Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කේවල ක්‍රමය යටතේ ආසන කිහිපයකට තරග කළ අපේක්ෂකයෝ

1947-1977 කාලසමය තුළ ලංකාවේ පැවති මහා මැතිවරණ ක්‍රියාත්මක වුණේ සරල බහුතර ක්‍රමය (කේවල ක්‍රමය) යටතේ යි. එහි දී ආසනයක වැඩිම ඡන්ද ලබාගන්නා පක්ෂයේ අපේක්ෂකයාට එම ආසනයෙන් මැතිසබයට පිවිසීමේ වරම හිමි වුණා. කේවල ක්‍රමය යටතේ පැවති මැතිවරණවල දී සමහර ආසනවලින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තෝරාගනු ලැබුවා. එවැනි ආසන හැඳින්වුණේ බහු මන්ත්‍රී ආසන ලෙස යි. එම කාලසමය තුළ පැවති මහා මැතිවරණවල දී සමහර අපේක්ෂකයින් එකම ආසනය සඳහා දිගු කලක් තරග කරන විට සමහර අපේක්ෂකයින් ආසන කිහිපයකට තරග කළා. එසේ නම් මෙම ලිපිය වෙන් වන්නේ කේවල ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ආසන කිහිපයකට තරග කළ අපේක්ෂකයින් හතරදෙනෙකු පිළිබඳව යි.

විවියන් ගුණවර්ධන 

ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් දිගු කලක් දේශපාලන බිමේ රැඳී සිටි විවියන් ගුණවර්ධන, සිය දේශපාලන දිවිය තුළ ආසන 5ක් සඳහා තරග වැදුණා. එහි දී උතුරු කොළඹ, දෙහිවල-ගල්කිස්ස සහ බොරැල්ල ආසන නියෝජනය කරමින් මැතිසබයට පිවිසීමේ අවස්ථාව ඇයට හිමි වුණා.

කැලණිය ආසනය 

1952 මහා මැතිවරණයේ දී කැලණිය ආසනය සඳහා ඉදිරිපත් වුණු විවියන්ට තරගවැදීමට සිදුවුණේ ජේ. ආර්. ජයවර්ධන සහ විමලා විජේවර්ධන යන ප්‍රබල අපේක්ෂකයින් දෙදෙනා සමග යි. එහි දී ඔවුන් දෙදෙනා හමුවේ අන්ත පරාජයක් ලැබූ විවියන්ට ලබාගැනීමට හැකි වුණේ ඡන්ද 4,857ක් පමණයි.

ජේ. ආර්. ජයවර්ධන (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 22,103

විමලා විජේවර්ධන (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 15,868

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 4,857

ජේ. ආර්. ජයවර්ධන (www.jrjc.lk)

උතුරු කොළඹ ආසනය

1956 වසරේ පැවති මහා මැතිවරණයේ දී විවියන් ගුණවර්ධන තරග වැදුණේ උතුරු කොළඹ ආසනයට යි. එක්සත් ජාතික පක්ෂයට වඩාත් හිතකර වුණු මෙම ආසනය එවර විවියන් ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7,352ක් ලබාගනිමින්. එලෙස එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණු උතුරු කොළඹ ආසනය ඔවුන් පරාජයට පත් වුණේ මෙම මහා මැතිවරණයේ දී පමණක් වීමත් මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි.

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 16,841

ජේ. සී. ද සිල්වා විජයරත්න (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 9,489

නමුත්, 1960 වසරේ දී පැවති මහා මැතිවරණ 2 දී ම විවියන් ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ වී. ඒ. සුගතදාස හමුවේ පරාජය වුණා. එහි දී සුගතදාස 1960 මාර්තු මැතිවරණය වැඩි ඡන්ද 848කින් ජයග්‍රහණය කර, ඉන් අනතුරුව පැවති 1960 ජූලි මහා මැතිවරණය වැඩි ඡන්ද 144ක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. 

බොරැල්ල ආසනය 

උතුරු කොළඹ ආසනය දෙවරක් පරාජය වුණු විවියන්, 1964 වසරේ පැවති බොරැල්ල අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වුණා. එහි දී වැඩි ඡන්ද 486කින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාව පරාජය කළ විවියන්, බොරැල්ල අසුන නියෝජනය කරමින් මැතිසබයට පිවිසියා.

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 12,592

ආර්. බී. ලෙනෝරා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 12,106

එලෙස උතුරු කොළඹ අතුරු මැතිවරණය ජයග්‍රහණය කළ විවියන් ගුණවර්ධන, 1965 වසරේ පැවති මහා මැතිවරණයේ දී බොරැල්ල ආසනයට තරග වැදුණා. නමුත්, එවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වැඩි ඡන්ද 1,694කින් බොරැල්ල ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. 

