මහා පරාක්‍රමබාහු රජ මාලිගයෙහි අසිරිය

වසර 150කට ආසන්න කාලයක් පැවති පොළොන්නරුව රාජධානිය පාලනය කළ සාර්ථක ම පාලකයා වුණේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුව පොළොන්නරු රාජධානිය අත්පත් කරගත් පරාක්‍රමබාහු රජතුමා සිය රාජ්‍ය කාලය තුළ විශාල වැඩ කොටසක් ඉටු කළ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එලෙස පැරකුම් යුගයේ දී ඉදිවුණු සුවිසල් නිර්මාණ දකින විට බොහෝ දෙනෙකුගේ මනසෙහි සිතුවම් වන්නේ එදා පොළොන්නරු රාජධානිය තුළ තිබුණු ශ්‍රී විභූතිය යි.

නිර්මාණ කරවීමෙන් පමණක් නොනැවතී ලක්දීපය සහලින් ස්වයංපෝෂිත කළ පැරකුම්බා රජතුමා පරාක්‍රම සමුද්‍රය වැනි සුවිසල් වැව් ඉදි කරවනු ලැබුවා. එම යුගයේ දී මෙරට හමුදාව බුරුම රටත් ආක්‍රමණය කළා. ඉන් පැහැදිලි වන්නේ පරාක්‍රමබාහු යුගයේ දී ලංකාව සෑම අතින්ම ප්‍රබල රාජ්‍යයක් වී තිබුණු බව යි. එලෙස පොළොන්නරුව රාජධානිය තුළ ස්වර්ණමය යුගයක් නිර්මාණය කළ මහා පැරකුම්බා රජතුමා වාසය කළ සුවිසල් මාලිගාවේ නටබුන් අදටත් ඉතිරිව තිබෙනවා. 

රජ මාලිගය පිළිබඳව පැරණි මූලාශ්‍රවල අඩංගු කරුණු  

පොළොන්නරුවේ ‘ඇතුළු නුවර’ දක්නට ලැබෙන විශාලතම ගොඩනැගිල්ල වන්නේ පරාක්‍රමබාහු රජ මාලිගය යි. චූලවංශයේ ‘වෛජයන්ත ප්‍රාසාද’ නමින් හඳුන්වා ඇති මෙම ගොඩනැගිල්ල එම අවධියේ දී මහල් 7ක් උසට ගොඩනගා තිබුණු බවට මතයක් පවතිනවා. වර්තමානයේ ඉතිරිව ඇත්තේ එම රජ මාලිගයේ මහල් 3ක නටබුන් පමණ යි. 

ක්‍රි.ව. 1215 දී  කාලිංග මාඝ විසින් පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කරනු ලැබුවා. එදා මාඝ නම් කෲරතර ආක්‍රමණිකයා රාජධානියේ වස්තුව කොල්ල කා වෙහෙර විහාර විනාශකර දැමුවා. බොහෝ විට මාඝගේ ආක්‍රමණය නිසා පරාක්‍රමබාහු රජ මාලිගයත් විනාශ වුණා යැයි විශ්වාස කළ හැකියි. එසේම එම අවධියේ දී මෙම මාලිගය තුළ කාමර 1000ක් තිබුණු බව මහාවංසයේ සඳහන් වනවා. මාලිගයේ කාමර දහසක් තිබීම එක්වරම අදහාගත නොහැකි කාරණයක් වුණත් ඉතිහාස මූලාශ්‍රවල පවතින දේවල් එක්වරම බැහැර කළ නොහැකියි. 

පරාක්‍රමබාහු රජ මාලිගය (gettyimages)

අතීතයේ දී මෙම මාලිගයේ සමහර කොටස් රනින් අලංකාර කර තිබුණු බවට ද මතයක් පවතිනවා. එය ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි හමු නොවුණත්, මාලිගයේ බිත්ති සිතුවම්වලින් අලංකාර කර තිබුණු බව ඔප්පු කළ හැකි ආකාරයේ පුරාවිද්‍යාත්මක සාධක හමුව තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ බිත්තිවල මුල්ම කපරාරු බදාමය මත තිබී පැරණි බිතුසිතුවම්වල ශේෂ වුණු වර්ණ කොටස් හමු වුණා. ඉන් නිගමනය කළ හැක්කේ අතීතයේ දී මෙම මාලිගය බිතු සිතුවම්වලින් අලංකාර කර තිබුණු බවයි.

මාලිගයේ බිම් සැලැස්ම 

රජ මාලිගයේ බිම් මහලේ නටබුන් තවමත් ඉතිරිව තිබෙන බව එහි යන සංචාරකයෙකුට නිරීක්ෂණය කළ හැකියි. බිම් මහලේ නටබුන් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලින් පසුව එහි තිබුණු දේවල් පිළිබඳව අනාවරණය වුණා. පහත දක්වා ඇත්තේ මාලිගයේ බිම් මහලේ අන්තර්ගත අංගයන් පිළිබඳව යි.

