ඉන්දියාව නිදහස ලබන අවස්ථාව වන විට විසඳාගත යුතුව තිබූ ප්‍රධානම ප්‍රශ්නය වූයේ පාකිස්ථානය වෙනම රාජ්‍යයක් ලෙස නිදහස ලබන්නේ ද යන කරුණ යි. එහෙත් ඊට අමතරව වූ තවත් ප්‍රශ්නයක් වූයේ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කුමාරවර රාජ්‍යයන් පිළිබඳ ගැටළුව යි.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ බලය පිහිටුවන විට එරටෙහි වූ සියළු ප්‍රාදේශීය පාලකයන් බලයෙන් නෙරපා දැමුවේ නැහැ. බොහෝ පැරණි පාලකයන් සමග බ්‍රිතාන්‍යය ගිවිසුම්වලට එළඹුණා. ඇතැම් අවස්ථාවල දී තමන්ට එරෙහි වූ පාලකයන් පරාජය කර ඔවුනගේ ස්ථානවලට තමන්ට හිතවත් අය පත් කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළා.

බ්‍රිතාන්‍යයන් සහ සාම්ප්‍රදායික පාලකයන් අතර ඇති වූ ගිවිසුම් අනුව එම පාලකයන්ට සිය පාලන ප්‍රදේශයන්හි අභ්‍යන්තර කටයුතු තමන්ට රිසි සේ සිදුකළ හැකි වුණා. නමුත් විදේශ සහ ආරක්ෂක කටයුතු පැවතියේ බ්‍රිතාන්‍ය රජය යටතේ යි. මෙවන් කුමාරවර රාජ්‍යයන් 565ක් පමණ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ (එනම් වර්තමාන ඉන්දියාව​, පකිස්ථානය, සහ බංග්ලාදේශය යන ප්‍රදේශයන්හි) පැවතියා.

1947 දී ඉන්දියාව සහ පාකිස්ථානය නිදහස ලබන විට​, මෙම කුමාරවර රාජ්‍යයන්ට විකල්ප තුනක් ලබා දුන්නා. ඒවා නම් ඉන්දියාවට එක් වීම​, පාකිස්ථානයට එක් වීම, සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම යි. මෙහිදී කුමාරවර රාජ්‍යයන් සියල්ලක්ම පාහේ ඉන්දියාව සහ පාකිස්ථානය අතුරින් තමන්ට වඩා සමීප වූ රාජ්‍යයට එක් වීමට ක්‍රියා කළා. ඊට පටහැනිව කටයුතු කළේ රාජ්‍යයන් තුනක් පමණ යි. ඉන් එකක් වර්තමාන ගුජරාටයේ පිහිටි ජුනාගාදය යි. එයට පාකිස්ථානය හා සම්බන්ධ වීමට අවශ්‍ය වුණා. ඉන්දියාව විසින් කෙටි හමුදා ක්‍රියාමාර්ගයක් මඟින් එය යටත් කරගත්තා. මේ අතර කාශ්මීරයේ තත්ත්වය ඊට වඩා සංකීර්ණ වුණා. ඒ ගැන පහත වීඩියෝවේ විස්තර කෙරෙනවා.

අද අප විස්තර කරන්නේ අනෙක් ප්‍රශ්නකාරී කුමාරවර රාජ්‍යය වූ හයිදරාබාදය පිළිබඳව යි. හයිදරාබාදය වර්ග කිලෝමීටර් 215,000ක් පමණ වූ විශාල ප්‍රදේශයක් වසා පැතිරුණ රාජ්‍යයක් වුණා. භූමි ප්‍රදේශය ගත්විට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විශාලම කුමාරවර රාජ්‍යය වූයේ ද එය යි. එහි පාලකයා හඳුන්වන ලද්දේ නිසාම් යනුවෙන්. මුස්ලිම් පාලකයකු වූ ඔහුගේ පාලන ප්‍රදේශයේ වැසියන් බහුතරය වූයේ හින්දූන්.

හයිදරාබාදයේ නිසාම්

ඉන්දියාව නිදහස ලබන සමයෙහි හයිදරාබාදය පාලනය කළේ එහි හත්වැනි නිසාම් වූ මීර් ඔස්මාන් අලී ඛාන් නම් වූ නිසාම්වරයා යි. ඔහු 1911 සිට එම ප්‍රදේශයේ පාලකයා වුණා. එමෙන්ම එකල ලොව ජීවත් වූ ධනවත්ම පුද්ගලයා ලෙස ද ඔහු සැලකුණා. නිසාම්වරයාගේ ධනය ප්‍රධාන වශයෙන්ම ලැබුණේ ගොල්කොන්ඩා දියමන්ති ආකරවලින්. ඔහු එකිනෙකට පරස්පර විරෝධී ගති ස්වභාවයන් පෙන්නුම් කළ අයකු ලෙසත් විටෙක සිතන්නට පුළුවන්. ඇතැම් විටෙක ඔහු සමාජ සේවා කටයුතු සඳහා වියදම් කළා. හයිදරාබාදයට විදුලි බලය හඳුන්වා දුන් ඔහු රෝහලක්, විශ්වවිද්‍යාලයයක්, හයිදරාබාද් රජයේ බැංකුව ආදී ආයතන ඇරඹුවා. අනෙක් අතට ඔහු මසුරු අයකු ලෙසත් ඇතැම් අය හඳුන්වනවා. තමාගේ මේස් තමාම මසාගත් ඔහු අමුත්තන්ගෙන් දුම්වැටි ඉල්ලාගැනීමට පුරුදුව සිටියේයැ යි කියනු ලබනවා.

නිසාම් විසින් සර්දාර් පටෙල් පිළිගැනීම​. යුද්ධයෙන් පසු අවස්ථාවක් (Public Domain)

ඉන්දියාව ස්වාධීන වූ විට නිසාම්වරයාට අවශ්‍ය වුණේ හයිදරාබාදය ස්වාධීනව තබාගන්න යි. මේ අවස්ථාව වෙද්දී ඔහු අභ්‍යන්තරික දේශපාලනික අර්බුදයක අවදානමට ද මුහුණ දුන්නා. ඒ තෙලන්ගනා ජනතා අරගලය යි. කොමියුනිස්ට්වාදීන්ගේ ආධාර සහිතව එහි වූ ගොවි ජනතාව රදළ ඉඩම් හිමියන්ට එරෙහිව කැරලි ගැසුවා. මේ අතර කාසිම් රස්වි විසින් රසාකර් නම් වූ දැඩි මතධාරී ඉස්ලාමීය මිලීෂියා සංවිධානයක් නිසාම්වරයාගේ සහායට සිටියා. ඔවුන් නිසාම්වරයාට එරෙහි කණ්ඩායම් මර්ධනය කරමින් අභ්‍යන්තර විරෝධයන් මැඩ පවත්වන්නට වුණා.

ස්වාධීන හයිදරාබාද්

1947 දී ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති සර්දාර් පටෙල් ඉන්දියාව හා එක්වන ලෙස හයිදරාබාදයේ නිසාම්ගෙන් ඉල්ලීමක් කළා. නමුත් නිසාම් එය ප්‍රතික්ෂේප කළා. මේ අනුව ඉන්දියාව සහ හයිදරාබාද් අතර අර්බුදයක් ඇතිවන තැනට කරුණු ගමන් කළා. මේ දිනවල පාකිස්ථානය සමග ඉන්දියාව ගැටුමක පැටලී සිටි හෙයින්, තම රට මැද​, මුස්ලිම් පාලකයකු යටතේ පවතින ප්‍රදේශයක් තිබීම ඉන්දීය රජයේ සතුටට හේතු වූයේ නැහැ.

ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර මවුන්ට්බැටන් සාමි 1948 දී මෙම අර්බුදය නිම කිරීමට යෝජනාවක් ගෙන ආවා. ඔහු යෝජනා කළේ ඉන්දියාව යටතේ පවතින ස්වතන්ත්‍ර ඩොමීනියන් තත්ත්වයක් හයිදරාබාදයට ලබා දීමට යි. ඉන්දියාව මෙම යෝජනාවට පක්ෂ වූ නමුත් නිසාම්වරයා එය ප්‍රතික්ෂේප කළා. ඔහුගේ ඉල්ලීම වූයේ හයිදරාබාදය ස්වාධීන රාජ්‍යයක් ලෙස හෝ බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක් ලෙස පැවතිය යුතු බව යි.

