මහනුවර ලෝකෙට ගෙන ගිය පාලම්වල පරණ කතා

උඩරට රාජධානි කාලෙ දී රටේ අගනුවර වන සෙංකඩගල මහනුවරට පැමිණීමට මහවැලි ගඟ තරණය කිරීමට පාලම් තිබුණේ නැහැ. ඒ සඳහා ඔරු පාරු ආධාරයෙන් ගඟ තරණය කළ යුතු වුණා. රජවරු පාලම් හැදීම මෙන්ම පාරවල් කැපීමත් තහනම් කර තිබුණා. එසේ අගනුවරට පිවිසීම දුෂ්කර කර තිබුණේ සතුරු උවදුරුවලින් ආරක්ෂා වීමට යි. 

මහනුවර පුරාණ තොටුපොළවල්

කටුගස්තොට පැරණි පාලම සහ නව පාලම ගුවනට දිස්වන අයුරු- මහනුවර රාජධානිය fb page

ඒ කාලේ ඉතා වැදගත් තොටුපොළ තුනක් නගරය වටා පැවතුණා. අලුත්ගංතොට ලේවැල්ල, ගන්නෝරුව, සහ කටුගස්ටතොට යි. මේවා පාලනය කළේ රජ වාසල නිලධාරීන්. දැන් නම් මේ තොටුපොළ තුනේම ඉදිකළ පාලම් දැකගත හැකියි. එයින් ලේවැල්ල පාලම මෑත අතීතයේ 1993 දී ඉදිකර තිබෙනවා. එයට පෙර ලේවැල්ලේ සංගිලි පාලමක් හෙවත් කම්බි පාලමක් ඉංග්‍රිසින් ඉදිකර තිබුණා.

1890 දී මහනුවර අවට මාර්ග -exploresrilanka.com

ලේවැල්ල තොටුපල පාලනය කෙරුනේ පල්ලේගම්පහ අදිකාරම (මහ අදිකාරම) විසින් සහ ඔහු යටතේ සේවය කළ හිරගේ කංකානම විසින් බව බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලයේ මහනුවර නේවාසික නියෝජිත ජෝන් ඩොයිලි සඳහන් කරනවා. තොටුපොළ අසල ඔරු පැදීමේ රාජකාරි බාර පවුලක් පදිංචිව සිට තිබෙනවා. ලේවැල්ලට වඩා බහුලව ජනතාව භාවිත කර ඇත්තේ කටුගස්තෙට සහ ගන්නෝරුව තොටුපාළ යි. ඒවායින් රජයට හොඳ ආදායමක් ලැබී තිබෙනවා. කටුගත්තොට තොටුපළෙහි රාජකාරියට 4-5 දෙනෙකු යොදවා තිබුණා. ඔවුන් රජයට ගෙවිය යුතු බදු වශයෙන් අවුරුද්දකට අදිකාරමට රිදී 400-500 අතර ප්‍රමාණයක් ද හිරගේ කංකානමට රිදී 150-200 අතර ප්‍රමාණයක් ද ගෙවිය යුතු වුණා. 

1890 දී මහනුවර අවට මාර්ග -exploresrilanka.com 

ඉංග්‍රීසීන් උඩරට යටත් කරගෙන ටික කලක් යනතුරුත් මහනුවරට පිවිසීමට මහවැලිය හරහා ගමනාගමනය කළේ ඔරුවලින් එගොඩවීමෙන්ම තමයි. නමුත් මෙය ඔවුන්ගේ හමුදා සෙබළු, තුවක්කු සහ භාණ්ඩ ප්‍රවාහනයට විශාල බාධකයක් වුණා. ඒ අතර 1818 කැරැල්ල ඇතිවූ අතර එහිදී මහනුවරට පාලම් නැති අඩුව ඉංග්‍රීසින්ට හොඳින්ම දැනුණා. කැරැල්ල මුල් කාලයේ සාර්ථකව පැතිර යාමට එක් සාධකයක් වූයේ මහනුවර නගරය හුදෙකලාව පිහිටීම යි. මේ නිසා මහනුවරට පාලම් තැනීමට කොළඹ ඉංග්‍රීසි පාලකයන් නිතර සැලසුම් කළා.

පේරාදෙණියට බුරුත පාලමක්

බුරුත ලී පාලම-  lankapura.com

රාජධානි කාලේ මහනුවරට පිවිසුණේ ලේවැල්ලෙන් ගඟ තරණය කිරීමෙන් වුණත්, ඉංග්‍රීසින් පාර වෙනස් කර පේරාදෙණීයෙන් මහවැලිය තරණය කර පිවිසීමට සැලසුම් කළා. ඒ අනුව මහවැලි ගඟේ ගැඹුරුම ස්ථානයක් වූ පේරාදෙණියෙන් පාලමක් ඉදිකිරීම ඇරඹුණේ උඩරට වැසියන් පුදුමයට පත්කරවමින්.

එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සැලැස්මට අනුව මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු එවකට රජයේ ඉංජිනේරුවරයෙකුව සිටි 37වන රෙජිමේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන් ෆ්‍රෙසර්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වුණා. ඔහු පාලමේ සැලැස්ම නිර්මාණය කර 1826 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. එය ගමනාගමනයට විවෘත වුණේ 1933 ජනවරි මාසයේ දී යි. එය එවකට ලංකාවේ විශාලම පාලම වුණා. පාලම තැනීමට කම්කරුවන් 1,200කගේ ශ‍්‍රමය භාවිත කර තිබෙනවා. ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත්තේ  බුරුත දැව යි. මේ නිසා පාලම පේරාදෙණියේ බුරුත පාලම නමින් ප්‍රසිද්ධ වුණා. ඉදිකිරීම් සඳහා උපයෝගි කරගත් දැව සියල්ල කොළඹ දී අවශ්‍ය ප‍්‍රමාණයට කපා යතු ගා ප‍්‍රවාහනය කර තිබෙනවා. පාලම තනන අතරම එතෙක් පැවති කොළඹ නුවර රජ මාවත වෙනුවවට අද භාවිතා කරන  නුවර පාර කපා අවසන් වී තිබෙනවා. ඒ 1827 දී යි.

ලී පාලමේ චිත්‍රයක්- stock- abobe.com

ගලින් නිමවන ලද ආධාරක බැමි දෙකකින් ගඟ දෙපස ඉවුරුවලට පාලම සම්බන්ධ වුණා. තනි ආරුක්කුවක් සහිතව නිමවන ලද මෙම පාලමේ දිග උඩි 205ක් හා පළල අඩි 22ක් වුණා. ආරුක්කුව සඳහා වක‍්‍රාකාර ති‍්‍රත්ව දැව බාල්ක 4ක් හරස් අතට යොදා, ඒවා මැදින් මැද අඩි 5ක දුරස්තරභාවයකින් යුක්තව පිහිටන පරිදි යා බැමි හා සම්බන්ධ කර තිබෙනවා. සමස්ත පාලම ඉදිකිරීම්වල දී එකඳු යකඩ ඇණයක් හෝ ලෝහ කූඤ්ඤයක් භාවිත නොකර දැව කූඤ්ඤ පමණක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. මේ නිසා පාලම අලුත්වැඩියා කිරීමේ දී ගමනාගමනයට බාධාවක් නොවන පරිදි සහ ආරුක්කුවට හානි නොවන පරිදි කොටස් ගලවා ඉවත් කිරීමට සහ වෙනත් කොටස් පිරිද්දීමේ හැකියාවත් තිබූ බව පැවසෙනවා.

1910 දී මහනුවර නගරය- slwalk.blogspot.com

ගංගාවේ පහළ ජල මට්ටමේ සිට පාලම මතින් දිවෙන පාර දක්වා පාලමේ උස අඩි 67ක් වූ අතර, ආරුක්කුව යටි පැත්තේ මතුපිට දක්වා උස අඩි 57 1/2ක් වුණා. මේ නිසා පාලම අධික වර්ෂා කාලවල දී ගංගාවේ ජල මට්ටමට වඩා හොඳින් ඔරොත්තු දුන් බව සඳහන් වෙනවා. 1834 ගංවතුරක දී ගඟේ ජල මට්ටම අඩි 60 දක්වා ඉහළ ගිය ද පාලමට කිසිදු හානියක් සිදුවී නැහැ. මාර්ග පථය දෙපස දැවමුවා අත් වැටක් නිමවා තිබුණා. අද මෙම පාලමේ ශේෂ කිසිවක් ඉතිරිව නැතත් එහි ආකෘතියක් ලන්ඩනයේ දකුණු කිංස්ටන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. පාලම ඉදිකිරීම් කටයුතු අවසාන කළ පසු කොළඹ සිට මහනුවර දක්වා මෙම පාලම මතින් ගමන් කළ ප‍්‍රථම වාහනය වූයේ තැපැල් අශ්ව කෝච්චිය (තැපැල් ගෙනයන අශ්ව රථය) යි.

1866 සිට මහනුවර මහ නගර සභාව පාලමේ නඩත්තු කටයුතු බාරව සිටි අතර එය 1881 දී රජයට භාර දී තිබෙනවා. වසර 71ක කාලයක් භාවිතයේ පැවති බුරුත පාලම ක‍්‍රමයෙන් දිරාපත් ස්වභාවයට පත්වූයෙන් වාහන ගමනාගමනය නතර කිරීමට සිදුවුණා. එහෙත් 1904 ඔක්තෝබර් 14 දක්වා මඟීන්ට පමණක් ගමන්කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. තවදුරටත් පාලම මතින් ගමන්කිරීම අනාරක්‍ෂිත සහ අවදානම් සහිත වූයෙන් නව පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව මතුවුණා. එම පාලම ගලවා ඉවත් කිරීමට පෙර තාවකාලික පාලමක් ගන්නෝරුව තොටුපොළ අසළ දී ඉදිකර පසුව අබලන් වූ පාලම ගලවා එහි දැව කොටස් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා තිබෙනවා. 1906 අලුත් පාලම වානේවලින් ඉදිකර තිබෙනවා. 