1) පිට බැම්ම 

2) බිම් මහලේ සේවා භූමිය 

3) මැද මිදුල 

4) මඟුල් මඩුව 

5) මුර කුටි 

6) ශෛලමය පියගැට පෙළ 

7) ඇතුළු ගර්භය 

8) සෙල් ආසනය 

9) ප්‍රධාන දොරටුව 

10) රහස් දොරටුව 

බිම් මහලේ පිහිටා තිබෙන ප්‍රධාන දොරටුවෙන් මාලිගාවට ඇතුල් වුණු විට විශාල අංගනයකට පිවිසිය හැකියි. තවත් ඉදිරියට ගිය විට අඩි 102×42 දිග සහ පළලින් යුත් ශාලාවක් හමුවනවා. එම ශාලාව තුළ දැව කණු පිහිටා තිබුණු බව ඔප්පු කළ හැකි සලකුණු තවමත් ඉතිරිව තිබෙනවා. බිම් මහල වටා එක් පෙළකට කාමර පනහක් පමණ ඇති කාමර පේළි 3ක් පිහිටා තිබුණු බව දක්නට ලැබෙනවා. එදා මුර කුටි ලෙස භාවිතා කළ එම කාමරවලට පිටින් ආලින්ද මාර්ගයක් ද පිහිටා තිබෙනවා. 

ගොඩනැගිල්ල පිළිබඳව තවදුරටත්  

පොළවේ පිහිටි විශාල දැව කණු රාමුවකින් ඉහළ මාලවල බර දරා සිටින ආකාරයට මාලිගාව නිර්මාණය කර තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි. එම දැව කණු ගඩොල් සහ බදාමවලින් ආවරණය කර අවසානයේ බිත්ති කපරාරු කිරීමෙන් පසුව එහි බිතුසිතුවම් ඇඳ තිබෙන්නේ අලංකාර කිරීම සඳහා යි. දැනට ඉතිරිව ඇති විශාල බිත්ති අඩි 30ක් පමණ උසකින් සහ අඩි 5ක් පමණ පළලකින් සමන්විත වෙනවා. කුඩා බිත්තිවල පළල අඩි 3ක් පමණ වනවා.

මෙම රජ මාලිගය දෙස හොඳින් බැලූ විට විශාල කුහර සහ සිදුරු  රැසක් දක්නට ලැබෙනවා. එම කුහර සහ සිදුරු මාලිගයේ ඉහළ මාලවල දැවමය කවුළු සඳහා භාවිතා කළ ඒවා බවට නිගමනය කළ හැකියි. එසේම, ගොඩනැගිල්ලේ වහළය දරා සිටීම සඳහා කුළුණු 36ක් ඉදිකර තිබුණු බව ද නිරීක්ෂණය කළ හැකියි. මෙය මහල් 7කින් සමන්විත ගොඩනැගිල්ලක් බව ඉතිහාස මූලාශ්‍රයන් හි සඳහන් වනවා. මෙම මාලිගයේ එක් පසෙකින් ශෛලමය පියගැට පෙළක් දැකිය හැකි අතර, ඉන් පැහැදිලි වන්නේ මහල් 7 සම්බන්ධ කරමින් විශාල ශෛලමය පියගැට පෙළක් පිහිටා තිබුණු බව යි. 

බිත්තිවල සිදුරු සහ කුහර  (gettyimages)

මාලිගා බිමේ ඇති වෙනත් දේවල් 

පරාක්‍රමබාහු රජ මාලිගය පිහිටා තිබෙන බිම ආශ්‍රිතව තවත් නටබුන් රැසක් දක්නට ලැබෙනවා. එම නටබුන් අතුරින් සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ රාජ සභා මණ්ඩපයට යි. සාමාන්‍යයෙන් එය හඳුන්වනු ලබන්නේ ‘රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය’ යන නමින්. එය අඩි 75 පමණ දිග, අඩි 33ක් පළල අඩි 11ක් පමණ උස ක්‍රමයෙන් කුඩා වන වේදිකා තුනකින් සමන්විත පාදමක් මත ඉදි කළ ගොඩනැගිල්ලක්. වේදිකාවේ පැති පහළ කොටස ඇත් රූපවලින් ද, මැද කොටස සිංහ රූපවලින් ද, ඉහළ කොටස වාමන රූපවලින් ද කැටයම් කර තිබෙන අයුරු දැකිය හැකියි. එසේම මෙම ගොඩනැගිල්ලේ වහලය දරා සිටීම සඳහා ශෛලමය කුළුණු 12ක් ඉදිකර තිබුණු බව නිරීක්ෂණය කළ හැකියි.

රාජ සභා මණ්ඩපය  (gettyimages)

මෙම මාලිගා සංකීර්ණයේ දැකිය හැකි අනිකුත් ප්‍රධානතම ස්මාරකය වන්නේ මඟුල් උයනේ පිහිටි තිබෙන ‘කුමාර පොකුණ’ නමින් හඳුන්වනු ලබන ස්නාන තටාකය යි. පරාක්‍රමබාහු රජතුමා මාලිගය ආසන්නයේ නොයෙක් තුරුලතා හා මල් උයන් වලින් අලංකාර කොට  ‘නන්දන’ නමින් උයනක් කරවූ බව මහා වංශයේ සඳහන් වනවා. එය ජල යන්ත්‍ර මඟින් විහිදෙන වතුරමල් යොදා අලංකාර කර තිබුණු නිසා හැමදා වැසි ඇති තැනක් මෙන් දිස් වුණු බවත් මහාවංසයේ ලියැවී තිබෙනවා. එසේම මඟුල් උයනේ විසිතුරු මණ්ඩප, පොකුණු, ක්‍රීඩා ස්ථාන ආදිය මෙන්ම මගුල් පොකුණ ද ඉදිකර තිබුණු බව මහාවංසයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. 

කුමාර පොකුණ  (gettyimages)

කවරයේ ඡායාරූපය- පරාක්‍රමබාහු රජ මාලිගය  (gettyimages)

මූලාශ්‍ර 

1) මහාවංසය 

2) මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව

Related Articles