එම්. එච්. මොහොමඩ් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 14,910

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 13,218

දෙහිවල-ගල්කිස්ස ආසනය 

1970 මහාමැතිවරණයේ දී විවියන් ගුණවර්ධන දෙහිවල-ගල්කිස්ස ආසනය සඳහා තරග වැදුණා. එහි දී ඇයගේ ප්‍රතිවාදියා වුණේ ඇස්. ද ඇස්. ජයසිංහ නම් ප්‍රබල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා යි. නමුත්, එම කාලසමය වන විට එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටි නිසා විවියන් වැඩි ඡන්ද 1,967කින් දෙහිවල-ගල්කිස්ස ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 29,430

ඇස්. ද ඇස්. ජයසිංහ (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 27,463

රත්මලාන ආසනය 

1976 වසරේ දී දෙහිවල-ගල්කිස්ස ආසනය රත්මලාන සහ දෙහිවල ලෙසින් ආසන 2කට කැඩී ගියා. ඒ අනුව විවියන් ගුණවර්ධන 1977 මහා මැතිවරණයේ දී තරග කළේ රත්මලාන ආසනයට යි. එදා එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් එම මහා මැතිවරණයේ දී විවියන්ට ලබාගැනීමට හැකි වුණේ ඡන්ද 3,055ක් පමණ යි.

ලලිත් ඇතුලත්මුදලි (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 19,972

සී. වී. ගුණරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 12,141

විවියන් ගුණවර්ධන (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 3,055

ලලිත් ඇතුලත්මුදලි (Daily News)

ටී. බී. ඉලංගරත්න 

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිටි ජනප්‍රිය චරිතයක් වුණු ටී. බී. ඉලංගරත්න, 1947-1977 කාලසමය තුළ මහනුවර, ගලහ, හේවාහැට, සහ කොළොන්නාව ආසන නියෝජනය කරමින් මහා මැතිවරණවලට ඉදිරිපත් වුණා. 

මහනුවර ආසනය 

1947 මහා මැතිවරණයේ දී ස්වාධීනව මහනුවර ආසනයට ඉදිරිපත් වුණු ටී. බී. ඉලංගරත්න එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ජෝර්ජ් ඊ. ද සිල්වා හමුවේ ඡන්ද 205කින් පරාජයට පත් වුණා.

ජෝර්ජ් ඊ. ද සිල්වා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,942

ටී. බී. ඉලංගරත්න (ස්වාධීන)- ඡන්ද 7,737

නමුත් පසුව, ජෝර්ජ් ඊ. ද සිල්වා ඡන්ද පෙත්සමකින් පරාජය වීමෙන් අනතුරුව 1948 වසරේ දී මහනුවර ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වුණා. එහි දී යළි ස්වාධීනව ඉදිරිපත් වුණු ටී. බී. ඉලංගරත්න මහනුවර ආසනය ජයග්‍රහණය කළා. එලෙස මහනුවර අසනය ජයග්‍රහණය කළ ඉලංගරත්න ඉන් වසරකට පසුව ඡන්ද පෙත්සමකින් පරාජය වුණා. ඒ අනුව 1949 වසරේ දී යළි මහනුවර ආසනය වෙනුවෙන් පැවති අතුරු මැතිවරණයේ දී ජයග්‍රහණය හිමිකර ගත්තේ ඔහුගේ බිරිඳ, තමරා කුමාරි ඉලංගරත්න යි. 

ගලහ ආසනය 

1956 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගලහ ආසනය සඳහා තරග කළ ටී. බී. ඉලංගරත්න, ප්‍රතිවාදී අපේක්ෂකයාව වැඩි ඡන්ද 6,434කින් පරාජය කිරීමට සමත් වුණා. 

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 16,924

ටී. බී. පානබොක්කේ (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 10,490

හේවාහැට ආසනය 

1960-1965 කාලසමයේ දී පැවති මහා මැතිවරණ 2 දී ම ටී. බී. ඉලංගරත්න තරග වැදුණේ හේවාහැට ආසනය සඳහා යි. එහි දී 1960 වසරේ පැවති මහා මැතිවරණ දෙකම ජයග්‍රහණය කළ ඉලංගරත්න, 1965 මහා මැතිවරණය පරාජයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂයේ අනුර ඩැනියල් හමුවේ යි.

