ඉරිඟු ගොවිපලෙන් මතු වූ යමහල: පැරිකුටීන්

1943 වසරේ පෙබරවාරි 20 වැනිදා තරස්කානු ගෝත්‍රික ගොවියෙකු වූ ඩියොනිසියෝ පුලිඩෝ ගේ ඉරිඟු යායෙන් මහා යමහලක් හදිසියේ මතු වුණා. මෙක්සිකෝවේ මිචොවකැන් ජනපදයේ යුරුවපැන් නගරයට ආශ්‍රිත ගම්මානයක පිහිටි මේ ඉරිඟු යාය එක් දිනක් තුළ ලෝදිය පිටකරන මහා ගිනි කන්දක් බවට පත්වුණා.

පැරිකුටින්    (amusingplanet.com)

බිමෙහි දුම් දමන පැල්මක්!

1943 ජනවාරි මස සහ පෙබරවාරි මස මුල් සති වල යුරුවපැන් ආශ්‍රිතව ජීවත් වූ ගැමියන්ට සුළු භූ කම්පනයන් අත්විඳින්නට සිදු වුණා. එපමණක් ද නොව විටින් විට “අහස ගුගුරන්නාක්” වැනි ශබ්ද ද ඇසුණු බව පසු කලෙක මෙම ගැමියන් විසින් වාර්තා කළා. පැරිකුටින් විදාරණයට සතියකට පමණ පෙර, දිනකට කම්පන 25ක් පමණ වාර්තා වූ නමුත්, යමහල විදාරණය වූ දිනයේ භූමිකම්පා 300ක් පමණ සිදු වූ බව විද්‍යාඥයින් විසින් වාර්තා කළා.

පැරිකුටීන් හි කේතුව 1943 දී නිර්මාණය වීමෙන් ඉතා ආසන්න කාලයකදී    (amusingplanet.com)

පැරිකුටින් විදාරණය ඇරඹුනු බව පැවසෙන්නේ 1943 පෙබරවාරි 20 වන දා පැය 16ට පමණයි. ගොවිපල අයිතිකරු වූ පුලිඩෝ, ඔහුගේ බිරිය, සහ ඔහුගේ දරුවා ඉරිඟු සි‍ටුවීම සඳහා බිම සකස් කරමින් සිටිනවා. එක්වරම ඔවුන් සිටි තැනට මදක් ඈතින් පොළව මීටර 2ක් පමණ ඉහළට එසවෙන අතර, එසවුණු බිමෙහි ගැඹුරු පැල්මක් ඇතිව තිබෙනවා. මෙම පැල්මෙන් අළු සහ “කුණු බිත්තර දුර්ගන්ධයෙන් යුතු” වායු පිටවූ බව ඔවුන් පසුව වාර්තා කරනවා. ඒ පිපිරුම් සහ පිඹුම් ශබ්දයන් ද සමඟයි.

පැරිකුටීන් – 1943 පෙබරවාරි 28 දින චාවේස් රුයිස් නම් ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද්දකි    (amusingplanet.com)

මේ සියල්ල දැක බියට පත් වූ ගොවියා සිය පවුල ද කැ‍ටුව අසල පිහිටි නගරය වෙත පලා ගිය බවයි පැවසෙන්නේ.

මේ අතර ඔහුගේ ගොවිපලේ වූ නොගැඹුරු පැල්ම පැය කීපයක් තුළ දී ආවාටයක් බවට පත් වූ අතර එතැන යමහලේ කේතුව නිර්මාණය වුණා.

පැරිකුටින් නිර්මාණය වීම

පුලිඩෝ 21 වන දා තවත් ගම්වැසි පිරිසක් ද සමඟ පැල්ම නිරීක්ෂණය පිණිස සිය ගොවිපලට ගියා. බිමෙහි තිබූ පැල්ම පැය 24ක් තුළ මීටර 50ක් පමණ උස කේතුවක් බවට පත්ව තිබුණා! එයින් දුමත්, “ලාවා බෝම්බ” යනුවෙන් හැඳින්වෙන අර්ධ ඝන තත්ත්වයේ පවතින විශාල ලාවා කුට්ටිත් නිකුත් කරමින් තිබුණා. සතියක් තුළ මෙය මීටර 100ක් පමණ උසට වැඩුණු අතර ජූනි මුල සතිය පමණ වන විට එහි උස මීටර 200ක්. මේ මුළු කාලය පුරාවටම පැරිකුටීන් විසින් ලාවා බෝම්බ සහ දුම නිකුත් කරමින් තිබුණා. එයින් නිකුත් වූ අළු සහ දුම මුළු මිටියාවත පුරාම පැතිර ගොස් තිබුණා.

පැරිකුටීන් හි පැරණිම ඡායාරූපයයි. නිර්මාණයෙන් දෙවන දිනයේ දී ඡායාරූප ගත කර ඇත.    (amusingplanet.com)

මේ වන විට යමහල විදාරණය වෙමින් ලාවා පිටකිරීම ආරම්භව තිබුණා. යමහලට එම නම ලබාදුන් පැරිකුටින් ගම්මාන්නය වෙත ජුනි 12වන දා වන විට ලාවා ගලායෑම ඇරඹුණු නිසා එම ගම්මානයෙන් පදිංචිකරුවන් ඉවත් කෙරුණා.

ඒ අතර යමහල තවත් උසට වැඩෙමින් තිබුණා. ඔක්තෝබර වන විට එහි උස මීටර 360 ඉක්මවූ අතර, කේතුවේ වම් බෑවුමේ අලුත් විවරයන් නිර්මාණය වෙමින් තිබුණා. එම නව විවරයකින් අසල පිහිටි සැන් හුවාන් ප‍රැන්ගරිකුටිරෝ නගරයට ලාවා ගලායෑම නිසා එහි ප්‍රදේශවාසීන් නගරයෙන් ඉවත් කෙරුණා. එම නගරයේ පිහිටි පල්ලියේ කුළුණ පමණක් ලාවා වලට යට නොවූ නිසා අද වන විටත් දක්නට පුළුවන්. යමහල තව දුරටත් වර්ධනය වූ අතර එහි අවසන් උස මීටර 424ක් වුණා.

