දිය හිරකර මහ වැව් බැඳවූ, මහ පැරකුම්බා

පොළොන්නරු යුගයේ දි දේශීය වාරි කර්මාන්තය ප්‍රබල සංවර්ධනයකට ලක්‌ වන්නේ 1 වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ බවට වචන දෙකක් නැහැ.  පැරකුම්බා රජරට පමණක් නොව වයඹ පළාතෙත් වැව් රාශියක් කරවා තිබෙනවා.  වැව පිළිබඳ සංකල්පය සමුද්‍ර සංකල්පයක්‌ දක්‌වා පරිවර්තනය කිරීමට ඔහුට අවශ්‍ය වී තිබුණා. ‍

දක්ෂිණ දේශයේ රජවෙයි

දැදුරුඔය රිඳීබැදිඇළ අමුණ-  deduru-oya-anicut.business site

සිය සුළුපියා වූ කීර්ති ශ්‍රී මේඝගේ  ඇවෑමෙන් දක්ෂිණ දේශ නම් වූ සාමාන්ත රාජ්‍යයේ අධිපති බවට, තරුණ පැරකුම්බා කුමරු පත්වෙනවා. සංඛනායකත්ථලී  නම් එය පිහිටියේ බතලගොඩට නුදුරුව යි. පැරකුම් රජු පාලනය කරන විට දක්ෂිණ දේශය, උතුරින් කලා ඔයත්, නැගෙනහිරින් මාතලේ දිස්‌ත්‍රික්‌කය හා උඩුදුම්බරත්, දකුණින් බෙන්තොට ගඟත්, බටහිරින් මුහුදත් සීමා ලෙස පැවති භූමි ඒකකයක්‌ වුණා.

“අහසින් වැටුණු වැසි බිඳක් පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට භාජන නොවී මුහුදට ගලා නොයා යුතු ය”, යන සුප්‍රසිද්ධ ප්‍රකාශය ඔහු  විසින් කරන ලදැ යි දැක්වෙන්නේ මේ මුල් කාලයේ දී යි. 

දක්ඛිණ දේශයේ මහවැව් හෝ වාරි ඇළ මාර්ග තිබුණේ නැහැ. කෙත් ස්වල්පයක් පමණයි අස්වද්දා තිබුණේ. පරාක්‍රමබාහු කුමාරයා ලොකු ගඟක් බැඳ දිය රඳවා ගොවිතැනට ජලය සැපයීමට තීරණය කළා.  මේ සඳහා ඔහු තෝරාගත්තේ  ජජ්ජර නදිය (දැදුරු ඔය) යි.

දැදුරු ඔය හරස් කරයි

දැදුරුඔය අමුණ – deduru-oya-anicut.business site

දැදුරු ඔය තුන් පළකින් හරස් කර අමුණු බැඳ ඇළවල් තනවා ගොවිතැනට ජලය ලබාගෙන තිබෙනවා. මින් පළමු ඇළ වුණේ ග‍ඟේ පහතින්ම පිහිටි “කොට්ඨ බද්ධ” නමින් හඳුන්වන අමුණ යි.

දෙවන වාරි කර්මාන්තය වූයේ හක්වටුන ඔය සහ කිඹුල්වාන ඔය යන අතු ගංගා එකට හමුවන ස්ථානය වූ සූකර නිජ්ජරයෙහි අමුණක් බැඳවීම යි. මේ අමුණේ සිට ඇළක් මඟින් මහාගල්ලක වාපියට (නිකවැරටියේ පිහිටි මීට දැන් මාගල්ල වැවයැ යි කියනු ලැබේ) ජලය ගෙන ගොස් තිබෙනවා. මේ වැව ඊට අවුරුදු 850කට පමණ පෙර මහසෙන් රජු විසින් තනවන ලද්දක්. වැවේ වේල්ල ශක්තිමත් කර, අලුත් ඇළෙන් ගෙන එනු ලබන ජලය රඳවා ගැනීමට හා පිට කිරීමට හැකි වන සේ එහි සොරොව්ව විශාල කර තිබෙනවා.