ලංකාවේ පළමු යකඩ පාලම කටුගස්තොට

කටුගස්තොට පාලම 1876 දී-rdadeniyaya.blogspot.com 

ශ්‍රී ලංකාව තුළ යකඩ පාලම් තාක්‍ෂණය භාවිතයට පැමිණ ඇත්තේ 1850න් පසුව යි. 1850-1900 අතර කාලය යකඩ පාලම් තාක්‍ෂණය මෙරට බහුලව භාවිතයට ගැනුණු අවදිය ලෙස හඳුනාගත හැකියි. අප රටේ මුලින්ම ඉදිවූ දිගම යකඩ පාලම වන්නේ කටුගස්තොට පාලම යි. මාතලේ, කුරුණෑගල, නකල්ස්, රංගල යන ප්‍රදේශ මහනුවර නගරයට සම්බන්ධ කිරීම සඳහා එම පාලමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත්තේ 1858 දී යි. එය අවසන් කර ඇත්තේ 1860 දී. දිගින් අඩි 140 (මීටර් 43)ක් වූ එම පාලමේ ඉංජිනේරුවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජේ. ඒ. කේල්  නම් ඉංග්‍රීසි ජාතිකයා යි. එම පාලමේ එහි මුල් ඉදිකිරීමට අදාළව සිංහල බසින් කොටා ඇති ශිලා ලේඛනයක් ද දැකගත හැකියි. කළුගල්වලින් ඉදිකළ කුලුනු 5කින් සහ දෙපස ඉවරුවල කළුගල් පදනම විසින් පාලමේ බරැති සැකිල්ල දරා සිටිනවා. රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පාලමට වැයවූ මුදල පවුම් 20721ක්.

පාලම 1939 දී ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ඵලකය- slwalk.blogspot.com

එම පාලමේ යකඩ කාප්පය (trusses) නිර්මාණය කර ඇත්තේ එංගලන්තයේ චිපර්හැම් (Chipperham) හි ආර්. බ්‍රදර්හුඩ් (R. Brotherhood) සමාගම යි. 1939 දී දැනට දක්නට ලැබෙන පරිදි කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව මඟින් එම පාලම නැවත සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර තිබෙනවා. පාලමේ දිග අඩි 421ක් වන අතර පළල අඩි 23ක් වෙනවා. 1962 දී නවීකරණය කර පාලම දෙපස මඟී පදිකවේදිකා ඉදිකර තිබෙනවා.

පාලම අද දිස්වන අයුරු- dinamina.lk 

මෙම පාලම මෙයට වසර 161කට පමණ පෙර ඉදිකර ඇත්තේ අශ්ව කරත්ත කිහිපයක් ගමන් කිරීමට පමණ යි. ඒ සඳහා මුල්වී ඇත්තේ ආණ්ඩුකාර හෙන්රි වෝඩ්. මෑතක දී කටුගස්තොට නව පාලම තනන තෙක් වසර 150කට වඩා වැඩි කාලයක් වාහන ලක්ෂ ගණනක් ගමන් කිරීම සඳහා එය භාවිත වුණා. අදටත් පැරණි යකඩ පාලම අපට දැකගත හැකියි.

දොඩම්වල හල්ලොලුව සංගිලි පාලම 

හල්ලොලුව කම්බි පාලම – wikipedia.org 

පැරණි මහනුවර කුරුණෑගල මාර්ගයේ මහවැලි ගඟ හරහා තිබූ ලේවැල්ල තොටුපොළට නුදුරින් පිහිටි පාලමක්. මෙය ඉදිකර තිබෙන්නේ 1939 දී යි. මහනුවර සිට දෙඩම්වල දක්වා දිවෙන මාර්ගයේ කි. මි. 4ක් දුරින් පාලම පිහිටා තිබෙනවා. අඩි 150ක පමණ දිගකින් යුත් පාලම මඟින් හල්ලොලුව සහ දොඩම්වල ගම් යා කරනවා. පා ගමනින් යාමට මේ නිසා අවස්ථාව ලැබුණා.  රජයේ වැඩ දෙපාර්තමේන්තුව මඟින් ඉදිකර තිබෙන පාලමේ ඉංජිනේරුවන් ලෙස කටයුතු කර ඇත්තේ එච්. කෙනත් ද ක්‍රෙස්ටර්, ඔස්කාර් ටි. නෙමල්ටන් සහ ඩී. ඒ. පීරිස්. විසින්. පාලම විවෘත කර ඇත්තේ එවකට රජයේ වැඩ ඇමැති මේජර් ජේ. එල්. කොතලාවල විසිනුයි. මෑතක දී මේ පාලමට යාබදව නව පාලමක් ඉදිකළ අතර පැරණි කම්බි පාලමත් ඒ අසලම දැකගත හැකියි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Archeaology.lk

www.silumina.lk/2019/06/08

සිංහලේ ආණ්ඩු ක්‍රමය- ජෝන් ඩොයිලි, පරි. ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න

මහනුවර ලෝක උරුම නරගයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන

කැප්ෂන්:

Cover-  පේරාදෙණියේ දැව පාලම - lankapura.com

Related Articles