Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු දිස්ත්‍රික්ක අතුරින් මඩකළපුව දිස්ත්‍රික්කයට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. දෙමළ ජනයා වැඩි වශයෙන් ජීවත් වන මඩකළපුව දිස්ත්‍රික්කය තුළ වඩාත් බලවත් වන්නේ දෙමළ දේශපාලන පක්ෂ යි. එම දෙමළ පක්ෂ අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය සමග බද්ධව සිටි නිසා මෙතෙක් පැවති ජනාධිපතිවරණ 6ක දී ම මඩකළපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

මඩකළපුව දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1946 වසරේ දී සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මඩකළපුව දිස්ත්‍රික්කය ආසන 3කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) කල්කුඩා ආසනය

2) මඩකළපුව ආසනය

3) පදිරිප්පු ආසනය

කල්කුඩා ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී ත්‍රිකුණාමල-මඩකළපුව ආසනයෙන් කොටසක් කැඩී කල්කුඩා ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු කල්කුඩා ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණයි. නමුත් මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණවල දී වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් කල්කුඩා ආසනය ජයග්‍රහණය කර තිබෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යි. ඇය 1994 ජනාධිපතිවරණයේ දී කල්කුඩා ආසනය තුළ 87.40ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගැනීමට සමත් වුණා.

මඩකළපුව ආසනය 

1946 වසරේ දී දකුණු මඩකළපුව ආසනයෙන් කොටසක් වෙන් වී මඩකළපුව ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් අවාසිදායක ආසනයක් වන මඩකළපුව ආසනය ඔවුන් ජයග්‍රහණය කළේ 1994 ජනාධිපතිවරණයේ දී පමණයි. නමුත්, එවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලෙන් තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක 83.20%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් මඩකළපුව ආසනය ජයග්‍රහණය කළා. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දී යම් අපේක්ෂකයෙකු මඩකළපුව ආසනය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා.

පදිරිප්පු ආසනය 

1946 වසරේ දී දකුණු මඩකළපුව ආසනයෙන් කොටසක් වෙන් වී පදිරිප්පු ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන පදිරිප්පු ආසනය 1988, 1999, 2005, 2010, සහ 2015 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම වුණේ අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 4 දී ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මෙම ආසනය 78% ඉක්මවමින් ජයග්‍රහණය කර තිබීමයි. එසේම 2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ 94.72%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් පදිරිප්පු ආසනය ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එය මෙතෙක් පැවති ජනාධිපතිවරණවල දී යම් අපේක්ෂකයෙකු මඩකළපුව දිස්ත්‍රික්කයේ ආසනයක් ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා. ඊට අමතරව පදිරිප්පු ආසනය ගැන කතා කරන විට මතකයට නැගෙන්නේ 1982 වසරේ දී පැවැත්වුණු ජනාධිපතිවරණය යි. එහි දී 65.02%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් කුමාර් පොන්නම්බලම් නම් ද්‍රවිඩ අපේක්ෂකයා පදිරිප්පු ආසනය ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

රනිල් වික්‍රමසිංහ (gettyimages)

ජනාධිපතිවරණවල දී මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

80 දශකය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 2 දී ම එක්සත් ජාතික පක්ෂය මඩකළපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළත්, එහි දී ඔවුන් ඉහළ ඡන්ද ප්‍රතිශත වාර්තා කළේ නැහැ. ඉන් අනතුරුව 1994 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල මඩකළපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. නමුත් පසුකලෙක දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් වුණු මඩකළපුව දිස්ත්‍රික්කය, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 3 දී ම 68%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුණා. 

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී මඩකළපුව සහ කල්කුඩා යන ආසන 2ක ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මඩකළපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 999කින්. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව අභිබවා දෙවන ස්ථානය දිනාගෙන තිබීමයි.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 48,094 (40.05%)

කුමාර් පොන්නම්බලම්- ඡන්ද 47,095 (39.22%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 21,688 (18.06%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. එහි දී දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා මඩකළපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ  වැඩි ඡන්ද 23,414කින්. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම මෙම ජනාධිපතිවරණයේ දීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා තෙවන ස්ථානයට ඇඳ දමමින් මහජන පක්ෂයේ අපේක්ෂකයා වුණු ඔසී අබේගුණසේකර දෙවන ස්ථානය දිනාගනු ලැබුවා. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 61,657 (50.99%)

ඔසී අබේගුණසේකර- ඡන්ද 38,243 (31.63) 

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 21,018 (17.38%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනරැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා මඩකළපුව දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමි වුණේ, පොදුජන එක්සත් පෙරමුණට යි. එහි දී  චන්ද්‍රිකා බණ්ඩාරනායක වාර්තා කළ 87.30ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මෙම දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 144,725 (87.30%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 14,812 (8.90%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයග්‍රහණය කළා. එම නිසාම ඔහු වැඩි ඡන්ද 45,125කින් දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වුණා.  

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 104,100 (61.19%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 58,975 (34.66%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත්  රනිල් වික්‍රමසිංහ දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 92,678ක් ලබා ගනිමින්. 

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 121,514 (79.51%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 28,836 (18.87%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එහි දී  සරත් ෆොන්සේකා වන්නි දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළා. එම නිසාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කරගත්තේ වැඩි ඡන්ද 40.086කින්.

සරත් ෆොන්සේකා- ඡන්ද 146,057 (68.93%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 55,663 (26.27%)

සරත් ෆොන්සේකා  (gettyimages)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා මඩකළපුව දිස්ත්‍රික්කයේ ආසන තුනම පහසුවෙන් ජයග්‍රහණය කළා. ඒ අනුව ඔහුට, වැඩි ඡන්ද 167,791ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එසේම මෙය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු මඩකළපුව දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ විශාලම වැඩි ඡන්ද ප්‍රමාණය බවටත් පත් වුණා.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 209,422 (81.62%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 41,631 (16.22%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles