වතුකරයේ දේශපාලන ඉතිහාසය සහ එහි අනාගතය

ඉංග්‍රීසි ජාතිකයන් විසින් ලංකාවට තේ වගාව හඳුන්වා දුන්නේ 19 වැනි සියවසේ දී යි. නමුත් ලංකාවේ කඳුකර පෙදෙස් ආශ්‍රිතව බිහිවුණු තේ වතුවල කුලියට වැඩ කිරීමට සිංහලයන් කැමති වුණේ නැහැ. එනිසා දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයන් තේ වතුවල වැඩ කිරීම සඳහා ගෙන්වීමට ඉංග්‍රීසින්ට සිදුවුණා. එදා දකුණු  ඉන්දියාවෙන් පැමිණි අයගේ ඊළඟ පරම්පරාවල පිරිස අද වතුකරය ආශ්‍රිතව ජීවත් වනවා. වර්තමානයේ මෙරට පැවැත්වෙන ජාතික මැතිවරණවල දී තීරණාත්මක ආසනයක් වන නුවරඑළිය-මස්කෙලිය ආසනයේ ප්‍රතිඵලය තීරණය වන්නේ එම ඉන්දියානු ද්‍රවිඩ ජන කොටස්වල ඡන්දයෙන්. එම නිසා වතුකරයෙන් බිහිවුණු බොහෝ නායකයන් ප්‍රධාන පක්ෂ සමග සන්ධානගත වීම අතීතයේ සිටම දක්නට ලැබුණු දෙයක්. 

ලංකා ඉන්දියානු කොංග්‍රසය බිහිවීම 

30 දශකයේ අග භාගයේ දී ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ වතුකරයේ ඉන්දීය සම්භවයක් තිබුණු වතු කම්කරු නායකයන් මුණගැසුණා. එම වකවානුව වන විට ද ලංකාවේ වතු කම්කරු නායකයන් සහ ඉන්දීය කොංග්‍රස් නායකයන් අතර සබඳතාවයක් ගොඩ නැගී තිබුණා. එදා නේරුතුමා දුන් උපදෙස්වලට අනුව වතුකරය ආශ්‍රිතව ලංකා ඉන්දියානු කොංග්‍රසය ගොඩනැගුණේ 1939 වසරේ දී යි. එදා ගොඩනැගුණු නව පක්ෂයේ වෘත්තීය සමිතිය බවට පත්වුණේ ලංකා කම්කරු කොංග්‍රසය යි. 

ශ්‍රී ජවහල්ලාල් නේරු (gettyimages)

පළමු මහා මැතිවරණයේ දී ආසන 6ක් 

1947 වසරේ පළමු මහා මැතිවරණයේ දී ලංකා ඉන්දියානු කොංග්‍රසය ආසන 7ක් සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කළා. එහිදී ඔවුන් තෝරාගෙන තිබුණේ ඉන්දීය ද්‍රවිඩ ජනයා බහුලවම ජීවත් වුණු ප්‍රදේශ යි. එම නිසාම එවර මහා මැතිවරණයේ දී ලංකා ඉන්දියානු කොංග්‍රසයෙන් තරග කළ අපේක්ෂකයන් හයදෙනෙකු ජයග්‍රහණය කළා. පහත දැක්වෙන්නේ එම අපේක්ෂකයන් තරග වැදුණු ආසන යි.

