පළමු ලෝක යුද්ධය අවසන් වූයේ 1918 නොවැම්බර් 11 වන දා ජර්මනිය සහ මිත්‍ර රටවල් අතර ඇති වූ සටන් විරාමයත් සමග යි. එම යුද්ධය අවසන් වීම නිල වශයෙන් සටහන් කළේ වර්සායි ගිවිසුම අත්සන් කිරීමත් සමග යි. ඒ 1919 ජූනි 28 වන දා යි.

පළමු ලෝක යුද්ධයට ජර්මනිය පාර්ශවයෙන් සහභාගී වූ අනෙක් රටවල් වුණේ ඔස්ට්‍රියා-හන්ගේරියාව​, තුර්කිය සහ බල්ගේරියාව යි. එම රටවල් සමග ද මිත්‍ර පාක්ෂිකයන් වෙනම සාම ගිවිසුම් ඇති කරගත්තා. වර්සායි ගිවිසුම තරම් මේ අනෙක් ගිවිසුම් ප්‍රසිද්ධ නැහැ. ඉතින් අපි මේ ලිපියෙන් ඒ අනෙක් ගිවිසුම් පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමු කිරීමට අදහස් කළා.

විල්සන්ගේ කරුණු දහ හතර

මේ පිළිබඳව විස්තර කිරීමට පෙර අපි විල්සන්ගේ කරුණු දහ හතර පිළිබඳ සලකා බලමු. ඇමරිකන් ජනාධිපති වුඩ්රෝ විල්සන් 1918 ජනවාරි 8 වන දා කරන ලද කතාවක දී මෙම කරුණු ඉදිරිපත් කළා. ඔහු මෙයින් උත්සාහ කළේ ගෞරවණීය සාමයක් සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමට යි.

මෙම කරුණු අතුරින් කිහිපයක් පොදුවේ සාමය පිළිබඳව වූ අතර අනෙක් කොන්දේසි එක් එක් රටවල් පිළිබඳව කරුණු වුණා. කරුණු දහ හතරෙන් පළමු කරුණ වූයේ යුද්ධයෙන් පසු පැවැත්වෙන සාම සාකච්ඡා විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බව යි. සාගරයේ නිදහස​, වෙළෙඳාමේ සම අවස්ථා සැලසීම සහ යටත් විජිත පිළිබඳ ගැටුම් විසඳා ගැනීම පිළිබඳ ඊළඟ කරුණු කිහිපයෙන් ඔහු අදහස් ඉදිරිපත් කළා.

1914 දී යුරෝපා දේශසීමාත්, මිත්‍ර පාක්ෂික, සහ මධ්‍ය බලවතුන් අතර බෙදීමත් දැක්වෙන සිතියමක් (nationalarchives.gov.uk)

ඉන් අනතුරුව ඔහු රුසියාව​, බෙල්ජියම, සහ ප්‍රංශය යන රටවලින් විදේශ හමුදා ඉවත් කිරීම පිළිබඳ කරුණු දක්වා සිටියා. ඉතාලියේ දේශසීමා ජාතික ප්‍රදේශ ඔස්සේ සකස් කිරීම​, ඔස්ට්‍රියා-හන්ගේරියාවේ ජනයාගේ ස්වයං පාලන අයිතිය​, තුර්කි යටත් වාසීන්ගේ ස්වයං පාලන අයිතිය පිළිබඳව කරුණු දැක්වූ ඔහු ඉන්පසු පෝලන්තයේ ස්වාධීනත්වය පිළිබඳව ද කරුණු දක්වා සිටියා. අවසන් වශයෙන් රටවල් අතර ගැටළු විසඳා ගැනීමට ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නා.

මෙම ඇතැම් කරුණු ජර්මනියට සහ එරට මිතුරන්ට අවාසිදායකයැ යි පෙනී ගිය නමුත් විල්සන්ගේ අරමුණ වූයේ දෙපාර්ශවය අතර එදිරිවාදිකම් සමනය වන ආකරයේ ගිවිසුමකට පැමිණීම බව සිතිය හැකියි. විශේෂයෙන්ම පරාජිත රාජ්‍යයන් මත දැඩි වන්දි පැණවීම දිගු කාලීනව හානිකර වේයැ යි විල්සෝනියානු මතය වුණා.

වර්සායි කොන්දේසි

කෙසේ නමුත් වර්සායි ගිවිසුම පිළිබඳව සාකච්ඡාවල දී මෙම කරුණු පිළිපැදීමක් සිදු වූයේ නැහැ. මෙය ජර්මනිය සම්බන්ධ වූ සාකච්ඡාවක් නොවූ අතර ගිවිසුමෙහි කොන්දේසි පිළිබඳ මිත්‍ර පාක්ෂිකයන් අතුරින් ප්‍රධාන බලවතුන් අතර සාකච්ඡා සිදු කෙරුණා. ඉන්පසු එම කොන්දේසි ජර්මනියට ඉදිරිපත් කිරීම පමණක් සිදු කෙරුණා. ඒවා පිළිනොගන්නේ නම් ජර්මනියට එරෙහිව නැවත යුධ වදින බව මිත්‍ර රටවල් තර්ජනය කළා. එහෙයින් එම කොන්දේසි පිළිගන්නවා හැර වෙනත් විකල්පයක් ජර්මනියට වූයේ නැහැ.

1918 දී යුරෝපය (nationalarchives.gov.uk)

ජර්මනියට සිය භූමියෙන් සියයට 13ක් අහිමි වුණා. එම ප්‍රදේශ අතර ආර්ථික වශයෙන් වැදගත් සාර්ලන්තය ද වුණා. එය ජාත්‍යන්තර පාලනයට යටත් වූ අතර එහි ගල් අඟුරු ආකර ප්‍රංශය වෙත පැවරුණා.

ගිවිසුමෙහි වඩාත්ම හානිකර වූයේ 231 වන වගන්තිය යි. යුද්ධය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් ජර්මනිය විසින් භාර ගතයුතු බව එයින් කියැවුණා. මිත්‍ර රටවලට සිදු වූ හානි ගණනය කර වන්දි නියම කිරීම 1921 මැයි මාසයට කල් තබනු ලැබුණා. එතෙක් රත්‍රන්, නෞකා, සහ අනෙකුත් ද්‍රව්‍ය මඟින් ගෝල්ඩ් මාර්ක් බිලියන 20ක (ගෝල්ඩ් මාර්ක් යනු ජර්මන් අධිරාජ්‍යයේ මුදල් ඒකකය යි) වන්දියක් ගෙවීමට ජර්මනියට නියම වුණා. මෙය එවකට ඇමරිකන් ඩොලර් බිලියන 5කට සමාන මුදලක්.

විශේෂයෙන්ම ආර්ථික වශයෙන් වැදගත් ප්‍රදේශ ද අහිමි වීමෙන් තවත් අපහසුතාවට පත් වී සිටි ජර්මනිය කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා. එහෙත් එයට විශේෂයෙන්ම ප්‍රංශ අගමැති ක්ලෙමෙන්සෝ කැමති වූයේ නැහැ.

මිත්‍ර පාක්ෂිකයන් විසින් පිහිටවූ යුධ වන්දි කොමිසම විසින් 1921 දී ජර්මනියට නියම කළ වන්දි මුදල ගෝල්ඩ් මාර්ක් බිලියන 132ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 33ක් වුණා. මෙහි වූ උත්ප්‍රාසයට හේතුවන​ කරුණ නම් මෙම මුදල ජර්මනියට දරාගත නොහැක්කක් බව සියළු පාර්ශව පැහැදිලි ලෙසම දැන සිටීම යි.

වර්සායි සමුළුවේ බලවතුන් සිව් දෙනා. වමේ සිට - බ්‍රිතාන්‍ය අගමැති ලොයිඩ් ජෝර්ජ්, ඉතාලි අගමැති ඕර්ලැන්ඩෝ, ප්‍රංශ අගමැති ක්ලෙමෙන්සෝ, සහ ඇමරිකානු ජනාධිපති විල්සන් (Public Domain)

මෙම සාම ගිවිසුම​ යුරෝපයේ විප්ලවයක් හෝ තවත් යුද්ධයක් සඳහා මාර්ගය විවර කරන බව දකුණු අප්‍රිකානු ජෙනරාල් යාන් ස්මට්ස් අනාවැකි පළ කළා. එම අනාවැකිය ඔහුගේ ජීවිත කාලය තුළම සනාථ කරමින් ජර්මනියේ නට්සින් බලයට පැමිණීමට වර්සායි කොන්දේසි ප්‍රබල හේතුවක් වුණා. දෙවන ලෝක​ යුද්ධයට ද එක් හේතුවක් වූයේ වර්සායි ගිවිසුමේ කොන්දේසි සහ ඒ අනුව ජර්මන් ජාතිකවාදීන් තුළ ඇති වූ පළිගැනීමේ චේතනාව යි.

අනෙකුත් ගිවිසුම්

යුද්ධය අවසන් වූ පසු අනෙකුත් මධ්‍යම බලවතුන් සමග ද සාම ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව මතු වුණා​. මේ වනවිට ඔස්ට්‍රියාව සහ හන්ගේරියාව රාජ්‍යයන් දෙකක්ව පැවති හෙයින් ගිවිසුම් දෙකක් අවශ්‍ය වුණා​.

යුද්ධාවසානයේදී කාර්ල් අධිරාජයා සිහසුන අත හැරිය පසු ඔස්ට්‍රියාව සමූහාණ්ඩුවක් බවට පත් වුණා. හන්ගේරියාව වෙනම රාජ්‍යයක් බවට පත් වුණා. මේ අනුව 1919 සැප්තැම්බර් 10 වන දා සැන්-ජර්මෙන්-එන්-ලයේ හි ගිවිසුමට අත්සන් තැබුවේ මෙම අභිනව ඔස්ට්‍රියාව යි. පැරණි ඔස්ට්‍රියාවේ කොටස් වෙනත් අලුතින් බිහි වූ රාජ්‍යයන්ට අයත් වීම මෙහිදී ඔස්ට්‍රියාව විසින් නිල වශයෙන් පිළිගත්තා. ඒ අනුව බොහීමියාව සහ මොරේවියාව චෙකොස්ලොවැකියාවටත්, ස්ලොවීනියාව සහ ඩැල්මේශියාව අභිනව සර්බියානු, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානියටත්, ගැලීසියාව පෝලන්තයටත්, එහි කුඩා ප්‍රදේශයක් රුමේනියාවටත් හිමි වීම තහවුරු කෙරුණා. මේ අතර ඔස්ට්‍රියාව විසින් ට්‍රිඑස්ට් සහ ටිරොල් ප්‍රදේශ ඉතාලියට පවරා දෙනු ලැබුණා.

හන්ගේරියාව සමග ට්‍රිඅනොන් ගිවිසුම අත්සන් කෙරුණේ 1920 ජූනි 4 වන දා යි​. එහිදී ද ස්ලොවැකියාව අභිනව චෙකොස්ලොවැකියාවටත්, ට්‍රන්සිල්වේනියාව හන්ගේරියාවටත්, ක්‍රොයේෂියාව අභිනව සර්බියානු, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානියටත් හිමි වීම තහවුරු කෙරුණ අතර ඔස්ට්‍රියාවට ද කුඩා බිම් තීරුවක් ලැබුණා. මේ අතර රියෙකා ප්‍රදේශය සම්බන්ධ හන්ගේරියානු අයිතිය අතහැරි අතර එහි අනාගතය පිළිබඳ ඉතාලිය සහ සර්බියානු, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානියට (පසුකාලීන යුගොස්ලාවියාව එකල හැඳින්වූයේ එනමින්) තිබුණු අර්බුදය ඔවුන් විසින් විසඳාගනු ඇතැ යි අපේක්ෂා කරනු ලැබුණා.

බල්ගේරියාව සමග නුයී-සුර්-සෙන් ගිවිසුම ද 1919 නොවැම්බර් 27 වන දා අත්සන් කරනු ලැබුණා. මෙහිදී බල්ගේරියාව බටහිර ත්‍රේස් ප්‍රදේශය මිත්‍ර පාක්ෂිකයන් වෙත පැවරූ අතර එය සැන් රෙමෝ සමුළුවේ දී ග්‍රීසිය වෙත පවරා දීමට කටයුතු කෙරුණා. මීට අමතරව අභිනව සර්බියානු, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානිය පිළිගත් බල්ගේරියාව ඊට කුඩා ප්‍රදේශ කිහිපයක් ද පවරා දුන්නා​. පවුම් මිලියන සියයක යුධ වන්දියක් ද එරටට නියම කර, යුධ හමුදාව 20,000 ඉක්මවිය නොයුතු බවට ද කොන්දේසියක් ද පැනවූවා​.

