තුන් ලක්ෂයක් ආබාධිතයින් මරු තුරුලට යැවූ හිට්ලර්ගේ ව්‍යාපෘතිය​ : Aktion T4

මෑත ඉතිහාසයේ දී වඩාත් කතාබහ ලක් වූ මාතෘකා අතරින් ‘සුඛ මරණය’ හෙවත් Euthanasia යන්නට හිමි වන්නේ ඉහළ ස්ථානයක් බව පැවසීමේ වැරැද්දක් නැහැ. ඇතැම් විටෙක වෛද්‍ය සහය ඇති ව සිය දිවි නසා ගැනීම ලෙස ද ‘සුඛ මරණය’ අර්ථ නිරූපණය කරන අතර එහි දී බොහෝ විට සිදු වන්නේ කිසියම් ශාරීරික ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අධික ලෙස පීඩා විඳින පුද්ගලයෙක් ස්වකීය කැමැත්තෙන් වේදනා රහිත ක්‍රමවේදයක් අනුගමනය කර ජීවිතය තොර කර ගැනීම යි.

ලොව ඇතැම් රාජ්‍යයන් විසින් ‘සුඛ මරණය’ යන සංකල්පය නීතිමය වශයෙන් පිළිගෙන ඇත්තේ කායික හෝ මානසික රෝගාබාධ හේතුවෙන් අධික ලෙස පීඩා විඳින පුද්ගලයින්ගේ යහපත සලකා බවට සැකයක් නැහැ. නමුත් අදින් දශක කිහිපයකට පමණ පෙර ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යටතේ නාට්සීන් විසින් සුව කළ නොහැකි රෝගයන්ගෙන් පීඩා විඳින හෝ කායික/මානසික ආබාධයන්ගෙන් පෙළෙන හෝ චිත්තවේගී කම්පනයට පත් වී සිටින හෝ වයස්ගත පුද්ගලයින් මරණයට පත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ‘සුඛ මරණය’ යන වදන භාවිතා කළ බව ඔබ දැන සිටියා ද?

බර්ලිනයේ පිහිටි ‘Aktion T4’ වැඩසටහනේ වින්දිතයන් වෙනුවෙන් ගොඩ නංවන ලද ස්මාරකය (© Wikimedia Commons)

 

නාට්සීන්ගේ ප්‍රථම සමූල ඝාතන වැඩසටහන

ඇඩොල්ෆ් හිට්ලර් ඇතුළු නාට්සි ප්‍රධානීන්, සුජනක විද්‍යාව (මානව ජන කොට්ඨාසයක ජානමය ගුණ වැඩි දියුණු කිරීම අරමුණ කර ගත් විශ්වාසයන් සහ භාවිතයන්) පිළිබඳ අතිශය උනන්දුවක් දැක් වූ බව රහසක් නොවෙයි. ‘මගේ සටන​’ හෙවත් Mein Kampf නම් ස්වයං චරිතාපාදනයේ දී වාර්ගික ස්වස්ථතාව (racial hygiene) පිළිබඳ ව අදහස් දක්වමින් ඇඩොල්ෆ් හිට්ලර් සඳහන් කර ඇත්තේ සෑම අතින් ම නීරෝගී දරුවන් පමණක් උපදින බව සහතික කිරීම සඳහා ජර්මනිය විසින් නූතන වෛද්‍ය තාක්ෂණය යොදා ගත යුතු බව යි. එවැනි නීරෝගී ජන සමහූයක් විසින් ජර්මනියේ ශ්‍රම බලකාය සහ යුද හමුදාව වඩාත් ශක්තිමත් කරනු ඇති බව නාට්සීන් තරයේ විශ්වාස කළා.

ආබාධිත පුද්ගලයින් සමාජයට තර්ජනයක් බව දක්වන නාට්සි පෝස්ටරයක් (© German Federal Archives)

එහි ප්‍රථම පියවර ලෙස 1933 දී නාට්සීන් බලයට පැමිණීමෙන් පසු ව මානසික හෝ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් ව වන්ධ්‍යකරණයට (sterilization) ලක් කිරීම අනිවාර්ය කරමින් නීති සම්පාදනය කරන ලද අතර ඒ යටතේ මන්දබුද්ධිකතාවය, අන්ධ බව, බිහිරි බව, අපස්මාරය සහ මදිරාබාධය (alcoholism) යන හේතු පදනම් කර ගනිමින් පුද්ගලයින් හාර ලක්ෂයක් පමණ බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක් කර තිබෙනවා. නමුත් 1939 දී නාට්සීන්ගේ වැඩ පිළිවෙළ වඩාත් භයංකර ස්වරූපයක් ගත්තේ ලොව ජීවත් වීමට නුසුදුසු පුද්ගලයින් ව මරණය පත් කිරීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර්ගේ අදහසකට අනුව ආරම්භ කරන ලද වැඩසටහනක් හේතුවෙන්. නාට්සීන්ගේ ප්‍රථම සමූල ඝාතන වැඩසටහන ලෙස සැලකෙන එය ‘Aktion T4’ ලෙස හඳුන්වනු ලබනවා.

ආබාධිත දරුවන් වෙනුවෙන් සුඛ මරණයක්

‘Aktion T4’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ වෛද්‍යවරයා වූ කාල් බ්‍රැන්ඩ් සහ පෞද්ගලික තානාපති කාර්යාලයේ අධ්‍යක්ෂක තනතුරු දැරූ ෆිලිප් බූලර් වෙත යි. ඒ අනුව ‘Aktion T4’ වැඩසටහනේ ප්‍රථම ගොදුර බවට පත් වන්නේ දැඩි නාට්සි පාක්ෂිකයෙකු වූ රිචර්ඩ් ක්‍රෙච්මාගේ ආබාධිත පුත්‍රයා වූ මාස කිහිපයක් වයසැති ගර්හාඩ්. වලිප්පුව සහිත අන්ධ දරුවෙකු වූ ඔහු ව 1939 ජූලි 25 වැනි දින මරණයට පත් කර ඇත්තේ මාරක එන්නතක් භාවිතා කරමින්.

ඇඩොල්ෆ් හිට්ලර් සහ ෆිලිප් බූලර් අතට අත දෙමින් (© German Federal Archives)

එහි දී අත් කර ගත් සාර්ථකත්වය හේතුවෙන් ‘Aktion T4’ ඉදිරියට රැගෙන යාම සඳහා අවසර හිමි වූ අතර 1939 අගෝස්තු 18 වැනි දින අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලු ම වෛද්‍යවරුන්, හෙදියන් සහ වින්නඹු මව්වරුන් සඳහා නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ දරුණු ශාරීරික හෝ මානසික ආබාධ සහිත උපත ලබන දරුවන් හෝ එවැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින වයස අවුරුදු තුන නොඉක්ම වූ දරුවන් පිළිබඳ ව වහා ම රජයට වාර්තා කළ යුතු බව යි. ඒ අනුව ‘Aktion T4’ වැඩසටහනේ ප්‍රථම පියවර ලෙස මාරක එන්නත් ලබා දීම හෝ නිරාහාර ව තැබීම මගින් යුද සමය තුළ දී ආබාධිත දරුවන් 5,000 කට අධික ප්‍රමාණයක් මරණයට පත් කර තිබෙනවා.

සුඛ මරණයට මුවා වූ ජන සංහාරය

1939 වර්ෂයේ අවසන් මාස කිහිපය වන විට අතිශය සාර්ථකත්වයක් අත් කර ගත් ‘Aktion T4’ වැඩසටහන තව දුරටත් වර්ධනය කිරීමට ඇඩොල්ෆ් හිට්ලර් තීරණය කළ අතර ආබාධිත වැඩිහිටි පුද්ගලයන් ව මරණයට පත් කිරීම සඳහා ගෑස් කාමර හයක් ගොඩ නැංවීම සිදු කර තිබෙනවා. එසේ ම ‘සුඛ මරණය’ සඳහා යොමු කිරීමට පුද්ගලයින් තෝරා ගැනීමට නව උපමානයන් ද හඳුන්වා දුන් අතර ඒ යටතේ මරණයට පත් කළ යුතු ආබාධිතයින් හඳුනා ගැනීම සඳහා විශේෂ සෞඛ්‍ය අධිකාරීන් ද පත් කරන ලද බව සඳහන්.

