Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව කැළඹූ නේපාල රජ පවුල ඝාතනය

නේපාලයේ කිරුළ හිමි දිපේන්ද්‍ර කුමරු ශූර වෙඩික්කරුවෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටි අයෙක්. ඔහු සතු ව පෞද්ගලික තුවක්කු එකතුවක් තිබුණු අතර රාජකීය අවි ගබඩාවට ද ඔහුට ඇතුල් වීමට අවසර තිබුණා. ඔහු ඇතැම් රාත්‍රීන්වල රජ මාළිගා බිමෙහි වූ උද්‍යානයන්වල කුරුල්ලන් දඩයමේ යෙදුණා.

2001 ජූනි 1 වන දා රාත්‍රී 8.48ට පමණ​, සිය හමුදා ඇඳුමින් සැරසුණු කුමාරයා තුවක්කුවක් අතැති ව​, අනෙක් අතින් බෑගයක් ද ගෙන සිය කාමරයෙන් පිට වුණා. සාමාන්‍යයෙන් ඔහු සිය බෑගය ගෙන යාමට සේවකයෙකු කැටිව යන අතර එදින ද සේවකයා ඔහු හා පැමිණීම අවශ්‍ය දැ යි විමසා සිටියා. කුමාරයා කියා සිටියේ එය අනවශ්‍ය බව යි.

දිපේන්ද්‍රගේ එදින ඉලක්කය වීමට නියමිත ව තිබුණේ කුරුල්ලන් නොව ඔහුගේ ම පවුලේ සාමාජිකයන් පිරිසකුයි.

දිපේන්ද්‍ර කුමරු සහ ජපානයේ කිරුළ හිමි නරුහිතෝ කුමරු. 2001 අප්‍රේල් 26 වන දා තෝකියෝවේ දී (Getty Images)

නේපාල රජ පවුල ඝාතනය පිළිබඳ ව පසු ව මතු වූ විවිධ සැක සංකා බොහෝකොට ම නිර්මාණය වූයේ මෙම මරණ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් නොපැවැත්වීම හේතුවෙන්. නමුත් මූලික ව දිස්වන කරුණ නම් මෙම ක්‍රියාව දිපේන්ද්‍ර විසින් තනි ව සිදුකරන ලද්දක් බව යි.

දිපේන්ද්‍ර කුමරු සහ නේපාල රජ පවුල​

නේපාලයේ දිපේන්ද්‍ර කුමරු උපන්නේ 1971 ජූනි 27 වන දා යි. ඔහුගේ පියා වුණේ නේපාලයේ බිරේන්ද්‍ර කුමරු යි. මව අයිශ්වර්යා කුමරිය යි. දිපේන්ද්‍ර කුමරුට වයස මාස ගණනක් වෙද්දී 1972 ජනවාරි මස දී, බිරේන්ද්‍ර කුමරු නේපාලයේ රජ බවට පත් වුණා. බිරේන්ද්‍ර රජු සහ අයිශ්වර්යා රැජිනට තවත් දරුවන් දෙදෙනෙකු ලැබුණා. ඒ 1976 දී උපන් ශ්රූති කුමරිය සහ 1978 දී උපන් නිරාජන් කුමරු යි.

බිරේන්ද්‍ර රජු, ආයිශ්වර්යා රැජින (හිඳගෙන​) සහ ඔවුනගේ දරුවන් තිදෙනා. වමේ සිට දකුණට සිටගෙන සිටින්නේ ශ්රූති කුමරිය​, දිපේන්ද්‍ර කුමරු සහ නිරාජන් කුමරු ය​. (Nepal Royal Family)

දිපේන්ද්‍ර කුමරුගේ හොඳම මිත්‍රයා වූයේ ඔහුගේ ඥාති සහෝදර පරාස් කුමරු යි. පරාස් කුමරු යනු බිරේන්ද්‍රගේ සොයුරු ගයනේන්ද්‍රගේ වැඩිමහල් පුත්‍රයා වුණා. ඔහු දිපේන්ද්‍රට වඩා මාස හයකින් පමණක් වයසින් අඩු වූ අතර සෙල්ලක්කාරයෙකු ලෙස ප්‍රකට ව සිටියා. වරක් රිය අනතුරකින් දෙදෙනකුගේ මරණයන් සිදු කිරීම​, රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයින්ට වෙඩි තැබීම ආදී සිදුවීම් කිහිපයකට ඔහු වගකිව යුතුයැ යි පැවසුණා. නමුත් කිසිදු දිනෙක ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ.