දැදුරු ඔය සම්බන්ධ තුන්වැනි වාරි කර්මාන්තය නම් දෝරදත්තික නම් ස්ථානයෙහි අමුණක් බැඳ, එතැන් සිට සූකර නිජ්ජරය (දෙවැනි අමුණ පිහිටි ස්ථානය) දක්වා පෙදෙස කුඹුරු වගාකළ හැකි අයුරින් අමුණේ ඇළක් තැනවීම යි. මේ නිසා මේ තුන්වැනි කර්මාන්තය පිහිටියේ දෙවැන්නට වඩා ග‍ඟේ ඉස්මත්තෙන් (පාදෙණිය අනුරාධපුර පාරේ දැදුරු ඔය පාදිය මංකඩේ සිට පැතැපුම් 4ක් පමණ ඊසාන දිගින් පිහිටි, කැඩී පාළුවට ගොස් ඇති තිලගල්ල වැවයැ යි කොඩ්රිංටන් සලකන). මේ අතරින් කොට්ඨබද්ධ අමුණේ නටබුන් දැකගත නොහැකි වුණත් දෙවැනි හා තුන්වැනි වාර්මාර්ගවල සලකුණු දැක ගැනීමට ලැබෙනවා.

3 මාගාල්ල වැවේ සුන්දරත්වය- Magalla wewa fb page

හක්වටුන ඔය සහ කිඹුල්වාන ඔයත් එක්වන දෙමෝදර අසලම ඊට පහතින් පැරැණි අමුණු බැම්මක් වුණා. වංශ කතාවල “සූකර නිජ්ජර’ යනුවෙන් සඳහන් කරන ලද්දේ මේ ස්ථානය යි. 1889 දී හෙන්රි පාකර් විස්තර කරන්නේ මේ කළුගල් අමුණු බැම්ම දිගින් අඩි 280ක් සහ උස අඩි 15ක් වන බව යි.  

මෙහි දී වඩා විශාල අමුණු බැම්මකින් ජලය බැඳ රඳවා, දැන් රිදීබැඳ ඇළ නමින් හැඳින්වෙන ඇළ දිගේ මාගල්ල වැව කරා ජලය ගෙන ගොස් තිබෙනවා. මාගල්ල වැවට ඇතුළුවන්නා වූ එකම ඇළ නම් එබවලපිටිය අමුණෙන් නික්මෙන රිදීබැඳි ඇළ යි. මේ නිසා මෙය ඒකාන්තයෙන්ම පරාක්‍රමබාහු මහරජතුමා විසින් දැදුරු ඔයේ කරවන ලද දෙවැනි වාරි කර්මාන්තය වෙයි. සැතපුමක් දිග වේල්ලකින් යුත් මාගල්ල වැවේ ජල ධාරිතාව අක්කර අඩි 6205ක්. මේ වැව 1873 දී සහ 1958 දී ප්‍රතිසංස්කරණය කළා.

පරාක්‍රමපුර හෙවත් පඬුවස්නුවර

පරාක්‍රමපුරයට ඇතුළු වන දොරටුව – Lakpura.com

මේ අතර රජු තම රාජධානිය අලුත් අගනුවරකට ගෙන යනවා. ඒ පරාක්‍රම පුරය (හෙට්ටිපොළ අසල දැන් පඬුවස්නුවර නමින් හැඳින්වෙන පෙදෙස) යි. පරාක්‍රමබාහු  නව අගනුවර රාජ මාලිගා ඇතුළු ගොඩැනැගිලි ඉදිකර, වටේට දියඅගල් සහ ප්‍රාකාර ඉදිකරවනවා.

