ලෙයින් තෙත්වූ නූතන කම්කරු අරගල තිඹිරිගෙය – පීටර්ලූ සංහාරය

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පැන නැගුණු ඌව වෙල්ලස්ස සටන මර්දනය කරමින් දස දහස් ගණනක් ඝාතනය කර අවසන් කරනු ලැබුවේ 1818 වසරාවසානයේ දී ය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවති ලංකාව තුළ පූර්ණ නිදහසක් වෙනුවෙන් පැන නැගුණු අරගලය එසේ මර්දනය කර අවසන් කර, වසරක් ගතවන විට බ්‍රිතාන්‍ය තුළ ම ඇති වූ ජනතා අරගලයක් පිළිබඳ පුවතකි මේ. සමකාලීන ව ඇති වූ ඌව වෙල්ලස්ස අරගලය ද මෙහි දී සිහිපත් කරන ලද්දේ යටත්විජිත වැසියන්ට මෙන්ම තම රටේ වැසියන්ගේ ද නිදහස පිළිබඳ සාධාරණ සටන් කෙරෙහි පාලක පංතීන් දැක්වූ ප්‍රතිචාරය තේරුම් ගැනීමට මෙම සංසන්දනය වැදගත් වන නිසා ය.

2017 වසරේ පීටලූ සංහාරය සිහි කිරීමේ අවස්ථාවක් (theguardian)

ප්‍රංශයේ 1789 දී ආරම්භ වූ ධනේෂ්වර විප්ලවයේ දී එතෙක් වැඩවසම් පාලනයේ ප්‍රධානියා වූ රජු ඝාතනය කර රාජාණ්ඩු ක්‍රමය අවසන් කොට නැඟී ආ ධනේෂ්වර ක්‍රමයට සරිලන ජනරජයක් බවට පත් කරන ලදී. නමුත් බ්‍රිතාන්‍ය තුළ ධනේෂ්වර විප්ලවය සිදුවූයේ එතෙක් පැවති වැඩවසම් පාලනය මුලිනුපුටා දැමීම වෙනුවට ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිසංස්කරණ මඟින් රජුගේ බලය පාර්ලිමේන්තුව තුළට ගොනු කිරීමෙනි. සුපුරුදු පරිදි මෙම නව පාලන ක්‍රමය ද සකස් වූයේ සමාජයේ සුළු පිරිසකගේ අවශ්‍යතා සපුරාලන ලෙස ය. මේ නිසා දිගින් දිගටම ආර්ථික ව, දේශපාලනික ව පීඩාවට පත් ජනතාව මෙම පාලනයන්ට විරුද්ධ ව විරෝධතා දක්වනන්ට විය. මේ වන විට බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවක් පැවතිය ද, එහි නියෝජනය පැවතියේ ජනගහනයෙන් 2%ක් පමණ දේපළ හිමිකරුවන් සතු ව යි. නියෝජිතයන් ලෙස පත්වීම මෙන්ම පත්කිරීම ද ඔවුන් සතු විය.මේ නිසා පීඩාවට පත් පොදු ජනයාට තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට පවා මෙම පාලනය තුළ ඉඩක් නොවීය. එපමණක් නොව මැන්චෙස්ටර් නගරය සඳහා කිසිදු මන්ත්‍රීවරයකුගේ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ හිමි නොවීය.

රැලිය පැවැත්වූ ස්ථානය (bl.uk)

1815 දී වෝටර්ලූ සංග්‍රාමයෙන් පසු ව බ්‍රිතාන්‍ය නැපෝලියානු යුද සමය අවසන් ව නැවත කාර්මීකරණය පැතිර ගිය අතර, මේ නිසා කර්මාන්ත ආශ්‍රිත කම්කරු ජනගහනය ද ඉහළ යන්නට විය. නමුත් මෙම ඉහළ කම්කරු ජනතාවට තමන්ගේ නියෝජනයක් පාලන ක්‍රමය තුළ ස්ථාපිත නොවීම නිසා ඇති වූයේ දැඩි ආතතියකි. එසේ ම එය වඩ වඩාත් තීව්‍ර වූයේ දුෂ්කර රැකියා කොන්දේසි, අඩු වැටුප්, ජීවන වියදම දරාගත නොහැකි වීම වැනි ආර්ථික හේතු නිසා ය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය තුළ මැන්චෙස්ටර් යනු සීඝ්‍රයෙන් කාර්මීකරණයට භාජනය වූ නගරයකි. කපු කර්මාන්තය විශාල වශයෙන් පැතිර තිබූ අතර, මෙම අරගලයට මූලික වූ කම්කරු කොටස වූයේ ද මෙම කපු කර්මාන්තයේ නියැලුණු කම්කරු ජනයා ය. මැන්චෙස්ටර් ආශ්‍රිත ව වාසය කළ දස දහස් ගණනක් වූ ජනතාව එක්රැස් කරමින් දැවැන්ත රැලියක් පවත්වා තම අයිතීන් ඉල්ලා පාලකයන්ට බලපෑම් කිරීමට පෙරමුණ ගනු ලැබූයේ දක්ෂ කථිකයෙකු, කම්කරු නායකයෙකු වූ හෙන්රි හන්ට් විසිනි. එසේ ම මෙම කර්තව්‍ය සඳහා විලියම් කොබෙට් වැනි පුවත්පත් වාර්තාකරුවන් ද තම දායකත්වය දක්වමින් මෙම ගැටලුව පිළිබඳ සමාජය දැනුවත් කිරීමට වෙහෙස ගන්නා ලදී.

මේ වන විට ප්‍රංශයේ ධනේෂ්වර විප්ලවය ආරම්භ වී වසර 30ක් ගත ව තිබූ අතර, ප්‍රංශ විප්ලවයෙන් පිබිදුණු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් යුරෝපය පුරා පැතිර ගොස් තිබුණි. 1819 අගෝස්තු 16 වන දා මැන්චෙස්ටර්හි ශාන්ත පීටර් පිටියට 60,000ක පිරිසක් රැස්ව ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු නියෝජන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් තමන්ට ලබා දෙන ලෙස යි. සහභාගී වූ පිරිස ලක්ෂයකට ආසන්න බව ද සමහරක් මූලාශ්‍රවල සඳහන් ව තිබේ. කෙසේවෙතත්, ඔවුන් ඉල්ලා සිටියේ ඡන්ද අයිතිය පුළුල් කළ යුතු බව යි. එසේ ම බදු ප්‍රතිපත්තිය ද ජනතාවට සහනදායී ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද ඔවුන් අවධාරණය කරන ලදී. මේ කාලය වන විට කාන්තා ව්‍යාපාර පෙරට පැමිණ නොතිබුණු නමුත්, මෙම අවස්ථාවේ දී කාන්තා නියෝජනය කැපී පෙනෙන සිදුවීමක් විය.

හෙන්රි හන්ට් (manchestereveningnews)

මැන්චෙස්ටර් නගරය සඳහා වෙනම පොලිසියක් මේ වන විට පිහිටුවා නොතිබුණි. මෙම දැවැන්ත විරෝධතාව ඉඩම්, කර්මාන්ත හිමි පාලකයන් තැති ගැන්වීමට හේතු විය. මෙය මර්දනය කරවීම සඳහා වහා ම කටයුතු සම්පාදනය කෙරිණි. නමුත් පොලිසියක් නොවූ නිසා ඒ සඳහා යෙදවූයේ අශ්වාරෝහක හමුදාවකි. ඔවුන් අත වූයේ ඉතා හොඳින් මුවහත් තබන ලද කඩු ය. මෙසේ හමුදා පිටත් කිරීමට නියෝගය නිකුත් කරන ලද්දේ වයඹදිග එංගලන්තයේ මහේස්ත්‍රාත්වරයා වූ විලියම් හල්ටන් විසිනි. කඩු රැගත් අශ්වාරෝහක හමුදා රැලිය වටකොට ඒ තුළට කඩා වැදුණි. දුටු දුටු පුද්ගලයාට කඩු පහර එල්ල කරමින් මැන්චෙස්ටර් භූමිය ලෙයින් තෙත් කළහ. මර්දනයේ ශේෂ පත්‍රය විමසා බලන විට 15 දෙනෙකුට මරු කැඳවා තිබුණි. ඉන් 11 දෙනෙක් එම ස්ථානයේ ම මියගොස් තිබූ අතර, ඉතිරි සිව්දෙනා සිදු වූ තුවාල නිසා පසු ව මරණයට පත් විය. එපමණක් නොව, තුවාල ලැබූ පිරිස 400කට අධික විය. ලේ වගුරා රැලිය විසුරුවා හැර ඊට නායකත්වය සැපයූවන් අත්අඩංගුවට ගැනුණි. හෙන්රි හන්ට් ඇතුළු නායකයන් වසර දෙකක් සිරගත කරන ලදී.