1) සෞම්‍යමූර්ති තොණ්ඩමාන්- නුවරඑළිය

2) ජෝර්ජ් මෝතා- මස්කෙලිය 

3) කාලිමුතු රාජලිංගම්- නාවලපිටිය

4) කරුපයියා කුමාරවේලු- කොටගල 

5) වේලුසිංහම් වේලුපිල්ලෙයි- තලවාකැලේ 

6) සංගරලිංගම් සුබ්බයියා- බදුල්ල 

ඉන්දීය ද්‍රවිඩයන්ගේ ඡන්ද අයිතිය කප්පාදු වීම 

1947 වසරේ දී පැවති පළමු මහා මැතිවරණයේ දී ලංකාවේ බොහෝ  ප්‍රදේශවල වතු ආශ්‍රිත ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් තිබුණු ඡන්ද දායකයන් සිටියා. ලංකා ඉන්දියානු කොංග්‍රසය තරග නොකළ ආසනවල දී එම ඉන්දීය ද්‍රවිඩ ජනතාව සිය ඡන්දය ලබාදුන්නේ ලංකා සමසමාජ පක්ෂයට යි. එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට එය අනාගතයේ දී තමාට තර්ජනයක් විය හැකි බව සැලකුවා. ඒ අනුව ඔවුන් 1948 ලංකා පුරවැසි පනතත්, 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතත් ඉදිරිපත් කරමින් ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් සැලකිය යුතු පිරිසකගේ ඡන්ද අයිතිය අහෝසි කළා. 

සෞම්‍යමූර්ති තොණ්ඩමන් 

අතීතයේ දී ‘රජුන් තනන්නා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් වතුකරයෙන් බිහි වුණු මුල්ම නායකයා යි. ලංකා ඉන්දියානු කොංග්‍රසය බිහිකිරීම සඳහා පුරෝගාමියෙකු වුණු සෞම්‍යමූර්ති, 1945 වසරේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් තනතුරට පත් වුණා. 1949 වසර වන විට ලංකාවේ ඉන්දියානු ද්‍රවිඩ ජනතාවගේ ඡන්ද අයිතිය කප්පාදු වීමත් සමග, ඊට විරුද්ධව දිගින් දිගටම අරගල කළේ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් නම් වතු කම්කරු නායකයා යි. 

1950 වසරේ දී ලංකා ඉන්දියානු කොංග්‍රසයේ ලෙසින් ආරම්භ කළ පක්ෂයේ නම ‘ලංකා කම්කරු කොංග්‍රසය’ ලෙසින් වෙනස් කරනු ලැබුවා. නමුත් ඒ වන විට ඔවුන්ගේ ඡන්ද පදනම බිඳ වැටී තිබුණු නිසා 1960 වන තුරු කිසිදු අපේක්ෂකයෙකුට එම පක්ෂයෙන් පාර්ලිමේන්තු වරම් හිමි වුණේ නැහැ. නමුත් 1960 ජූලි මහා මැතිවරණයේ දී සෞම්‍යමූර්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දුන් නිසා ඔහුට පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබුණා. 

නමුත් 1964 වසරේ දී අත්සන් කළ සිරිමා-ශාස්ත්‍රි ගිවිසුම නිසා සෞම්‍යමූර්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග යටි සිතින් අමනාප වුණා. එම නිසා ඉන් මාස කිහිපයකට පසුව රජය පෙරලුණු අවස්ථාවේ ඔහු ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඉන්පසුව උදා වුණු 1965 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට සහාය දුන් සෞම්‍යමූර්ති යළි පාර්ලිමේන්තුවට පිවිසුණේ පත්කළ මන්ත්‍රීවරයෙකු ලෙසින්. 1970 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ලද පරාජයත් සමගම ඔහුගේ බලය අහිමිවුණත්, යළි 1977 වසරේ දී පාර්ලිමේන්තුව වරම් ලැබුවේ නුවරඑළිය- මස්කෙලිය බහු ආසනයේ තෙවන මන්ත්‍රීවරයා බවට පත්වෙමින්. ඉන් අනතුරුව ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය සමග එක් වුණු සෞම්‍යමූර්ති එම රජයේ ප්‍රබලයෙකු බවට පත් වුණා. එනිසා 80 දශකයේ අග භාගය වන විට ඉන්දීය ද්‍රවිඩ පුරවැසියන් රැසකට යළි ඡන්ද අයිතිය හිමි වුණා. ඒ සමගම නුවරඑළිය-මස්කෙලිය ආසනය ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින ආසනය බවට පත් වුණා.