1960 මාර්තු මහා මැතිවරණය

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 5,570

ආර්. එම්. සී. රත්නායක (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 2,909

1960 ජූලි මහා මැතිවරණය

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 7,181

අනුර ඩැනියල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,055

1965 මහා මැතිවරණය

අනුර ඩැනියල් (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 10,622

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 9,219

කොළොන්නාව ආසනය 

1967 වසරේ පැවති කොළොන්නාව අතුරු මැතිවරණයේ දී ටී. බී. ඉලංගරත්න මහජන එක්සත් පෙරමුණෙන් තරග කළ කුසුමා ගුණවර්ධනව වැඩි ඡන්ද 3,363කින් පරාජය කළා. ඉන්පසුව, 1970 මහා මැතිවරණයේ දී නැවතත් කුසුමා ගුණවර්ධනව වැඩි ඡන්ද 8,836කින් පරාජය කළ ටී. බී. ඉලංගරත්න කොළොන්නාව අසුනින් මැතිසබයට පිවිසුණා.

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 21,717

කුසුමා ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 12,881

එලෙස දෙවරක් කොළොන්නාව ආසනය ජයග්‍රහණය කළ ටී. බී. ඉලංගරත්න 1977 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වීරසිංහ මල්ලිමාරච්චි වෙතින් පරාජයට පත් වුණා. 

වීරසිංහ මල්ලිමාරච්චි (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 23,756

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 18,538

එඩ්මන්ඩ් සමරක්කොඩි 

සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි එඩ්මන්ඩ් සමරක්කොඩි, මහා මැතිවරණවල දී ආසන 4කට තරග කළා. එහි දී දක්නට ලැබුණු විශේෂත්වය වුණේ ඔහු එකිනෙකට වෙනස් දිස්ත්‍රික්ක 4ක ආසන සඳහා තරග වැදීම යි. 

මීරිගම ආසනය 

1947 මහා මැතිවරණයේ දී එඩ්මන්ඩ් සමරක්කොඩි තරග වැදුණේ මීරිගම ආසනයට යි. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වුණේ ලංකාවේ පළමු අගමැතිවරයා වුණු ඩී. ඇස්. සේනානායක යි. එදා මීරිගම ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගෙන සිටි ඩී. ඇස්. සේනානායකට කරට කර සටනක් දීමට සමරක්කොඩි සමත් වුණේ නැහැ. එම නිසාම ඩී. ඇස්. සේනානායක මීරිගම ආසනය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 16,089ක් ලබාගනිමින්.

ඩී. ඇස්. සේනානායක (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 26,762

එඩ්මන්ඩ් සමරක්කොඩි (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,673

ඩී. ඇස්. සේනානායක (newsin.asia)

දෙහිඕවිට ආසනය 

මිරීගම ආසනයෙන් පරාජය වුණු එඩ්මන්ඩ් සමරක්කොඩි, 1952 සහ 1956 මහා මැතිවරණවල දී තරග වැදුණේ වාමාංශික බලකොටුවක් වුණු දෙහිඕවිට ආසනය සඳහා යි. එහි දී 1952 මහා මැතිවරණය තියුණු සටනකින් පසුව වැඩි ඡන්ද 82කින් ජයග්‍රහණය කළ සමරක්කොඩි, 1956 මහා මැතිවරණය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 6,643ක් ලබාගනිමින්. 

1952 මහා මැතිවරණය

එඩ්මන්ඩ් සමරක්කොඩි (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,673

සෝමවීර ගුණසේකර (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 8,766

1956 මහා මැතිවරණය

එඩ්මන්ඩ් සමරක්කොඩි (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 14,954

ඩර්වින් ප්‍රනාන්දු (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 8,311

කැස්බෑව ආසනය 

දෙහිඕවිට ආසනය දෙවරක් ජයග්‍රහණය කළ එඩ්මන්ඩ් සමරක්කොඩි, 1960 මාර්තු මහා මැතිවරණයේ දී කැස්බෑව ආසනය සඳහා තරග වැදුණා. නමුත්, එවර එඩ්මන්ඩ් සමරක්කොඩි පරාජයට පත් වුණේ දේශපාලන පිටියේ ප්‍රබලයෙකු වූ සෝමවීර චන්ද්‍රසිරි හමුවේ යි.

සෝමවීර චන්ද්‍රසිරි (ස්වාධීන)- ඡන්ද 11,115

එඩ්මන්ඩ් සමරක්කොඩි (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 7,433

බුලත්සිංහල ආසනය 

1960 ජූලි මහා මැතිවරණයේ දී එඩ්මන්ඩ් සමරක්කොඩි තරග කළේ බුලත්සිංහල ආසනය සඳහා යි. එහි දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක බිබිලේ ෆොන්සේකාව වැඩි ඡන්ද 2,631කින් පරාජය කළ එඩ්මන්ඩ් සමරක්කොඩි, බුලත්සිංහල ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එලෙස බුලත්සිංහල ආසනය ජයග්‍රහණය කළ සමරක්කොඩි, 1965 මහා මැතිවරණය වන විට ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත් වී සිටියා. එම මහා මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් බුලත්සිංහල ආසනය සඳහා තරග වැදුණු සමරක්කොඩි අන්ත පරාජයක් ලැබුවා. 

1960 ජූලි මහා මැතිවරණය

එඩ්මන්ඩ් සමරක්කොඩි (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,103

බිබිලේ ෆොන්සේකා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,472

1965 මහා මැතිවරණය

මංගල මුණසිංහ (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 14,023

බිබිලේ ෆොන්සේකා (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 10,433

එඩ්මන්ඩ් සමරක්කොඩි (ස්වාධීන)- ඡන්ද 218

කුසුමා ගුණවර්ධන

1948 වසරේ පැවති අවිස්සාවේල්ල අතුරු මැතිවරණයෙන් මුල්මවරට මැතිසබයට පිවිසි කුසුමා ගුණවර්ධන, සිය දේශපාලන දිවිය තුළ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ආසන 4කට තරග කළා.

අවිස්සාවේල්ල ආසනය

1952 මහා මැතිවරණයේ දී අවිස්සාවේල්ල ආසනය සඳහා තරග වැදුණු කුසුමා ගුණවර්ධන තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 929ක් පමණක් ලබාගනිමින්. එහි දී ඇයගේ ප්‍රතිවාදියා වුණේ ක්ලෝඩා ජයසූරිය නම් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව යි.

කුසුමා ගුණවර්ධන (විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 19,414

ක්ලෝඩා ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 18,485 

කිරිඇල්ල ආසනය 

1956 මහා මැතිවරණයේ දී කුසුමා ගුණවර්ධනගේ සැමියා වුණු පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනය සඳහා තරග වැදුණා. එම නිසාම කුසුමා ගුණවර්ධන විප්ලවකාරී සමසමාජ පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණේ කිරිඇල්ල ආසනයට යි. එහි දී ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 9,963ක් ලබාගත් කුසුමා ගුණවර්ධන පහසුවෙන්ම මැතිසබයට පිවිසියා. 

කුසුමා ගුණවර්ධන (විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 16,272

ඒ. ඊ. බී. කිරිඇල්ල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 6,309

1960 මාර්තු මැතිවරණය වන විට කිරිඇල්ල ආසනය ජයග්‍රහණය කිරීම සඳහා සිව්කොන් සටනක් පැවතුණා. එහි දී මහජන එක්සත් පෙරමුණ යටතේ තරග කළ කුසුමා ගුණවර්ධනට හිමි වුණේ සිව්වන ස්ථානය යි.

ඒ. ඊ. බී. කිරිඇල්ල (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 6,816

පී. බී. විජේසුන්දර (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 5,270

එල්. ඩී. ජයවර්ධන (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 4,654

කුසුමා ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 3,906

දෙහිඕවිට ආසනය 

1960 මාර්තු මැතිවරණයෙන් පරාජය වුණු කුසුමා ගුණවර්ධන අනතුරුව පැවති 1960 ජූලි මැතිවරණයේ දී තරග කළේ දෙහිඕවිට ආසනය සඳහා යි. නමුත් එහි දී අන්ත පරාජයක් ලැබූ කුසුමා ගුණවර්ධන ලබාගත්තේ ඡන්ද 481ක් පමණයි.

සෝමා වික්‍රමනායක (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 8,593

ඒ. එෆ්. විජේමාන්න (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 7,990

කුසුමා ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 481

කොළොන්නාව ආසනය 

1967 වසරේ දී පැවති කොළොන්නාව අතුරු මැතිවරණය සඳහා කුසුමා ගුණවර්ධන ඉදිරිපත් වුණා. නමුත් එහි දී ඇය ප්‍රතිවාදී අපේක්ෂක ටී. බී. ඉලංගරත්න හමුවේ ඡන්ද 3,363කින් පරාජයට පත් වුණා. 

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 17,825 

කුසුමා ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 14,462

එලෙස අතුරු මැතිවරණය පරාජය වුණු කුසුමා ගුණවර්ධන 1970 මහා මැතිවරණයේ දීත් කොළොන්නාව ආසනය සඳහා තරග වැදුණා. එහි දී නැවත වරක් ටී. බී. ඉලංගරත්න සමග සටන් කළ කුසුමා ගුණවර්ධන දරුණු පරාජයක් ලැබුවා.

ටී. බී. ඉලංගරත්න (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- ඡන්ද 21,717 

කුසුමා ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ)- ඡන්ද 12,881

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles