කුඩා ජෝර්ජියාව සමඟ යෝධ රුසියාව ගැටුණ 2008 යුද්ධය​

රුසියාව සහ ජෝර්ජියාව අතර 2008 දී ඇතිවූ යුද්ධය ජාත්‍යන්තර දේශපාලනයේ එක් වැදගත් සන්ධිස්ථානයක් වුණා. මෙය සෝවියට් දේශය බිඳ වැටුණ පසුව එම කලාපයේ රටක් සමඟ රුසියාව කෙළින් ම යුධ වැදුණ පළමු අවස්ථාව වූ අතර එය බටහිර රටවල් සහ රුසියාව අතර මතුවෙමින් පැවති එදිරිවාදිකම් පිළිබඳව ද සාධකයක් වුණා.

ජෝර්ජියාව කොකේසියානු කඳුකරය ආශ්‍රිතව පිහිටි මනරම් රාජ්‍යයක්. එහි ජනගහනය අදටත් මිලියන 4 ට අඩුයි. මෙම රාජ්‍යයට ශතවර්ෂ ගණනක ඉතිහාසයක් තිබෙනවා. 19 වන සියවසදී රුසියානු අධිරාජ්‍යය යටතට පත් වූ මෙම ප්‍රදේශය 1917 රුසියානු විප්ලවයෙන් පසු කෙටි කලක් නිදහස් රාජ්‍යයක් ව තිබී පසුව කොමියුනිස්ට් සෝවියට් හමුදා විසින් අල්ලා ගැනුණා. ඉන්පසු සෝවියට් දේශයේ කොටසක් වූ ජෝර්ජියාව නිදහස ලැබූයේ 1991 දී සෝවියට් දේශය බිඳ වැටෙන සමයේදීයි.

ජෝර්ජියාව සහ රුසියාව අතර 2008 වසරේ පස් දිනක් තුළ සිදු වූ යුද්ධය වටහා ගැනීම සඳහා රුසියාව සිය ආරක්ෂාව සම්බන්ධව දක්වන අවධානය, අසල්වැසි රටවල් රුසියාව කෙරෙහි දක්වන එදිරිවාදිකම්, සෝවියට් සංගමය බිඳ වැටීම සමඟ ඇතිවූ තත්ත්වයන් යනාදිය පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා.

දේශසීමා ප්‍රදේශ​

රුසියාව මුහුණදෙන අභියෝග පිළිබඳ මෑතකදී අදහස් දැක්වූ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එම අභියෝග අතරට සිය දේශසීමා ප්‍රදේශවල පවතින අර්බුද සහ නොසන්සුන්තා පිළිබඳව ද ප්‍රකාශ කළා. දේශසීමා ප්‍රදේශවල පවතින ආරක්ෂක තත්ත්වය සහ එය රුසියාවට බලපාන ආකාරය පිළිබඳව රුසියානුවන් අවධානය යොමු කිරීම නම් අලුත් තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන් ම බටහිර දෙසින් එල්ල වන තර්ජනයක් පිළිබඳව ඔවුන් තුළ සැළකිය යුතු බියක් කාලයක් තිස්සේ පවතිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල සිය අණසක පතුරවාලීමට රුසියාව සෑම විටම උත්සුක වනවා. මෙහි එක්තරා උච්ච අවස්ථාවක් වුණේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක් තුළ කොමියුනිස්ට් පාලනයන් බිහි කරවීම සහ ඒවා තම පාලනය යටතේ පවත්වා ගැනීමයි. එම ඇතැම් රටවල යම් යම් ප්‍රතිසංස්කරණ දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සෝවියට් පාලනය විරුද්ධ වූයේ නැහැ. නමුත් එය ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස හැඟුණ විට සෝවියට් පාලනය ඊට ප්‍රතිවිරුද්ධතාව දැක්වූවා.

අබ්කාසියාව සහ දකුණු ඔසෙටියාව දැක්වෙන ජෝර්ජියාවේ සිතියමක්. නිරිතදිග පිහිටි අඩ්ජාරා ප්‍රදේශය ද ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයකි (Business Insider)

සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුත් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (North Atlantic Treaty Organization – NATO) රුසියාව ආසන්නයේ පිහිටි පැරණි කොමියුනිස්ට් රටවල් ද සිය සාමාජිකත්වයට ඇතුලත් කරගැනීම පිළිබඳ රුසියාව සතුටු වූයේ නැහැ. තම දේශසීමාවේ පිහිටි රටවල් බටහිර දෙසට නැඹුරු වීම රුසියාව දුටුවේ තම ආරක්ෂාවට කරන තර්ජනයක් ලෙසයි.

මේ අතර රුසියාව අසළ පිහිටි කුඩා රටවල් ද රුසියාව කෙරෙහි එතරම් මිත්‍රශීලී ආකල්පයක් දරන්නේ නැහැ. සෝවියට් සමයේත්, ඉන් පෙර අධිරාජ්‍ය සමයේත් රුසියානුවන් යටතේ ජීවත් වීම හෝ රුසියානුවන්ගේ තර්ජනවලට ලක්ව සිටීම එම පාරම්පරික එදිරිවාදිකම්වලට හේතු වනවා.

