනීමේ යෝජනාව අනුමත කර ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

අවසානයේ දී ඔහුගේ යෝජනාව පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කෞතුකාගාරය ගොඩ නැංවීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අවසරය ලැබී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1874 දී යි. ඒ අනුව රජයේ ගෘහ නිර්මාණ ශිල්පී ජේම්ස්. ජී. ස්මිදර් ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කෞතුකාගාරයේ මූලික ගොඩනැගිල්ල සැලසුම් කළ අතර එය ගොඩ නැංවීමේ කොන්ත්‍රාත්තුව කොළඹ තැපැල් කන්තෝරුව, පිටකොටුවේ පැරණි නගර ශාලාව සහ ගාලුමුවදොර හෝටලය ගොඩ නැං වූ වප්චි මරික්කාර් මහතාට හිමි වුණා. එහි වඩු වැඩ සියල්ල භාර වූයේ එස්. එම්. පෙරේරාට යි.

ක්‍රිස්තු වර්ෂ 1896 දී කොළඹ කටුගෙය (en.wikipedia.org)

දෙවසරක් අවසානයේ කොළඹ කෞතුකාගාරයේ වැඩ නිම වූයේ සැරසිලි කළ හිස් සහිත කුළුණු, ආරුක්කු සහ විවෘත ආලින්ද සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස යි. ඒ අනුව  පුරාවස්තු 808 ක්‍ ද, වෙනත් නිදර්ශක 384 ක් ද සහිත ව ක්‍රිස්තු වර්ෂ 1877 ජනවාරි 1 වැනි දින කොළඹ කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වුණා. එම නිදර්ශක අතර සෙල් ලිපි, විවිධ ශෛලමය නිර්මාණ, ආභරණ, කාසි වැනි කෞතුක භාණ්ඩ ද, ක්ෂීරපායීන්, උරගයන්, මත්ස්‍යයන්, සිප්පි කටු, කොරල් සහ ඛනිජ වර්ග වැනි ස්වභාවික විද්‍යා විෂයයට අදාළ ආදර්ශ ද ඇතුළත් වී තිබෙනවා. මෙසේ ආරම්භ කරන ලද කොළඹ කටුගෙයි ප්‍රථම අධ්‍යක්ෂතුමා ලෙස කටයුතු කර ඇත්තේ ආචාර්ය ඇමරල්ඩ් හේලි මහතා යි. ක්‍රිස්තු වර්ෂ 1891 අප්‍රේල් මාසයේ දී විශ්‍රාම ගන්නා තුරු ම ඔහු එම තනතුරේ කටයුතු කර තිබෙනවා.

20 වැනි සියවසේ දී කොළඹ කටුගෙය

‘ස්පෝලියා සිලනිකා’ සඟරාව (archive.org)

ආචාර්ය ඇමරල්ඩ් හේලිගෙන් පසු ව කටුගෙයි අධ්‍යක්ෂක ධුරයට පත් වූ ආචාර්ය ආතර් විලී සහ ආචාර්ය ජෝසෆ් පියර්සන් යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ කොළඹ කෞතුකාගාරයට නැගෙනහිර සහ බටහිර දෙසින් අලුත් මැදිරි කිහිපයක් ම එක් කර තිබෙනවා. ආචාර්ය පියර්සන් කෞතුකාගාරයේ සිදු කරන පර්යේෂණවල තොරතුරු ඇතුළත් ලිපි පළ කිරීම සඳහා ‘ස්පෝලියා සිලනිකා’ (Spolia Zeylanica) යන නමින් සඟරාවක් ද ආරම්භ කළා. මේ කාලයේ දී ම ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි විසින් ශ්‍රී ලංකාවට කෞතුකාගාරයක් ලබා දීම සඳහා දරණ ලද අපරිමිත සේවයට කෘතගුණ සැලකීමක් ලෙසින් ඔහුගේ ලෝකඩ ප්‍රතිමාවක් කෞතුකාගාරය ඉදිරිපිට ස්ථාපනය කර තිබෙනවා.

ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා (archaeology.lk)

ආචාර්ය පියර්සන්ගෙන් පසු ව ඒ. එච්. එස්. මැල්පාස් මහතාට කටුගෙයි අධ්‍යක්ෂක පුටුව හිමි වුණා. ඒ කොළඹ කටුගෙයි අවසන් බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂකවරයා යි. ඔහුගේ ධුර කාලයෙන් පසු ව ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මහතා එම තනතුරුට පත් වූයේ කොළඹ කෞතුකාගාරයට ස්වර්ණමය යුගයක් උදා කරමින්. ඔහුගේ ඉල්ලීම මත 1942 අංක. 31 දරණ කෞතුකාගාර පනත මගින් කොළඹ කටුගෙය, ජාතික කෞතුකාගාරයක් ලෙස නම් කරන ලද අතර යාපනය, මහනුවර සහ රත්නපුර යන නගරවල එහි ශාඛා ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආභරණ සහ සිංහාසනය යළි ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබා දීමට බ්‍රිතාන්‍ය රජය එකඟ වූයේ ද මේ කාලයේ යි.

ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය (en.wikipedia.org)

කටුගෙයි ඉතිහාසයේ තවත් වැදගත් සිදුවීමක් ලෙස වර්ෂ 1986 සැප්තැම්බර් 23 වැනි දින ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විවෘත කිරීම හැඳින්විය හැකි යි. ඒ කටුගෙයි ප්‍රථම අධ්‍යක්ෂකවරිය වූ ආචාර්ය තෙල්මා ගුණවර්ධන මැතිණියගේ මග පෙන්වීම යටතේ යි.

වර්තමානයේ දී කොළඹ ජාතික කෞතුකාගාරය

ඉන් අනතුරු ව විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩි දියුණු වූ කොළඹ ජාතික කෞතුකාගාරය සතු ව මේ වන විට ශාඛා 9 ක් පවතිනවා. වර්තමානයේ දී එහි පූර්ව සහ ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, සංක්‍රාන්තික යුගය, මහනුවර යුගය, ශිලා පුරා වස්තු, සිතුවම් මැදිරිය, රෙදිපිළි, මැටි හා පිඟන් භාණ්ඩ, මිල මුදල්, ධජ හා පතාක, කලා ශිල්ප, අවි ආයුධ, සාම්ප්‍රදායික කෘෂිකර්මය, ඩී. එස්, සේනානායක අනුස්මරණ මැදිරිය සහ සාම්ප්‍රදායික අභිචාර විධි ලෙස ප්‍රදර්ශන මැදිරි 16 ක් දැක ගැනීමට ලැබෙනවා.

museum.gov.lk

ජාතික කෞතුකාගාරය සතු තවත් අගනා අංගයක් වන්නේ එහි පුස්තකාලය යි. කෞතුකාගාරය සමග ම විවෘත කරන ලද එය ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවුණු පැරණි පොත්පත් රැසකින් සමන්විත වන අතර ක්‍රිස්තු වර්ෂ 1885 වර්ෂයෙන් පසු ව මෙරට දී මුද්‍රණය කරන ලද සෑම ග්‍රන්ථයක ම පිටපතක් තැන්පත් කර තිබෙනවා. එසේ ම එහි දී ක්‍රිස්තු පූර්ව යුගයට අයත් පුස්කොළ පොත් ද පාලි බසින් රචිත මහා වංශයේ පිටපතක් ද බුරුම රජු විසින් පරිත්‍යාග කරන ලද පුස්කොළ පොත් ද දක්නට හැකි යි. පසු කාලීන ව එයට විවිධ පුද්ගලයින්ගේ පොත් සහ පුස්කොළ පොත් එක් වූ අතර එච්. සී. පී. බෙල් මහතාගේ පෞද්ගලික පොත් එකතුව, සොලමන් ඩයස් බණ්ඩාරනායක විසින් පරිත්‍යාග කරන ලද හෙන්රි බ්ලේක්ගේ පුස්කොළ පොත් එකතුව සහ ආචාර්ය ඩබ්. ඒ. ද සිල්වාගේ පුස්කොළ පොත් එකතුව ඒ අතරින් විශේෂ යි.

wallpaperswide.com

මීට අමතර ව කොළඹ ජාතික කෞතුකාගාරයේ දකිනට ලැබෙන ආකර්ෂණීය අංග අතර කටුගෙයට ඇතුළු වන විට ම දක්නට ලැබෙන තොලුවිල සමාධි ප්‍රතිමාවට, බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති තාරා දෙව්දුවගේ ලෝකඩ ප්‍රතිමාවේ අනුරුවට, සිංහලේ අවසන් සිහසුනට, ඇන්ඩෘෘ නිකොල්ගේ දිය සායම් සිතුවම්වලට, ක්‍රිස්තු වර්ෂ 1894 දී අම්බලන්ගොඩ වෙරළට ගොඩ ගැසූ යෝධ තල්මසාගේ සැකිල්ලට සහ දැදිගම ඇත් පහනට වැදගත් තැනක් හිමි වෙනවා.

කවරයේ පින්තූරය : (timeout.com)

මූලාශ්‍ර :

  1. කටුගෙට යමු (ගාමිණී කුමාර විතාන)
  2. museum.gov.lk
  3. en.wikipedia.org
  4. lankadeepa.lk
  5. dinamina.lk

Related Articles