දඹුලු ගල වටේ, දැකගත යුතු අපූරු තැන්

දඹුල්ලට යන ඔබට රංගිරි දඹුලු ලෙන් විහාරෙ විතරක් නොවෙයි, තවත් ඓතිහාසික ස්ථාන කිහිපයක්ම දැක බලාගෙන අපූරු අත්දැකීමක් විඳ ගැනීමට පුළුවන්. හුඟදෙනෙක් නොදකින අපේ පැරණි යටගියාව දැනගැනීමට අවස්ථාව සලසන එම ස්ථාන සඳහා මඟපෙන්වීමක් කිරීමට යි මේ උත්සාහය.

සෝමවතී පබ්බත විහාරය

විහාරයට මඟ – Kusumsiri Wijayawardhana

දඹුලු පර්වතයේ නැගෙනහිර දෙසින් පර්වතය පාමුල මෑතක දී සංරක්ෂණය කර ඇති මේ ආරාම සංකීර්ණය පිහිටා තිබෙනවා. වළගම්බා පිරිවෙණ අසලින් හැරී යන අතරු මාවතේ ගමන් කිරීමෙන් මේ ස්ථානයට ළඟාවීමට පුළුවන්. දඹුල්ල පේන දුරින් පිහිටි මේ සුන්දර ආරාම භූමිය නරඹන්න නම් යන්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. මෙය සෝමවතී විහාරය නමින් හඳුන්වා ඇත්තේ වළගම්බා රජුගේ දේවියගේ නමින්. ඒ නම මෑත අතීතයේ දී යොදාගත් නමක් බව යි පේන්නේ.

 වේදිකාවක් මත පිහිටි දාගැබ- Kusumsiri Wijayawardhana

මේ ස්ථානයේ තරමක් විශාල නටබුන් දාගැබක් තිබෙනවා. එය ගඩොලින් කළ වේදිකාවක් මත යි තනා තිබෙන්නේ. දාගැබට පිවිසෙන පියගැට පෙළ දෙපස ඇති කොරවක් ගල් ද තනා තිබෙන්නේ ගරඩොල්වලින්ම යි. එහි මුල් අවදිය ක්‍රි. ව. 5- 6 සියවස්වලටත්, ඉන් පසු 8-9 සියවස්වලටත් අයත් බව හෙළිවී තිබෙනවා. මෙහි ධාතු ගර්භය නම් නිදන් හොරු විනාශ කරලා. එහි තිබී බදාමවලින් සැදූ පද්මාකාර පාදමක් සහ මැටි බුදු පිළිම ආදිය හමුවී තිබෙනවා.

බෝධිඝරය- Kusumsiri Wijayawardhana

මෙම දාගැබට නුදුරින් වනගතව ලෙනක තිබෙන සෙල්ලිපියක සෙදදෙව නම් හිමිනමක් දාගැබක් කරවා පූජා කළ බව සඳහන්. අක්ෂර ක්‍රි. ව. 1 සියවසට අයත් එහි “නාග මහතෙරගේ ශිෂ්‍ය සෙදදෙව තෙර දතවනහි දාගැබක් කරවූ බව” සඳහන්.

ආරාම ගොඩනැගිල්ලක්- Kusumsiri Wijayawardhana

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙයත් ආසන්නව පිහිටි මැණික්දෙන, කළුදිය පොකුණ වැනි පබ්බත විහාරයක් බව යි. පබ්බත විහාරයට අයත් දාගැබ, බෝධිඝරය, උපෝසථඝරය මෙම ආරාමයේ තිබුණත් පබ්බත විහාරයේ මූලික අංගයක් වූ පිළිම ගෙයක් නම් දකින්න නැහැ.

