චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මෑත කාලයේ දී මතුව තිබෙන එදිරිවාදිකම් හමුවේ බොහෝ දෙනකුට අමතක වන කාරණයක් වන්නේ, එක්තරා කාලයක මෙම දෙරට සම්පූර්ණයෙන් ම එකිනෙකාට එරෙහිව සිටි බව යි. වසර විසි තුනක් තිස්සේ ඇමරිකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර වූ එදිරිවාදිකම් අවසන් වූ බවට හොඳම සාධකය වූයේ 1972 පෙබරවාරියේ සිදු වූ නික්සන්ගේ චීන සංචාරය යි.

චීන - ඇමරිකා සබඳතා

දෙවන ලෝක යුද්ධයට පෙර චීනයේ නිල රජය ලෙස ඇමරිකාව විසින් පිළිගත්තේ ගුවෝමින්ඩාංග් පක්ෂය (KMT) හෙවත් චීන ජාතිකවාදීන් විසින් පාලනය කෙරුණ චීන ජනරජය යි. කෙසේ වෙතත්, දෙවන ලෝක යුද්ධය අතරතුර ඇමරිකානුවන් හා KMT නායක චියැං කායි ෂෙක් අතර අනවබෝධාත්මක තත්ත්වයන් වර්ධනය වුණා. මේ අතර ජපානය පරාජය කිරීමට කොමියුනිස්ට්වාදීන්ගේ සහාය ලබාගැනීම අවශ්‍ය බවට ඇමරිකානුවන් තීරණය කළා. මේ අනුව මාඕ සේතුංගේ කොමියුනිස්ට් පාලනය සමග ඇමරිකානුවන් සබඳතා ගොඩනගා ගත්තා.

කෙසේ වෙතත්, ජපානයේ පරාජයෙන් දෙවන ලෝක යුද්ධය අවසන් වූ අතර 1946 සිට චීනයේ පාලනය පිළිබඳ KMT සහ කොමියුනිස්ට් දෙපාර්ශවය අතර සිවිල් යුද්ධයක් හටගත්තා. කොමියුනිස්ට්වාදය පැතිරීම පිළිබඳ බිය වූ ඇමරිකාව මෙහි දී ගත්තේ ගුවෝමින්ඩාංග් පාර්ශවය යි. එහෙත්, 1949 වන විට කොමියුනිස්ට්වාදීන් ජයග්‍රහණය කළ අතර චියැං කායි ෂෙක් තායිවානයට පලා ගියා.

ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල් තවදුරටත් නිල රජය ලෙස පිළිගත්තේ චීන ජනරජය යි. මහජන චීන සමූහාණ්ඩුව චීනයේ නිල රජය ලෙස පිළිගත්තේ කොමියුනිස්ට් කඳවුරට අයත් රටවල් පමණයි.

චීන - සෝවියට් බෙදීම

1953 දී සිදු වූ ස්ටාලින්ගේ මරණයෙන් පසු නව සෝවියට් රජය සහ චීන රජය අතර දුරස් වීම් ඇති වන්නට පටන් ගත්තා. 1960 දශකයෙහි මැද වන විට මෙම තත්ත්වය කොමියුනිස්ට් කඳවුර දෙකඩ වීමට හේතු වී තිබුණා. තත්ත්වය කෙතෙක් බරපතල වී ද යත් චීනය සහ සෝවියට් දේශය අතර දේශසීමා යුද්ධයක් පවා ඇති වුණා.

මේ අතර ඇමරිකාව වියට්නාම් යුද්ධයට දිනෙන් දින වැඩි වැඩියෙන් පැටලෙමින් සිටියා. 1968 ජනාධිපතිවරණයට නික්සන් ඉදිරිපත් වූයේ වියට්නාම් යුද්ධය පිළිබඳ ප්‍රශ්නය විසඳන බවට ද පොරොන්දු වෙමින්.

පවතින තත්ත්වයන් තුළ චීනය සමග සබඳතා ගොඩනගා ගැනීම වැදගත්යැ යි ඇමරිකාව කල්පනා කළා. නික්සන්ගේ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසින්ජර් මේ සඳහා කටයුතු සලසන්නට පටන් ගත්තා.

ඇමරිකන් ස්ථාවරය වෙනස් වීමට හේතු

ඇමරිකන් ස්ථාවරය වෙනස් වීමට හේතු වූ කරුණු කිහිපයක් වනවා. එයින් ප්‍රධානම කාරණයක් වූයේ ඇමරිකානුවන්ට ලෝක දේශපාලනය තුළ වඩා ක්‍රියාකාරී විය හැකි මාර්ගයක් සකසා ගැනීම යි. සෝවියට් - චීන බෙදීම තම වාසියට යොදාගැනීම මෙහි දී ඇමරිකානු අරමුණ වුණා. එමෙන්ම, චීනය සමග ඇමරිකාව ඇති කරගන්නා මිත්‍රත්වය තුළින් සෝවියට් පාලනය තරමක් බිය ගන්වා ඔවුන් ද තමන් හා වඩා මිත්‍රශීලී ලෙස ගනුදෙනු කරන තැනකට ගෙන ඒම ද ඇමරිකානු අරමුණක් වුණා.

