ආසියාවේම විශාලතම බලකො‍ටුව: පද්මාවතියගේ චිත්තෝරය

රාණි පද්මිණී (පද්මාවතිය) දැක්වෙන, 18වන සියවසේ සිතුවමකි. (Wikimedia)

මේ වෙනකොට ඔබ බොහොමයක් දෙනා “පද්මාවත්” චිත්‍රපටය නරඹා ඇති. නැතිනම්, මේ වන විට ඒ ගැන අසා හෝ ඇති. පද්මිණී (පද්මාවතී) නම් ලාංකික කුමරියක රාජ්පුත් රජෙකු හා විවාහ වී රාජස්ථානයට පැමිණීමෙන් අනතුරුව එහි ඇතිවන සිදුවීම් දාමයක් පද්මාවත්හි දැක්වෙනවා. කොහොම නමුත් අපගේ අරමුණ පද්මාවතී හෝ “පද්මාවත්” ගැන කතාකිරීම නොවෙයි.

පද්මාවතියට මියෙනතෙක්ම නිවහන වූ චිත්තෝර්ගාර් බොහෝ යුද්ධයන්, පෙම් පුවත්, සහ ඛේදවාචකයන් දැක ඇති මහා බලකො‍ටුවක්. ඉන්දියාවේ විශාලතම රාජ්පුත් බලකො‍ටුව වන මෙය, ආසියාවේ විශාලතම බලකො‍ටුව යන විරුදාවලිය ද හිමිකරගත්තක්. චිත්තෝරය ගැන ඇති බොහොමයක් කතා වලින් ඉතා ස්වල්පයක් මේ ලිපියෙන් ඔබට තිලිණ කරනවා. කියවලම නොබලන්නෙ ඇයි?

දෑවැද්දට තෑගි කෙරුණු මෞර්ය බලකො‍ටුව

චිත්තෝර් බලකො‍ටුව, එසේත් නැතිනම් “චිත්තෝර්ගාර්”, ගොඩනැගුණු හැටි සහ රාජ්පුත්වරුන්ට අයත් වූ හැටි ගැන පුරාවෘත්තයන් කීපයක් තිබෙනවා. බලකො‍ටුවේ පෞරාණිකත්වය නිසාම එය ඉදිකිරීම​ ගැන පැහැදිලි සාක්ෂියක් නම් නැතත්, චිත්‍රන්ගධා මෝරි නම් මෞර්ය වංශික ප්‍රාදේශීය රජෙකු විසින් මෙය ගොඩනගන්නට ඇතැයි ද, බලකො‍ටුවට “චිත්තෝර්” නම ලැබුණේ එනිසා යැයි ද පොදු විශ්වාසය වනවා.

චිත්තෝර්ගාර්  (thebackpackersgroup.com)

පුරාණ භාරතයේ “චිත්‍රකූට” යනුවෙන් හැඳින්වුණු පර්වතය මත පිහිටි චිත්තෝර්ගාර් අක්කර 691.9ක් පුරාවට පැතිර ඇති මහා බලකො‍ටුවක්. මහා ද්වාරයන් 7ක් සහිත මෙහි පද්මිණී බිසවගේ මාළිගය ද ඇතුළුව තවත් මාළිගා කීපයකුත්, දේවාලයන් ‍රැසකුත්, විශාල ජෛන දේවස්ථාන සංකීර්ණයකුත්, විජයග්‍රහණයේ කුළුණත්, ගෝමුඛ් ජලාශය ඇතුළු පොකුණු සහ ලිං 22කුත් දැකගන්නට පුළුවන්. එකල නම් වතුර ලීටර බිලියන 4ක ධාරිතාව සහිත, 50 000ක හමුදාවකට වසර 4කට ඇතිවන තරම් ජලය ගබඩා කළ හැකි ජල මූලාශ්‍රයන් 84ක් මෙහි තිබුණා ලු. මහාභාරතයේ සඳහන් වන “භීම” නම් විරුවා සිය මුළු ශක්තිය යොදා චිත්‍රකූටයෙහි පොළවට පහර දීමෙන් එහි මහා ජලාශයක් ඇතිවුණු බව ජනප්‍රවාද වල සඳහන් වෙනවා. අද චිත්තෝර්ගාර්හි “භීම්ලත් කුන්ධ්” නමින් හැඳින්වෙන පොකුණ පිහිටා තිබෙන්නේ එකල භීම විසින් සෑදූ ජලාශය පිහිටි තැන බවයි ඔවුන්ගේ විශ්වාසය.