1820දී නිකුත් කළ නාමාවලියේ මුල් පිටුව- මියගිය 15 දෙනා සහ තුවාල ලැබූවන්ගේ කොටසක් මෙහි සිටියි (bl.uk)

එදින රැලිය මර්දනය කිරීමට නියෝග දුන් විලියම් හල්ටන් විසින් ඊට වසර 7කට පෙර වයස අවුරුදු 12ක දරුවෙකු ඇතුළු සිව්දෙනෙකුට මරණ දණ්ඩණය ද නියම කර තිබේ. එකල කර්මාන්ත ශාලා තුළ පීඩාවට පත්ව සිටි කම්කරුවන් විසින් තමන්ගේ නිදහස ලබාගැනීම උදෙසා කර්මාන්ත ශාලා ගිනි තැබීමේ යන්ත්‍ර සූත්‍ර විනාශ කිරීමේ ක්‍රියාවලට පෙළඹී සිටි අතර, එය ලුඩිට් ව්‍යාපරය නමින් හැඳින්විය. ඉහත සිව්දෙනා එලෙස බෝල්ටන්හි ධාන්‍ය මෝලකට ගිනි තබා හසු වූ සැකකරුවන් සිව්දෙනෙකු විය.

විලියම් හල්ටන් (bbc)

ඉන්පසු ව ද මර්දනය දැඩි කරන ලදී. ප්‍රසිද්ධියේ රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් නව නීති සම්මත කරන ලදී. එසේ ම සටන් පාඨ ප්‍රදර්ශනය ද තහනම් විය. මර්දනය දියත් වුවත්, මෙම සංහාරයෙන් පසු ව ලිවර්පූල්හි රජයට එරෙහි විශාල සමාජ මතයක් ගොඩනැඟුණි. මාධ්‍යවේදීන් මේ ගැන පුවත්පත් වාර්තා පළ කළ අතර, මැන්චෙස්ටර් ගාඩියන් පුවත්පත ද ඒ වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන ලදී. 1959 සිට ද ගාඩියන් බවට පත්වූයේ මෙම මැන්චෙස්ටර් ගාඩියන් පුවත්පත යි. මෙම සටනට කපු වෙළෙන්දන් මෙන්ම කපු කර්මාන්ත හිමිකරුවන්ට ද අවසානයේ දායකත්වය දැක්වීමට සිදුවිය.

1821 මැයි 5 වන දා මැන්චෙස්ටර් ගාඩියන් පුවත්පතේ මේ සම්බන්ධ ව පළ වූ ලිපියක් (theguardian)

කෙසේ වුවත් ඔවුන්ගේ ඉල්ලීමක් වූ ඡන්ද අයිතිය පුළුල් කීරීම සිදුවූයේ 1832 වසරේ සිට ය. එයද පුරුෂයන්ට පමණි. එහි වූ පුළුල් බව මෙන්ම ආර්ථික, දේශපාලන සටන් පාඨ සහිත ව සිදුකළ අරගලයක් වීම නිසා නූතන කම්කරු අරගල ඉතිහාසයේ ආරම්භක ස්ථානය ලෙස පීටර්ලූ රැලිය හැඳින්විය හැකිය. මෙය පීටර්ලූ ලෙස නම්කර ඇත්තේ මීට වසර 4කට පෙර බ්‍රිතාන්‍යය හමුදා ඒකාබද්ධ ව වෝටර්ලූ හි දී නැපෝලියන් පරාජය කළ යුද්ධය හා සංසන්දනය කිරීමේ අදහසිනි. මෙය පීටර් නම් පිටියේ සිදු වූ අතර, නැපෝලියන් සමග යුද්ධය වෝටර්ලූ හි දී (වර්තමානයේ බෙල්ජියමේ) සිදුවිය.

1819දී ජෝර්ජ් කෘක්ශෑන්ක් කාටුන් ශිල්පියා පීටර්ලූ සංහාරය වෙනුවෙන් ඇඳි කාටූනයක් (theguardian)
පීටර්ලූ සංහාරයේ දී මියගිය ජනයාගේ නාම පුවරු රැගෙන පාගමනේ යෙදෙන අනුස්මරණ අවස්ථාව (2017)  (theguardian)
රැලිය පැවැත්වූ ස්ථානයේ 2007දී සකස්කළ සිහිවටනය (peterloomassacre)

පීටර්ලූ සංහාරය පාදක කරගනිමින් මයික් ලෙයි විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ පීටර්ලූ චිත්‍රපටය පසුගිය නොවැම්බර් 2 වන දා තිරගත වීම ආරම්භ විය.

 

කවරයේ පින්තූරය: 1819දී රිචඩ් කාලිල් විසින් ඇඳි සිතුවම (Manchester Libraries)

මූලාශ්‍රයයන්:

bbc.com

peterloomassacre.org

bl.uk

Related Articles