පරාස් කුමරු සහ ඔහුගේ බිරිඳ හිමානි කුමරිය 2000 දී. (Getty Images)

නේපාලයෙහි දිපේන්ද්‍ර ජනප්‍රිය කුමරෙකු වූ අතර පරාස් ජනතාව අතර ප්‍රසාදයක් දිනාගත් අයෙකු වූයේ නැහැ.

දිපේන්ද්‍ර කුමරුගේ ප්‍රේම සම්බන්ධය

දිපේන්ද්‍ර කුමරුට කලෙක පටන් දේව්‍යානි රානා නම් වූ තරුණියක සමග ප්‍රේම සබඳතාවක් තිබුණා. ඇය රානා පරම්පරාවට අයත් වූ තරුණියක වූ අතර ඇගේ පවුල ඉතා ධනවත් වුණා. නමුත් ඇගේ පවුල් සම්බන්ධය හේතුවෙන් බිරේන්ද්‍ර රජුගේ පවුල ඇයට කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන් ම මව් රැජින වූ රත්නා රැජින එයට තදින් ම විරුද්ධ වුණා. (ඇය බිරේන්ද්‍ර රජුගේ මවගේ බාල සහෝදරිය යි. බිරේන්ද්‍ර කුමරු කුඩා කාලයේ ඔහුගේ මව මියගිය අතර ඉන්පසු රත්නා කුමරිය බිරේන්ද්‍රගේ පියා වූ මහේන්ද්‍ර කුමරුට විවාහ කර දෙනු ලැබුණා). දිපේන්ද්‍රගේ සහ දේව්‍යානිගේ සම්බන්ධය කැඩීමට එක් උපක්‍රමයක් ලෙස දෛවඥයින් ලවා හඳහන් බැලවීමට ද මව් රැජින කටයුතු කර තිබුණා. ඒ අනුව අනාවැකි පළකොට තිබුණේ මේ දෙදෙනා විවාහ වුවහොත් රජකම උරුම වීමට පිරිමි දරුවකු නොලබන බව යි.

මව් රැජින 1960 දී (Getty Images)

ගැටුම් පිට ගැටුම්

දිපේන්ද්‍ර කුමරුට විරුද්ධ වීම හේතුවෙන් රජ පවුලේ අය සහ ඔහු අතර නිතර ගැටුම් ඇති වුණා. මේ අතර බිරේන්ද්‍ර රජු සහ ඔහුගේ ඇතැම් සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් සිදු වුණා. කෙසේ වෙතත් රජ පවුලේ අනෙක් සාමාජිකයන් සමග ද මෙවන් ගැටුම් මතු වුණා.

දිපේන්ද්‍රගේ 29 වන උපන් දිනය දා, එනම් 2000 ජූනි 27 වන දා, සිදු වූ ගැටුම මින් ඉතා තීරණාත්මක එකක් වුණා. එදින උපන් දින සාදයෙන් පසු පවුලේ තරුණ සාමාජිකයන් අමතා දිපේන්ද්‍ර කියා සිටියේ තම විවාහයට කිසිවෙකුට එරෙහි වීමට තමන් ඉඩ නොදෙන බවත්, තමාට එරෙහි වන්නන් මරා දමන්නට වුව ද තමන් කටයුතු කරන බවත්. එමෙන්ම තමාගේ පක්ෂය ගන්නේ ද නැද්ද යන්න තීරණය කරන ලෙස ඔහු කියා සිටියා. මේ අවස්ථාවේ ඔහුගේ බාල සහෝදරිය වූ ශ්රූති ඔහුට එරෙහිව හඬ නැගූ හෙයින් දිපේන්ද්‍ර ඇයට පහර දුන් බව පැවසෙනවා. ඒ වන විට ඇය ගැබිණියක ව සිටියා.

ශ්රූති කුමරියගේ සැමියා වූ කුමාර් ගොරාක් 2001 ජූනි 1 වන දා සිද්ධියෙන් දිවි ගලවාගත්තෙක්. ඔහු පවසන්නේ දිපේන්ද්‍ර ඉතා ක්‍රමානුකූල ව තමන්ට එරෙහිව කරුණු දැක්වූවන් එකිනෙකා ඉලක්ක කළ බව යි.