චිත්තෝර්ගාර්හි ජෛන දේවස්ථානයක්  (HD Wallpapers)

චිත්තෝර්ගාර් ප්‍රසිද්ධ රාජ්පුත් බලකො‍ටුවක් විදියටනෙ. මේක මෞර්යයන්ගෙන් රාජ්පුත්වරුන් අතට පත් වූ ආකාරය පිළිබඳව මතයන් කීපයක් තිබෙනවා. ඉන් එක් මතයක් අනුව ගුයිලා රාජ වංශයේ බප්පා රාවල් නම් රාජ්පුත් පාලකයා ක්‍රි.ව. 730 දී පමණ මෙම බලකො‍ටුව මෞර්යයන් හා සටන් වැද දිනාගෙන තිබෙනවා. තවත් මතයකට අනුව අරාබීන් විසින් බලකො‍ටුව මෞර්යයන්ගෙන් පැහැරගෙන ඇති අතර, බප්පා රජු එය අරාබීන්ගෙන් දිනාගෙන තිබෙනවා. වඩාත් ජනප්‍රිය මතය වූ තෙවැන්නට අනුව, බප්පා රජු මෝරි කුමරියක සරණපාවා ගෙන ඇති අතර, ඇගේ දෑවැද්දේ කොටසක් වශයෙන් මෙම බලකො‍ටුව රාජ්පුත්වරුන් අතට ලැබී තිබෙනවා.

අල-උද්-දීන් ඛිල්ජිගේ ආක්‍රමණය සහ පද්මාවතියගේ සියදිවි නසාගැනීම

බප්පා රාවල් විසින් දිනාගත්තායින් පසු වසර 1303 පමණ වන තෙක් චිත්තෝර්ගාර් තිබුණේ ගුයිලා පාලකයින් අතේ යි. නමුත් එම වසරේ දී දිල්ලි සුල්තාන් රාජ්‍යයේ පාලක අල-උද්-දීන් ඛල්ජි විසින් චිත්තෝර්ගාරය ආක්‍රමණය කළා. මේ සම්බන්ධවත් ප්‍රසිද්ධ කතා දෙකක් තිබෙනවා.

පද්මාවතිය ගේ මාළිගය (Culture Trip)

එක් කතාවකට අනුව අල-උද්-දීන් විසින් මාස 8ක් තිස්සේ සටන්කොට එකල චිත්තෝරයේ පාලකයා වූ රත්නසිංහ රජු පරාජය කිරීමෙන් බලකො‍ටුව අල්ලාගෙන, 30 000ක් පමණ හින්දූන් ද ඝාතනය කරනවා.

නමුත් පසු කාලීනව ප්‍රසිද්ධියට පත්වුණු ජනප්‍රවාදයකට අනුව අල-උද්-දීන් චිත්තෝර්ගාරය හා සටන්වදින්නේ රාවල් රත්නසිංහගේ පියකරු බිසව වූ පද්මිණී ‍රැජිණ ගැන අසා, ඇය අයත් කරගැනීමේ චේතනාවෙන්. පද්මිණියගේ (පද්මාවතියගේ) අසමසම රුව ගැන ඇසූ සුල්තාන්වරයා චිත්තෝරයට පැමිණ රත්නසිංහ රජුට අණ කරන්නේ බලකො‍ටුවට පහර නොදීමට නම් තමාට පද්මිණී බිසව දැකීමට සලස්වන ලෙසයි. සාකච්ඡා ‍රැසකින් අනතුරුව සුල්තාන්වරයා නිරායුධව මාළිගයට පිවිසෙන අතර, එහි දී දර්පනයක් මත පිළිබිඹු වන පද්මිණියගේ ඡායාව ඔහුට දැකීමට සලස්වනවා. ඇගේ සෞන්දර්යයෙන් වශී වූ ඔහු ඈව අසම්මත සම්බන්ධයකට පොළඹවාගැනීමට දැරූ අසාර්ථක තැත අවසන් වන්නේ ඔහු විසින් මෙහෙයවුණ දිල්ලි සුල්තාන් රාජ්‍යයේ භටයින් සහ චිත්තෝරයේ භටයින් මහා සටනකට අවතීර්ණ වීමෙනු යි. සටනේ දී රත්නසිංහ රජු මියයන අතර, පද්මිණිය ඇතුළු රාජ්පුත් කාන්තාවන් මහා පිරිසක් “ජෝහාර්”, එනම්, සතුරන්ට හසු නොවනු පිණිස ගින්නට පැන සියදිවි නසාගැනීම සිදුකළ බව කියැවෙනවා.

