කාමෝද්දීපන ප්‍රකාශන, නැතහොත් පෝර්නෝග්‍රැෆි යනු කවුරුත් පාහේ අසා තිබෙන දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය පැමිණීමත් සමග මෙය වැඩියෙන් ප්‍රචලිත වූ බව කිව හැකි යි. නමුත් ඇතැමුන්ට අනුව කාමෝද්දීපන ප්‍රකාශනයන්හි ඉතිහාසය ඉතා දීර්ඝ යි.

මෙහි දී "ඇතමුන්ට අනුව​" යන යෙදුම යොදාගත්තේ පැහැදිලි හේතුවක් ඇතිව යි. අද අප දකින ඇතැම් කාමෝද්දීපන ප්‍රකාශනයන්, ඒවා නිර්මාණය කළ සමාජයට අමුත්තක් වූයේ නැහැ. ඇතැම් සමාජයන් විසින් ඉතා සාමාන්‍යයැ යි සලකන ලද නිර්මාණයන් තවත් අය විසින් සලකන ලද්දේ පාපතර​, අශ්ලීල නිර්මාණයන් ලෙස යි. ඉතාම සරල උදාහරණයක් ගතහොත්, සීගිරි ලලනාවන්ගේ සිතුවම් ද ඇතැමුන් විසින් අසභ්‍ය නිර්මාණයන් ලෙස සලකනු ලබනවා. ලාංකිකයින් එසේ නොසිතුව ද ඇතැම් ආගමික විශ්වාසයන් අදහන පිරිස්වලට එවැන්නක් ද අසභ්‍ය විය හැකි යි. අනෙක් අතට​, විවිධ යුගයන්හි දී මෙම ආකල්ප වෙනස්කම්වලට භාජනය ව‍ෙනවා.

කාමෝද්දීපන ප්‍රකාශනයන්හි ඉතිහාසය ඉතා විචිත්‍රවත්, එමෙන්ම මිනිස් ශිෂ්ටාචාරය හා බැඳුණු එකක්. අප මේ පිළිබඳව ලිපි කිහිපයකින් සොයා බැලීමට උත්සාහ කරනවා. මේ එයින් පළමු ලිපිය යි. මෙහි දී අප උත්සාහ කරන්නේ වර්තමාන සමාජයේ කාමෝද්දීපන නිර්මාණ පිළිබඳ අදහස මුල් බැසගත් ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට යි.

අළු යට සැඟව ගිය නගර

කාමෝද්දීපන ප්‍රකාශන පිළිබඳ වර්තමාන පිළිගැනීම විවිධාකාර යි. ඒවා රහසේ රසවිඳිය යුතු දේ බව ඇතැමෙක් විශ්වාස කරන අතර, තවෙකෙකුගේ මතය අනුව ඒවා පාපතර නිර්මාණයන් ව‍ෙනවා. කෙසේ නමුත්, මේ ප්‍රකාශන පිළිබඳ වර්තමාන ලෝකයේ පවතින අදහස් නිර්මාණය වීමට ඍජුවම බලපෑ සිද්ධියක් වුණේ මීට අවුරුදු 2000කට එපිට ඉතාලියේ දී යි.

සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන පරිදි ක්‍රි.ව. 79ක් වූ අගෝස්තු 24 වන දා විසූවියස් ගිනිකන්ද පුපුරා ගියා. මෙම ගිනිකන්දෙන් නිකුත් වූ අළුවලට යට වී පොම්පෙයි සහ හර්කියුලේනියම් යන රෝමානු නගරයන් දෙක විනාශ වුණා.

ක්‍රි.ව​. 79 දී විසූවියස් ගිනි කන්ද පිපිරීමෙන් හානි වූ ප්‍රදේශ​ (Wikimedia Commons)

මෙසේ විනාශ වූ නමුත්, ඒවා එකල පිහිටි ආකාරයෙන්ම අළු යට සැඟව ගිය හෙයින්, මෙම නගර පුරාවිද්‍යාත්මක අර්ථයෙන් ගත්කල බොහෝ රෝමානු නගරවලට වඩා ආරක්ෂා වූ බව කිවහැකි යි. මෙහි වැදගත්ම අංගයක් වූයේ මෙම නගරයන්හි ඉතිරි වූ බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තූන් සමූහය යි.