පවුලේ හමුව

සාමාන්‍යයෙන් නේපාල රාජකීය පරපුරේ සාමාජිකයන් සෑම දෙසතියකට ම වරක් සිකුරාදා මුණගැසීමේ සිරිතක් වුණා. 2001 ජූනි 1 වන දා එම සාදය පැවැත්වුණේ දිපේන්ද්‍ර කුමරුගේ අනුග්‍රහයෙන්.

මෙම තීරණාත්මක රාත්‍රියේ දිවි ගලවාගත් දෙදෙනෙකු පවසන පරිදි යම් කිසි අමුත්තක් සිදුවන බවට ඔවුනට ඉඟි ලැබී තිබුණා. නමුත් එය පිළිබඳ එතරම් ම සිතන්නට තරම් කරුණක් ඔවුනට වූයේ නැහැ.

දිපේන්ද්‍රගේ ඥාති සහෝදරියක වන කේතකී චෙස්ටර් මෙයින් එක් අයෙක්. ඇය බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවෙකු හා විවාහ වූ පසු සිය රාජකීය නාම අත්හැර සිටි තැනැත්තියක්. ඇය​ පසු කලෙක පවසා සිටියේ, තීරණාත්මක සාදයට දින කිහිපයකට පෙර ඔහු ඇගෙන් එදිනට පැමිණෙන්නේදැ යි විමසූ බව යි. සාමාන්‍යයෙන් මේ අයුරින් විමසනු ලබන්නේ නැති නිසා එය අමුත්තක් සේ හැඟුණ බව ඇය කියා සිටිනවා. නමුත් එය කෙතරම් අමුත්තක් වී ද යන්න ඇයට වැටහුණේ එම සිකුරාදා රාත්‍රියෙන් පසු ව යි.

සාදය අතරතුර​, රාත්‍රී 8.20ට පමණ දිපේන්ද්‍ර මත් වූ බවක් පෙන්නුම් කළ අතර පරාස් කුමරු ඔහු ව ඔහුගේ නිදන කාමරය කරා ගෙන යා යුතුයැ යි තීරණය කළා. සාමාන්‍යයෙන් දිපේන්ද්‍ර සැලකිය යුතු තරම් මත්පැන් පානය කළ හැකි අයෙකු වූ අතර එදින ඔහු එතරම් මත්පැන් පානය කර තිබුණේ නැහැ.

කුමාර් ගොරාක් පවසන පරිදි, ඔවුන් දිපේන්ද්‍ර ව ඔහුගේ නිදන කාමරයේ සයනය මත දිගා කරවා ඇඳුම් ලිහිල් කරන අතර ඔහු තුවක්කු පටියක් පැළඳ සිටීදැ යි පරාස් අසා තිබෙනවා. එහි දී බීමත් ස්වරූපයෙන් තොරව ඔහු පිළිතුරු දුන් බව යි කුමාර් පවසන්නේ. නමුත් ඒ අවස්ථාවේ ඒ පිළිබඳ විශාල ගැටලුවක් මතු වූයේ නැහැ. සිද්ධියෙන් පසු ව​ කුමාර්ගේ විශ්වාසය නම් එම බීමත් ජවනිකාව ද රඟපෑමක් වූ බව යි.

දේව්‍යානිගේ දුරකථන ඇමතුම

මින් සුළු වෙලාවකට පසු දේව්‍යානි රානා, දිපේන්ද්‍රට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. ඔහු ඊට වෙරිමතින් මෙන් පිළිතුරු දුන් අතර නැවත ඇමතුම් ලබාදීමේ දී පිළිතුරු දුන්නේ නැහැ. දිපේන්ද්‍රගේ ජංගම දුරකථනයට එන ඇමතුම්වලට පිළිතුරු නොලදහොත් එය රජ මාළිගයේ ආරක්ෂකයින් වෙත යොමු වන ලෙස සකසා තිබුණා. මේ අනුව දේව්‍යානි ඔවුනගෙන් ඉල්ලා සිටියේ කුමරු පිළිබඳ​ සොයාබලන ලෙස යි.

දේව්‍යානි රානා 2012 දී (DPA)

රජ මාළිග සේවකයින් දෙදෙනෙකු මේ අනුව ඔහුගේ කුටිය වෙත යන අතර ඔහු නැගිට මුහුණ කට සෝදා ගත්තා. ඉන්පසු තමන්ට ගැටලුවක් නොමැති බව පවසා ඔවුනට පිටව යන ලෙස දන්වා සිටි කුමරු, දේව්‍යානිට ද දුරකථන ඇමතුමක් දී තමන් නින්දට යන බව පවසා ඇතැ යි සඳහන්. එය ඇය සහ ඔහු අතර අවසන් සංවාදය බව ඇතැම් විට ඔහු දැන සිටින්නට ඇති.

ඒ වන විට වේලාව රාත්‍රී 8.40 පමණ වන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා.

බිරේන්ද්‍ර රජුගේ පැමිණීම

සාදය පැවැත්වෙන “බිලියඩ් කාමරයේ” වැඩි දෙනෙකු රැඳී සිටිය දී ඒ අසල පිටුපස කාමරයක රජ පවුලේ වැඩිහිටියන් කිහිපදෙනෙකු රැස් වුණා. ඒ අතර මව් රැජිනත්, ඇගේ ඥාති සොයුරියක වූ හෙලන් ෂා කුමරියත්, අයිශ්වර්යා රැජිනත් වූ අතර රාත්‍රී 8.40ට තරමක් කලින් බිරේන්ද්‍ර රජු එහි පැමිණුනා. දිපේන්ද්‍ර කුමරු පිළිබඳ කෙටි සාකච්ඡාවකට පසු මව් රැජින සහ හෙලන් කුමරිය එහි නතර වෙද්දී අනෙක් අය සාදය වෙත එක් වීමට පිටව ගියා.

දිපේන්ද්‍ර තම ඝාතන වැල පටන් ගත් පසු, කුමක් හෝ කරුණක් නිසා, තමන්ට වැඩියෙන් ම එරෙහි වූ මව් රැජින සොයා කිසිදු අවස්ථාවක පැමිණියේ නැහැ.

බිරේන්ද්‍ර රජුට වෙඩි තබයි

සිද්ධීන් ඉතා වේගයෙන් සිදුවෙමින් පැවතුණා. දිපේන්ද්‍ර සිය අවි ආයුධ බෑගයකට දමාගෙන හමුදා ඇඳුම ඇඳ ගත්තා. ඉන්පසු එක් අතක ස්වයංක්‍රීය අවියක් දරාගෙන අනෙක් අතින් බෑගය රැගෙන ඔහු සිය කාමරයෙන් පිටවුණා.

මෙම ලිපියෙහි මුලින්ම විස්තර කළ ජවනිකාව සිදු වූයේ එම අවස්ථාවේ යි.

දිපේන්ද්‍ර කුමරු බිලියඩ් කාමරයට එපිටින් මිදුලේ පඳුරක් යට සිය බෑගය සඟවා වමතට ද ගිනි අවියක් ගෙන සෙමෙන් සාදය පැවැත්වෙන ශාලාවේ දොර හැරගෙන පැමිණියා. ඔහු සෙමෙන් බිරේන්ද්‍ර රජු සිටි ස්ථානයට ම පැමිණි අතර කිසිවකුත් ඔහු වෙඩි තබනු ඇතැ යි අවසන් මොහොත වන තුරු ම සිතුවේ නැහැ. එහෙත් එක්වර ම ඔහු සිය දකුණතෙහි වූ අවිය රජු දෙසට එල්ල කොට වෙඩි කිහිපයක් තැබුවා.

මඳක් සලිත වී ගිය දිපේන්ද්‍ර, සිය පියාට වෙඩි තැබූ අවිය බිම දමා, අනෙක් අවිය රැගෙන​ ආපසු හැරී පිට ව ගියා.

බිරේන්ද්‍ර රජුගේ බාල සොයුරු ධිරේන්ද්‍රගේ දියණියක හා විවාහ වී සිටි හමුදා වෛද්‍යවරයෙකු වූ කපිතාන් රජීව් ෂාහි, තම ජැකට්ටුව ගෙන රජුගේ සිරුරෙන් ලේ ගැලීම පාලනය කිරීමට උත්සාහ කළා. සියල්ලන්ම බියෙන් සලිත ව සිටි අතර කුමක් වුණාදැ යි සිතාගන්නට ඔවුනට හැකි වූයේ නැහැ. ඇතැමුන් සිතුවේ ඒ සියල්ල අත්වරදක් බව යි.

නමුත් සුළු මොහොතකින් දිපේන්ද්‍ර යළි පැමිණියේ M-16 ගිනි අවියක් රැගෙන යි.

පළිගැනීම

දිපේන්ද්‍ර කුමරු යළි ශාලාවට ඇතුල් වී රජු වැටී සිටි තැනට ගමන් කළ අතර එවිට රජුගේ සොයුරු ධිරේන්ද්‍ර කුමරු ඔහුට මෙය නවතා දමන ලෙසත් තමන්ට ආයුධය දෙන ලෙසත් කියා සිටියා. දිපේන්ද්‍රගේ පිළිතුර වූයේ ඔහුට වෙඩි තැබීම යි.

බිරේන්ද්‍රගේ බාල සොයුරු ධිරේන්ද්‍ර කුමරු 1980 දී (Getty Images)

ඔහු අසල සිටි, රජුගේ සොයුරියක වූ ෂරදා කුමරියගේ සැමියා වූ කුමාර් කඩ්කා දිපේන්ද්‍රගේ මීළඟ ඉලක්කය වුණා. ෂරදා කුමරිය ඔහු කරා දිව ආ අතර ඇයට ද දිපේන්ද්‍ර වෙඩි තැබුවා.

දිපේන්ද්‍ර, කුමාර් ගොරාක් වෙත වෙඩි තැබූ අතර කුමක් හෝ වාසනාවකට ඔහු දිවි ගලවා ගත්තා. නමුත් ඔහුගේ බිරිඳ වූ දිපේන්ද්‍රගේ සොයුරිය එතරම් වාසනාවන්ත වූයේ නැහැ. ඇය දිපේන්ද්‍රගේ වෙඩි පහරින් මියගියේ ඇගේ සැමියා මත යි. ශ්රූති කුමරිය මිය යද්දී වයස අවුරුදු තුනක සහ මාස අටක දියණියන් දෙදෙනකුගේ මවක ව සිටියා.

විනාඩි කිහිපයක වෙඩි තැබීම්වලින් පසු කේතකී චෙස්ටර් ඇතුළු කිහිපදෙනෙකුට වෙඩි තැබූ දිපේන්ද්‍ර, පරාස් වෙත පැමිණියා. ඔහු අසල රජ පවුලේ වයසින් අඩු සාමාජිකයන් කිහිපදෙනෙකු වුණා. පරාස් ඔහුගෙන් වෙඩි නොතබන ලෙස ඉල්ලා සිටි අතර දිපේන්ද්‍ර ඊට කන් දී ශාලාවෙන් පිටව ගියා.

මේ අතර මාළිගයේ ආරක්ෂකයින් යම් අමුත්තක් සිදුවන බව ඉව වැටී වෙඩි හඬ දෙසට පැමිණෙමින් සිටියා. කපිතාන් ෂාහි කලබලය අස්සේ ජනේලයකින් පිටතට පැන ආරක්ෂකයින්ට සිද්ධිය සැල කළා. නමුත් ආරක්ෂක හමුදා පැමිණෙද්දී දිපේන්ද්‍ර පිටව ගොස් තිබුණා.

එමෙන්ම දිපේන්ද්‍ර පසුපසින් අයිශ්වර්යා රැජින සහ නිරාජන් කුමරු ද දිව ගොස් තිබුණා. ඔවුන් දිපේන්ද්‍ර හමු වී ඔහු හා සාකච්ඡා කරමින් වෙඩි තැබීම් නවතන ලෙස කියා සිටියා. ඊට දිපේන්ද්‍රගේ පිළිතුර වූයේ නිරාජන්ටත්, ඉන්පසු රැජිනටත් වෙඩි තැබීම යි.

ආරක්ෂකයින් දිපේන්ද්‍ර ව සොයා ගනිද්දී ඔහු හිසට වෙඩි වැදී වැටී සිටියා.

මේ සම්පූර්ණ සිද්ධිය සිදුවෙද්දීත් රජු මියගොස් සිටියේ නැහැ. ඔහු මරණයට පත් වූයේ රෝහලට ගෙන ගිය පසු ව යි.