මේ අත් සළකුණු ජෝහාරය සිදු කළ රාජ්පුත් කාන්තාවන්ගේ ය. ජෝහාරයට පෙර තබන මේ අත් සළකුණ එකිනෙකාගේ අනන්‍යතාව වෙයි. (Kamloops This Week)

වසර කීපයකට පසු අල-උද්-දීන් ඛල්ජිගේ මරණයෙන් අනතුරුව ඔහුගේ පුතු, ඛිස්ර් ඛාන්ට හිමිවන බලකො‍ටුව “ඛිස්‍රාබාද්” යනුවෙන් නම් කෙරෙනවා.

තවත් සටන්, ජෝහාර්, සහ අක්බාර්

තමන්ගෙන් ගිලිහී ගිය චිත්තෝර්ගාරය දිනාගැනීමට රාජ්පුත්වරුන් නිතර උත්සාහ කළා. එතරම් බලවත් පාලකයෙක් නොවුණු මෙම ඛිස්ර් ඛාන් මෙම ප්‍රහාරයන් දරාගැනීමට නොහැකිව බලකො‍ටුව ප්‍රාදේශීය පාලකයෙකුට පැවරුවා. ඉන් සත්වසකට පසු මේවාර් පෙළපතේ හමීර් සිං ඔහු පරදවා බලකො‍ටුව දිනාගත්තා. මේවාර් පෙළපත සටන්කාමීන් බිහිකළ රාජ්පුත් පෙළපතක්. එයින් බිහිව 1433 දී බලයට පත් වූ රානා කුම්භ ඉතා බලවත් පාලකයෙකු වුණා. කෙසේ නමුත් මේවාර් හි පරිහාණිය ඇරඹුනේ ද එතැනින් කිවහැකි යි. රානා කුම්භ ගේ පුත්‍රයා වූ රානා උදයසිංහ සිංහාසනය උදෙසා සිය පියාව මරා දැමුවා. 1527 දී ඔහුගෙන් පැවතෙන්නෙකු වූ රානා සංග, පළමු මූගල් අධිරාජයා වූ බාබුර් සමඟ සටන් වැද පරාජයට පත්වෙනවා. එයින් අන්ත දුර්වල අඩියකට වැ‍ටුණු චිත්තෝර්ගාරය 1535 දී ගුජරාත් සුල්තාන් අධිරාජ්‍යයේ බහදූර් ෂාහ් විසින් ආක්‍රමණය කරනවා. ඉනුත් පරාජය වී යටත් වන චිත්තෝර්ගාරය නැවතත් මහා ජෝහාරයක් අත්දකිනවා.

මහා අක්බර් හා රාජ්පුත්වරුන් අතර කෙරුණු යුද්ධය දැක්වෙන, 1822 නිර්මාණය වූ සිතුවමකි. (Wikimedia)

පසුකලෙක නැවත වරක් චිත්තෝර්ගාර් රාජ්පුත්වරුන් විසින් අත්පත් කරගත්තත්, එවර ඔවුනට අභියෝග කරන්නේ මූගල් අධිරාජ්‍යයෙකු වූ මහා අක්බර් විසිනු යි. මුළු ඉන්දියාවම මූගල් අධිරාජය යටතට ගෙන ඒමේ ආශාවෙන් පෙලුනෙකුයි මහා අක්බර්. ඉන්දියාව පුරා සිටි ප්‍රාදේශීය පාලකයින් එක්කෝ ඔහුට කප්පම් ගෙවීම හෝ මූගල් හමුදා සමඟ සටන් වැදීම යන දෙකෙන් එකක් ‍තෝරාගත යුතු වුණා. අක්බර් විශාල හමුදාවක් අයත්ව සිටි මහා රණකාමියෙක්. එනිසා ඔහුට කප්පම් නොගෙවා සිටීමට තරම් නිර්භීත වුණේ රාජ්පුත් රජවරුන් කීපපලක් පමණයි.

