ඉස්ලාමික අධිරාජ්‍යයේ හමුදා ඩමස්කස් නගරය අල්ලා ගැනීම

ක්‍රි.ව​. 632 දී මුහම්මද් නබිතුමා මිය යන විට ඉස්ලාම් ලබ්ධිකයන් අරාබි අර්ධද්වීපය තුළ තම බලය පතුරවා තිබුණා. ඔහුගේ මරණින් පසු ඔහුගේ ප්‍රධාන ම අනුගාමිකයකු වූ අබු බකර් පළමු කලීෆා (නබිතුමාගෙ අනුප්‍රාප්තිකයා) බවට පත් වූ අතර ඔහු යටතේ රශිදුන් කාලිෆේටය බිහි වුණා​. මෙය ඉස්ලාමික අධිරාජ්‍යයේ ව්‍යාප්තියේ වැදගත් පියවරක් ලෙස සැළකිය හැකියි.

මේ වනවිට අරාබියට උතුරින් වුණේ පර්සියානු සැසනිඩ් අධිරාජ්‍යයට සහ බයිසන්තියන් නොහොත් නැගෙනහිර රෝම අධිරාජ්‍යයට අයත් ප්‍රදේශයන්. මෙම අධිරාජ්‍යයන් දෙක ම 602 සිට 627 දක්වා ඇදුණ විශාල යුද්ධයකින් පසුව හෙම්බත්වී සිටියා. අලුතින් එන ආක්‍රමණිකයකුට මුහුණ දීමට ඒ දෙපිරිසම සූදානමින් සිටියේ නැහැ.

ඩමස්කස් නගරය කරා ඉස්ලාමීය හමුදා පැමිණි මග​

ක්‍රි.ව​. 633 දී ඉස්ලාමීය හමුදා නායක කාලිඩ් ඉබන් අල් වාලිඩ් යටතේ වූ 18,000 ක හමුදාවක් මෙසපොතේමියාවට කඩා වැදුණා. එවකට එම ප්‍රදේශය පාලනය කළේ පර්සියානුවන් විසින්. ඉස්ලාමීය හමුදා ප්‍රධාන සටන් කිහිපයක් ම ජයගෙන ජූලි මාසය වනවිට මෙසපොතේමියාව මුළුමණින්ම පාහේ තම පාලනය යටතට ගත්තා.

634 වසරේ ජූලි මාසයේදී කාලිඩ් ඉබන් අල් වාලිඩ් මතුවුණේ බයිසන්තියම් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශවලින්. වර්තමාන ඊශ්‍රායලයට අයත් ප්‍රදේශයකදී ජූලි හෝ අගෝස්තු සමයේ සිදු වූ අජ්නදයින් සටනේදී ඉස්ලාමීය හමුදා බයිසන්තියානුවන්ව පරාජයට පත් කළා. අගෝස්තු මාසයේ දෙවන අර්ධය එළඹෙද්දී ඔවුන් ඩමස්කස් නගරය අසළට පැමිණියා.

ඩමස්කස් වටලෑම​

ඩමස්කස් නගරය කරා පැමිණෙන තෙක් කාලිඩ් ඉබන් අල් වාලිඩ්ගේ හමුදා බයිසන්ටියානු අධිරාජයට අයත් කිසිදු ප්‍රධාන නගරයක් අල්ලාගෙන තිබුණේ නැහැ. නගර ප්‍රාකාර බිඳීමට අවශ්‍ය අවි ආයුධ ඇති තරම් ඔවුන් සතුව තිබුණේ ද නැහැ. එහෙයින් නිශ්ඵල ලෙස නගර ප්‍රාකාර කරා පහර දීම විනාශයට අත වැනීමක් බව අල් වාලිඩ් දැන සිටියා.

ඩමස්කස් වටලෑම (Wikipedia)

ඔහු ගත් පියවර වුණේ නගරය වටලෑමයි. නගරය වටලා, එයට එන සැපයුම් මාර්ග කපා දමා, එය හාමත් කොට යටත් කිරීම ඔහුගේ සැලසුම වුණා. යම් හෙයකින් නගරය ගලවා ගැනීම සඳහා පිටතින් හමුදාවක් පැමිණියහොත් ඔවුනට විවෘත භූමියේදී පහර දී පරාජය කිරීමට තමන්ට හැකි වේය යනුවෙන් අල් වාලිඩ් විශ්වාස කළා.

මෙකල ඩමස්කස් නගරයේ නගර ද්වාර හයක් තිබුණා. මේවාට ඉතා හොඳින් රැකවල් ලා තිබුණ අතර ඒවාට මුහුණ ලමින් ඉස්ලාමීය අධිරාජ්‍ය හමුදා කඳවුරු බැඳගත්තා. ඩමස්කස් නගරය වටලනු ලැබුවේ ක්‍රි. ව​. 634 අගෝස්තු 21 වනදායි. මෙකල ඩමස්කස් නගරයේ හමුදා අණ දෙන්නා වූයේ බයිසන්ටියමේ හෙරාක්ලියස් අධිරාජයාගේ බෑණා වූ තෝමස් නමැති සෙන්පතියා යි.

අමතර හමුදා පැමිණේ

ඩමස්කසය වටලනු ලැබූ බව බයිසන්ටියානු අධිරාජයාට දැනගන්නට ලැබුණ විට ඔහු නගරය නිදහස් කරගැනීම සඳහා හමුදාවක් පිටත් කර එවීමට කටයුතු කළා. නමුත් එම හමුදාව නගරය කරා පැමිණීමට පෙර ඒ පිළිබඳව කාලිඩ් අල් වාලිඩ්ට චරපුරුෂයන් මගින් දැනගන්නට ලැබුණා. මේ අනුව කාලිඩ් එම හමුදාව නගරය කරා පැමිණීමට පෙර එය හමුවී පරාජය කිරීම සඳහා 5,000 ක පමණ සේනාංකයක් යැවීමට කටයුතු කළා. පසුව එම සේනාංකය ප්‍රමාණවත් නැතැයි හැඟී ගිය හෙයින් තමා විසින් ම මෙහෙයවූ තවත් සේනාංකයක් රැගෙන ඔහු පිටත් වුණා.

මේ අවස්ථාවේ ඉස්ලාමීය හමුදා සිටියේ තීරණාත්මක තත්ත්වයකයි. ඩමස්කසය දෙසින් එන හමුදාව විසින් ද ඩමස්කස් නගරයේ සිටින හමුදාවෙන් ද ඔවුනට තර්ජනයක් එල්ල වුණා. යම් හෙයකින් ඩමස්කස් වෙත එන හමුදාව කාලිඩ්ගේ හමුදාව පරාජය කරන්නට සමත් වුණා නම් ඔවුනට ඩමස්කසය නිදහස් කරගන්නට හැකි වෙන්න ඉඩ තිබුණා. අනෙක් අතට කාලිඩ් සැළකිය යුතු හමුදා සේනාංකයක් ඩමස්කසයෙන් ඉවත් කරගෙන තිබුණ බව නගරය තුළ සිටි බයිසන්ටියානුවන් දැනගත්තේ නම් ඔවුන් ඉතිරි ඉස්ලාමීය හමුදාවලට පහර දී නගරය වටලෑමෙන් ගලවා ගන්නට ද ඉඩ තිබුණා.

කෙසේ වෙතත් කාලිඩ්ගේ හමුදා උකාබ් දුර්ගය නම් ස්ථානයේදී බයිසන්ටියානු හමුදාව මුණ ගැසී එය පරාජය කිරීමට සමත් වුණා. මේ අනුව පිටතින් පැමිණ නගරය ගලවා ගැනීමට බයිසන්ටියානුවන් කළ උත්සාහය අසාර්ථක වුණා.

තෝමස් දොරටුවෙහි මෑත කාලීන දසුනක් (Flickr)

නමුත් ඩමස්කස් හි සිටි ඉස්ලාමීය හමුදාවල තත්ත්වය තවමත් තිබුණේ අවදානම් සහගත අඩියකයි. යම් කිසි අයුරකින් කාලිඩ් අල් වලීඩ්ගෙ හමුදාවලින් කොටසක් නගරයෙන් ඉවතට ගිය බව නගරය තුළ සිටින බයිසන්ටියානු හමුදාවලට ඉව වැටුණි නම් ඔවුන් පහර දී වටලෑම බිඳ දමන්න ඉඩ තිබුණා. මෙම අවදානම හේතුවෙන් කාලිඩ් හැකි ඉක්මණින් සිය හමුදා රැගෙන යළි ඩමස්කසය වෙත පැමිණියා.