ජෝර්ජියාව සහ රුසියාව 1991 න් පසු

ජෝර්ජියාව සහ රුසියාව අතර එදිරිවාදිකම්වල ද මූලික පසුබිම එයයි. සෝවියට් සංගමය බිඳ වැටෙමින් පැවති සමයේ මුලින්ම ස්වාධීනතාව ප්‍රකාශ කළ රටක් වූ ජෝර්ජියාව එම වසරේ මැයි 26 වනදා ජනාධිපතිවරණයක් ද පැවැත්වූවා. කෙසේ වෙතත් මුල් කාලීනව ම එහි ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශ දෙකක් වූ අබ්කාසියාව සහ දකුණු ඔසෙටියාව යන ප්‍රදේශවල බෙදුම්වාදී කණ්ඩායම් ක්‍රියාත්මක වීම ඇරඹුණා. ජෝර්ජියාව සෝවියට් දේශයෙන් වෙන් වූ පසු මෙම ප්‍රදේශ දෙක ජෝර්ජියාවෙන් වෙන් වූ බව ප්‍රකාශ කළා.

එම ප්‍රදේශවල 1991 න් පසු සිවිල් යුධ තත්ත්වයන් ඇති වූ අතර ජෝර්ජියානු හමුදාවල පාලනයෙන් ප්‍රදේශයන් ගිලිහී ගියා. මෙම ප්‍රදේශවල බෙදුම්වාදීන් විසින් වෙනම රජයන් දෙකක් පත් කරගත් අතර ඒවා ස්වාධීන ප්‍රදේශ මෙන් හැසිරුණා. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව එම ප්‍රදේශ දෙකෙහි ස්වාධීනත්වය පිළිගත්තේ නැහැ. ඔවුන් විසින් එම ප්‍රදේශ දෙකම ජෝර්ජියාවේ ම කොටස් ලෙස සළකනු ලැබුවා.

රෝස විප්ලවය​

2003 වසර අවසානයේ එවකට ජෝර්ජියානු ජනාධිපති වූ එඩුවාර්ඩ් ශෙවර්ඩ්නාඩ්සේට එරෙහිව ජනතාව වීථි බැස්සා. එයින් ඔහුට බලය අතහැරීමට සිදු වුණා. මෙම විරෝධතාව රෝස විප්ලවය ලෙස හඳුන්වනු ලබනවා. ඉන් පසු 2004 මුලදී මිකායිල් සාකෂ්විලි එරට ජනාධිපති ධූරයට පත් වුණා.

ශෙවර්ඩ්නාඩ්සේ ද රුසියාව කෙරේ මිත්‍රත්වයක් නොපෙන්වූ නිසාවෙන් ඔහු බලයෙන් එළවා දැමීම පිළිබඳව රුසියාව තුළත් එතරම් අප්‍රසාදයක් තිබුණේ නැහැ. නමුත් සාකාෂ්විලි ඊටත් වඩා බටහිර දෙසට නැඹුරු වීමට පටන් ගත්තා. විශේෂයෙන් ම නේටෝ සංවිධානය සමඟ එක්වීම පිළිබඳව ද සාකාෂ්විලිගේ රජය අවධානය යොමු කිරීම රුසියාවේ ප්‍රසාදයට හේතු වූයේ නැහැ.

තත්ත්වය උණුසුම් වීම​

2008 වසරේදී රුසියාව සහ ජෝර්ජියාව අතර පැවති එදිරිවාදිකම් උත්සන්න වීමට පටන් ගැණුනා. එම වසරේ අප්‍රේල් මාසයේ මුලදී රුමේනියාවේ බුකරෙස්ට් නගරයේ පැවති රැස්වීමකදී නේටෝ සංවිධානය තීරණය කළේ ජෝර්ජියාව සහ යුක්‍රේනය තම සංවිධානයට බඳවා ගැනීම පිළිබඳ තීරණයක් ගැනීම දෙසැම්බරය තෙක් කල් දැමීමටයි. මේ අතර මෙම රටවල් එම සංවිධානයට බැඳීමට සූදානම් වීම පිළිබඳ රුසියාව නොසතුටින් පසු වුණා.

අප්‍රේල් මස 20 වනදා රුසියානුවන් විසින් තමන්ට අයත් ඩ්‍රෝන් යානයක් අබ්කාසියාවට ඉහළ අහසේදී වෙඩි තබා බිම හෙළන ලද බව ජෝර්ජියාව චෝදනා කළා. රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් එම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 මැයි 26 වනදා වාර්තා කළේ එම ප්‍රහාරය රුසියානු යානාවකින් එල්ල වූ බවයි.

මේ අතර අප්‍රේල් මාසය අවසන් වීමට පෙර රුසියානුවන් විසින් අබ්කාසියාවට අමතර හමුදා යවනු ලැබුවා. ඔවුන් එසේ කළේ ජෝර්ජියාව ප්‍රහාරයක් සඳහා අර අඳින බව චෝදනා කරමින්.

