Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරානයේ දී ඇමරිකානු හමුදා ලැබූ යුධ අවමානය – ඔපරේෂන් ඊගල් ක්ලෝ

ඉරානය තුළ ඇමරිකානු හිතවාදී පාලනයක් ගෙන ගිය ෂා රජුට එරෙහිව අයතුල්ලා කොමේනි ප්‍රමුඛ රැඩිකල් මුස්ලිම් ප්‍රජාව විසින් “ඉරාන විප්ලවය” ආරම්භ කරනවා. මෙම අර්බුදය හමුවේ 1979 ඔක්තෝබර් මාසයේ දී ඇමරිකාවට පලා යන ෂා රජු එම රජයේ රැකවරණය හමුවේ කල් ගෙවනවා.

නැවතත් රජුව ඉරානය වෙත එවන ලෙස කොමේනිගේ රැඩිකල් මුස්ලිම් බලවේග ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටිය ද ඔවුන් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඊට පිළිතුරක් ලෙස ඉරානයේ ටෙහෙරාන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස එම කාර්යාලයේම රඳවා තැබීමට කොමේනිට හිතවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් කටයුතු කරනවා.

කැරලිකරුවන් විසින් ඇමරිකාවේ කිසිදු නියෝගයකට අවනත නොවෙමින් 1979 නොවැම්බර් 4 වැනි දින සිට 1981 ජනවාරි 20 දක්වා දින 444ක් පුරාවටම ප්‍රාණ ඇපකරුවන් යටත් කරගෙන සිටිනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදීම (CNN.com)

ඉතින් අද ගෙන එන්නේ ඇමරිකානු හමුදා විසින් 1980 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද “ඔපරේෂන් ඊගල් ක්ලෝ” පිළිබඳව යි. අයහපත් කාලගුණය හා වෙනත් හේතූන් මත මෙම මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වන බැවින් ඇමරිකානු හමුදාවට ඉරානයෙන් පිට වී යාමට සිදුවන්නේ හිස් අතින්.

“ඔපරේෂන් ඊගල් ක්ලෝ” සැලසුම  

එවකට ඇමරිකානු ජනාධිපති – ජිමී කාටර් (MPR News)

එවකට ඇමරිකානු ජනාධිපති වූ ජිමී කාටර්ගේ උපදෙස් මත මෙහෙයුම සැලසුම් කරන්නේ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකාය විසින්. එක්සත් ජනපදයේ පාබල, නාවික, ගුවන්, හා මැරීන් බලකායන් මෙම මෙහෙයුමට අනුයුක්ත කරන අතර දින දෙකක් පුරා අදියර කිහිපයකින් මෙය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කරනවා.

අරාබි මුහුදේ ඇති නිමිට්ස් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් අප්‍රේල් 24 වන දා රාත්‍රියේ අහසට නැගෙන RH-53D වර්ගයේ හෙලිකොප්ටර් යානා 8ක් ඉරානයේ “කාන්තාර භූමිය 01” (ඉරානයේ සිටි ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් විසින් කාන්තාර ප්‍රදේශයක පිහිටි මෙම ස්ථානය පිළිබඳව මෙහෙයුම් කණ්ඩායම වෙත කලින් දැනුම් දී තිබෙනවා) වෙත ළඟා වීමට තීරණය වෙනවා.

එදින රාත්‍රියේම ඕමානයේ සිට “කාන්තාර භූමිය 01” ප්‍රදේශයට C-130 වර්ගයේ ගුවන් යානා 2ක් ගොඩබැසීමට නියමිත විය. මින් එක් ගුවන් යානා මෙහෙයුමකට සහභාගී වන ඩෙල්ටා බලකායේ භට පිරිස් ද, අනෙක් ගුවන් යානයේ හෙලිකොප්ටර් සඳහා අවශ්‍යය ඉන්ධන ද යැවීමට තීරණය වෙනවා.

හෙලිකොප්ටර් යානා 8 එදින රාත්‍රියේම “කාන්තාර භූමිය 2” ප්‍රදේශයට (මෙම ස්ථානය ටෙහෙරාන් නගරයේ සිට කි.මී. 80ක් පමණ දකුණු දෙසින් පිහිටා තිබුණි.) යෑමට සැලසුම් වෙනවා. පසු දිනයේ (අප්‍රේල් 25) දහවල් කාලය පුරා “කාන්තාර භූමිය 2” ප්‍රදේශයේ සැඟ වී සිටින්නට තීරණය වෙන අතර රාත්‍රියේ දී ඇමරිකානු බුද්ධි අංශ විසින් සපයන ට්‍රක් රථ හයක නැඟී ටෙහෙරාන්හි තානාපති කාර්යාලයට කඩා වැදීමට සැලසුම් සකස් වෙනවා.

ප්‍රාණ ඇපකරුවන් මුදා ගත් පසුව ඩෙල්ටා බලකායේ සෙබළුන් හා ප්‍රාණ ඇපකරුවන් රැගත් හෙලිකොප්ටර් යානා ටෙහෙරාන් සිට කි.මී. 96ක් පමණ දකුණු දෙසින්  පිහිටි මන්සරියෙහ් ගුවන් පථය වෙත රැගෙන යෑමට තීරණය වෙනවා. පසුව එම ගුවන් පථයට පැමිණෙන C-130 වර්ගයේ ගුවන් යානා මඟින් සියලු දෙනාවම ඊජිප්තුවට රැගෙන ඒමෙන් මෙහෙයුම අවසන් වෙනවා.

