අතීතයේ ලංකාව පාලනය කළ රජවරුන් විසින් නිමැවූ විස්මිත නිර්මාණ රැසක් රජරට දී හමුවනවා. එලෙස හමුවන නිර්මාණ අතුරින් ස්තූපවලට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. එහි දී රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය, ථූපාරාමය, මිරිසවැටිය, ලංකාරාමය, රන්කොත් වෙහෙර, සහ කිරි වෙහෙර වැනි ස්තූප බොහෝ දෙනෙකු වන්දනාමාන කරනවා. නමුත්, රජරට බිමේ පිහිටා තිබෙන ඇතැම් ස්තූප පිළිබඳව සංචාරක අවධානය යොමුවන්නේ නැහැ. එම නිසාම මෙම ලිපිය ලියැවෙන්නේ රජරට බිමේ පිහිටා තිබෙන අප්‍රකට ස්තූප කිහිපයක් පිළිබඳව යි.

දක්ෂිණ ස්තූපය 

මුල් යුගයේ එළාර සොහොන ලෙසින් හඳුන්වනු ලැබූ මෙම ස්තූපය දක්ෂිණ ස්තූපය බව අනාවරණය කරගත්තේ 1946 වසරේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සිදුකළ කැණීමකින් පසුව යි. එහි දී හමුවුණු ශිලා ලිපියක සඳහන්ව තිබුණු ආකාරයට මෙය ගොඩනගා ඇත්තේ වළගම්බා රජුගේ සෙනෙවියෙකු වුණු උත්තිය යි. එසේම, මෙහි කැණීම් කිරීමේ දී හමුවුණු අඟුරු තට්ටුවේ කාල නිර්ණය කිරීමෙන් පසුව මෙය දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය බවට මතයක් ඉදිරිපත් වුණා. එසේම මුල් යුගයේ රජු ආදාහනය කිරීමෙන් පසුව ගොඩනැගූ කුඩා දාගැබ පසුව විශාල කර සෑදූ බව නිගමනය කළ හැකියි. අඩි 13ක ඝනකමින් යුක්ත වර්තමාන ස්තූපයේ අත්තිවාරම ගඩොලින් නිම කර තිබෙනවා. අඩි 578ක විෂ්කම්භයකින් යුක්ත මෙම දාගැබ අක්කර 3 1/4ක භූමි භාගයක් පුරා විසිරී තිබෙනවා. පසු යුගයේ දී කණිට්ඨතිස්ස, වෝහාරිකතිස්ස, ගෝඨාභය වැනි රජවරුන් වැඩි දියුණු කළ මෙම ස්තූපයේ නටබුන් අදටත් සුරක්ෂිතව පවතිනවා.  

දක්ෂිණ ස්තූපය (Buddhist Vision)

නඛා වෙහෙර 

කුට්ටම් පොකුණ හරහා ගල් පාලම දෙසට යන මාර්ගයේ ගමන් කිරීමේ දී දකුණු දෙසට අතුරු මාර්ගයක් හමුවනවා. එම මාර්ගය ඔස්සේ ටික දුරක් ගිය විට නඛා වෙහෙර නම් ස්තූපය හමුවනවා. ලංකාව තුළ හමුවන විරල ස්තූප හැඩයක් වන චතුරස්‍රාකාර හැඩයෙන් නිර්මාණය කර ඇති මෙම ස්තූපය, මහසෙන් රජතුමා නිර්මාණය කළ බව වංශ කතාවල සඳහන් වනවා. මෙම වෙහෙරට නඛා වෙහෙර යන නම ලැබුණේ මෙහි බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර ඇති නිසා බව විශ්වාස කරනවා. මෙම ස්තූපය පිහිටා තිබෙන ප්‍රදේශයේ වෙනත් නටබුන් දක්නට නොමැති නිසා මෙය බොහෝ සංචාරකයන්ට මඟහැරී යනවා.

නඛා වෙහෙර (Nishan Weerasooriya-Amazing Lanka)

කුජ්ජතිස්ස පබ්බත විහාරය 

රුවන්වැලි සෑය දෙසට ගමන් කරන විට චතුරස්‍රාකාර වේදිකාවක් මත ඉදිකළ කුඩා ස්තූපයක් හමුවනවා. තවම අනන්‍යතාවය හරිහැටි හඳුනාගෙන නොමැති මෙම ස්තූපය පිළිබඳව ප්‍රධාන මත දෙකක් තිබෙනවා. ඉන් පළමු මතය වන්නේ, මෙම ප්‍රදේශයේ විසූ ඉතාමත් ඉහළ මානසික බලයකින් යුක්ත වුණු කුජ්ජතිස්ස නම් හිමි මෙය ඉදිකළ බව යි. අනිත් මතය වන්නේ, මෙය මියගිය එළාර රජුගේ සොහොන බව යි. නමුත් මෙම මත තහවුරු කරගැනීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමුවී නැහැ. 