සෞම්‍යමූර්ති තොණ්ඩමන් සහ ආරුමුගම් තොණ්ඩමන් (Ceylon Today)

නුවරඑළිය-මස්කෙලිය ආසනය 

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම මඟින් සිදුකළ සීමා නිර්ණයේ දී නුවරඑළිය සහ මස්කෙලිය යන ආසන දෙක එකතු වී නුවරඑළිය-මස්කෙලිය බහු ආසනය නිර්මාණය වුණා. නමුත් එම අවධිය වන විට ඉන්දියානු ද්‍රවිඩයන් වැඩි පිරිසකට ඡන්ද අයිතිය හිමිව තිබුණේ නැහැ. එම නිසා 1977 මහා මැතිවරණයේ දී මැද කොළඹ සහ හාරිස්පත්තුව යන ආසනවල සිටි ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය මෙම ආසනයේ සිටි ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණයට වඩා වැඩි වුණා. නමුත් 80 දශකයේ අග භාගයේ දී වතුකරයේ බහුතර ජන කොටසකට ලාංකීය පුරවැසිභාවය ලැබීමත් සමගම යළි ඡන්ද අයිතිය හිමි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1994 මහා මැතිවරණය වන විට නුවරඑළිය-මස්කෙලිය ආසනය ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින ආසනය බවට පත් වුණා. 

ජනාධිපතිවරණ 2ක දී තීරණාත්මක ආසනයක් වුණා 

අවසන් දශක 2ක තුළ ලංකාවේ පැවති ජනාධිපතිවරණවල දී තියුණුම සටනක් පැවතුණේ 2005 සහ 2015 වසරවල පැවති ජනාධිපතිවරණ 2 දී යි. එම අවස්ථාවන්වල දී නුවරඑළිය-මස්කෙලිය ඡන්ද ප්‍රතිඵලය කළ බලපෑම පහත උදාහරණ නිරීක්ෂණය කිරීමෙන් පසුව වැටහෙනු ඇති.

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය-මස්කෙලිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 156,343

මහින්ද රාජපක්ෂ- 33,453

වැඩි ඡන්ද-  122,890

මෙම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ  දිස්ත්‍රික්ක 11 බැගින් ජයග්‍රහණය කළා. එහිදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ කුරුණෑගල, පොළොන්නරුව, රත්නපුර, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වුණු වැඩි ඡන්ද ප්‍රමාණයන් පහත දැක්වෙනවා.

1) කුරුණෑගල- 49698,  2) රත්නපුර- 41422,  3) කෑගල්ල- 15701,  4) පොළොන්නරුව- 13357

ඉහත ඡන්ද පරතරවල එකතුව- 120,178 

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී නුවරඑළිය-මස්කෙලිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ පහත දැක්වෙන ආකාරයට යි.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 171,578

මහින්ද රාජපක්ෂ- 57,718

වැඩි ඡන්ද-  113,860

මෙම ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දිස්ත්‍රික්ක 12ක් ජයග්‍රහණය කරන විට මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 10ක් ජයග්‍රහණය කළා. එහි දී මහින්ද රාජපක්ෂ විසින් ජයග්‍රහණය කළ කළුතර, අනුරාධපුරය, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල දී වාර්තා වුණු වැඩි ඡන්ද ප්‍රමාණයන් පහත දැක්වෙනවා.

1) කළුතර- 46,486,  2) අනුරාධපුරය- 42,754,  3) කෑගල්ල- 25,597

ඉහත ඡන්ද පරතරවල එකතුව- 114,837

ඉහත උදාහරණවලින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරණයක දී යම් පක්ෂයක් නුවරඑළිය-මස්කෙලිය ආසනයෙන් ලබාගන්නා වැඩි ඡන්ද ප්‍රමාණයට සම වීමට, තවත් පක්ෂයකට වෙනත් දිස්ත්‍රික් කිහිපයක් ජයග්‍රහණය කිරීමට සිදුවන බව යි. ඉන් නිගමනය කළ හැක්කේ ජනාධිපතිවරණයක දී නුවරඑළිය-මස්කෙලිය ආසනයේ ජයග්‍රහණය ඉතාමත් තීරණාත්මක බව යි. 