දිපේන්ද්‍ර රජ වෙයි

සෙනසුරාදා උදෑසන මේ මහා ඛේදවාචකය පිළිබඳ දැනගත් නේපාල ජනයා අතිශයින් ම දරුණු කම්පනයකට පත් වුණා. මේ අතර එරට රජය පුදුමාකාර තීරණයක් ගනිමින් දිපේන්ද්‍ර මීළඟ රජු ලෙස නම් කළා. ඔහු ඒ වෙද්දී රෝහල්ගත ව සිටියේ කෝමා තත්ත්වයෙන්. එහෙයින් රජ තනතුරේ වැඩ බැලීම ගයනේන්ද්‍රට පැවරුණා.

බිරේන්ද්‍ර රජුගේ දේහය ආදාහනය කරා රැගෙන යමින්. 2001 ජූනි 2, කත්මන්ඩු (Getty Images)

දින තුනකට පසු ජූනි 4 වන දා දිපේන්ද්‍ර මිය ගියා. ඉන්පසු ගයේන්ද්‍ර නේපාලයේ රජු බවට පත් වුණා.

සැකය

මෙම ඝාතන වැල දිපේන්ද්‍ර විසින් සිදුකරන ලද බව පැහැදිලි ව පෙනුණ ද රජ වාසල එය පිළිගත්තේ නැහැ. ඔවුන් කියා සිටියේ අත් වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්මක වී මෙම විනාශය සිදු වූ බව යි. නමුත් ජනතාව මෙය ව්‍යාජ කරුණු දැක්වීමක් බව විශ්වාස කළා.

මේ අතර දිපේන්ද්‍රගේ මරණය ද කෙසේ වීදැ යි පැහැදිලි ව නැහැ. ඔහු පිස්තෝලයකින් හිසට වෙඩි තබාගත් බව කියැවුණා. පිස්තෝලයේ උණ්ඩ දෙකක් හිස් ව තිබූ නමුත් ඔහුගේ හිසට එක් උණ්ඩයක් පමණක් ඇතුල් වී තිබූ බව ද සඳහන් වුණා. මේ අතර දකුණත්කරුවෙකු වූ දිපේන්ද්‍ර වෙඩි තබාගෙන තිබුණේ හිසේ වම් පසට යි. එය සිතාගත නොහැකි දෙයක් වුණා.

මේ අනුව ඔහුට ආරක්ෂකයෙකු වෙඩි තැබීයයැ යි සැකයක් ඇති වුණා.

නව රජු ගයනේන්ද්‍ර මේ මරණ පිළිබඳ කරුණු සැඟවීම සැකයට හේතු වුණා. ඔවුන් දිපේන්ද්‍රගේ සිරුර ද ක්‍රමවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළේ නැහැ. එමෙන්ම ඉහත ඝාතන සිදු වූ ගොඩනැගිල්ල ද කඩා දමනු ලැබුණා.

ගයනේන්ද්‍ර රජු සහ කෝමල් රැජින 2005 දී (Getty Images)

මේ අනුව ගයනේන්ද්‍ර පිළිබඳ ජනතාව බරපතල ලෙස සැක කිරීමට වුණා. ජූනි 1 වන දා සාදයට ඔහු නොපැමිණීම එම සැකය තීව්‍ර කළා. ඔහුගේ බිරිඳ එහි දී තුවාල ලද නමුත් එම කරුණ නිසා ජනතාවගේ සැකය ඉවත් වූයේ නැහැ.

බිරේන්ද්‍ර යනු ජනප්‍රිය රජෙකු වූ හෙයින් ඔහුගේ පාලන කාලය තුළ​ බහුතර​ නේපාල ජනයා රජ පවුල කෙරේ විශාල භක්තියක් දැක්වූ නමුත් ගයනේන්ද්‍ර යටතේ එම භක්තිය වෙනුවට සැකය මුල් බැසගත්තා. මෙම සැකයේ කෙළවර වූයේ 2006 විප්ලවය සහ 2008 දී රාජාණ්ඩුව අහෝසි කිරීම යි.

Cover Photo: බිරේන්ද්‍ර රජු සහ අයිශ්වර්යා රැජින (todaysnepal.com)

මූලාශ්‍රයයන්:

Related Articles