මේ ආකාරයට ප්‍රහාරය සැලසුම් වූ අතර ජනපති විසින් අප්‍රේල් 16 වන දා යුධ සැලසුම අනුමත කරනවා.

සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ මෙහෙයුම

මෙහෙයුම සඳහා පිටත්වීමට සැරසෙන සෙබළුන් (Moody Air Force Base)

24 වන දා රාත්‍රියේ සැලසුමේ ආකාරයට නෞකාවෙන් හෙලිකොප්ටර් යානා 8ක් පිටවීමට නියමිත වූ නමුත් යානා දෙකක හදිසියේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් “කාන්තාර භුමිය 01” බලා ගමන් කරන්නේ හෙලිකොප්ටර් හයක් පමණ යි.

මේ වන විට “කාන්තාර භූමිය 01” ප්‍රදේශයේ වැලි කුණාටු ඇති වී තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටර් යානා අදාළ ස්ථානයට ගොඩබැසීම ප්‍රමාද වෙනවා. වැලි කුණාටු මධ්‍යයේ යානා එකින් එක පහත් කිරීමට මෙහෙයුමේ එක් එක් අදියර සඳහා වෙන් කර තිබූ වේලාවන්ට වඩා ගත වී ගොස්, යානා 6 පහත් කිරීමට මිනිත්තු 90ක අමතර කාලයක් ද ගත වෙනවා.

ඕමානයේ සිට යුධ භටයන් හා ඉන්ධන රැගෙන පැමිණෙන ප්‍රවාහන ගුවන් යානා දෙක “කාන්තාර භූමිය 01” ප්‍රදේශයට මේ සමගම ගොඩබසිනවා. ඉන්පසුව හෙලිකොප්ටර් එකින් එකට ඉන්ධන පිරවීම ආරම්භ කරනවා.

ගොඩබැසීමේ දී තවත් එක් හෙලිකොප්ටරයක කාර්මික දෝෂයක් ඇති වෙනවා. මේ අවස්ථාවේ එය අලුත්වැඩියා කිරීමට ගුවන් භටයන්ට හැකි වන්නේ නෑ. එම නිසා මෙහෙයුම සඳහා ඉතිරි වන්නේ යානා 5ක් පමණ යි. භටයන් රැගෙන යාමට හෙලිකොප්ටර් යානා හයක් අනිවාර්යයෙන් අවශ්‍යය වූ අතර ඩෙල්ටා බලකායේ අණදෙන නිලධාරියා තම භට පිරිස අඩු කිරීමට ද අකමැති වෙනවා.

මේ හේතුවෙන් මෙහෙයුම අත්හිටුවීමට ඇමරිකානු මෙහෙයුම් පාලක මැදිරියෙන් අවසර පතන අතර පැය කිහිපයකින් පසුව ඒ සඳහා අවසර හිමිවෙනවා.

ගුවන් යානා විනාශ වීම හා අතහැර දැමීම

විනාශ වී ගිය ගුවන් යානා (Task & Purpose)

මෙහෙයුම නවතා දැමීමෙන් පසුව ගුවන් ගත වීමට සුදානම් වෙන භටයන් හා ඉන්ධන පුරවා තිබූ C-130 ගුවන් යානාවක් හෙලිකොප්ටරයක ගැටීමෙන් යානා දෙකම ගිනිබත්ව එහි සිටි භටයින් 8 දෙනෙකු මරණයට පත්වෙනවා.

ගොඩබස්වා තිබූ අනෙක් හෙලිකොප්ටර් යානා හතරේ ද සංවේදී පරිපථවලට හානි වී තිබූ බැවින් හා ඉන්ධන නොමැති වීමෙන් ඒවා ද අතහැර දැමීමට තීරණය වෙනවා. මේ සිදුවීමත් සමග සියලු භටයන්ට නැවත යෑමට ඉතුරු වන්නේ C-130 වර්ගයේ එක් ගුවන් යානාවක් පමණ යි. ඉතිරි වූ භට පිරිස් එහි නැඟී ඉරානයෙන් ඉවත් වෙන්නේ දරුණු යුධ අවමානයක් හිසේ දරාගෙන යි.

මරණයට පත් වූ ඇමරිකානු භටයන් අට දෙනා (RallyPoint)

යුධ බලකා අතර දුර්වල සන්නිවේදනය, උචිත ගුවන් යානා භාවිතා නොකිරීම, හා මෙහෙයුම සැලසුම් කිරීමේ ඇතැම් දුර්වලතාවයන් මෙම විනාශයට හේතු වූ බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය විසින් පසුව සඳහන් කරනවා.

විනාශයට පත් වූ හා අත්හැර දමා ගිය යානා (The Tactical Air Network)

කෙසේ නමුත් ඉතා අධික මුදලක්, සෙබළ ජීවිත 8ක් නිකරුනේ විනාශ වීම, හා ඇමරිකානු හමුදාව ලෝකය ඉදිරියේ සමච්චලයට ලක්වීම පිළිබඳව ජිම් කාටර්ගේ රජයට දැඩි දෝෂාරෝපණයන් ද එල්ල වෙනවා. මීළඟ ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වෙනවා.

කවරයේ ජායාරූපය – ඇමරිකානු හමුදා මෙහෙයුමට පිටත් වීමට පෙර (Moody Air Force Base)

Related Articles