Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටජ් මහල මෙන් කිහිප ගුණයක් වියදම් කර තැනූ, මොණර සිහසුන​

මූගල් අධිරාජ්‍යයේ පස්වන අධිරාජයා වූ ෂා ජහාන් වඩාත්ම ප්‍රකටව සිටින්නේ සිය නැසීගිය බිරිඳ වූ මුම්ටාස් මහාල් වෙනුවෙන් තැනූ සොහොන් ගෙය​, ටාජ් මහාල් හේතුවෙන් බව විවාදයක් නැහැ. ටාජ් මහාල් පිළිබඳ වන විවිධ කතාපුවත් අතර එහි දැවැන්ත වියදම සහ එය රජයට බරක් වූ ආකාරය පිළිබඳ ද ඇතැම් විට කතාබහක් ඇතිවනවා. නමුත්, සත්‍ය වශයෙන්ම ෂා ජහාන්ගේ වියදම් අධිකම ව්‍යාපෘතිය ටාජ් මහාල් නොවූ බව බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ නැහැ.

ෂා ජහාන් විසින් සාදවන ලද මොණර සිංහාසනය ටාජ් මහල මෙන් කිහිප ගුණයක වියදමක් දරා තනන ලද්දක්. ඉන්දීය ඉතිහාසය පිළිබඳ පර්යේෂක සහ ලේඛක විලියම් ඩැල් රිම්පල් සඳහන් කරන පරිදි එය නිර්මාණය කිරීම සඳහා ටාජ් මහාල් වෙනුවෙන් වියදම් කළාක් මෙන් සිව් ගුණයක ධනයක් වියදම් කර තිබෙනවා.

මූගල් දියමන්ති

මූගල්වරුන් දියමන්තිවලට සහ මැණික්වලට බෙහෙවින් ප්‍රිය කළේයැ යි සඳහන් වනවා. එහෙයින් ඔවුන්ගේ රාජ්‍ය භාණ්ඩාගාරයෙහි දියමන්ති සහ මැණික් විශාල ප්‍රමාණයක් එකතු වී තිබුණා. කෙසේ නමුත්, මේවායෙන් කිසිදු ප්‍රායෝගික ප්‍රයෝජනයක් නොමැති බව වටහා ගත් ෂා ජහාන්, එයින් වැඩක් ගැනීමට තීරණය කළා.

ප්‍රචාරණය සඳහා කලාවේ ඇති ශක්තිය අවබෝධ කරගෙන සිටි ෂා ජහාන්, මෙම දියමන්ති සහ මැණික් ඔබ්බවා සිංහාසනයක් තැනවීමට කටයුතු කළා. එය සැලසුම් කරන ලද්දේ කුරානයේ සඳහන් සොලමන්ගේ සිංහාසනයේ ප්‍රතිනිර්මාණයක් ලෙස බව යි සඳහන් වන්නේ. සොලමන්ගේ සිංහාසනයේ මොණරුන් වූ බැවින් මෙහි ද මොණරුන් නිර්මාණය කෙරුණා. මෙම සිංහාසනය රත්‍රන්වලින් සාදා, දියමන්ති සහ මැණික් ඔබ්බවනු ලැබුණා.

මොණර සිහසුන මත සිටින ෂා ජහාන් (Public Domain)

මූගල් අධිරාජ්‍යයේ පාලකයින්ගේ සිංහාසනය ලෙස මෙය වසර සියයක කාලයක් භාවිතා වුණා. ෂා ජහාන්ගේ පුත්‍රයා වූ ඕරංග්සෙබ් ද මෙයට ඉතා ඇලුම් කළ අයකු බව සඳහන් වනවා. ඕරංග්සෙබ් ධනය පිළිබඳ එතරම්ම තැකීමක් නොකළ අයකු වන හෙයින් ඔහු මෙම සිහසුනට ප්‍රිය කිරීම විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකියි.

ඕරංග්සෙබ් මොණර සිහසුන මත සිටින අයුරු දැක්වෙන මෙම සිතුවම ජායිපූර් හි දකින්නට ලැබේ. (William Dalrymple)

ඕරංග්සෙබ්ගෙන් පසු මූගල් අධිරාජ්‍යය දුර්වල අධිරාජයින් කිහිපදෙනෙකු විසින් පාලනය කෙරුණා. එයින් පසු තරමක කාලයක් සිහසුනේ රැඳී සිටි මොහොමඩ් ෂා, එහි සිහසුනට පත් වූයේ 1719 දී යි.

මොහොමඩ් ෂා වඩා ප්‍රකටව සිටින්නේ මොහොමඩ් ෂා රංගීලා යන නමින්. ඔහු කලාකාමී පාලකයකු ලෙස ප්‍රකට අයෙක්. පන්ජාබ් ජන සංගීතයේ භාවිතා වූ සිතාරය සහ තබ්ලාව මූගල් රාජ සභාව වෙත ගෙනැවිත්, එම භාණ්ඩ භාරතීය සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය කරවූයේ ඔහු බව යි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මූගල් අධිරාජ්‍යය වැටී සිටි තත්ත්වයෙන් ගොඩගැනීමට මොහොමඩ් ෂා නුසුදුසු අයකු වුණා. ඊට හේතු ඉතාම සරල යි. මොහොමඩ් ෂා යුධ කලාව පිළිබඳ දක්ෂයකු වූයේ නැහැ. එමෙන්ම දේශපාලන කටයුතු පිළිබඳ ද ඔහුට විශේෂ උද්‍යෝගයක් වූයේ නැහැ. යුද්ධයෙන් ගොඩනැගූ අධිරාජ්‍යයක් පාලනය කිරීමට ඔහු නුසුදුසු අයකු වුණා.

නදීර් ෂාගේ ආක්‍රමණය​

මූගල් අධිරාජ්‍යය කලක පටන් සතුරු තර්ජනවලට මුහුණ දෙමින් තිබුණා. කෙසේ වෙතත්, එම අධිරාජ්‍යය කඩා වැටීමට බලපෑ බරපතලම ආක්‍රමණය පැමිණියේ 1739 දී යි. ඉරානයේ නදීර් ෂා, සිය හමුදා රැගෙන මූගල් අධිරාජ්‍යයට කඩා වැදුණේ එහි වස්තුව කොල්ලකන අටියෙන්. නදීර් ෂා මැණික් සහ දියමන්තිවලට බොහෝ ඇලුම් කළ බව ප්‍රකට කරුණක්.

නදීර් ෂාගේ හමුදා ඇෆ්ගනිස්තානය හරහා උතුරු ඉන්දියාවට ළඟා වුණා. ඔහුට මුහුණ දීම සඳහා මූගල් හමුදා තුනක් කර්නාල් වෙත එක් වුණා. නදීර් ෂාගේ හමුදාවට වඩා ඉතා විශාල සෙනගක් මූගල්වරුන්ට සිටිය ද නදීර් ෂා මෙන් යුධ කලාවේ කෙළපැමිණි අයෙකු එහි වූයේ නැහැ.

නදීර් ෂාගේ හමුදාවේ ප්‍රධානම අවියක් වූයේ අසුන් පිට රඳවන ලද කුඩා කාලතුවක්කු යි. මෙවන් තුවක්කු බලකා පර්සියානු හමුදාවල අංගයක් වූ අතර, නදීර් ෂා එය ඉතා දක්ෂ ලෙස යොදාගත්තා. මෙවන් හමුදා කණ්ඩායම්, සම්බුරාක් ඒකක ලෙස නම් කර තිබුණා. සාමාන්‍යයෙන් ඔටුවන් මේ සඳහා යොදාගනු ලැබුණා.

කර්නාල් සටනේ දී නදීර් ෂා යොදාගත්තේ සරල උපායක්. මූගල් ප්‍රහාරය හමුවේ පසුබසින බවක් පෙන්වා මූගල්වරුන්ව ඔවුනගේ කඳවුරෙන් ඈතට ගෙන්වා ගැනීම එම උපාය යි. මූගල්වරුන් නොදැනීම නදීර් ෂාගේ තුවක්කුවල ඉලක්ක බවට පත් වුණා. එයින් පසු දිල්ලියට යන මාර්ගය නදීර් ෂා වෙත මාර්ගය විවෘත වුණා.

මොහොමඩ් ෂා (වමේ) සහ නදීර් ෂා (Public Domain)

නදීර් ෂා ආපසු ගියේ සම්පූර්ණ මූගල් භාණ්ඩාගාරය හිස් කරගෙන යි. ඔහුට ඉන්දියාවේ පාලකයා වීමේ අවශ්‍යතාවක් වූයේ නැහැ. එහෙයින් ඔහු මූගල්වරුන්ගේ වස්තුව රැගෙන ආපසු ඉරානය වෙත පිටව ගියා. ඔහු ඉන්දියාව ආක්‍රමණය කිරීමට ප්‍රධාන හේතුවක් වූ මොණර සිංහාසනය ද ඒ සමගම ඔහු විසින් රැගෙන යනු ලැබුණා.

සිහසුනේ අවසානය

නදීර් ෂා ඊළඟ වසරවල දී දිනෙන් දින වඩ වඩාත් ඒකාධිපති වන්නට පටන් ගත්තා. එමෙන්ම කෙමෙන් කෙමෙන් සියලු දෙනා සැක කිරීමට වුණා. මෙම තත්ත්වය හමුවේ ඔහුව බලයෙන් පහ කළ යුතු ය යන අදහස ඔහුගේම ආරක්ෂක බලකාය තුළ මුල්බැස ගත්තා.

1747 ජූනි මාසයේ රාත්‍රියක මොවුන් ක්‍රියාත්මක වුණා. නදීර් ෂා ඝාතනය කළ ආරක්ෂක භටයින් මාලිගයේ වස්තුව කොල්ල කෑවා. මැණික් සහ දියමන්ති කඩා ගැනීම සඳහා මොණර සිහසුන එදින රාත්‍රියේ විනාශ කරනු ලැබුණ බව සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙනවා.

මෙම සිහසුනෙහි තිබුණු ප්‍රධාන දියමන්ති කිහිපයක් පිළිබඳ අප අසා තිබෙනවා. මෙයින් කොහි නූර් දියමන්තිය විවිධ පිරිස් අතින් අතට ගොස්, වර්තමානයේ බ්‍රිතාන්‍ය රජ කිරුළෙහි සවිකර තිබෙනවා. තවත් දියමන්තියක් වූ දාරියා ඊ නූර් දියමන්තිය ඉරාන රජ ආභරණවල කොටසක් ලෙස දැනට ඉරාන මහ බැංකුව භාරයේ තිබෙනවා.

මොණර සිහසුනේ විවිධ කොටස් හමු වූ බවට ඉඳහිට රාවයන් පැතිර ගිය ද, අදට ද එහි කොටසක් හෝ නිරුපද්‍රිතව තිබේ ද යන්න අබිරහසක්.

කවරයේ පින්තූරය: නදීර් ෂා මොණර සිහසුන මත (Public Domain)

මූලාශ්‍රයයන්:

  • Kohinoor: William Dalrymple, Anita Anand
  • මූගල් ඉන්දියාව​- ඩබ්. එම්. කේ. විජේතුංග​

Related Articles