Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේසේකර පරපුරයි: අටදාගෙවත්ත වලව්වයි

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සඳහන් වන සම්භාවනීය පෙළපත් අතර ‘ඔබේසේකර’ පරම්පරාව ඉතා වැදගත් එකකි. මීට දශක කිහිපයකට පෙර ඔබේසේකර පෙළපතේ සාමාජිකයන් ලාංකීය දේශපාලනයේ ප්‍රබල චරිත වූ අතර වංශවත් පවුල් අතර පැවති අවාහ විවාහ සබඳතා නිසා ඔබේසේකර පරම්පරාව මෙරට අනෙකුත් සම්භාවනීය පවුල්වල ද ඥාතීන් බවට පත් විය. එම ඉතිහාසය සලකා බලන විය බණ්ඩාරනායක සහ ඔබේසේකර පෙළපත් අතර ඇති සමීප ඥාති සබඳතාව සුවිශේෂී වේ.

බණ්ඩාරනායක පරම්පරාව සියවස් ගණනාවක් තිස්සේ ජීවත් වූයේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් නිට්ටඹුව, හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක වලව්වේ වුවත්, ඔබේසේකර පරපුර බස්නාහිර පළාතට ආගමනය වූයේ මෑත කාලයේදී ය. ඔබේසේකර පරපුරේ මූලාරම්භය සිදුව ඇත්තේ ගාල්ල කතළුව ප්‍රදේශයේ වන අතර මෙම ලිපියෙන් කියැවෙන්නේ මේ වංශවත් පරපුර සහ ඔවුන්ගේ මහගෙදර වූ ගාල්ල, කතළුව පිහිටි අටදාගෙවත්ත වලව්ව පිළිබඳවයි.

වලව්වේ ඉදිරිපස පෙනුම-gites.fr

ඔබේසේකර පරපුරේ ආරම්භය

ඔබේසේකර පෙළපතේ ආරම්භය පිළිබඳව සලකා බැලීමේ දී අනාවරණය වන්නේ ඔවුන් පෘතුගාලයේ රාජකීය පවුලට අයත් අයකුගෙන් පැවැත එන බවයි. මෙම පරපුරේ ආදිතමයා වූ ඕවින් ෆර්ඩිනෑන්ඩස් නම් තැනැත්තා පෘතුගාලයේ රාජකීය පවුලේ සාමාජිකයෙකු වූ අතර ඔහු  1630 දී පමණ මෙරටට පැමිණ තිබෙනවා. පසුකාලීනව ඔහු රාජකීය පෘතුගාල නාවික හමුදාවට එක් වූ අතර ඔහුට පැවැරුණේ දකුණු පළාතේ, විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශවල පාලන කටයුතු පිළිබඳ සොයාබැලීමයි.

කාලයක් තිස්සේ මෙරට සේවය කළ ඔහු තුළ ටිකෙන් ටික ලංකාවේ ස්වභාව සෞන්දර්ය සහ පිහිටීම පිළිබඳව කැමැත්තක් ඇති වන අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔහු නැවැතත් සිය මව්රටට නොගොස් මෙරට පදිංචි වීමට තීරණය කළේය.

වලව්ව ඉදිකිරීම

ඒ අනුව ගාල්ල කතළුව ප්‍රදේශයේ පිහිටි අක්කර 125කට ආසන්න විශාල වපසරියකින් යුතු ඉඩමක නිවසක් ඉදි කරන අතර එම ඉඩමේ පොල් ගස් අට දහසකට ආසන්න ප්‍රමාණයක් ද වගා කළ බව ද මූලාශ්‍රයන්හි සඳහන් වේ. එකල ප්‍රභූ පවුල්වලට අයත් නිවාස හැඳින්වූයේ වලව්ව යන නමින් නිසා ෆර්ඩිනෑන්ඩස් විසින් ඉදි කරන ලද නිවස ද වලව්වක් ලෙස ප්‍රසිද්ධ විය. එපමණක් නොව ඔහු පොල්ගස් අටදහසකට ආසන්න ප්‍රමාණයක් වගා කළ ඉඩමේ එම නිවස පිහිටීම නිසා ගම්වැසියන් විසින් එය හැඳින්වූයේ ‘අටදාගෙවත්ත, එසේත් නැතිනම් ‘අටදාහෙවත්ත’ යන නමිනි.

වලව්ව පිහිටි ඉඩම (අටදාගෙවත්ත)-readytotrip.com

‘ඔබේසේකර’ යන නම ලැබුණු අයුරු

ඒ අයුරින් කතළුවේ පදිංචි වීමට තීරණය කළ ෆර්ඩිනෑන්ඩස්ට සිය පෘතුගීසි නාමය වෙනස් කර සිංහල නමක් භාවිත කිරීමට අවශ්‍ය විය. ඒ අනුව එවකට දකුණු පළාතේ සුප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක වූ කොරතොට ධම්මාරාම නාහිමියන් බැහැ දැකීමට ගිය ෆර්ඩිනෑන්ඩස් සිය අවශ්‍යතාව උන්වහන්සේට දැනුම් දුන්නේ ය. ‘ඔබේ නායකයා’ යන අදහස සහිත නමක් ලබාගැනීමට අවශ්‍ය වූ ෆර්ඩිනෑන්ඩස් ඒ බව ධම්මාරාම හිමියන්ට දැනුම් දී තිබේ. ඒ අනුව ෆර්ඩිනෑන්ඩස්ගේ පසුබිම සලකා බැලූ උන්වහන්සේ ‘ඔබේ නායක’ යන අර්ථය සහිත ‘ඔබේසේකර’ යන නම ඔහුට සුදුසු බව යෝජනා කළේය.

තවත් ජනප්‍රවාදයක්

තවත් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ මූණමලේ ප්‍රදේශයේ සිංහල කාන්තාවක සමඟ විවාහ වූ ෆර්ඩිනෑන්ඩස් නම් තැනැත්තෙකු පසුකාලීනව ‘අටදාහෙවත්ත’ දැක එය මිල දී ගෙන ඇති බවයි. ඔහු ඉන් ටික කලකට පසු ෆර්ඩිනෑන්ඩස් යන නම වෙනුවට ඔබේසේකර ලෙස සිය නම වෙනස් කරගත් බවත් කියැවේ.

බණ්ඩාරනායක පරපුර සමඟ විවාහ සබඳතා ඇති වීම

ඔබේසේකර පරපුර කාලයත් සමඟ මෙරට ප්‍රධාන ප්‍රභූ පවුලක් බවට පත් වූ අතර ඒ අනුව මෙරට අනෙකුත්  ප්‍රභූ පවුල් සමග ආවාහ – විවාහ සබඳතා ද ඇති විය. එලෙස විවාහ සබඳතා ඇති කර ගත් එක් පවුලක් ලෙස බණ්ඩාරනායක පරපුර හැඳින්විය හැකි අතර, මෙම පවුල් දෙක අතර ආරම්භ වූ විවාහ සබඳතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැතිණි.

ඔබේසේකර පරපුරේ ජේම්ස් පීටර් ඔ‌බේසේකර මහමුදලි (1), නිට්ටඹුව පිහිටි බටදොළ වලව්වේ පදිංචි වී සිටි ක්‍රිස්ටෝපර් හෙන්රිකස් ඩයස් බණ්ඩාරනායකගේ දියණිය වූ කොර්නේලියා හෙන්රියෙටා ඩයස් බණ්ඩාරනායක සමඟ විවාහ වූ අතර ඇය සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිගේ සහෝදරිය මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ගේ නැන්දණිය වේ.

ජේම්ස් සහ කොර්නේලියා යුවළගේ පුත්‍රයා වූ ජේම්ස් පීටර් ඔ‌බේසේකර (2), මෙරට බ්‍රිතාන්‍ය පාලනය පැවැති සමයේ අවසාන මහ මුදලිවරයා වූ අතර ඔහුගේ එකම පුතු වූ දේශමාන්‍ය ජේම්ස් පීටර් ඔ‌බේසේකර (3), සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක පිහිටුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් ද විය.

ඔ‌බේසේකර පවුල මෑත සියවසේ ශ්‍රි ලාංකික දේශපාලනයට ප්‍රධාන ලෙසම සම්බන්ධ වූ පවුලක් වූ අතර කතළුව පිහිටි ඔබේසේකර වලව්වේ විසූ ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔබේසේකර 1900 වසරේ දී ව්‍යවස්ථාදායක සභාවට සිංහල ජනතාව නියෝජනය කරමින් තේරී පත් විය. එතැන් සිට 1917 වසර දක්වාම ඔහු එම තනතුර හෙබවූ අතර ඔහු විවාහ වී සිටි එස්ලින් ද මරියා අල්විස් මැතිනියගේ පියා එකල සුප්‍රසිද්ධ වියතකු වූ සර් ජේම්ස් ද අල්විස්ය.