වමේ – යුරුවපැන් සිට පැරිකුටින් දර්ශනය වූ ආකාරය. දකුණේ – ප‍රැන්ගරිකුටිරෝ සිට පැරිකුටින්    (amusingplanet.com)

පැරිකුටීන් ඉතා ක්‍රියාශීලී වුණේ එය නිර්මාණයෙන් පළමු වසර තුළයි. 1952 වන තුර එය විදාරණය වෙමින් පැවතුනා. වසර 9ක් පුරා ක්‍රියාශීලිව තිබූ එහි එහි අවසන් ක්‍රියාකාරීත්වය 1952 ජනවාරි සහ පෙබරවාරි අතර කාලයක සිදු වූ බව වාර්තා වනවා.

පැරිකුටින් හි බලපෑම

පැරිකුටින් පිපිරුණේ දෙවනි ලෝක යුද්ධ සමයේ දී යි. යුද්ධය නිසා දිළිඳු බවට පැමිණ සිටි ජනයාට පැරිකුටින් අමතර පීඩාවක් වුණා. යමහල විදාරණයෙන් වර්ග කිලෝමීටර 233ක ප්‍රදේශයක් දරුණු ලෙස විනාශයට පත්ව තිබුණා. යමහල අවට කිලෝමීටර ගණනාවක ශාඛ සියල්ල විනාශ වී ගොස් තිබුණා. අවට ගොවිබිම් බොහොමයක් යමහල් වැල්ලෙන් වැසී ගියා. පැරිකුටින් සහ සැන් හුවාන් ප‍රැන්ගරිකුටිරෝ යන නගර දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. මිනිසුන් 6000ක් පමණ අවතැන් වුණා.

යමහල් ලාවා වලට සෙමින් යටවන ප‍රැන්ගරිකුටිරෝ නගරයෙන් පදිංචිකරුවන් ඉවත්වෙමින් පවතියි. එහි පෙනෙන කළු පැහැ බැම්ම සෙමින් ගලනා ලාවා ය.    (amusingplanet.com)

ලාවා හෝ අළු නිසා මරණයන් සිදු නොවූවත්, විදාරණය අතරතුර සිදු වූ අකුණු ගැසීමේ සංසිද්ධිය නිසා පුද්ගලයන් තිදෙනෙකු මියගිය බව වාර්තා වනවා.

ප‍රැන්ගරිකුටිරෝ විනාශයෙන් මාස කීපයකට පසු    (amusingplanet.com)

මේ සියල්ල නිසා තම නිවස හා ගොවිපල ද අහිමි වුවත්, තම හාස්‍ය රසය අහිමි කර නොගත්තෙකුයි මේ යමහල පළමු වරට දු‍ටු ගොවි පුලිඩෝ. සිය නිවස සදහටම හැරදමා ආරක්ෂිත ස්ථාන කරා සංක්‍රමණය වීමට පෙර පුලිඩෝ එහි ගේට්‍ටුවේ දැන්වීමක් එල්ලුවා.

“මේ ගිනිකන්දේ අයිතිකරු සහ ක්‍රියාකරු වන්නේ ඩියොනිසියෝ පුලිඩෝ යි”.

පැරිකුටීන් වැදගත් වන්නේ ඇයි?

ප‍රැන්ගරිකුටිරෝ පල්ලියේ කුළුණ    (amusingplanet.com)

යමහලක් නිර්මාණය වනු දැකීම ඉතාම දුර්ලභ අවස්ථාවක්. එය විද්‍යාඥයින් බහුතරයක් දකින සැබෑ නොවූ සිහිනයක් ලෙස හඳුන්වන්නටත් පුළුවන්. නමුත් පැරිකුටීන් නිර්මාණයත් සමඟ යමහලක උපතේ සිට නිශ්ක්‍රීය අවස්ථාව දක්වාම සම්පූර්ණයෙන්ම වාර්තාගත කරගන්නට විද්‍යාඥයින්ට හැකියාව ලැබුණා. ලොව වටා සිටි භූ විද්‍යාඥයින් පැරිකුටීන් වෙත පැමිණියේ මේ අති දුර්ලභ සිදුවීම නිරීක්ෂණය කිරීමටයි.

පැරිකුටින් වර්තමානයේ දී දක්නට ලැබෙන ආකාරය    (sopitas.com)

පැරිකුටින්, මිචොවකැන් – ගුවනහුවාටෝ නම් වර්ග කිලෝමීටර 50 000ක පමණ යමහල් කලාපයේ එක් කොටසක්. මෙම භූමිය පුරාවට යමහල් අළු කේතු 1400ක් පමණ පැතිරී තිබෙනවා. මෙම භූමිය මෙක්සිකෝව හරහා දිවෙන, සියෙරා නෙවාඩා කඳු පන්ති ද ඇතුලත් විශාල යමහල් පටියක කුඩා කොටසක් පමණයි. යමහල් පටිය සහ කලාපය සක්‍රීය වුවත් පැරිකුටින් මේ වන විට නිශ්ක්‍රීය බවට පත්ව ඇති ගිනිකන්දක්.

කවරයේ ඡායාරූපය: amusingplanet.com paricutin-volcano-postcards-6[2].png

මූලාශ්‍ර

  1. Smithsonian National Museum of Natural History
  2. Amusingplanet.com
  3. Geology.sdsu.edu

Related Articles