1567 දී මේවාර් හි පාලක දෙවන උදය සිං හා අක්බර් අතර මාස ගණනාවක් පැවැත්වෙන යුද්ධයක් ආරම්භ වෙනවා. 1568 දී එය අවසන් වන්නේ තවත් ජෝහාරයකින් සහ චිත්තෝර් බලකො‍ටුව මූගල්වරුන් අතට පත්වීමෙන්. ඉන්පසු බොහෝ කලක් යනතුරුත් චිත්තෝරය තිබුණේ මූගල් පාලනය යටතේ යි.

“ජෝහාර් කුන්ධ්” යනුවෙන් හැඳින්වෙන මෙහි විශාල ගින්නක් අවුලවා ඒ තුළට පැනීමෙන් ජෝහාරය සිදුකරයි. (FilmiBeat)

ඉන් දශක ගණනාවකට පසුව, 1616 දී, මූගල්වරුන් සහ රාජ්පුත්වරුන් අතර සාම ගිවිසුමක් ඇතිවෙනවා. එහි දී මූගල් පාලක ජහාන්ගීර් විසින් චිත්තෝර්ගාරය නැවතත් රාජ්පුත්වරුන් අතට පත්කරන්නේ, චිත්තෝර් බලකො‍ටුව යලි කිසිදෙනෙක පිළිසකර නොකරන බවට අමර් සිං නම් රාජ්පුත් රජුව පොරොන්දු කරවාගෙන යි.

වර්තමානයේ චිත්තෝර්

චිත්තෝර්ගාරය අද වන විටත් ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බලකො‍ටුවක්. මෙය නැරඹීම සඳහා වසරක් පාසා එහි පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ ගණනක්. ඔබත් චිත්තෝරයට සංචාරය කරන්නට සැලසුම් කරනවා නම් එහි නැරඹිය යුතුම ස්ථානයන් කීපයක් තිබෙනවා. රාම් පෝල් ඇතුළු මහා ද්වාරයන් සතත්, විජය ස්තම්භ සහ කීර්ති ස්තම්භ යනුවෙන් හැඳින්වෙන කුළුණු දෙකත්, රානා කුම්භ, ෆටේ ප්‍රකාශ්, සහ පද්මිණී මාළිගාත්, ගෝමුඛ් ජලාශයත් ඒ අතරින් ප්‍රධාන යි. ඊට අමතරව තුල්ජා භවානී නම් දේවතාවිය සඳහා කැපකළ දෙවොලත්, 8වන ශතවර්ෂයේ සූර්ය දෙවොලක් සේ ඉදිව, පසුව 14 වන ශතවර්ෂයේ දී කාලි දෙවොලක් බවට පත්කෙරුණු, “කාලිකා මාතා දෙවොල” යනුවෙන් හැඳින්වෙන දෙවොලත් විශේෂ ස්ථානයන්. පසුව සඳහන් කළ දෙවොල පිහිටන්නේ පද්මිණී ‍රැජිණගේ මාළිගය තුල යි.

චිත්තෝර්ගාර්හි වසරක් පාසා “ජෝහාර් මේලා” නම් රාජ්පුත් උත්සවයක් පැවැත්වෙනවා. පද්මිණියගේ ජෝහාරය ඇතුළු, චිත්තෝර්ගාර්හි සිදුවුණු ජෝහාර තුනම සමරනු වස් පවත්වන්නේය කියනා මෙම උළෙලට රජ පවුල් ද ඇතුළු රාජ්පුත් පවුල් වලින් පැවත එන්නන් බොහෝ පිරිසක් සහභාගී වෙනවා. පෙබරවාරි හා මාර්තු අතර පැවැත්වෙන මෙය රාජ්පුත්වරුන්ගේ අභිමානය හා ගෞරවය පිළිබිඹු කිරීමේ අරමුණ ද ඇතිව පැවැත්වෙන්නක්.

ජෝහාර් මේලා (joharsamariti.org)

2013 වසරේ දී චිත්තෝර්ගාර් ඇතුළු බලකො‍ටු 6ක් යුනෙස්කෝ මගින් ලෝක උරුමයක් ලෙස නම්කෙරුණා. ඒ පිළිබඳව වැඩි විස්තර ඔබට මෙම ලිපියෙන් කියවිය හැකියි.

මූලාශ්‍ර:

culturalindia.net

chittorgarh.com

chittorgarhonline.in

wikitravel.org

hindustantimes.com

Cover image: AP Heritage

Related Articles