‘Aktion T4’ වැඩසටහන ඇරඹීම සඳහා අවසර ලබා දුන් ලිපිය (© Marcel)

 

ඒ අනුව –

භින්නෝන්මාදය, අපස්මාරය, ඩිමෙන්ෂියාව, නිධිකර්පරදාහය හෙවත් මොළය ඉදිමීමේ රෝගය සහ වෙනත් නිධන්ගත මානසික හෝ ස්නායු ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයින්

ජර්මානුවන් හෝ ජර්මානුවන්ට නෑකම් නොකියන පුද්ගලයින්

අපරාධකරුවන් හෝ අපරාධ සිදු කළ බවට චෝදනා ලද පුද්ගලයින්
යන කාණ්ඩයන්ට අයත් වන පුද්ගලයින් ‘Aktion T4’ වැඩසටහන යටතේ ගෑස් කාමර තුළ දී මරණයට පත් කර තිබෙනවා.

‘Aktion T4’ වැඩසටහන සඳහා යොදා ගන්නා ලද ගෑස් කාමර, නාන කාමර ලෙස පිටතට පෙනෙන ලෙස සකස් කර ඇති අතර ආබාධිත පුද්ගලයින් ව ‘සුඛ මරණයකට පත් කිරීම’ සඳහා යොදා ගෙන ඇත්තේ පිරිසිදු කාබන් මොනොක්සයිඩ් වායුව යි. මරණයට පත් කරන ලද ආබාධිතයින්ගේ මළ සිරුරු දැවීම සඳහා පසු ව ආදාහනාගාර වෙත යොමු කර තිබෙනවා. 1940 ජනවාරි – 1941 අගෝස්තු දක්වා වූ කාල පරාසයේ දී මරු තුරුලට යවන ලද ආබාධිතයින් ගණන 70,273 ක් බව යි සඳහන් වන්නේ.

සුඛ මරණයන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා ලද ගෑස් කාමරයක් (© Radomil)

හොර රහසේ ක්‍රියාත්මක වූ ‘Aktion T4’

1941 වර්ෂයේ දී නිල වශයෙන් ‘Aktion T4’ වැඩසටහන නතර කරන බවට නිවේදන කළ ද 1945 දී නාට්සි ජර්මනිය පරාජයට පත් වන තුරු ම එය හොර රහසේ ක්‍රියාත්මක වී තිබෙනවා. එහි දී ගෑස් කාමර වෙනුවට භාවිතා කර ඇත්තේ මාරක එන්නත් සහ ඖෂධ අධි මාත්‍රාවන්ගෙන් ලබා දීම යන ක්‍රමවේදයන් ද්විත්වය යි. එසේ ම ශාරීරික හෝ මානසික ආබාධ සහිත පුද්ගලයින්ට අමතර ව මහලු රෝගීන්, බෝම්බ ප්‍රහාරයන්ට ලක් වූ අය සහ විදේශීය කම්කරුවන් ද ‘Aktion T4’ වැඩසටහන යටතේ මරණයට පත් කර තිබෙනවා.

කෙසේ හෝ දෙවැනි ලෝක සංග්‍රාමය අවසන් වන විට ‘Aktion T4’ වැඩසටහන යටතේ වාර්ගික අදහස් හිස් මුදුනින් පිළිගෙන සිටි නාට්සීන්ට අනුව ‘ලොව ජීවත් වීමට නුසුදුසු’ තුන් ලක්ෂයකට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් මරණයට පත් කර ඇති බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.

කවරයේ පින්තූරය : Aktion T4’ වැඩසටහනේ ප්‍රථම පියවර යටතේ මරණයට නියම​ කරන ලද දරුවන් පිරිසක් (© Friedrich Franz Bauer)

Related Articles