ඉතාලිය සහ සර්බියානු, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානිය අතර රියෙකා සම්බන්ධ ගිවිසුමක් 1920 නොවැම්බරයේ දී ඉතාලියේ රපල්ලෝ නගරයේ දී අත්සන් කෙරුණා​. මේ අතර ජර්මනිය සහ සෝවියට් රුසියාව අතර ද ගිවිසුමක් 1922 දී එම නගරයේ දී අත්සන් කරනු ලැබුණා. මෙසේ ගිවිසුමක් අවශ්‍ය වීමට හේතුව වුණේ සෝවියට් රුසියාව වර්සායි සමුළුවට ආරාධනා නොලැබීම යි. ඒ අනුව වර්සායි සාම ගිවිසුමේ පාර්ශවයක් ලෙස එරට ඇතුල් වූයේ නැහැ.

සේව්ර ගිවිසුම අනුව තුර්කිය බෙදීම​ (Wikimedia Commons)

මධ්‍ය බලවතුන් අතුරින් සාම ගිවිසුමක් අත්සන් කිරීම සඳහා බොහෝ කාලයක් ගත්තේ තුර්කිය යි​. ඇත්තෙන්ම සිදු වූයේ 1920 දී ඔටෝමන් අධිරාජ්‍යය විසින් ගිවිසුමක් අත්සන් කිරීම සහ තුර්කි ජාතිකවාදීන් ඊට එරෙහිව නැගී සිටීම යි.

1920 දී අත්සන් කළ සේව්ර ගිවිසුම් ප්‍රකාරව ඔටෝමන් අධිරාජ්‍යය විසින් මැදපෙරදිග ප්‍රදේශ පවරා දීමට අමතරව ඇනටෝලියාවේ ද කොටස් ඔවුනට අහිමි කරනු ලැබුණා. ඒ අනුව ප්‍රංශය​, ග්‍රීසිය, සහ ආර්මේනියාව යටතට ඇතැම් ප්‍රදේශ සම්පූර්ණයෙන් අයත් වූ අතර බ්‍රිතාන්‍යය, ප්‍රංශය​, ඉතාලිය යන රටවල් බලපෑම් ප්‍රදේශ අයත් කරගත්තා​.

නමුත් ජාතිකවාදීන් විසින් තුර්කි ස්වාධීනතා යුද්ධය දියත් කිරීමත් සමග මෙම ගිවිසුම බලාත්මක කළ නොහැකි තත්ත්වයක් උදා වුණා. පළමු ලෝක යුධ සමයේ දී ද විශිෂ්ටයකු ලෙස නමක් තැබූ මුස්තාෆා කෙමාල් ජාතිකවාදීන්ට නායකත්වය දුන්නා​. ග්‍රීසිය විසින් ඇනටෝලියාව ආක්‍රමණය කරන ලද අතර තුර්කි ජාතිකවාදීන් විසින් ඔවුන්ව​ අන්ත පරාජයකට පත් කෙරුණා​. ඔටෝමන් අධිරාජයා බලයෙන් නෙරපනු ලැබුණා. ඒ අනුව තුර්කි රජය සමග නව ගිවිසුමක් අත්සන් කිරීම හැර වෙනත් විකල්පයක් වූයේ නැහැ. 1923 ජූලි 24 වනදා අත්සන් තබන ලද ලූසාන් ගිවිසුම මගින් සේව්ර ගිවිසුම බල රහිත කරන ලද අතර වර්තමාන තුර්කි දේශසීමා ද එයින් තහවුරු කෙරුණා.

Cover Image: වර්සායි සමුළුව. ප්‍රංශයේ වර්සායි මාලිගයේ දර්පණ ශාලාව​ (Woodrow Wilson Presidential Library Archives)

මූලාශ්‍රයයන්:

  • World War 1 in Photographs by JHJ Andriessen
  • The Rise and the Fall of the Third Reich by William L. Shirer