පඬා වැව බිසෝ කොටුව-  Amazing lanka.com , Nishan Weerasooriya

මාලිගයට නුදුරින් පාණ්ඩවාපී හෙවත් පාණ්ඩ වැව යනුවෙන් හැඳින්වුණු පුරාණ වැවක් තිබුණා. මේ වැව I වැනි විජයබාහු රජතුමන් විසින් ප්‍රකෘතිමත් කරවූ තැනක්. පැරකුම්බා රජු  කොළමුණ ඔය හරහා සැතැපුම් 1½ක් පමණ එහි කණ්ඩිය දික්කර, එය අඩි 24ක් උස් කරවූවා. එවිට වැව විශාල වුණා.  අක්කර 1000 සිට 1200 දක්වා බිම් ප්‍රමාණයක් එයට යටවුණා. මේ වැව මැද පිහිටි දූපතක එතුමන් විසින් විනෝදය සඳහා තුන්මහල් රජ මැදුරක් ද ගලක් මුදුනෙහි සෑයක් ද කරවූවා. මේ වැවට, පරාක්‍රම සමුද්‍ර යන නමත් තැබුවා. ඒ ප්‍රථම පරාක්‍රම සමුද්‍රය යි. අදත් පඬා වැවේ නටබුන් බිසෝකොටුව අපට දකින්න පුළුවන්.

වැව් 58ක් හැදූ රජ්ජුරුවෝ

පොළොන්නරුවේ පැරකුම් මාලිගය- Wikipedia.org

දක්ඛිණ දේසයේ පිහිටි දියුණු කළ යුතු හෝ අලුත්වැඩියා කළ යුතු විශාල වැව්වලට ද පැරකුම්බා කුමරු අවධානය යෙදවූවා. එසේ ප්‍රතිසංස්කරණය ‍හෝ විශාල හෝ කරන ලද වැව් සංඛ්‍යාව 58ක් බව මහාවංශය සඳහන් කරනවා. හැබැයි නම් වශයෙන් සඳහන් කරන්නේ ඉන් 37ක් පමණ යි. එම වැව් අතරින් කිහිපයක් දැන් හඳුනාගැනීමට අපහසු යි. දැනට හඳුනාගන්න පුළුවන් වැව් මෙසේ යි:

මහාදාරගල්ලක (නිකවැරටියේ මාගාල්ල වැව)

තිලගල්ලක වැව

සෙට්ඨිවාපි – මෙය ශිරාතලාන කෝරලේ හෙට්ටිපොළ පිහිටියේ ය.

තබ්බවාපි – රාජවන්නි පත්තුවේ තබ්බෝව වැව මෙය ය යනු කොඩ්රිංටන් මතය යි.

අම්බවාසාවාපි – නිකවැරැටිය සමීපයෙහි පිහිටි වාසියාව ලෙස කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබී ය.

ගිරිබාවාපි – පාදෙණිය – අනුරාධපුර පාරේ කලාවැව පාදිය මංකඩින් සැතැපුම් 5ක් බටහිරින් පිහිටි ගිරිබාව මෙය ලෙස කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබ ඇත.

මංඩිකවාපි – මහවේ සිට සැතැපුම් 3ක් උතුරින් පිහිටි මඩියාව මෙය ය යනු කොඩ්රිංටන් මතය යි. ප්‍රධාන වාරි කර්මාන්තයක් වූ මෙහි කණ්ඩියේ දිග සැතැපුම් 3¼කි. රඳා සිටින ජලය අකකර අඩි 2,475කි. වගා කළ හැකි බිම් ප්‍රමාණය අක්කර 958කි.

මෝරවාපි – උතුරුමැද පළාතේ නෑගම්පහ කෝරළේ වයඹ කොනේ කලා ඔයෙන් දකුණෙහි පිහිටි කැඩී ගිය විශාල වැව මෙය විය හැකිය.

සාදියග්ගාමවාපි – මහව – නිකවැව පාරේ 20 වන සැතැපුමට සමීපව ඊට උතුරින් පිහිටි දැනට හානිගමුව මහවැව නමින් හඳුන්වනු ලබන වැව යි.

මාලවල්ලිවාපි – මාලවල්ලිය නමින් ද හඳුන්වන ලද මෙය හලාවත ආසනයේ පිහිටි මලයවෙල්ලිය විය හැකිය.

කාලිවාපි – පිටිගල් කෝරලේ පිහිටි විශාල වාරි කර්මාන්තයක් වන කලියවඩනයයැ යි කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබීය.

කණ්ණිකාරගල්ලකවාපි – ඉබ්බාගමුව – පොල්පිටිගම පාරේ 13 වන සැතැපුමෙන් සැතැපුම් 4ක් පමණ බටහිරින් පිහිටි කැඩී ගිය වැවක් වන වේලන්ගොල්ල මෙය යි.

බුද්ධාගමික නිජ්ජර – මාතලේ දඹුල්ල පාරේ 38 වන සැතැපුමෙන් සැතැපුම් 2ක් පමණ බටහිරින් පිහිටි මැණික්දෙණ මෙයයැයි හඳුනාගෙන ඇත. මෙහි ප්‍රතිසංස්කරණ කරන ලද්දේ අමුණකි.

සූකරග්ගාමවාපි – කිනියම කෝරලේ දැදුරුඔයේ වම් ඉවුරේ පිහිටි ඌරපොත්ත මෙයයැ යි කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබීය.

මහාකිරාලවාපි – නිකවැරටියෙන් සැතැපුම් 5ක් පමණ උතුරින් පිහිටි මහාගිරිල්ල මෙය ය යනු කොඩ්රිංටන් මතය යි.

ගිරියාවාපි – ගල්ගමුව – නිකවැව පාරේ 8 වන සැතැපුමින් නැ‍ඟෙන හිරි අතට පිහිටි ගල්ගිරියාව මෙයයැ යි කොඩ්රිංටන් විසින් හඳුනාගෙන තිබෙනවා.

රක්ඛමානවාපි – නිකව ගම්පහේ කෝරළේ මොරගොල්ලාගම සමීපයෙහි පිහිටි, දැන් රක්වාන නමින් හැඳින්වෙන වැව යි.

අම්බාලවාපි – කුරුණෑගල – පුත්තලම පාරේ 31 වන සැතපුම අසල පිහිටි අම්බාලේ මෙයයැ යි කොඩ්රිංටන් සඳහන් කරයි.

කටුන්නරුවාපි – මෙය මීට ඉහතින් I විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී. ගල්ගමුව – නිකවැව පාරේ 7 වන සැතපුමින් සැතපුම් 4ක් පමණ උතුරින් පිහිටි කන්තෝරුව මෙයයැ යි සිතිය හැකිය.

පැරකුම් රජුගේ රාජසභා මණ්ඩපය- Wikipedia.org

තින්තිනිගාමවාපි – පාදෙනිය – අනුරාධපුර පාරේ 44 වන සැතැපුමේ සිට සැතැපුමක් නැගෙනහිරින් පිහිට කැඩුණු වැවක් වූ සියඹලාගමුව ලෙස කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබීය.

කිරාවාපි – හලාවතින් සැතැපුම් 10ක් නැගෙනහිරින් පිහිටි කිරාවැව ය යනු කොඩ්රිංටන් මතය යි.

කරවිට්ඨවිලත්ථවාපි – බිංගිරිය අසල පිහිටි කරවිට සහ විලට්ටාව වැව් ලෙස කොඩ්රිංටන් විසින් හඳුනාගනු ලැබීය. පසු කලෙක විලට්ඨාඛණ්ඩයෙහි අමුණ පැරැකුම්බාවන් විසින් ප්‍රකෘතිමත් කරනු ලැබීය.

මුනරුවාපි – මුහුන්නරු මෙයම යි. හෙට්ටිපොළ සිට සැතැපුම් 2ක් ඊසාන දිගින් පිහිටි මලගානේයැ යි හඳුන්වන ස්ථානය යි.

කසාල්ලවාපි – කලා වැව – ගලේවෙල පාරේ 18 වන සැතපුමින් සැතපුම් 1ක් බටහිරින් පිහිටි දැනට කහාල්ල නමින් හැඳින්වෙන ස්ථානය යි.

කලලභල්ලිකවාපි – කලින් I විජයබාහු රජතුමන් විසින් ප්‍රකෘතිමත් කරන ලද්දකි. කුරුණෑගල – දඹුල්ල පාරේ 16 වන සැතපුමින් සැතපුම් 5ක් උතුරෙහි පිහිටි මඩහාපොල මෙය විය හැකිය.

ගිරිසිගාමුඛවාපි – වර්තමාන ගලගමුව වැව යි. වැව් කණ්ඩියේ දිග සැතපුම් 1½ පමණ ය. අල්ලන ජලය අක්කර අඩි 6450කි. මෙය යටතේ වගාකළ බිම් ප්‍රමාණය අක්කර අඩි 403ක් වෙයි.

පොළොන්නරුතලවාපි – නිකවැරටියේ සිට සැතැපුම් 15ක් නිරිතදිගින් පිහිටි පොලොන්නරුව මෙය විය හැකිය. 

(එච්. ටී.බස්‌නායක,  පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය)

පරාක්‍රම සමුද්‍රය

පරාක්‍රම සමුද්‍රයෙන් හිරු බැස යයි – Lovesrilanka.org

I පරාක්‍රමබාහු රජතුමා පසුව පොළොන්නරුව අගනුවර කරගෙන සිරිලක අගරජු වශයෙන් පාලනය අරඹනවා. ක්‍රි. ව. 1153 සිට 1186 දක්වා ඔහු රජකම් කළා. මේ අවුරුදු  33 තුළ දෙස් විදෙස් යුද්ධවල ද නිරතවන ගමන් කරන ලද වැව් අමුණු ප්‍රමාණය විස්මයජනක යි. ඒ අතරින් මුල් තැනට එන්නේ පරාක්‍රම සම්‍රද්‍රය යි.

අංගම්මැඩිල්ල පැරණි අමුණ – Lakdasun.org

මහවැලි නදී නිම්නයේ ඉදිකෙරෙණු පරාක්‍රම සමුද්‍රය ඊට පෙර පැවැති තෝපා වැව, දුඹුටුලු වැව, හා එරමුදු වැව යන වැව් තුන ද එක්‌ කරමින් තැනවූවක්. මෙයට ජලය රැගෙන ඒමට අඹන් ගඟ අංගමැඩිල්ලේ දී හරස්‌ කර ආකාස ගංගාව නමැති ඇළ ඉදිකළා. අදත් පැරණි අංගම්මැඩිල්ල අමුණේ නටබුන් අපට බලාගන්න පුළුවන්. වැවේ දැවැන්ත බව වෙසෙසා දැක්‌වීමට පරාක්‍රමබාහු රජුට අවශ්‍ය වුණා. වැව් බැම්මේ තැනින් තැන සංස්‌කෘත හා සිංහල ලේඛන සහිත ගල් සිටුවා, ඒවා අතර දුර ප්‍රමාණ, අනෙක්‌ වැව්වල බැම්වල දිගට සමාන බව සඳහන් කර තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ සොරොව් 7ක ද, එයින් දිය ගෙන ගිය ඇළවල් 11ක ද නම් මහාවංශයේ සඳහන් වෙනවා. 

අදත් පරාක්‍රම සමුද්‍රය අක්කර අඩි 109,000ක ජල ධාරිතාවයකින් ගොවිබිම්වලට ජලය සපයනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

www.divaina.com/2012/02/22

එච්. ටී.බස්‌නායක,  පුරාණ ශ්‍රී ලංකාවේ ජල ශිෂ්ටාචාරය 

පුරාණ ලංකාව- එච්. පාකර්

මහාවංශය- ද්විතීය භාගය, හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත

කවරය-  පැරකුම් රජු ලෙස සලකන පොත්ගුල් වෙහෙර පිළිමය Wikipedia.org

Related Articles