මේ අතර ජූලි 8 වනදා රුසියානු ගුවන් යානා හතරක් දකුණු ඔසෙටියාව අසළ ජෝර්ජියානු ගුවන් සීමාව උල්ලංඝණය කළා. ඒ යුරෝපා ආරක්ෂක සහ සහයෝගිතා සංවිධාන නියෝජිතයන් පිරිසක් ජෝර්ජියාවේ සංචාරය කරන අතරතුරයි. එමෙන්ම එවකට ඇමරිකානු ආරක්ෂක ලේකම් කොන්ඩලීසා රයිස් ද ඊළඟ දිනයේදී එරටට පැමිණීමට නියමිතව තිබුණා. මේ අතර එම මාසයේදී ම ඇමරිකන් සහ ජෝර්ජියානු යුධ අභ්‍යාසයක් ජෝර්ජියාවේදී පැවැත්වුණා. එමෙන්ම එයට එකට එක කිරීමක් මෙන් රුසියාව ද ජෝර්ජියා දේශසීමාව ආසන්නයේ යුධ අභ්‍යාසයක් සිදු කළා.

මේ අතරවාරයේදී දකුණු ඔසෙටියාවේ සහ අබ්කාසියාවේ ජෝර්ජියානු හමුදා සහ බෙදුම්වාදීන් අතර ගැටුම් කිහිපයක් ම මෙම මාසය තුළදී වාර්තා වුණා.

යුධ ගැටුම්

අගෝස්තු 7 වනදා දකුණු ඔසෙටියානු බෙදුම්වාදීන් සහ ජෝර්ජියානු සාමසාධක භටයින් අතර ගැටුම් ඇති වුණා. එදින රාත්‍රියේ ජෝර්ජියානු ජනාධිපති මිකයිල් සකාෂ්විලි සිය හමුදාවලට දකුණු ඔසෙටියාවේ යුධ මෙහෙයුම් දියත් කිරීමට නියෝග කළා. මේ අනුව කාලතුවක්කු ප්‍රහාර ඇරඹි අතර ඊළඟ පැය කිහිපයේදී ජෝර්ජියානු හමුදා ප්‍රදේශයට ඇතුලු වුණා.

රුසියානු ගුවන් හමුදාව ජෝර්ජියානුවන්ට පහර දුන් අතර රුසියන් හමුදා දකුණු ඔසෙටියාවට ඇතුලු වුණා. පසුව දකුණු ඔසෙටියාවෙන් ඔබ්බෙහි වූ ප්‍රදේශ සමහරකටත් මෙම ගුවන් ප්‍රහාර එල්ල වුණා.

රුසියානු 58 වන හමුදාව දකුණු ඔසෙටියාවේදී (Yana Amelina)

දින දෙකකට පසු, එනම් අගෝස්තු 10 වනදා ජෝර්ජියානු හමුදා දකුණු ඔසෙටියාවෙන් පසු බැස්ස අතර රුසියානු හමුදා මධ්‍යම ජෝර්ජියාවේ ගෝරි නගරය දෙසටත් හමුදා මෙහෙයවූවා. මේ අතර අබ්කාසියා ප්‍රදේශයේ ද යුධ මෙහෙයුම් සිදු වූ අතර රුසියානු නෞකා හමුදාව ජෝර්ජියාවට එරෙහි නාවික බාධකයක් පැනවූවා.

අගෝස්තු 12 වනදා රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිය හමුදාවලට සටන් නැවැත්වීමට නියෝග කළා. ඒ වනවිට රුසියානු හමුදා ජෝර්ජියානු නගර කිහිපයක් ම අල්ලාගෙන තිබුණා. එවකට යුරෝපා සංගමයේ සභාපති වූ ප්‍රංශ ජනාධිපති නිකුලස් සාර්කෝසිගේ මැදිහත් වීමෙන් සටන් විරාමයකට එකඟතාව ඇති වුණා.

සති කිහිපයකදී රුසියානු හමුදා තමන් අල්ලාගත් ප්‍රදේශවලින් ඉවත් වුණා. එහෙත් රුසියානු හමුදාවන් අබ්කාසියාවේ සහ දකුණු ඔසෙටියාවේ දිගටම රැඳී සිටියා. 2008 අගෝස්තු 26 වනදා රුසියාව අබ්කාසියාවේ සහ දකුණු ඔසෙටියාවේ ස්වාධීනත්වයද පිළි ගත්තා. තවත් රටවල් අතලොස්සක් විසින් ද එම රටවල ස්වාධීනත්වය පිළිගන්නා ලද නමුත් අදටත් ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්වෛරී රාජ්‍යයන් ලෙස සළකනු ලබන්නේ නැහැ.

මෙම යුද්ධය අවසානයේදී රුසියාව වඩාත් ශක්තිමත් වූ බව ප්‍රකාශ කිරීමෙහි වරදක් නැහැ. ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතාවලට මින් විශාල බලපෑමක් වූයේ නැහැ. එමෙන් ම ජෝර්ජියාව යුධමය වශයෙන් පරාජය කරනු ලැබූ බවට සැකයක් පැවතියේ ද නැහැ.

Cover Image: රුසියානු හමුදා දකුණු ඔසෙටියාවේදී (imgur.com)

Related Articles