පසුගිය දශක තුන තුළ වතුකරයේ සිටි නායකයන් 

1999 වසරේ දී සෞම්‍යමූර්ති අභාවයට පත්වීමත් සමගම ඔහුගේ මුණුබුරු ආරුමුගම් තොණ්ඩමාන් පක්ෂයේ නායකත්වයට පත් වුණා. එම කාල වකවානුව වන විට පෙරියසාමි චන්ද්‍රසේකරන්ගේ නායකත්වය යටතේ තරග කළ කඳුරට ජනතා පෙරමුණත් වතුකරය තුළ ජනප්‍රිය වී තිබුණා. 2010 වසර වන තුරු වතුකරයේ තිබුණු ප්‍රබලම දේශපාලන පක්ෂ දෙක බවට පත් වුණේ ලංකා කම්කරු කොංග්‍රසය සහ කඳුරට ජනතා පෙරමුණ යි. නමුත් ආරුමුගම් තොණ්ඩමාන් සිය සීයා වුණු සෞම්‍යමූර්ති තොණ්ඩමාන් තරම් වතුකරයේ ජනතාවගේ ආකර්ෂනය දිනාගැනීමට සමත් වුණේ නැහැ. එම නිසා කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන් වතුකරයේ ජනතාව අතර ජනප්‍රිය වන්නට වුණා. 2010 වසරේ දී පෙරියසාමි චන්ද්‍රසේකරන් හදිසියේම අභාවයට පත්වීමත් සමගම දිගම්බරන්ට වතුකරය තුළ සාර්ථක දේශපාලන ගමනක් යාමට හොඳ අවස්ථාවක් උදා වුණා. ඒ අනුව පසුගිය දශකය තුළ දී වතුකරයේ ජනතාවගේ වැඩි ජන ප්‍රසාදයක් හිමිව තිබුණේ පලනි දිගම්බරන්ට යි.

ජීවන් තොණ්ඩමාන්ගේ ආගමනය 

පසුගිය දශක 2ක පමණ කාලය තුළ වතුකරයෙන් බිහි වුණු දේශපාලන නායකයන් එහි සිටින ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට පත් කර ඇති බවක් පෙනෙන්නට නැහැ. වතුකරයේ ජනතාව දහසක් ගැටලු මැදින් සිය ජීවන අරගලය ගෙනයමින් සිටි අවස්ථාවක ආරුමුගම් තොණ්ඩමාන්ගේ මරණය සිදු වුණා. එම නිසා ආරුමුගම් වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ 2020 මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වුණා. 

ජීවන් තොණ්ඩමාන් (Menafn.com)

ජීවන් වතුකරයේ ඊළඟ නායකයා ද?

මෙවර මහා මැතිවරණයේ දී ජීවන් තොණ්ඩමාන් සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන විට ඔහු මනාප 109,155ක් ලබාගත්තේ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගනිමින්. ඉහත ප්‍රතිඵලයෙන් පෙනීයන්නේ වතුකරයේ ජනතාව පලනි දිගම්බරන්ව ප්‍රතිකේෂ්ප කර 25 වියැති ජීවන් තොණ්ඩමාන්ව විශ්වාස කර ඇති බව යි. ඉදිරියේ දී වතුකරයේ ප්‍රශ්න විසඳමින් සාර්ථක ගමනක් යාමට ජීවන්ට හැකි වුණොත්, සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ගෙන් පසුව වතුකරයෙන් බිහි වුණු සාර්ථකම දේශපාලනඥයා බවට පත්වීමට ඔහුට හැකියාව ලැබෙනු ඇති.

කවරයේ ඡායාරූපය- ආරුමුගම් තොණ්ඩමාන් රැළියක් අතරතුර (DRS Media)

මූලාශ්‍රයයන්- මහා මැතිවරණ ප්‍රතිඵල (මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles