උතුරු ඇමෙරිකාවේ පළමු නගරය : කුහූකියා

ක්‍රිස්තු වර්ෂ 1050 – 1200 අතර කාලයේ දී එවකට පැවති සමාජ පසුබිම තුළ ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටි නගරයක් ලෙස ‘කුහූකියා’ හැඳින්විය හැකි යි. ලන්ඩන් නුවර ඇතුළු තවත් බොහෝමයක් යුරෝපීය නගරයන්ට වඩා විශාල වූ එය වර්ග කිලෝමීටර් දාසයක (ආසන්න වශයෙන් වර්ග සැතපුම් හයක) භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පැවතුණු අතර එය අඩු තරමේ පස් ගොඩැලි 120 කින් වට වී පවතින්නට ඇති බව සැලකෙනවා. එසේ ම ‘කුහූකියා’ නගරය, 10,000 – 20,000 ක පමණ ජනගහනයකට සෙවණ සපයා ඇති බව සඳහන්.

(©Local Ozarkian Photography)
වර්තමානයේ දී ශාන්ත ලුවිස් නගරය

මිසිසිපි ගං ඉවුර අද්දර වත්මන් ශාන්ත ලුවිස් නගරය නගරය පිහිටා ඇති ප්‍රදේශයේ පැවති මෙක්සිකෝවට උතුරෙන් පිහිටි විශාලත ම පූර්ව-කොළොම්බියානු (ක්‍රිස්තු වර්ෂ 1492 දී ක්‍රිස්ටෝපර් කොළොම්බස් උතුරු ඇමෙරිකාවට පැමිණීමට පෙර කාල සීමාව) පුරවරය ලෙස ‘කුහූකියා’ සැලකෙනවා. එහි වැසියන් ලේඛන සාම්ප්‍රදායක් අනුගමනය නොකළ බැවින් පර්යේෂකයන්ට ‘කුහූකියා’ පිළිබඳ ව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සම්පූර්ණයෙන් ම පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වීමට සිදු වී තිබෙනවා. ‘කුහූකියා’ යන නාමය ලබා දී ඇත්තේ 17 වැනි සියවසේ දී අදාළ ප්‍රදේශයේ වාසය කළ ආදිවාසීන් විසින්.

පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ‘කුහූකියා’ හි වැසියන් අතර ‘චන්කී’ යනුවෙන් හඳුන්ව ක්‍රීඩාවක් ජනප්‍රිය ව පැවතී ඇති අතර ඔවුන් කැෆේන් අඩංගු පාන වර්ග භාවිතා කළ බවට ද සාක්ෂි පවතිනවා. එසේ ම අදාළ ප්‍රදේශයෙන් විසිතුරු රූප සහිත ශෛලමය පුවරු සහ ආභරණ සහ ශීර්ෂ පලඳනා වැනි විචිත්‍ර තඹ නිර්මාණ හමු වී තිබෙනවා.

(© Herb Roe)
‘කුහූකියා’ හි විචිත්‍ර තඹ නිර්මාණ

එසේ ම මෑත කාලීන ව සිදු කරන ලද පර්යේෂණ මගින් අනාවරණය වී ඇත්තේ ‘කුහූකියා’ හි වැසියන්, පංච මහා විල් සහ ගල්ෆ් වෙරළ තීරය (මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත එක්සත් ජනපදයට අයත් ප්‍රදේශය​) වැනි ඈත ප්‍රදේශයන් හි සිට පැමිණි සංක්‍රමණිකයන් බව යි. එසේ ම ක්‍රිස්තු වර්ෂ 1100 දී පමණ ‘කුහූකියා’ නුවරට දකුණු දෙසින් පිහිටි ‘වොෂවුසන්’ ලෙස හඳුන්වන ප්‍රදේශයේ වාසය කළ වැසියන් ද ‘කුහූකියා’ නුවරට සංක්‍රමණය වන්නට ඇති බව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.

උතුරු ඇමෙරිකාවේ පළමු නගරය ලෙස ‘කුහූකියා’ නුවර දියුණුවට පත් වීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් ලෙස උණුසුම් දේශගුණික තත්ත්වය හැඳින්වීමේ වරදක් නොවෙයි. ටිමති පවුකෙටා සහ සූසන් ඕල්ට් යන පුරාවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ‘කුහූකියා’ නුවරට සෞභාග්‍ය ළඟා වූ කාල සීමාව තුළ දී මහ පොළොව මත අසාමාන්‍ය ලෙස උණුසුම් උෂ්ණත්වයක් පැවතී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවේ මධ්‍යම බටහිර පෙදෙසට ලැබෙන වර්ෂාපතනය ඉහළ ගොස් ඇති බව යි. මෙය බඩ ඉරිඟු අස්වැන්න ඉහළ නැංවීමට දායක වී තිබෙනවා.

© Cahokia Mounds State Historic Site

නමුත් සියවසකට පසු ව ‘කුහූකියා’ නුවර ක්‍රමයෙන් පිරිහීම ඇරඹුණු අතර පසු කාලීන ව ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ක්‍රිස්තු වර්ෂ 1400 වන විට එය  සම්පූර්ණයෙන් ම ජරාවාස වී ගියා. 19 – 20 වැනි සියවසේ දී ඇති වූ සංවර්ධන කටයුතු හේතුවෙන් ‘කුහූකියා’ නුවර නටඹුන් ශාන්ත ලුවිස් නගරයේ උස් ගොඩනැගිලි සහ මහාමාර්ග පතුලේ වැළලී ගිය අතර පසු ගිය දශක කිහිපයේ දී යළිත් වාරයක් ‘කුහූකියා’ නුවර ඓතිහාසික බිම්කඩක් ලෙස නැගී සිටියා.

යතිවරයන්ගේ ගොඩැල්ල

‘කුහූකියා’ නුවර පැවති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන කදිම උදාහරණයක් ලෙස මීටර් 30 ක උසකින් යුතු ‘යතිවරයන්ගේ ගොඩැල්ල’ හැඳින්විය හැකි යි. ට්‍රැපිස්ට් යතිවරුන් (ක්‍රිස්තු වර්ෂ 1664 දී පිහිටු වන ලද සිස්ටර්ෂියන් නම් නිකායකට අයත් වූ පූජකරුවන්) හේතුවෙන් නම් කරන ලද එය අක්කර 17 ක භූමි භාගයක් ආවරණය කරනවා.

(© Don Sniegowski)
වර්තමානයේ දී ‘යතිවරයන්ගේ ගොඩැල්ල’

‘යතිවරයන්ගේ ගොඩැල්ල’ සතු ව මළු (terrace) 4 ක් පවතින අතර පුරාවිද්‍යාඥයින් විසින් දැවයෙන් නිම වන ලද ආගමික ගොඩනැගිල්ලක් ගොඩැල්ල මතු පිට පැවති බව පෙන්නුම් කරන දැවැන්ත ආධාරක කුලුනු කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙවැනි එක් කුලුනක් මීටර් 31 ක පමණ උසකින් යුතු වන බව සඳහන්.

‘යතිවරයන්ගේ ගොඩැල්ල’, ප්‍රධාන නගර චතුරස්‍රය සහ තවත් කුඩා ගොඩැලි කිහිපයක් කිලෝමීටර් 3.2 ක පමණ දිගකින් යුතු දැවමය ගරාදි වැටකින් වට කර ඇති අතර එය නිම වීම සඳහා දැව ස්ථම්භ 20,000 ක් යොදා ගන්නට ඇති බවට සැලකෙනවා.

දැවමය ඓතිහාසික ස්මාරකය

ක්‍රිස්තු වර්ෂ 900 – 1100 අතර කාලයේ දී විටින් විට රතු දේවදාර දැව ස්ථම්භ භාවිතා කරමින් නිර්මාණය කර ඇති ගණනින් පහක් වන වෘත්ත සමූහයක්, යතිවරයන්ගේ ගොඩැල්ලට බටහිර දෙසින් දැක ගැනීමට ලැබෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙය සූර්ය නිවෘත්තිය, සූර්ය විෂුවය සහ සංස්කෘතික උත්සව වැනි ‘කුහූකියා’ නුවර වැසියන්ට වැදගත් වූ අංග දැක්වෙන දින දසුනක් ලෙස භාවිතා කරන්නට ඇති බව යි. එසේ ම දැව වෘත්තය මධ්‍යයේ පූජකවරුන්ට නැගී සිටිය හැකි වේදිකාවක් ද දැක ගත හැකි යි.

(© Brad Tutterow)
‘කුහූකියා’ හි දැවමය ඓතිහාසික ස්මාරකයේ කොටසක්

පස් ගොඩැලි මත බිලි පූජා

‘කුහූකියා’ නුවර සතු වන පස් ගොඩැලි අතරින් 72 වැනි පස් ගොඩැල්ල ලෙස නම් කර ඇති උසින් මීටර් 10 ක් පමණ වන ආකෘතිය, යතිවරුන්ගේ ගොඩැල්ලට සැතපුම් භාගයක් පමණ දකුණු දෙසින් පිහිටා ඇති අතර එය බිලි දුන් මිනිසුන් 272 කගේ සිරුරු කොටස් දරාගෙන සිටිනවා. බොහෝමයක් පුද්ගලයින් බිල්ලට දී ඇත්තේ ගොඩැල්ල මත එක පෙළට සිටුවා ඔවුන්ගේ සිරුරට මුගුරකින් පහර දීම මගින්.

එසේ ම මෙහි දී වයස අවුරුදු 18 – 23 දක්වා වයසේ පසු වූ මන්ද පෝෂණයෙන් පෙළුණු කාන්තාවන් 52 කගේ ශරීර කොටස් ද දැක ගැනීමට ලැබෙනවා. මෙසේ පුද්ගලයින් බිලි දී ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න අනාවරණය කර ගැනීමට පුරා විද්‍යාඥයින් තවමත් සමත් වී නැහැ.

ගල් කැබලි භාවිතා කරමින් ක්‍රීඩා කරන ‘චන්කී’

© George Catlin

‘කුහූකියා’ නුවර වැසියන් විවිධාකාර කලා ශිල්ප සහ සංස්කෘතික අංග පැවතී ඇති අතර ඒ අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස ගල් කැබලි භාවිතා කරමින් ක්‍රීඩා කරන ‘චන්කී’ නම් ක්‍රීඩාව හැඳින්විය හැකි යි. ‘චන්කී පාෂාණය’ ලෙස නම් කරන ලද ශෛලමය තැටියක් සහ දැවැන්ත යෂ්ටි යොදාගෙන ක්‍රීඩා කරන ලද මෙහි දී භාවිත වූ රීතීන් ගැන නිශ්චිත ව යමක් පැවසිය නොහැකි බව පුරාවිද්‍යාඥයින් පවසනවා.

පුරාවිද්‍යාඥ ටිමති පවුකෙටා සඳහන් කරන්නේ ප්‍රධාන නගර චතුරස්‍රයේ දී දහසක් පමණ වන නගර වැසියන් ඉදිරියේ ‘චන්කී’ කණ්ඩායම් ද්විත්වයක් ඔට්ටුවට තරඟ වැදෙන්නට ඇති බවට සාක්ෂි පවතින බව යි.

කවරයේ පින්තූරය : © Alamy

Related Articles