පොම්පෙයි සහ හර්කියුලේනියම් ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රමවත් කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ 18 වන සියවස මැද භාගයේ යි. 1752 දී එවකට නේප්ල්ස්හි රජු වූ හත්වන චාර්ල්ස් ද ප්‍රදේශයට පැමිණි අවස්ථාවක දී කරන ලද කැණීම් අතරතුර හමුවූ ප්‍රතිමාවක් විශාල ආන්දෝලනයක් ඇති කළා.

පෑන් සහ එළුවා (Baligolix/Flickdriver)

හර්කියුලේනියම් ප්‍රදේශයෙන් හමුවූ මෙම කිරිගරුඬ ප්‍රතිමාවෙන් දැක්වුණේ අර්ධ මිනිස්/ එළු රූපයක් සහිත ග්‍රීක සහ රෝම දෙවිය‍ෙකු වූ පෑන්, එළු දෙනක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන දර්ශනයක්. චාර්ල්ස් රජු මෙය පොදු මහජනයාගෙන් සඟවා තබන්නටත්, කැණීම් කටයුතු නවතා දමන්නටත් කටයුතු කළා.

පල්ලිය​, වික්ටෝරියානු සමාජය සහ ඓතිහාසික රෝමය​

කතෝලික පල්ලිය විසින් අර්ථ දක්වන ලද සදාචාරාත්මක හර පද්ධතීන් අනුගමනය කිරීම මෙකල ඉතාලියේ පිළිගත් සාමාන්‍ය ක්‍රමය වුණා. මීළඟ සියවස තුළ යම් යම් දේශපාලන හේතු මත පල්ලියට තිබුණු බලතල අඩු වූ නමුත් සදාචාරය පිළිබඳ වූ මිනුම් කෙතරම් වෙනස් වී ද යන්න ගැටළුවක්.

පල්ලිය විසින් හෝ ඉතාලියේ උසස් පවුල් විසින් අනුග්‍රහය දැක්වූ චිත්‍ර හා මූර්ති කලාවක් 15 වන සියවසේ පමණ සිට ඉතාලියේ හටගත් අතර පසුව එය වෙනත් ප්‍රදේශයන්ට ද පැතිර ගියා. මෙය අප පුනරුද සමය ලෙස හඳුනා ගන්නවා. මෙහි දී නිරුවත් මිනිස් රූප නිතර දකින්නට ලැබුණ නමුත්, විශේෂයෙන්ම පල්ලියේ අනුග්‍රහය මත කෙරුණු එවන් නිර්මාණයන් කාමෝද්දීපන ප්‍රකාශන ලෙස සාමාන්‍යයෙන් සැලකුණේ නැහැ. ඒවායේ බොහෝ විට දේව කතා අඩංගු වූ අතර​, නරඹන්නා ඒ අර්ථයෙන් මේවා දෙස බලනු ඇතැ යි බලාපොරොත්තු වුණා. මේවායේ පුරුෂ පාර්ශවයේ සම්පූර්ණ නිර්වස්ත්‍ර චිත්‍ර හෝ මූර්ති හෝ දක්නට ලැබුණ ද​, කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රියයන් ආවරණය වී තිබුණා. මෙසේ දේවකතාවල මිස සාමාන්‍ය පිරිමින් හෝ ගැහැණුන් මෙසේ දැක්වීම එතරම් අනුමත කෙරුණේ නැහැ. එවැනි චිත්‍ර තිබුණා නම් ඒ පෞද්ගලික එකතුවක මිස​ පොදු ප්‍රදර්ශනයන්හි නොවෙයි.

 සිස්ටීන් පල්ලියේ අල්තාර බිත්තියේ​ ඇඳ ඇති මයිකල් ආන්ජලෝගේ අවසන් විනිශ්චය සිතුවම​. (Public Domain)

මයිකල් ආන්ජලෝ විසින් වතිකානුවේ සිස්ටීන් පල්ලියේ අඳින ලද චිත්‍ර සාමාන්‍යයෙන් පාප්වහන්සේගේ පාලන ප්‍රදේශයෙහි දැකිය නොහැකි ආකාරයේ නිරුවත් රූප සහිත චිත්‍ර වුණා. ආගමික මාතෘකාවන් සහිත වුව ද මෙම චිත්‍ර ඇතැමුන්ට අනුව අශ්ලීල වූ අතර එහෙයින්ම ඇතැම් අවස්ථාවල ඒවා විකෘති කිරීම ද සිදුවුණා.

