පුරාණයේ පිටරටවලට පබළු බෙදූ ගිරිබාවේ පබළුගම

පුරාණයේ පබළු හදපු  නිසා අදත් පබළුගම කියල හඳුන්වන ගමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාවට ආසන්න ව තිබෙනවා. එම පබළුගමේ හදපු වීදුරු පබළු ඒවායේ නිපද වූ පබළු නාවික වෙළෙඳාම මඟින් පිටරටවලටත් යවලා කියලයි කැණීම් කරපු පුරාවිද්‍යාඥයො කියන්නේ. අනුරාධපුර, පොළොන්නරු යුගවල අපේ කාන්තාවන් පැළදි ආභරණ ගැන අප තුළ ඇති කුතුහලය තවත් වැඩිකරන තැනක් තමයි මේ පබළුගම.

සීගිරිය බිතුසිතුවම්වලින් හා පුරාවස්තුවලින් එකල අගනා මාල වළලු සංස්කෘතියක් පැවති බවට සාක්ෂි මතු වී තිබෙනවා. අද කාලෙ වගේ ම එදාත් විවිධ හැඩයේ සහ වර්ණයේ පබළු මාල පැළඳීමට කාන්තාවන් ඇබ්බැහි වෙලා ඉඳලා. මේ පබළු අතීතය හෙළිදරව් කරන ගිරිබාවේ පබළුගමට ගිහින් ඒ පබළු හැදුව විදිහ ගැන හොයල බලමු.

 පබළුගල කැණීම් ස්ථානයක් – units.kln.ac.lk

පබළුගල

අනුරාධපුර යුගයට අයත් යැයි අනුමාන කෙරෙන පුරාණ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක නටබුන් සහිත පබළුගල කැණීම් පසුගිය දිනවල සිදුවුණා. මේ ගමේ මතුපිටින් අක්කර ගණනාවක වීදුරු පබළු හමුවීමත් එක්ක කාලයක් තිස්සේ ඉඳලා මේ ගම පබළුගම කියලා හඳුන්වලා තිබෙනවා. වීදුරු පබළු තැනූ ගල් මතුවන නිසා එතැනට පබළුගල කියලත් කියනවා.

වීදුරු උණුකර පබළු නිෂ්පාදනයට ප්‍රකට ව තිබූ මේ නිෂ්පාදනාගාරය අනුරාධපුර යුගයට අයත් බව මූලික පරීක්ෂණවලින් පැහැදිලි වී තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම පබළු වීදුරු මතුවන ප්‍රදේශය පුරාවිද්‍යා ආරක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පබළු විශාල ප්‍රමාණයෙන් හමු වී ඇති අනුරාධපුරය පූජා නගරය ආශ්‍රිත ඓතිහාසික ස්ථාන, මන්නාරම් තොට ආදී ප්‍රදේශ මෙන් ම ගිරිබාවේ පබළුගලත් ඉතා වැදගත් පුරාණ උරුමයක්. විදේශ රටවල්වලට මෙම ස්ථානයෙන් පබළු නිපදවන්නට ඇති බව සිතිය හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ පවසා සිටිනවා.

 කැණීම්වලින් හමුවූ පබළු – units.kln.ac.lk

පුරාවිද්‍යා කැණීම්

පබළුගල කැණීම්වල දී පුරාණ අවශේෂ සොයා ගැනීමට අමතර ව එම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම, එහි නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක වූ කාල රාමුව, පබළු නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගත් තාක්ෂණය, ජාත්‍යන්තර සබඳතා ආදි කරුණු සොයා ගැනීමටත් පුරාවිද්‍යාඥයන්ගේ විශේෂ අවධානයක් යොමු ව තිබෙනවා. මෙම පර්යේෂණය අවසාන වන විට දකුණු ආසියාවේ පුරාණ වීදුරු කර්මාන්තය පිළිබඳ පැරණීත ම සාක්ෂි රැසක් පවතින ස්ථානයක් බවට ගිරිබාව ‘පබළුගල’ පත්වනු ඇති බවයි පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ.

‘පබළුගල’ ප්‍රදේශයේ කළ මූලික සමීක්ෂණවලින් හමු වූ වළං කටුවලින් පෙන්වන්නේ පුරාණයේ මෙහි දියුණු ජනාවාස පැවති බව යි. කැලණිය විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුගම්පළ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා, ජර්මන් ජාතික පුරාවිද්‍යාඥ ආචාර්ය ariane de saxce, ප්‍රංස ජාතික පුරාවිද්‍යාඥ ආචාර්ය joelle Rolland, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය හරින්ද්‍ර ලාල් නාමල්ගමුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂ එල්. එම්. ගුණතිලක බණ්ඩා, ආචාර්ය නුවන් අබේවර්ධන සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මේ කැණීමට දායකත්වය දක්වා තිබෙනවා.

ඉබ්බන්කටුවේ පබළු මාලයක්- silumina.lk

පුරාණ ලංකාවේ වීදුරු පබළු භාවිතය

ලංකාවේ කාන්තාවන් පූර්ව ඓතිහාසික යුගයේ සිට ම අලංකාර ව සැරසී සිටීමට විශාල කැමැත්තක් දක්වා තිබෙනවා. ඔවුන්ගේ ආභරණ අතර වීදුරු පබළු මාලවලට ලැබුණේ ප්‍රමුඛ ස්ථානයක්. ඊට අමතර ව ගල්, මැටි හා කානීලියන්, ඔනික්ස් ආදී ඛණිජ වර්ගත් ආභරණ නිපදවීමට යොදා ගෙන තිබෙනවා. රන් ද යොදා ගෙන තිබෙනවා. මේ අතරින් වීදුරු පබළු ජනප්‍රිය පබළු විශේෂයක් ලෙස සැලකුණු බව පේනවා.

විවිධ හැඩයෙන් වීදුරු පබළු තනා මාල නිපදවා තිබෙනවා. වර්ණ ගැන්වීමේ දී නිල්, කොළ, දුඹුරු, කහ හා සුදු ආදී වර්ණවලින් ඒවා වර්ණ ගන්වා නිර්මාණය කර ඇති බව ද හමු වී ඇති සාධකවලින් පේනවා. ශ්‍රී ලංකාවේ පබළු භාවිතය පිළිබඳ පුරාණත ම සාධක අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටයි. ක්‍රි.පූ. 900-600 අතර මුල් යුගයේදී කාන්තාවන් බහුලව ගෙලේ පබළු මාල දමා සිටින්නට ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම් මගින් තහවුරු වෙනවා.

පුරාණ වීදුරු පබළු, රජරට විශ්වවිද්‍යාල පුරාවිද්‍යා කෞතුකාගාරය-silumina.lk

 

අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය ගැන පැරණිත ම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය කොක්එබේ මෙගලිතික සුසානයෙන්. එම සුසානය ආශ්‍රිත ව 2016 වර්ෂයේ දී රජරට විශ්වවිද්‍යාලය කළ පුරාවිද්‍යා කැණීම්වල දී ක්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානයෙන් නිල් කොළ හා දුඹුරු වර්ණයෙන් තැනූ වීදුරු පබළු රාශියක් ලැබී තිබෙන බව මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කරනවා.

ඇතුළුපුරයෙන් හමු වූ වීදුරු පබළු

අනුරාධපුර ඇතුළුපුරයේ AG 69 පුරාවිද්‍යා කැණීමේ දී හමු වී ඇති වීදුරු පබළු ක්‍රිස්තු පූර්ව 350-100 අතර කාලයේ දී භාවිත වී ඇති බවට කාලනීර්ණය වී තිබෙන බව ආචාර්ය සිරාන් දැරණියගල තහවුරු කරනවා. සිරාන් දැරණියගලගේ විග්‍රහ කිරීම් අනුව අනුරාධපුර ඇතුළුපුරයෙන් හමු වූ වීදුරු පබළු වර්ගවල හැඩවලට සමාන හැඩ, ඉන්දියාවේ උජ්ජේන්, අහිඡත්‍ර හා හස්ථිනාපුර් කැණීම්වල දී ද වාර්තා වී තිබෙනවා.

වීදුරු පබළු භාවිතය ඇතුළුපුර ජනාවාසයේ මධ්‍ය මුල් ඓතිහාසික අවධිය තුළ දී ක්‍රිස්තු පූර්ව 250 – 100 අතර කාලයේ භාවිත වී තිබෙන බව ද දැරණියගල පෙන්වා දී තිබෙනවා. ඊට පෙර අනුරාධපුරයට නුදුරු පෙදෙස්වල වීදුරු පබළු භාවිත කළ බව කොක්එබේ මෙගලිතික සුසානයේ දින වකවානුවෙන් පැහැදිලි වෙනවා.
වයඹ පළාතේ අන්දරවැව හා පොල්පිතිගම මෙගලිතික සුසානවල දින නීර්ණ අනුව දක්‍රිස්තු පූර්ව 500 දී හෝ ඊට පෙර දී වයඔ පළාත තුළ වීදුරු පබළු නිෂ්පාදනය හා භාවිත කිරීම සිදුකර තිබෙනවා.

පබළු අලංකාර පලඳනාවක් වශයෙන් වගේම සමාජ තත්ත්වය පෙන්වීමටත් යොද‌ා ගෙන ඇති බව ද ඉබ්බන්කටුව වැනි මහා ශිලා සුසානවලින් සොයා ගත් පබළුවලින් පේනවා. ඉබ්බන්කටුවෙන් ඉතා අලංකාර පබළු මාල හමු වී තිබෙනවා.

පබළුගල කැණීම්වලින් මතු කර ගත් පබළු උදුනක් -units.kln.ac.lk

පබළුගල පබළු උදුන්

රජරට විශ්වවිද්‍යාලය, ගිරිබාව ප්‍රදේශයේ දී මෙම කැණීමට පෙර කළ ක්‍ෂේත්‍ර විමර්ශනයේ දී පැහැදිලි වූයේ විවිධ වර්ණයෙන් යුත් වීදුරු පබළු රාශියක් උඳුන් ස්ථාපිත ව ඇති පබළුගල ප්‍රදේශය පුරා දැකගත හැකි බව යි.

එසේ ම ඉතා විශාල ප්‍රමාණයේ උඳුන් 15කට වැඩි ප්රාමාණයක් ගිරිබාවේ ඇති බව ගම් වැසියන් ප්‍රකාශ කර සිටියත් පුරාවිද්‍යාඥයන්ට නිරීක්‍ෂණය වූයේ විශාල උඳුන් දෙකක් පමණ යි. ඒවා ද පුරාවස්තු විනාශ කරන්නන් දැඩි විනාශයකට ලක් කර තිබුණා.

අන්දරවැව පබළු උදුනක ඇලී ඇති දුඹුරු පාට වීදුරු කැබලි – silumina.lk

අන්දරවැව මෙගලිතික සුසානය ආශ්‍රිත කැණීමේ දී ද වීදුරු පබළු ගැන සාධක රාශියක් හමුවී තිබෙනවා. වීදුරු නිර්මාණයට යොදා ගත් උඳුන මෙන් ම කැණීමේ දී හමු වූ වීදුරු පබළු නිර්මාණයට යොදා ගත් නළ කොටස්, පෙති කිරීමට පෙර ඝන වූ පබළු කොටස් මෙන් ම නිර්මාණය කළ පබළු ද ඉන් හමුවෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් ඇතුළු කණ්ඩායම හඳුනා ගත් ගිරිබාවේ පබළුගල පෞරාණික උදුන් ප්‍රමාණයෙන් විශාල ඒවා වෙනවා. එහි විශ්කම්භය මීටර් දෙකත් තුනත් අතර අගයක් ගන්නවා. එවැනි විශාල ප්‍රමාණයේ උදුන් භාවිත කිරීම මෙන් ම උදුන් විශාල ප්‍රමාණයත් එක ම ස්ථානයක තිබීමත් නිසා එම ස්ථානයේ මහා පරිමාණයෙන් පබළු නිෂ්පාදනය සිදුවන්නට ඇති බව අනුමාන කරනවා.

වඩා ජනප්‍රිය ව ඇත්තේ වීදුරු පබළු යි

කානේලීයන්, ඇගේට් වැනි ඛනිජවලින් නිර්මාණය කරන පබළු භාවිත වුණත් අතීතයේ සිටම වඩා ජනප්‍රිය ව ඇත්තේ වීදුරු පබළු යි. අභයගිරිය, ජේතවනාරාමය, තිස්සමහාරාමය, මාන්තායි වැනි ස්ථානවලින් පබළු හමු වූ විට ඒවා විදේශික රටවලින් ලැබෙන්නට ඇතැයි කියා මේ තාක් පුරාවිද්‍යාඥයන්ගේ අනුමානයක් වුණා.  පබළුගල කැණීම්වලින් ලංකාවේ වීදුරු පබළු විශාල වශයෙන් නිපදවා ඇති බව හෙළි වෙනවා.