කුජ්ජතිස්ස පබ්බත විහාරය (aniwa.lk)

ඇත් වෙහෙර 

මිහින්තලේ නාග පොකුණේ සිට පියගැට 600ක් පමණ ඉහළට ගිය විට හමුවන ඇත් වෙහෙර එතරම් විශාල දාගැබක් නොවේ. කාලයක් තිස්සේ වල් වැදී තිබිය දී නිදන් හොරුන් විසින් විනාශ කර තිබුණු මෙම ස්තූපය ප්‍රතිසංස්කරණය කළේ 1964 වසරේ දී යි. අඩි 27ක විෂ්කම්භයකින් යුත් මෙම ස්තූපය පිහිටා තිබෙන ඇත් වෙහෙර කන්ද මුදුනට නැග බැලූ විට මුළු අනුරාධපුර ප්‍රදේශයම රමණීය ආකාරයට දිස්වනවා. එම නිසාම ඔබ මිහින්තලාව නැරඹීමට යනවා නම් ඇත් වෙහෙර නැරඹීමට අමතක කරන්න එපා.

ඇත් වෙහෙර (පුරාණ අනුරාධපුරය- මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න)

ඉඳිකටු සෑය 

මිහින්තලේ පූජා භූමිය තුළ පිහිටා තිබෙන ඉඳිකටු සෑයේ කැණීම් ආරම්භ කර තිබෙන්නේ 1923 වසරේ දී යි. එහි දී හමුවුණු ලිපි ඇතුළත් කුඩා තඹ තහඩුවලින් මෙය ක්‍රි.ව. 8-9 සියවස්වල දී ඉදිකළ නිර්මාණයක් බවට නිගමනය කර තිබෙනවා. එසේම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව එම යුගයේ ලක්දිව විසූ මහායානිකයන් මෙය ඉදිකර තිබෙනවා. ඉදිකළ රජතුමා නිශ්චිතවම හඳුනාගෙන නොමැති මෙම ස්තූපය, මිහින්තලය අවට වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ චීවර මසා ගැනීම සඳහා යොදාගත් ඉඳිකටු තැන්පත් කිරීම සඳහා නිර්මාණය කළ එකක් බවට ද මතයක් පවතිනවා. 

 ඉඳිකටු සෑය (Amazing Lanka)

පබළු වෙහෙර 

පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වුණු රූපවතී දේවිය විසින් මෙම ස්තූපය ඉදිකළ බව වංශ කතාවල සඳහන් වනවා. මෙම ස්තූපය පිහිටි ප්‍රදේශයෙන් වැඩි වශයෙන් පබළු හමුවීමත්, ස්තූප ගර්භය පබළුවක හැඩය ගැනීමත් නිසා මෙය පබළු වෙහෙර යන නමින් හඳුන්වනවා. ගඩොලින් සහ හුණු බදාමෙන් බැඳ ඇති මේ ස්තූපයේ අංගනය වටා ප්‍රතිමාඝර 9ක් ඉදිකර තිබෙනවා. එම ප්‍රතිමාඝරවල දී හිඳි පිළිම, හිටි පිළිම සහ සැතපෙන පිළිම දක්නට ලැබෙනවා. 

පබළු වෙහෙර (Rajarataurumaya.blogspot.com)

මැණික් වෙහෙර 

පොළොන්නරුවේ පිහිටා තිබෙන මැණික් වෙහෙර පුදබිමේ ස්තූපයක්, පිළිමගෙයක් සහ බෝධිඝරයක් දක්නට ලැබෙනවා. මෙම පුදබිමේ තිබෙන නිර්මාණ අතුරින් දාගැබට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. විෂ්කම්භය අඩි 30ක් පමණ වන මෙම කුඩා දාගැබ අනිකුත් දාගැබ්වලට වඩා වෙනස් ලක්ෂණ පෙන්නුම් කරයි. එහි දී දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, කළුගලින් නිර්මාණය කර ඇති පියගැට පෙළකින් ළඟා විය හැකි හතරැස් මළුවක ස්තූපය ඉදිකර තිබීම යි. 

වේදිකාවක් මත ඇති මැණික් වෙහෙර (Mithuru.lk)

කවරයේ ඡායාරූපය- පබළු වෙහෙරේ ඡායාරූපයක් (prabathfunny.blogspot.com)

මූලාශ්‍රයයන්: 

පුරාණ අනුරාධපුරය- මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න 

මධ්‍යකාලීන පොළොන්නරුව- මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න