මයිකල් ආන්ජලෝ විසින් වත්මන් වතිකානුවේ සිස්ටීන් පල්ලියේ සිවිලිමෙහි අඳින ලද "මහා ජලගැල්ම​" චිත්‍රයේ කොටසක් (Pinterest)

මධ්‍යතන යුගයේ හෝ පුනරුද සමයේ දී කාමෝද්දීපන ප්‍රකාශනයන් විවිධ ග්‍රන්ථ තුළ හෝ වෙනත් මාධ්‍යයන් මඟින් නිරූපණය වන අවස්ථා තිබුණ ද, ඒවා සාමාන්‍ය මහජනතාව අතර ප්‍රචලිත වුණේ නැහැ. පාලක පැලැන්තිය සාමාන්‍යයෙන් ඒවා මහජනතාව වෙත බෙදාහැරීම පාලනය කළා. ඔවුන් සැලකූවේ තමන්ට ඒවායෙන් ගැටළුවක් නොවෙතත් සාමාන්‍ය ජනතාව ඒවායෙන් දූෂිත වනු ඇති ය යන මතය යි. මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස වර්ෂ 1559 දී හතරවන පෝල් පාප්වහන්සේ විසින් පළමු වරට "තහනම් ග්‍රන්ථ" නාමාවලියක් පළ කළ අතර, සදාචාර මෙන්ම ආගමික කරුණු මත ද තහනම් කෙරුණ පොත්පත් ඒවායේ වුණා.

19 වන සියවසේ ලෝක බලවතා බවට පත් වූ එංගලන්තය තම සම්ප්‍රදායයන් ලොව පුරා ව්‍යාප්ත කළා. ඔවුන් විසින් පිළිගත් සාම්ප්‍රදායික හර පද්ධතීන් අදටත් බොහෝ සමාජයන්හි දැනුවත්ව හෝ නොදැනුවත්ව මුල්බැසගෙන තිබෙනවා. 19 සියවසෙහි වැඩි කලක් එංගලන්තයේ රැජිණ වූ වික්ටෝරියාගේ නමින්, අප මෙය වික්ටෝරියානු හර පද්ධතීන් යැයි හඳුන්වා ගන්නවා.

පොම්පෙයි සහ හර්කියුලේනියම් ප්‍රදේශයන්හි සිදු කරන ලද කැණීම්වලින් හමු වූ පුරාවස්තූන් සහ සිතුවම් කිසි ලෙසකින්වත් කතෝලික සහ වික්ටෝරියානු හර පද්ධතීන් සමග අනුගත වූයේ නැතිවාක් පමණක් නොව, ඊට සපුරා එරෙහි වුණා. පෑන් සහ එළුවාගේ ප්‍රතිමාව මෙහි එක් අන්තයක් වූ බව ඇත්ත යි. නමුත් මෙම නගරවලින් සොයාගත් අනෙක් සිතුවම් සහ පුරාවස්තූන් ද ඉතාම ආන්දෝලනාත්මක වුණා.

පොම්පෙයි හි චිත්‍රයක් (Wikimedia Commons)

ලිංගික සංසර්ගයේ යෙදෙන යුවල පමණක් නොව​, සමලිංගික සේවනය​, ගැහැණුන් විසින් පිරිමින් වෙත මෙන්ම පිරිමින් විසින් ගැහැණුන් වෙත ද මුඛ සංසර්ගය සිදු කිරීම​, පිරිමින් සහ කාන්තාවන් අතර ගුද සංසර්ගය සහ දෙදෙනකුට වඩා වැඩි පිරිසක් සහභාගී වන ලිංගික සංසර්ග ක්‍රියා ආදිය මේ අතර වුණා.

පොම්පෙයි සහ හර්කියුලේනියම්හි සොයාගැනීම් අනුව පැහැදිලි වූයේ මෙවන් චිත්‍ර බොහෝ නිවෙස්වල ද දක්නට තිබූ බව යි. වෛශ්‍යා නිවාසවල මෙන්ම රෝමන් ස්නානාගාරවල ද, පුද්ගලික නිවාසවල ද මේවා දකින්න ලැබුණා. එවැනි චිත්‍ර විශාල ප්‍රමාණයක් ඇඳීමට යම් ධනයක් අවශ්‍ය බැවින් එවන් චිත්‍ර බොහෝ ගණනක් නිවසේ තිබීම ද එම පුද්ගලයාගේ ආර්ථික ශක්තියේ පිළිබිඹුවක් වුණා. තව ද එවක ධනවත් රෝමන් සමාජය මෙවන් ක්‍රියා සාමාන්‍ය ලෙස සැලකූ බවට එය විශාල සාධකයක් බව සඳහන් කළ හැකියි.

Pornography හඳුන්වා දීම​

කාන්තාවකගේ නිරුවත් වළලුකරක් දැකීම පවා සදාචාරාත්මක ගැටළුවකැ යි සැලකූ වික්ටෝරියානු සමාජයට මේ සොයාගැනීම් විශාල කම්පනයක් වුණා. රෝම සමාජයේ ලිංගිකත්වය එළිපිට සාකච්ඡා වූ මාතෘකාවක් වූ නමුත් වික්ටෝරියානු සමාජයේ එවන් දේ සාකච්ඡා වූයේ රහසිගතව යි. මෙසේ පොම්පෙයි සහ හර්කියුලේනියම්හි සොයාගැනීම් සමග​, පැරණි රෝම සමාජය සහ 19 වන සියවසෙහි වික්ටෝරියානු සමාජය අතර ඇති වූ සංස්කෘතික ඝට්ඨනය තුළින් කාමෝද්දීපන ප්‍රකාශන පිළිබඳ සංකල්පය බිහි වුණා.

කාමෝද්දීපන ප්‍රකාශන යනු වික්ටෝරියානු සංකල්පනයක උරුමයක් විනා ස්වාභාවිකව කෙරෙන වර්ග කිරීමක් නොවන බව කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය සයිමන් ගුඪිල් සඳහන් කරනවා. එනම් එය නූතන සංස්කෘතිකමය නිර්මාණයක්. වික්ටෝරියානු සමාජයට පෙර එවැන්නක් වර්ග කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ​.

පොම්පෙයිහි චිත්‍රයක් (famedisud.it)

ඉංග්‍රීසි භාෂාවට pornography යන වචනය ද එක්වන්නේ 1857 දී​. එමෙන්ම එම වසරේදීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අශ්ලීල ප්‍රකාශන පනත (Obscene Publications Act of 1857) සම්මත කරනු ලැබුණා. එමගින් අශ්ලීල ප්‍රකාශන විකිණීම තහනම් කෙරුණ අතර එවැනි දේ විනාශ කිරීමේ බලය අධිකරණයට දෙනු ලැබුණා. යමක් "අශ්ලීල​" වන්නේ ද යන්න තීරණය කිරීමට බලය දෙන ලද්දේ ද අධිකරණයට යි.

චිත්‍ර කලා ඉතිහාසඥ ඇලිසන් ස්මිත් පෙන්වා දෙන පරිදි කාමෝද්දීපන ප්‍රකාශනයන් දැකීමට සැලසීමෙන් පුද්ගලයින් අධික ලෙස ස්වයං වින්දනය කරා යොමු වනු ඇතැයි වික්ටෝරියානු සමාජය කල්පනා කළා. විශේෂයෙන් පිරිමි පාර්ශවය මෙසේ අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීමෙන් ඔවුනගේ පුරුෂ ධාතු දුර්වල වී ඔවුන් මඳසරු විය හැකි බවට ද අදහසක් වුණා. මෙවන් අශ්ලීල ක්‍රියාවන්හි නිරත වීම තුළින් ශිෂ්ටාචාරයන් විනාශ වී යා හැකි ය යන අදහසක් ද මතු කරනු ලැබූ අතර, ඒ සඳහා එක් ඓතිහාසික උදාහරණයක් ලෙස ගෙන හැර දක්වන ලද්දේ රෝම අධිරාජ්‍යය යි.

ඉංග්‍රීසි සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡාව "කාමෝද්දීපන ප්‍රකාශන​" ලෙස වර්ග කරනු ලබද්දී, ඊට වඩා වෙනස් ආකාරයේ විපර්යාසයන් ද යුරෝපා සමාජය තුළ සිදු වෙමින් පැවතුණා. අපි ඒ ගැන වෙනත් ලිපියකින් සලකා බලමු.

Cover Image: පොම්පෙයිහි Villa of the Mysteries (අභිරහස් මැදුර​) තුළ දර්ශනයක් (Pinterest)

මූලාශ්‍රයයෝ

  1. Pornography: The Secret History of Civilization (Part 1) - Channel 4 Documentary
  1. Ancient Prostitution of Pompeii - History Channel Documentary