රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කළ නීරෝ අධිරාජ්‍යයා

රෝම ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී හමුවන අතිශය නින්දා සහගත යටගියාවක් හිමි පාලකයෙකු ලෙස නීරෝ අධිරාජ්‍යයා (ක්‍රි .ව. 37 – 68) හැඳින්වීමේ වරදක් නැහැ. ක්‍රි.ව. 54 දී රෝම අධිරාජ්‍යයා ලෙස කිරුළු පැලඳූ ඔහු, එයින් වර්ෂ 14කට පසු ව සිය දිවි නසා ගන්නා තුරු ම දරුණු පාලකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, සාහසික ලෙස දේශපාලන පලිගැනීම් හි නිරත වූ සල්ලාලයෙකු ලෙස යි ලෝක ඉතිහාසය ඔහු ව විස්තර කර ඇත්තේ. ක්‍රි. ව. 64 ජූලි මාසයේ දී රෝමය ගිනිගත් අවස්ථාවේ ඒ ගැන තැකීමක් නොකළ නීරෝ අධිරාජ්‍යයා වීණා වාදනය කරමින් කල් ගත කළ බව ජනශ්‍රැතියේ සඳහන් වන්නේ සංගීතය කෙරෙහි දැඩි ඇල්මක් දැක් වූ ඔහු රටවැසියාගේ අභිවෘද්ධිය පිළිබඳ ව ස්වල්ප හෝ උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් විය හැකි අතර, ඉංග්‍රීසි කියමනක අනුවාදයක් ලෙස සිංහල බසට එක් වූ ‘රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ’ යන ආඛ්‍යානය භාවිතා වන්නේ මහා විපතක් සිදු වන බව සියැසින් ම දකින පුද්ගලයෙක් ඒ බව නොපෙනෙන අයුරින් හැසිරෙන විට යි.

© Wikimedia Commons

මිනීමරු දෑතින් බලය අල්ලා ගත් නීරෝ අධිරාජ්‍යයා

ලුසියස් ඩොමේෂස් අහේනෝබාබස් ලෙස උපත අද නීරෝ අධිරාජ්‍යයා, නීරෝ ක්ලෝඩියස් සීසර් ඔගස්ටස් ජර්මනිකස් යන නාමය භාවිතා කිරීම අරඹන්නේ ඔහුට වසර අවුරුදු 13 ක් ව තිබිය දී ඔහුගේ මවගේ මාමණ්ඩිය (සහ සැමියා) වූ ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් ඔහු ව කුල වද්දා ගැනීමෙන් අනතුරුව යි. ලුසියස්ට (අනාගත නීරෝ අධිරාජ්‍යයා) වයස අවුරුදු 2ක් තිබිය දී ඔහුගේ පියා වූ ග්නියස් ඩොමේෂස් අහේනෝබාබස් මියගොස් ඇති අතර, තම පුතුට රෝම අධිරාජ්‍යයේ සිහසුන උරුම කර දීමේ දැඩි ආශාවකින් පසු වූ ඔහුගේ මව (ඇග්‍රිපීනා) ක්ලෝඩියස් අධිරාජ්‍යයා සමග විවාහ වී තිබෙනවා. ක්‍රි. ව. 53 දී නීරෝ සහ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ දියණිය වූ ඔක්ටේවියා අතර විවාහය සිදු කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත්තේ ද ඇග්‍රිපීනා යි. ක්‍රි. ව. 54 දී සිදු වූ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ හදිසි මරණයට හේතුව ඇග්‍රිපීනා විසින් ඔහුගේ අනුභවය සඳහා විෂ සහිත හතු ලබාදීම බව යි ඓතිහාසික මූලාශ්‍රයන් බොහෝමයක් සඳහන් කරන්නේ. ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ව සිහසුනේ නීත්‍යානුකූල උරුමකරු ලෙස 17 හැවිරිදි නීරෝ අධිරාජ්‍යයා බලය හිමි කරගෙන තිබෙනවා.

