Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

SAS බලකායේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට මෙහෙයුම – ඔපරේෂන් නිම්රෝඩ්

ඉරානයේ කූසිස්ටන් පළාතෙන් බිහි වූ “අරාබියානු විමුක්තිය උදෙසා වන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදී පෙරමුණ” නම් ගරිල්ලා සංවිධානයේ සන්නද්ධ කැරලිකරුවන් හයදෙනෙකු 1980 වසරේ අප්‍රේල් 30 වන දා බ්‍රිතාන්‍යයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී, එහි සිටි රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු තවත් පුද්ගලයන් 26 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස දින හයක් රඳවාගෙන සිටිනවා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් දින හයකට පසුව එක්සත් රාජධානියේ රාජ්‍ය උපදෙස් මත වහා ක්‍රියාත්මක වන SAS බලකාය නම් විශේෂ හමුදා ඒකකය විසින් ක්‍රියාත්මක කළ නිම්රෝඩ් මෙහෙයුම ආධාරයෙන් කැරලිකරුවන් මරා, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඉතින් අද ලිපිය ලියවෙන්නේ කැරලිකරුවන් විසින් ඉරාන තානාපති කාර්යාලය යටත් කරගැනීම හා SAS බලකාය විසින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා සිදුකළ “නිම්රෝඩ් මෙහෙයුම” පිළිබඳවත් ය.

මීට පෙර මේ ආකාරයට ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශිෂ්ට හමුදා මෙහෙයුම් දෙකක් ලොව මවිත කළ පේරු හි ජපන් තානාපති කාර්යාල ප්‍රාණ ඇපකරුවන් ගලවාගැනීමේ මෙහෙයුම හා ප්‍රාණ ඇපකරුවන් මුදාගත් විස්මිත මෙහෙයුම – ඔපරේෂන් තන්ඩර්බෝල්ට් නමින් ගෙන ආවා ඔබට මතක ඇති.

ඉරාන ශිෂ්‍යයන් පිරිසක් ලන්ඩන් වෙත ළඟා වීම

ඉරාන තානාපති කාර්යාලය (Wikipedia)

ඉරානයේ ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඕන් අලී මොහොමඩ් ශිෂ්‍යයාගේ නායකත්වයෙන් යුත් DRFLA සංවිධානයේ සාමාජිකයන් කිහිපදෙනක්, 1980 වසරේ මාර්තු 31 වන දා එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය වෙත ගුවන් මඟින් පැමිණෙනවා. ඔවුන් ලන්ඩනයේ දකුණු කෙන්සින්ටනයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට පහර දීමට සැලසුම් කරනවා.

තානාපති කාර්යාලය අල්ලා ගැනීම

එවකට බ්‍රිතාන්‍ය අගමැතිනිය වූ මාග්‍රට් තැචර් (capx.co)

1980 වසරේ අප්‍රේල් 30 වන දා උදෑසන 11.30ට පමණ මැෂින් තුවක්කු හා අත් බෝම්බ වලින් සන්නද්ධ කැරලිකරුවන් 6 දෙනෙකු ඉරාන තානාපති කාර්යාල භූමියේ එක් දොරටුවකින් ඇතුළු වී, එහි ආරක්ෂක නිලධාරියාව යටත්කොට ගැනීමෙන් අනතුරුව, තානාපති කාර්යාලය තුළ සේවය කළ නිලධාරින්, BBC මාධ්‍යවේදීන් හා, වීසා ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් ඇතුළුව 26 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තම භාරයට ගනු ලබනවා.

කැරලිකරුවන්ගේ ඉල්ලීම්

අයතුල්ලා කොමේනි (Famous People)

1979 වසරේ දී ඉරාන විප්ලවයත් සමග රටේ බලයට පත්වන අයිතුල්ලා කොමේනි නම් අධ්‍යාත්මික නායකයාගේ මතයට විරුද්ධ කල්ලියක් ලෙස මෙම සංවිධානය හැඳින්වූ අතර, “ඉරානය තුළ නව පාලනය විසින් සිර කරගෙන සිටින දේශපාලනික සිරකරුවන් නිදහස් කරනු” යන්න ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණා. මීට අමතරව ඉරානය තුළ මානව හිමිකම් සුරක්ෂිත කර දේශපාලන පළිගැනීම් නැවැත්වීම ඔවුන්ගේ ඉල්ලීමක් වුණා.

එදින දහවල් තුන පසුවෙනවාත් සමගම තානාපති කාර්යාලය වටලා සිටින පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා හා ගුවන් විදුලි පණිවුඩ හුවමාරු කරන කැරලි නායකයා, ඉරානයේ සිටින තම සංවිධානයට හිතවත් සිරකරුවන් 91 දෙනෙකු නිදහස් කරන ලෙස තම ප්‍රථම ඉල්ලීම ඉදිරිපත් කරනවා. ඒ සමගම තමන්ට ඉරානයට පිටත් වීම සඳහා ගුවන් යානයක් ද ඉල්ලා සිටිනවා. තම ඉල්ලීම් නොලැබුනහොත් වරකට එක් පුද්ගලයෙකු බැගින් සියලු ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරනවා.

බේරාගැනීමේ සැලසුම් සකස් වීම

ගොඩනැගිල්ලේ ඉහළ සිට පහළට පැමිණීමට සුදානම් වන SAS  භටයන් (SOFREP.com)

මේ සමගම හදිසි බ්‍රිතාන්‍ය කැබිනට් හමුවක් කැඳවූ අතර ත්‍රස්තයන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම සඳහා SAS බලකාය යෙදවීමට තීරණය වෙනවා. මේ අතරවාරයේ අසනීප තත්ත්වයන් හා නොයෙකුත් හේතූන් මත ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකු නිදහස් කෙරෙනවා. මේ සියල්ල සිදුවෙද්දී, ඇතිවන හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා SAS සොල්දාදුවන් කණ්ඩායමක් තානාපති කාර්යාලයේ ආකෘතිය අනුව සැකසූ ස්ථානයක පුහුණුවීම් සිදුකරනවා.

දින පහක් පුරා සිදුකරන තම ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හරින තත්ත්වයක් උදාවෙන විට ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරන ත්‍රස්ත නායකයා මැයි 5 වන දා එම ප්‍රකාශය ක්‍රියාවට නංවමින් එක් ප්‍රාණ ඇපකරුවෙකුට වෙඩි තබා ඝාතනය කොට සිරුර පහළට විසි කිරීමට තීරණය කරනවා. මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නේ තානාපති කාර්යාලයේ සේවය කළ අබ්බාස් ලවසානි නම් නිලධාරියෙකු යි.

මේ සමගම ත්‍රස්තයන්ට පහර දී ප්‍රාණ ඇපකරුවන් බේරාගත යුතු බවට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් තීරණය කර, ඒ සඳහා දැනටමත් සුදානම්ව සිටින SAS භට කණ්ඩායමක් යොදවනවා.

සාර්ථක වූ නිම්රෝඩ් මෙහෙයුම

පළමු මහලෙන් ඇතුල් වීමට සැරසෙන SAS භටයන් (Forces.Net)

භටයන් 35 දෙනෙකුගෙන් පමණ සමන්විත SAS කණ්ඩායමක්, කුඩා කණ්ඩායම් දෙකකට බෙදා මෙහෙයුම සඳහා සූදානම් කෙරෙන අතර, ඔවුන් මැයි 5 වන දා වන විට තානාපති කාර්යාලය අසල වූ එම ගොඩනැගිල්ලේම කොටසක සිට හොර රහසේ තම මෙහෙයුම සඳහා සූදානම් වෙනවා.

මේ වන විට ලෝක ජනමාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාන්විතය පිළිබඳව තොරතුරු පැතිරී ගිය නමුත් වාසනාවකට මෙන් ත්‍රස්තයන්ට ඒවා පරිශීලනයට අවස්ථාවක් නොලැබෙන නිසා මේ පිළිබඳව කිසිවක් දැනගැනීමට ලැබෙන්නේ නෑ.

මැයි 5 වන දා සවස 7 පසු වී විනාඩි 20 කට පමණ පසු මෙහෙයුම ආරම්භ කිරීම සඳහා නියෝග ලැබෙන අතර, එක් භට කණ්ඩායමක් ගොඩනැගිල්ලේ මුදුනේ සිට ද, තවත් කණ්ඩායමක් බිම් මහලේ සිට ද මෙහෙයුම ආරම්භ කරන්නේ පුපුරන ද්‍රව්‍ය යොදාගෙන පළමු මහලේ එක් ජනේලයක් පුපුරවා දැමීමෙන් අනතුරුව යි.

පළමු පුපුරවා හැරීමෙන් පසුව ගොඩනැගිල්ලට ඇතුල් වීම (Reddit)

සැලසුම් වූ ආකාරයටම සතුරා විස්මයට පත්කරමින් වේගවත් ප්‍රහාරයක නිරත වූ SAS භටයන් මෙහෙයුමේ දී අපේක්ෂිත හානියට වඩා ඉතා අඩු හානියක් වාර්තා කරමින් සාර්ථකව මුදාගැනීමේ මෙහෙයුම නිම කරනවා. මෙහෙයුමේ දී එක් ප්‍රාණ ඇපකරුවෙක් පමණක් මිය යන අතර ත්‍රස්තයන් 6 දෙනාගෙන් නායකයා ඇතුළුව 5  දෙනෙකු ඝාතනය වෙනවා. මෙහෙයුම අතරතුර එක් SAS භටයෙක් තුවාල ලබනවා. අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්ත සාමාජිකයාට බ්‍රිතාන්‍ය අධිකරණය මගින් වසර 27ක සිර දඬුවමක් නියම කරනවා.

මෙහෙයුම පිළිබඳව පුවත්පත් වල වාර්තා වී තිබූ අන්දම (mhill46-holdthefrontpage.blogspot.com)

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ නිම්රෝඩ් මෙහෙයුමේ සාර්ථකත්වය ලොව පුරා ක්ෂණිකව පැතිරී ගිය අතර ,එක්සත් රාජධානි SAS බලකාය ලොව අති දක්ෂ විශේෂ හමුදා ඒකකයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වීමට ඔවුන් විසින් සිදුකළ මෙම මෙහෙයුම ද ඉවහල් වූ බව සදහන් කළ හැකියි.

කවරයේ ජායාරූපය – බ්‍රිතාන්‍ය SAS භටයන් (YouTube)

Related Articles