 කැණීම් කරන අවස්ථාවක්- units.kln.ac.lk

 

එහිදී කැණීම් කණ්ඩායමට වීදුරු පබළු නිෂ්පාදනය කළ බවට හඳුනා ගත් උදුන් තුනක් හමු වුණා. භූ භෞතික ක්‍රමවේදය යටතේ පොළොවේ කළ ස්කෑන් පරීක්ෂණයකින් තවත් උදුන් 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශය අවට ඇති බවට හඳුනා ගන්නට ලැබුණා. මේ සාක්ෂි අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර රාජධානි කාලයේ දී ප්‍රධාන වීදුරු පබළු නිෂ්පාදනාගාරයක් මෙහි පවතින්නට ඇති බව යි.

දකුණු ආසියානු කලාපයේ රටවල්වල මෙවැනි පෞරාණික පබළු නිෂ්පාදනය පිළිබඳව සාක්ෂි හමුවුවත් එක ම ස්ථානයකින් මේ තරම් පබළු ප්‍රමාණයක් සහ උදුන් ප්‍රමාණයක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස හඳුන්වන්නට පුළුවන්.

 කැණීම් ප්‍රතිඵල ගැන විස්තර කරමින්-units.kln.ac.lk

පබළුගම අලංකාර පබළු

ගිරිබාවේ පබළු නිර්මාණය සඳහා නළ (Tube) සකස් කර පසුව ඒවා පෙති ලෙස (Slice) කපා ගෙන තිබෙනවා. ගිරිබාව පබළුගල උදුන් පිහිටි භූමියේ ඇති උඳුන්වල බිත්තිවල ඇලී ඇති වීදුරු අනුව නිල්, දුඹුරු හා කහ වර්ණ වීදුරු ඒවායේ නිෂ්පාදනය කර ඇති බව සැලකිය හැකි යයි මහාචාර්ය තුසිත මෙන්ඩිස් කළ ගවේෂණයක දී සොයා ගත්තා.

වීදුරුවලින් කරපු මේ වගේ පබළු හඳුන්වන්නේ ‘ඉන්දු ෆැසිපික් බීඩ්ස්’ කියල යි. එවා පුරාණයේ දී ලෝකය පුරා ම සංසරණය වෙලා තියෙනවා. මේ පබළු නිර්මාණය කළ මුල් භූමිය විදියට මේ වනතෙක් සැලකුණේ දකුණුදිග ඉන්දියාව යි. පුරාවිද්‍යා ගවේෂණවලින් ලැබුණු දත්ත අනුව ලංකාවෙන් හමුවන මේ පබළු දකුණු දිග ඉන්දියාවෙන් හමුවන පබළුවලට වඩා පරණ බව පැහැදිලි වී තිබෙනවා.

මෙම පබළු නිෂ්පාදනාගාරයෙන් ලැබෙන කැණීම් ප්‍රතිඵල මත අනුරාධපුර මුල් අවධියේ සිට එහි අගභාගය වන 8-9 සියවස් වනතෙක මෙහි පබළු නිෂ්පාදනය සහ සංසරණය තිබුණු බව පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. කෙසේ වුවත් මේ අනුමානය කාල නිර්ණ වාර්තාවලින් තහවුරු වුණොත් දකුණු ආසියාවේ පැරණිතම වීදුරු පබළු නිෂ්පාදනාගාරය ලෙස තැනක් ගන්නට පබළුගලට හැකියාව ලැබේවි.

කවරයේ ඡායාරූපය- පබළු කැණීම් බිම සහ හමුවූ වීදුරු පබළු -units.kln.ac.lk/dinamina.lk 

මූලාශ්‍ර:
units.kln.ac.lk
dinamina.lk
lankadeepa.lk
silumina.lk
ලක්දිව ආභරණ ඉතිහාසය- මාලිංග අමරසිංහ

Related Articles