එඬේරුන් හරක් බැලූ එඬේරගල

දාගැබ ගුවනට දිස්වන අයුරු-youtube.com

දඹුල්ලෙ සිට ත්‍රිතුණාමලය පාරේ කි. මී 6ක් ගමන් කළ විට මාර්ගය අද්දරින් ඉහළ නගින් පර්වත කූටවලින් යුක්ත වනයක් අප නෙත ගැටෙනවා. මේ වනපෙත ඇසුරේ ලෙන්වල පිහිටා තිබෙන්නේ එඩේරගල වන සෙනසුන යි. අතීතයේ ගොපල්ලන් සිය ගවයන් මුදාහැර උන් බලාගැනීමේ යෙදුණේ මෙහි තිබූ මහ ගල්කුලට නැග බව යි කියැවෙන්නේ. ඒ නිසයි එඩේරගල කියා කියන්නේ. පසුකාලීනව මෙම භූමිය භික්ෂූන් බවුන් වැඩූ ආරණ්‍ය සේනාසනයක් බවට පත්ව තිබෙනවා. මෙහි කටාරම් කෙටූ ලෙන් නවයක් පැතිර තිබෙනවා. ලෙන් නවයෙන් හයක ඒවා භික්ෂුන් වහන්සේට පූජා කිරීම ගැන සඳහන් සෙල්ලිපි හමුවෙනවා. මේවා ක්‍රි. පූ. දෙවන ශත වර්ෂයට අයත් සෙල්ලිපියි. පර්වතයේ උසම ස්ථානයේ මෑතක දී දාගැබක් තනා තිබෙනවා.

මහතිස නමින් හඳුන්වා ඇති පළමු ගල්ගෙය අම්බාදක තිස්ස මහරහතන් වහන්සේ වැඩසිටි ස්ථානය ලෙස සැලකෙනවා. තවත් ලෙන් කිහිපයක් වර්තමාන භික්ෂූන්ගේ වාසය සඳහා යොදාගෙන තිබෙනවා. දිගු කලක් වනගතව පැවති මේ බිම යළිත් ආරණ්‍යයක් බවට පත්වූයේ පැල්වැහැර රජයේ ගොවිපොළ ආරම්භ වීමෙන් පසුවයි.

දාගැබට පිවිසුම- Lankatraverdirectory.com

1968 දී වනවාසී නිකායේ මහනායක වතුරුවිල ඥානානන්ද මාහිමියන් මේ ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයත් ලබාගෙන වන සෙනසුන ආරම්භ කර තිබෙනවා. ඊට පසු එය නැවතත් බණ භාවනා කරන භික්ෂූන්ගේ සෙනසුනක් බවට පත්වුණා. අද බොහෝ බැතිමතුන් පැමිණෙන පූජනීය ස්ථානයක් බවට එඬේරගල පත් වෙලා.

දිගම්පතහ මාගල්ලෙන්

ලෙන් විහාරයේ මූර්ති- Vimeo.com

උස් ගල් කුළු, කටාරම් සහිත ලෙන්, පොකුණු ආදියෙන් සමන්විත පූජනීය ස්ථානයක් වූ දිගම්පතහ ශ්‍රී මාගල්ලෙන රජ මහා විහාරය සංචාරකයන්ට මෙන්ම බෞද්ධ සැදැහැවතුන්ටත් නරඹා සිත් පහන් කරගත හැකි තැනක්.

දිගම්පතහ ගමට නම සැදී ඇත්තේ ද මෙම පුදබිම පසුබිම් කරගෙන යි. දිගු ගල් තලයක් මත වූ පතහ හෙවත් පොකුණ නිසා දිග්ගල් පතහ නමින් කියැවී, පසුව දිගම්පතහ වශයෙන් ප්‍රචලිතව තිබෙනවා.  ගමට නම තැබූ දිගු ගල් තලයත්, පොකුණත් අදත් අපට දැකගැනීමට පුළුවන්.

විහාරයට ඇතුල් වන තැනි බිමේ වම්පස ඇති ගල් කුල මධ්‍යයේ එකිනෙකට යාව පිහිටි කටාරම් සහිත ලෙන් දෙකකුත්  එයට එපිටින් තවත් ලෙනකුත් පිහිටා තිබෙනවා.