(© Prioryman) නීරෝ අධිරාජ්‍යයාගේ කුඩා කාලය දැක්වෙන ප්‍රතිමාවක්

ඔහුගේ පාලන සමයේ ප්‍රථම පස් වසරක කාලය තුළ දී නීරෝ අධිරාජ්‍යයා දේශපාලනික වශයෙන් උදාර පුද්ගලයෙකු ලෙස කීර්තියක් අත් කරගෙන ඇත්තේ සෙනට් සභාව සමග බලතල බෙදාගැනීම සහ රහසේ සිදු වූ දේශපාලනික නඩු විභාගයන් නතර කිරීම මඟින්. එසේ ම රාජ්‍ය පාලනයට වඩා තමන්ගේ පෞද්ගලික ආශාවන් පසුපස හඹා යාමට ආශාවක් දැක් වූ ඔහු රෝම අධිරාජ්‍යයේ පාලනය ස්ටොයිකවාදය පිළිබඳ දාර්ශනිකයෙකු වූ සෙනෙකා, රෝම අධිරාජ්‍යයාගේ නිල ආරක්ෂකයා ලෙස කටයුතු කළ බුරූස්, සහ තමන්ගේ මව වූ ඇග්‍රිපීනා වෙත පවරා තිබෙනවා.

කෙසේ වුව ද කාලය ගත වන විට සෙනෙකාගේ මඟ පෙන්වීම යටතේ තමන්ගේ මවගේ සෙවණැල්ලෙන් මිදී ස්වාධීන පාලකයෙකු ලෙස කටයුතු කිරීම අරඹන ලද නීරෝ අධිරාජ්‍යයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ව අසතුටට පත් වූ ඇග්‍රිපීනා, ඇයගේ සුළු පුත්‍රයා වූ බ්‍රිටැනිකස් (ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ පුත්‍රයා) ව රෝම අධිරාජ්‍යයේ නියම උරුමකරු ලෙස ප්‍රකාශයට පත් කර ඔහුට සහය දැක්වීමට කටයුතු කර ඇති අතර, නීරෝ අධිරාජ්‍යයා ඔහුගේ මිත්‍රයා වූ ඕතෝගේ බිරිඳ (පොපියා සබීනා) සමග පවත්වාගෙන ගිය අනියම් ප්‍රේම සම්බන්ධයට දැඩි සේ විරෝධය දක්වන ලද බව යි සඳහන් වන්නේ. ඇග්‍රිපීනාගේ වැඩ පිළිවෙළින් අතිශය කෝපයට පත් නීරෝ අධිරාජ්‍යයා විෂ ලබාදීම මඟින් බ්‍රිටැනිකස් ව මරණයට පත් කර ඇති අතර, පිහියකින් ඇන ඇග්‍රිපීනා ව මරණයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන්පසු ව අනාචාරයේ හැසිරුණු බවට අසත්‍ය චෝදනා නගා ඔස්ටේවියාගේ හිස ගසා ඇය ව මරණයට පත් කළ නීරෝ අධිරාජ්‍යයා ඔහු නිසා ගැබ් ගත් පොපියා සබීනා සමග විවාහ වී ඇති අතර, එයින් වසර තුනකට පසු ව ඇය සමග ඇති කර ගත් දබරයක දී දරුණු ලෙස කෝපයට පත් වූ ඔහු, ඇය ව මරණයට පත් කර ඇත්තේ පයින් පහර දීම මඟින්.

(© Classical Numismatic Group, Inc.) නීරෝ අධිරාජ්‍යයා සහ ඇග්‍රිපීනා

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා ද?

ඇග්‍රිපීනාගේ මරණයෙන් පසු ව සංගීතය හැදෑරීම සඳහා යොමු වූ නීරෝ අධිරාජ්‍යයා, පෞද්ගලික සාදවල දී ගීත ගායනා කිරීම පවා සිදු කර තිබෙනවා. ක්‍රි. ව. 64 දී රෝම නගරය දවමින් ගින්නක් පැතිරී ගියේ සංගීතය කෙරෙහි නීරෝ අධිරාජ්‍යයා දැක් වූ ඇල්ම රට වැසියන් අතර ජනප්‍රිය වූ කාලයේ දී යි. දින ගණනාවක් පැවති ගින්න හේතුවෙන් රෝමය සතු දිස්ත්‍රික්ක 3ක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර තවත් දිස්ත්‍රික්ක 7කට දැඩි අලාභ හානි සිදු වී තිබුණා.

(© Hubert Robert) රෝමයේ මහා ගින්න

ගින්න ඇති වන අවස්ථාවේ දී නීරෝ අධිරාජ්‍යයා වාසය කර ඇත්තේ රෝම නගරයේ සිට සැතපුම් 30ක් පමණ ඈතින් පිහිටි ඇන්ටියම් නුවර යි. රෝම නගරය මධ්‍යයේ රන්වන් මැදුර යන අරුතින් ‘Domus Aurea’ නම් අලංකාර මන්දිරයක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කරන ඉඩමක් අත්පත් කරගැනීම සඳහා ඔහු කටයුතු සම්පාදනය කරමින් සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. තමන්ට අවැසි ඉඩම අත්පත් කරගැනීමේ අරමුණෙන් නීරෝ අධිරාජ්‍යයා විසින් රෝමය ගිනි තබන්නට ඇති බව යි රෝම වැසියන්ගේ විශ්වාසය වුණේ. ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක වී රෝමය ගිනි ගනිද්දී එයින් සතුටට පත් වූ නීරෝ අධිරාජ්‍යයා වීණාවක් වැයුවායැ යි කතාවක් නිර්මාණය වන්නට ඇති බව ඉතිහාසඥයින් විශ්වාස කරනවා. නමුත් ක්‍රි. ව. 64 වන විට වීණාව යනුවෙන් සංගීත භාණ්ඩයක් නිෂ්පාදනය වී නොතිබුණු අතර පළමු වරට වීණාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වන්නේ 10 වැනි සියවසේ දී යි.

(© Pinterest) නීරෝ අධිරාජ්‍යයාගේ රන්වන් මැදුරේ පරිගණක සිතුවමක්

ජීවිතයෙන් පලා ගිය දුෂ්ට රජු

කෙසේ වුව ද රෝමයේ ඇති වූ ගින්න පිළිබඳ ව ක්‍රිස්තියානුවන්ට වරද පැට වූ නීරෝ අධිරාජ්‍යයා ඔවුන්ට දැඩි සේ වධ හිංසා පමුණුවා මරණයට පත් කර ඇති අතර, රෝම නගරය මැද ඔහුගේ සොඳුරු මන්දිරය ගොඩනැංවීම සඳහා භාණ්ඩාගාරය සතු සියලු සම්පත් යොදවාගෙන තිබෙනවා. මේ හේතුවෙන් රෝම අධිරාජ්‍යයට අර්ථික වශයෙන් අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදු වූ අතර ඔහුගේ ම හමුදා භටයන් අධිරාජ්‍යයා ව මරණයට පත් කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බව යි වාර්තා වන්නේ. එයට ප්‍රතිචාර ලෙස නීරෝ අධිරාජ්‍යයා සංගීතය හැදෑරීම සඳහා ග්‍රීසිය බලා සංචාරය තිබෙනවා.

(© Henryk Siemiradzki) රෝමයේ ගින්න ඇති කරන ලද බවට චෝදනා නගන ලද ක්‍රිස්තියානුවන් නීරෝ අධිරාජ්‍යයා ඉදිරියේ පණ පිටින් ගිනි තබන අයුරු

සිව් වසරකට පසු ව ක්‍රි.ව. 68 දී නීරෝ අධිරාජ්‍යයා යළිත් රෝමයට පැමිණ ඇති අතර, ඔහුට විරුද්ධ ව ගෝල් දේශයේ ඇති වූ කැරැල්ලට සාර්ථක ව මුහුණ දීමට ඔහුට නොහැකි වෙනවා. දිනෙන් දින ව්‍යාප්ත වූ කැරැල්ලට ප්‍රාදේශීය පාලකයන් මෙන් ම අධිරාජ්‍යයාගේ හමුදා භටයන් ද එක් වී ඇති අතර, රෝම සෙනට් සභාව විසින් නීරෝ අධිරාජ්‍යයා රෝම වැසියන්ගේ සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. තමන්ට පලා යාමට මාර්ගයක් නොමැති බව අවබෝධ කරගත් නීරෝ අධිරාජ්‍යයා සියදිවි නසා ගැනීමට තීරණය කරනවා. ඔහුගේ අවසන් වදන වී ඇත්තේ “මගේ මරණය හේතුවෙන් කොතරම් දක්ෂ කලා ශිල්පියෙක් ලෝකයට අහිමි වෙනවා ද?” යන්න යි.

කවරයේ පින්තූරය: Pinterest

Related Articles