නිසාම්ගේ හමුදා (LIFE)

මේ සමය වනවිට හයිදරාබාදය පාකිස්ථානයේ සහ ගෝවේ පෘතුගාල පාලනයේ සහාය ඇතිව සිය සන්නද්ධ ශක්තිය පුළුල් කරන බව රාවයක් පැතිර ගියා. හයිදරාබාද් ප්‍රශ්නය ඉක්මනින් විසඳාගත යුතු බවට ඉන්දියාව තීරණය කළා.

පෝලෝ මෙහෙයුම​

ඉන්දීය හමුදාව විසින් හයිදරාබාදයට එරෙහි මෙහෙයුමට නම් තබන ලද්දේ "පෝලෝ මෙහෙයුම​" යනුවෙන්. ඊට හේතුව ලෙස සලකන්නේ එකල ලොව වැඩිම පෝලෝ පිට්ටනි ගණනක් තිබුණේ හයිදරාබාදයේ වීම බවයි සඳහන් වන්නේ. මෙම මෙහෙයුම "පොලිස් ක්‍රියාන්විතයක්" ලෙස යි සැලකෙන්නේ. එනම්, මෙහිදී යුධ ප්‍රකාශ කිරීමක් සිදු වූයේ නැහැ.

ඉන්දීය හමුදාව ප්‍රධාන ප්‍රහාර දෙකක් එල්ල කළා. ඒ නැගෙනහිර දෙසින් විජයාවාදා ප්‍රදේශයේ සිට සහ බටහිර දෙසින් සෝලාපූර් ප්‍රදේශයේ සිට යි. ඊට අමතරව උතුරු දෙසින් ද හමුදා ප්‍රහාරයක් එල්ල වූ අතර අනෙක් ප්‍රදේශවල ද දේශසීමා ඔස්සේ හමුදා රැඳවූවා.

නිසාම්වරයා සතුව සිටි සාමාන්‍ය හමුදා සේනා ඉන්දීය හමුදාවට මුහුණදීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ. ඉන්දීය සේනාංකවලට ප්‍රධානම තර්ජනය පැමිණියේ රසාකර් මිලීෂියා භටයන්ගෙන්. පිරිස් ශක්තිය අතින් ඔවුන් සවිමත් වුව ද ගුණාත්මකභාවය අතින් එතරම් හොඳ වූයේ නැහැ. මේ හේතුව නිසා ඉන්දීය හමුදාවට හයිදරාබාදයේ දී විශාල අභියෝගයකට මුහුණ දීමට වූයේ නැහැ.

පෝලෝ මෙහෙයුම​ (Public Domain)

1948 සැප්තැම්බර් 13 වන දා ඉන්දීය හමුදා මෙහෙයුම ඇරඹි අතර සැප්තැම්බර් 17 වන දා සවස නිසාම්වරයා සටන් විරාමයකට එකඟ වුණා. සැප්තැම්බර් 18 වන දා හයිදරාබාදය නිල වශයෙන් යටත් වුණා.

යුද්ධය නිම වූ පසු හයිදරාබාදයේ හින්දූන්, මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයන් දියත් කළා. මෙය එක්තරා දුරකට නිසාම්වරයාගේ පාලන සමයේ දී රසාකර්වරුන් වෙතින් මුහුණ දීමට වූ පීඩනයට පළිගැනීමක් ද වුණා. මේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සෙවීමට පත්කළ සුන්දර්ලාල් කොමිසම සඳහන් කරන පරිදි 27,000 සිට 40,000 දක්වා වූ ප්‍රමාණයක් ජීවිත මෙම ක්‍රියා හේතුවෙන් අහිමි වුණා.

නිසාම්වරයා 1967 දී සිදු වූ සිය මරණය තෙක්ම හයිදරාබාදයේ රාජකීය මාලිගයේ ජීවත් වුණා. ඔහුගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් රාජසන්තක වූ අතර ජීවිතයේ අවසන් සමය වෙද්දී ඔහු විශාල ධනවතෙකු වූයේ නැහැ. ඔහුගේ මැණික් සහ ආභරණ එකතුව දැනට දිල්ලියේ තැන්පත් කර තිබෙනවා.

Cover Image: පෝලෝ මෙහෙයුම සමයේ දී රසාකර්වරුන් පිරිසක් (swarajyamag.com)

මූලාශ්‍රයයන්