විහාර මන්දිරය වශයෙන් භාවිත කරන පළමු ලෙන කුඩා යි. මෙහි ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ 1954 වර්ෂයේ පමණ මාතලේ පඬිවිට විමලරතන හිමියන්ගේ යුගයේ දී යි. එයට ඇතුල් වන්නේ විචිත්‍රවත් ලෙස තනා ඇති මකර තොරණක් සහිත දොරටුවකින්. ඇතුළු ගර්භයේ ඇති අඩි 5 1/2 ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙපස සැරියුත් මුගලන් දෑගසවු ප්‍රතිමාත්, පසෙකින් අඩි 10 ක් පමණ උසැති මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවත් දැකගත හැකියි

මෙහි පිහිටි දෙවැනි ගල්ලෙන සොබාදහමේ අපූරු නිර්මාණයක්.   ලෙන ඉතා දිග වූවත් පළලින් පටු යි. හරියට එය දුම්රිය මැදිරි පෙළක් මෙන් දිස්වෙනවා.

කණ්ඩලම වැව

ජලයෙන් පිරි වැව- wikipedia.org

දඹුලුලේ සිට මාතලේ පාරේ ගොස් කණ්ඩලම හන්දියෙන් හැරී  යන වෑවලවැව පාර ගමන් කරන්නේ කණ්ඩලම වැව් කණ්ඩිය උඩින්. දඹුල්ලේ සිට කි. මී. 5ක් පමණ දුරින් වැව පිහිටා තිබෙනවා. අද ඉතා ජනප්‍රිය සංචාරක ඉසව්වක් බවට මේ වැව පත්වෙලා. ඔබට මේ වැවෙන් නාකියාගෙන යන්නත් පුළුවන්.  ක්‍රි. පූ. 1 සියවසට අයත් දඹුල්ලේ දූරතිස්ස වැව මෙය විය හැකි බව සි. ඩබ්. නිකලස් සඳහන් කරනවා.

සොඳුරු කණ්ඩලම- lakpura.com

සද්ධාතිස්ස (ක්‍රි. පූ. 137-119) රජු දූරතිස්ස වැව අසල සිට මාතු විහාරය දක්වා යොදුනෙන් යොදුනට විහාර ඉදිකළ බව මහාවංශය දක්වනවා. මහසෙන් රජ කාලයෙත් දූරතිස්ස වැව ගැන මහාවංශය සඳහන් කරනවා. මේ වැව හැදුවේ කවුද කියලා නම් සඳහනක් නැහැ. නමුත් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් වැවක් බව යි හෙළිවී තිබෙන්නේ. 1952-57 කාලයේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව ප්‍රතිසංස්කරණය කර කණ්ඩලම ජනපදය ආරම්භ කළා. පසුව මහවැලි ව්‍යාපාරය සමග සම්බන්ධ කරන ලද කණ්ඩලම වැව මහවැලි එච් කලාපයේ හෙක්ටයාර් 4900කට ජලය සපයනවා.  ජලාශයේ උපරිම දිග කිලෝ මීටර 4.8ක් සහ උපරිම පළල කිලෝ මීටර 2.3 පමණ වන අතර, වර්ග කිලෝමීටර 102ක පමණ ප්‍රදේශයක එය පැතිර පවතිනවා. දඹුලු කඳුවලින් මුවාවූ වනගත වැව් තාවල්ලකින් යුත් ජලාශය අවට  සුන්දර දර්ශනයක් මැවී තිබෙනවා. මහවැලි ජලයත් පැමිණෙන නිසා වසර පුරාම එහි  ජලය රැඳී තිබෙනවා.

වෑවලවැව ගල්ලෙන්

කටාරම් යට සෙල්ලිපි-  ymaps.com

කණ්ඩලම වැව පසුකර ඉදිරියට යනවිට වෑවලවැව ගමට ළඟාවිය හැකියි. පුරාණ ලෙන් ආරණ්‍යයක් වූ මෙය වනගතව තිබී මැතක දී නැවතත් ආරණ්‍ය සේනාසනයක් ආරම්භ කර තිබෙනවා. මෙහි කටාරම් කෙටූ ලෙන් කිහිපයක්ම තිබෙනවා. වතුරුවිල නායක හිමියන්ගේ සඟපුරපුරට අයත් ශ්‍යාමෝපාලී වනවාස නිකායට මෙය අයත්.

නුවරගල කන්ද

කඳු මත දසුන්- amazing lanka,  Chamara Perera

වෑවලවැව ගම පසුකර ඉදිරියට ගමන් කරන විට ගල්පර්වත ගැවසුණු සුන්දර දසුන් මවාපාන කඳුවැටි කිහිපයක් අපට දකින්න ලැබෙනවා. ඒ අතරින් එක් කන්දක් මත අප සිතේ කුතුහලය වඩවන තවත් අපූරු ඓතිහාසික නටබුන් බිමක් පිහිටා තිබෙනවා. දඹුල්ල සිට ඒ වෙත දුර කි. මී. 16ක්. මාතලේ හා පොළොන්නරු දිස්ත්‍රික්ක සීමාවේ තමයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ. පුරාණ නුවරක් පැවතුණා යන අදහසින් ඒ කන්ද හඳුන්වන්නේ නුවරගල කන්ද කියලයි. කන්ද මුදුනේ නටබුන් මාළිගාතැන්න නමින් හඳුන්වනවා. එම නටබුන් අක්කර 40ක පමණ ප්‍රදේශයක පැතිර තිබෙනවා. මහසෙන් රජු මින්නේරිය වැව කරවන කාලයේ ඔහුගේ ගමන් මාලිගාවක් මෙහි පැවති බව යි ජනප්‍රවාදවල කියැවෙන්නේ.

මෙහි පුරාවිද්‍යා අවශේෂ කොටස් තුනකට බෙදිය හැකියි. ඒ රාජකීය ගොඩනැගිලි, විහාර නටබුන්, වාරිමාර්ග සහ වැව් වශයෙන්.

ශෛලමය නටබුන්- amazing lanka,  Chamara Perera

වනගතව ඇති අඩි 50ක් දිග 20ක් පළල ගොඩනැගිලි පාදම රාජකීය ගොඩනැගිල්ලක් ලෙස යි සැලකෙන්නේ. චතුරස්‍රාකාකාර පරිවාර ගොඩනැගිලි දෙකක් ද ඒ අසල තිබෙනවා. කඳු මුදුනේ වාරි මාර්ග ඇළ මාර්ග තුනක ශේෂ ද දැකගත හැකියි. නුවරගල වැව, වෑවල වැව. මහනාගොල්ල වැව යන වැව්වලට ජලය ලබාගැනීමට ඇළ මාර්ග හරස් කර මෙසේ පුරාණයේ අමුණු ඉදිකර තිබෙනවා. කන්ද මත වනයට යටවූ පුරාණ වැවක් ද දැකගැනීමට පුළුවන්. එය ගැමියන් හඳුන්වන්නේ අහස්වැව කියලයි. බොහෝදුරට ගොඩවී තිබුණත් අදටත් වැසි කාලයට එයට ජලය පිරෙනවා.  වැහි කාලයට මේ කන්දේ සිට ගාලඑන ඇළ මාර්ග අළකොළවැව අසලින් ගලායන කිරිඔයට සම්බන්ධ වෙනවා. කිරිඔය මින්නේරිය වැවේ ප්‍රධාන ජල පෝෂක ඔය යි.

කන්ද මත පිහිටි අහස් වැව- amazing lanka,  Chamara Perera

දැකුම්කළු පියගැට, පුරාණ ගොඩනැගිලි, ඇළවේලි සහිත මේ වනගත නටබුන් පෙදෙස සැබවින්ම සිත් අලවන ස්ථානයක්. 1840 මාර්තු 30 දා මාතලේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත වූ එච්. එල්. මොයිසේ මෙසේ සිය වාර්තාවක සඳහන් කර තිබෙනවා:

කන්ද මුදුනට කිට්ටුව තැනිතලාවකි. එහි ඇළ හරහා බැම්මක් බැඳ තිබුණි. හොඳ පස් වේල්ලක්ද තනා තිබුණේය. මෙය ඉතා චමත්කාරජනක ස්ථානයක් බැවින් මෙහි කන්ද නැගීමට ගන්නා වෙහෙස හැම ලෙසකින්ම වටී. මෙය නුවරගල වැව නමින් හැඳින්වේ. මෙය නටබුන්ව ගිය නිසා වැඩකට ගත නොහැකිය.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ඓතිහාසික මාතලේ- මාතලේ දිසා සංස්කෘතික බලමණ්ඩලය

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

http://www.budusarana.lk/budusarana/2010/03/29

trisinhala.blogspot.com

කවරය-

කණ්ඩලම කඳු- Kusumsiri Wijayawardhana

Related Articles