පිං පොං ඩිප්ලොමසි (Xinhua)

මේ අතර, වියට්නාම් යුද්ධය විසඳුමක් කරා ගෙන යාමට ද ඇමරිකාවට චීනයේ සහාය අවශ්‍ය වුණා. චීනය සහ සෝවියට් දේශය යොදාගෙන, සාකච්ඡා මඟින් වන විසඳුමකට වියට්නාමය එකඟ කරගැනීමට නික්සන් පාලනය බලාපොරොත්තු වුණා.

දෙරට අතර සබඳතා අලුත් වන බවට හොඳම සංඥාවක් වූයේ 1971 දී සිදු වූ "පිං පොං ඩිප්ලොමසි" සිද්ධිය හෙවත් ඇමරිකන් මේස පන්දු කණ්ඩායමට චීනයේ සංචාරයක් සඳහා ලැබුණ ආරාධනය යි.

එයින් මාස කිහිපයකට පසු, 1971 ජූලි මාසයේ දී පාකිස්ථාන සංචාරයක් අතරතුර කිසින්ජර්, රහසිගතව චීනයේ සංචාරය කළා. නික්සන්ගේ ගමනට අවශ්‍ය මූලික කරුණු එහි දී සම්පාදනය කෙරුණා.

නික්සන්ගේ සංචාරය

නික්සන් පෙබරවාරි 21 වන දා ෂැංහයි වෙත ගොඩබැස එතැනින් බීජිං වෙත පිටත් වුණා. ඔහු එහි දී චීන නායක මාඕ සේතුං සමග කෙටි සාකච්ඡාවක නියැළුණා. මෙය නික්සන් හා මාඕ අතර වූ එකම සාකච්ඡාව බවට පත් වුණා. එමෙන්ම, මෙම සාකච්ඡාව සඳහා කිසින්ජර් එක් වුව ද රාජ්‍ය ලේකම් විලියම් රොජර්ස් සහභාගී කර නොගැනීම විශේෂ සිද්ධියක් වුණා.

නික්සන් බීජිං වෙත පැමිණෙයි (Public Domain)

මෙම සාකච්ඡා අතරතුර දී මාඕ චීනයේ මූලික ස්ථාවරයන් පිළිබඳ පැහැදිලි කළා. ජපානයේ බලය වර්ධනය වීම පිළිබඳ සහ තායිවානය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම පිළිබඳ තම විරෝධය මෙහි දී මාඕ විසින් පළ කෙරුණා.

නික්සන් චීනයේ සතියක් ගත කළා. එහි දී ඔහු චීන අගමැති චෞ එන් ලායි සමග සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ඔහු චීන මහා ප්‍රාකාරය නැරඹීමට ද ගිය අතර හැංචෞ හා ෂැංහයි වෙත ද සංචාරය කළා.

නික්සන්ගේ සංචාරයේ ප්‍රධානම ප්‍රතිඵලයක් වූයේ තායිවාන ප්‍රශ්නය සාමකාමීව විසඳාගැනීමට චීනය එකඟ වීම යි. එමෙන්ම, ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ ද මෙහි දී සාකච්ඡා කෙරුණා.

නික්සන් සිය චොප්ස්ටික් කුසලතාව අත් හදා බලයි. පින්තූරයේ වම් පසින් චෞ එන් ලායි වෙයි. දකුණුපසින් සිටින්නේ ෂැංහයි කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානී චාංග් චුන් චියාඕ ය​. (Getty Images)

දිගු කාලීනව සැලකීමේ දී ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර 1970 දශකයේ ඇති වූ සාකච්ඡා කෙරෙහි මෙම නව චීන - ඇමරිකා මිත්‍රත්වය ද බලපාන්නට ඇතැ යි සිතන්න පුළුවන්. මේ සමය තුළ චීනය සහ සෝවියට් දේශය අතර එදිරිවාදිකම් එලෙසම පැවතුණා.

කෙසේ වෙතත්, ඇමරිකාව සහ මහජන චීනය අතර තානාපති සබඳතා ස්ථාපිත කරන ලද්දේ 1979 දී යි. මේ අතර, 1978න් පසු චීනයේ ඇති වූ නව ප්‍රතිසංස්කරණ ද සමග දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය වීම වේගවත් වුණා.

කවරයේ ඡායාරූපය: නික්සන් සහ මාඕ අතර හමුව (Public Domain)