ඔබේසේකර පරපුරේ සුවිශේෂී චරිතයක් වූ ඩේසි ඇසිලින් ඔබේසේකර ආර්‍යාව

ක්‍රිස්ටෝපර් සහ එස්ලින් යුවළගේ දියණිය ලෙස 1879 වසරේ දී උපත ලැබූ ඩේසි ඇසිලින් ඔබේසේකර, මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක සමඟ විවාහ වීමෙන් පසු ඔබේසේකර පවුල බණ්ඩාරනායක පවුල සමඟ පැවැති සබඳතා තව තවත් වර්ධනය විය. ඇය එකල ප්‍රකට සමාජ ක්‍රියාකාරිණියක් වූ අතර 1927 වසරේ දෙසැම්බර් 7 වැනිදා කොළඹ වික්ටෝරියා උද්‍යානය (වර්තමාන විහාරමහා දේවි උද්‍යානය) කෙළවරේ පිහිටි කාන්තා මිත්‍ර සංගම් ශාලාවේ දී  කාන්තාවන්ට ජන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ කාන්තා ඡන්ද සමිතියේ සභාපතිනිය ලෙස ද තේරී පත් විය.

ඩේසි ඇසිලින් ඔබේසේකර සහ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමා-swrdbandaranaike.lk

කාන්තාවට ජන්ද බලය ලබා දීමට විරුද්ධව යම් යම් කණ්ඩායම් විරුද්ධ වූ අවස්ථාවේ දී ඔවුන්ට විරුද්ධව ක්‍රියා කොට එම අයිතිය ලබා දුන්නේ ඇයගේ නායකත්වයෙනි. පසුකාලීනව සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ ඩේසි ඇසිලින් ආර්‍යාවගේ පුත්‍රයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අතර ඔහු වරෙක සඳහන් කර තිබුණේ සිය මවගෙන් ලද පන්නරය ඔහුගේ දේශපාලන ගමනට මහත් රුකුලක් වූ බවයි.

උඩු ගුවනේ සිට වලව්ව පෙනෙන අයුරු-booking.com

ඩේසි ඇසිලින් ඔ‌බේසේකර ආර්‍යාවගේ එක කුස උපන් සහෝදරිය වූ ලිලියන් ඔගස්ටා ඔ‌බේසේකර, වැලිගම් කෝරළයේ මහමුදලි ලෙස එවකට කටයුතු කළ සයිමන් විලියම් ඉලංගකෝන් සමඟ විවාහ වූ අතර එම දෙපළගේ පුත්‍රයා වූ පානි ඉලංගකෝන් මහතා ද මෙරට දේශපාලනයෙහි කැපී පෙනෙන චරිතයක් විය. සිය ඥාති සොහොයුරා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක 1951 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන අවස්ථාවේදී ඉලංගකෝන් මහතා ද ඊට ශක්තික් වෙමින් එහි ආරම්භක සාමාජිකයකු බවට පත් විය.

 

වලව්වේ මෑතකාලීන ඡායාරූපයක්- www.gites.fr

වර්තමාන තත්ත්වය

කතළුව පිහිටි ඔබේසේකර වලව්ව මේ වන විට වසර 385ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන අතර එය එක්තරා කාලයකදී තල්පේ පත්තුවේ උසාවි ගොඩනැගිල්ලක් ලෙස ද භාවිත කර තිබේ. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනය හේතුවෙන් එහි තාප්පයකට හානි වූ අතර පසුකාලීනව එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළේය. 2016 වසරේ දී එහි හිමිකරුවන් වලව්ව විකුණා දැමූ අතර මේ වන විට එහි සංචාරක හෝටලයක් පවත්වාගෙන යයි.

කතළුවේ පිහිටි ඔබේසේකර වලව්වට අමතරව එම පරපුරේ සාමාජිකයින් විසූ තවත් වලව් කිහිපයක් බස්නාහිර පළාතේ ද පිහිටා තිබෙයි.  

Cover Photo- කතළුවේ පිහිටි ඔබේසේකර වලව්ව (www.gites.fr)

මූලාශ්‍ර-

www.swrdbandaranaike.lk

www.sirimavobandaranaike.lk

www.worldgenweb.org

www.myheritage.com

ගම්වැසියන්ගෙන් ලබාගත් තොරතුරු

 

Related Articles