නගරය සඳහා සටන​

නගරය බේරා ගැනීමට පිටතින් හමුදා පැමිණීමේ ඉඩ අඩුවන බව තේරුම් ගත් හමුදා සෙන්පති තෝමස් ඉස්ලාමික හමුදාවලට පහර දීමට තීරණය කළා. මේ අනුව 634 සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ මුල දිනෙක ඔහු නගර දොරටු හයෙන් එකක් වූ තෝමස් දොරටුවෙන් පිටතට හමුදා මෙහෙයවා ප්‍රහාරයක් එල්ල කළා. බයිසන්ටියාන් දුනුවායන් ප්‍රතිවාදීන්ට ඊතලවලින් පහර දෙද්දී බයිසන්ටියානු හමුදා ප්‍රහාරය දියත් කළා. නමුත් ඉස්ලාමීය හමුදා විසින් එම ප්‍රහාරය මැඩ පවත්වනු ලැබුවා.

මෙම ප්‍රහාරයේදී තෝමස්ගේ ඇසකට ඊතලයකින් තුවාල වූ බව සඳහන් වනවා.

කෙසේ වෙතත් එම ප්‍රහාරය අවසන් වූ පසු තෝමස් නැවතත් ප්‍රහාරයක් දියත් කළා. මෙහිදී තෝමස් සැළසුම් කළේ දොරටු හතරක් තුළින් ප්‍රහාර එල්ල කිරීමටයි. ප්‍රධාන ප්‍රහාරය තෝමස් දොරටුවෙන් එල්ල වනවිට ජබියා දොරටුව​, කුඩා දොරටුව සහ නැගෙනහිර දොරටුව යන ස්ථාන තුනෙන් ප්‍රහාර තුනක් එල්ල කර ඉස්ලාමීය හමුදාවල අවධානය වෙනතක හැරවීම තෝමස්ගේ උපක්‍රමය වුණා.

මෙම දෙවන ප්‍රහාරයේදී දරුණු සටන් සිදු වූ අතර විශේෂයෙන් ම තෝමස් දොරටුව අසළ සටන ඉතාම දරුණු ලෙස ඇදී ගියා. කෙතරම් ප්‍රහාරයන් එල්ල කළ ද ඉස්ලාමීය හමුදා පරාජය කිරීම පහසු නොවන බව මෙම සටන් අතරතුර දී බයිසන්ටියානු සෙන්පතියා තේරුම් ගත්තා. ඒ අනුව ඔහු යළි නගරය වෙත පසු බැස්සා.

නැවතත් නගරයෙන් පිටතට හමුදා යවා සටන් කිරීම කළ නොහැකි තරමට බයිසන්ටියානු හමුදා දුර්වල වීම මෙම ප්‍රහාරවල අතුරුඵලය වුණා.

මහ රෑ එල්ල වූ ප්‍රහාරය​

මේ අනුව ඩමස්කස් හි ඇතිවුණේ දෙපසටම ජය ගත නොහැකිව බලා ඉන්නට සිදු වන තත්ත්වයක්. එක් අතකින් නගරයට පහර දීමට ශක්තිය මදි හෙයින් නගරය වටලාගත් මුස්ලිම් හමුදාවත්, අනෙක් අතින් නගරයෙන් පිටතට පහර දීමට ශක්තිය මදි හෙයින් නගරය තුළට කොටු වූ ක්‍රිස්තියානි හමුදාවත් මෙහි එකිනෙකාට මුහුණ ලා සිටියා.

මේ අතර සැප්තැම්බර් 18 වනදා කාලිඩ් වෙත පණිවිඩයක් ලැබුණා. ඒ ජෝනාහ් නම් පූජකයකුගෙන්. ඉන් කියැවුණේ එදින රාත්‍රියේ නගරයේ උත්සවයක් පැවැත්වෙන බවත්, එය හේතුවෙන් නගර දොරටු වෙනදා තරම් ආරක්ෂා නොකෙරෙනු ඇති බවත්. වහා ක්‍රියාත්මක වූ කාලිඩ් සිය සහචරයින් කිහිප දෙනෙකු සමඟ නැගෙනහිර දොරටුවෙහි ඉතා ශක්තිමත් ස්ථානයකින් නගර කොටු පවුරට ගොඩ වුණා. මෙහි මුර සෙබලුන් රඳවා තිබුණේ නැහැ.

ඉන්පසු එහි සිට කඹ කිහිපයක් පහළට දැමූ කාලිඩ් ඇතුලු පිරිස තමුන්ගේ හමුදාවේ හොඳම සෙබලුන් පිරිසක් ප්‍රාකාරයට නංවා ගත්තා. එයින් පසුව ප්‍රහාරය ආරම්භ කරනු ලැබුණා. මේ අතර නැගෙනහිර දොරටුව විවෘත කරගැනීමට ඔවුන් ක්‍රියා කළ අතර එ් තුළින් කාලිඩ්ගේ හමුදාව නගරය වෙත ඇතුළු වුණා.

මේ අතර නගරය ගලවා ගැනීම සඳහා තෝමස් වෙනත් උපායක් යොදාගත්තා. ඔහු ජබියා දොරටුවට මුහුණ ලා සිටි හමුදා නායක අබු උබයිදා සමඟ ගිවිසුමකට එළඹුණා. ඔහුගේ බලාපොරොත්තුව වූයේ නගරය යටත් වූ හෙයින් එය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටීමයි. ඉස්ලාමීය හමුදා සාමාන්‍යයෙන් තමන්ට යටත් වූ නගර විනාශ කළේ නැහැ.

මේ අනුව අබු උබයිදා අනෙක් දොරටුවලට මුහුණ ලා සිටින හමුදා ප්‍රධානීන්ට ද නගරය යටත්වීම පිළිබඳ දැනුම් දුන්නා. සැප්තැම්බර් 19 උදෑසන අබු උබයිදා සහ අනෙක් සේනාපතීන් සිය හමුදා සමඟ නගරයට ඇතුළු වුණා. ඒ වෙද්දීත් කාලිඩ්ගේ සේනාංක නැගෙනහිර දොරටුව අසළ සටන් කරමින් සිටියා.

තෝමස් සමඟ ඇති කරගත් සාම ගිවිසුමට කාලිඩ් එතරම් කැමැත්තක් දැක්වූයේ නැති නමුත් අවසානයේ ඔහු ඊට එකඟ කරගනු ලැබුණා. මේ අනුව විශාල විනාශයක් රහිතව ඩමස්කස් නගරය මුස්ලිම් හමුදා යටතට පත් වුණා.

ඉස්ලාමික පාලනය යටතේ ඩමස්කස් නගරය​

ඩමස්කසය යටත් වීම එක්තරා ආකාරයකට මුස්ලිම් හමුදාවලට සිය යුධ ව්‍යාපාරය පහසු කළා. යම් හෙයකින් ඩමස්කස් නගරය යටත් වූ පසු විනාශ කරනු ලැබී නම් අනෙක් නගර අවසානය දක්වා සටන් කිරීමට පෙළඹෙන්නට තිබුණා. නමුත් ඩමස්කසය යටත් වීම මගින් ඉස්ලාමීය හමුදා පිළිබඳ ලබා දුන් පූර්වාදර්ශය පසුව සිරියාවේ යුධ ව්‍යාපාරයේදී ඔවුනට වාසියට පෙරළා ගන්නට හැකි වුණා.

ඩමස්කස් නගරය ඉස්ලාමීය සිරියාවේ අගනුවර බවට පත් වූ අතර ක්‍රි.ව​. 661 දී උමයියාඩ් කාලිෆේටය බිහි වීමත් සමඟ එහි අගනුවර බවටත් පත් වුණා. ක්‍රි.ව​. 750 දී පමණ බැග්ඩෑඩය වඩා ප්‍රමුඛ වනතුරු ඉස්ලාමීය අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය ලෙස ඩමස්කසය පැවතුණා.

කවරයේ රූපය: ඩමස්කස් හි නැගෙනහිර දොරටුවේ දසුනක් (panoramio)

මූලාශ්‍ර:​

  1. The Fall Of This City Paved The Way For Arab Conquests, All The Way Into Spain, War History Online
  2. Arabs Conquer Mesopotamia, Syria and Palestine, fsmitha.com

Related Articles