Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු අයුරු

අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත්ව තිබෙන කළුතර දිස්ත්‍රික්කය අවසන් වරට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ 1982 වසරේ පැවති පළමු ජනාධිපතිවරණයේ දී යි. එදා ජේ. ආර්. ජයවර්ධන ලබාගත් ජයග්‍රහණයෙන් පසුව පැවති ජනාධිපවරණ 6 දී ම කළුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කළුතර දිස්ත්‍රික්කයට අයත්වන ආසන 

1959 වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ සීමා නිර්ණයෙන් පසුව කළුතර දිස්ත්‍රික්කය ආසන 8කට බෙදී 

ගියේ පහත ආකාරයට යි.

1) පානදුර                           2) බණ්ඩාරගම  

3) හොරණ                          4) බුලත්සිංහල  

5) මතුගම                            6) කළුතර  

7) බේරුවල                         8) අගලවත්ත 

පානදුර ආසනය 

1931 වසරේ සිටම පැවති පානදුර ආසනය ජනාධිපතිවරණ හතෙන් 5ක දී ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල පානදුර ආසනය ජයග්‍රහණය කළේ  1988-2010 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණවල දී යි.

බණ්ඩාරගම ආසනය 

1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයට අනුව පානදුර ආසනයෙන් කොටසක් කැඩී බණ්ඩාරගම ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු බණ්ඩාරගම ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

හොරණ ආසනය 

1931 වසරේ සිටම පැවති හොරණ ආසනය 1988-2015 කාල සමය තුළ ජනාධිවරණවල දී ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. අවස්ථා කිහිපයක දී ලංකාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රත්නසිරි වික්‍රමනායක නියෝජනය කළෙත් හොරණ ආසනය යි.

බුලත්සිංහල ආසනය 

1959 වසරේ සිදුවුණු සීමා නිර්ණයෙන් පසුව හොරණ ආසනයෙන් කොටසක් කැඩී බුලත්සිංහල ආසනය නිර්මාණය වුණා. 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ජයග්‍රහණය කළ බුලත්සිංහල ආසනය ඉන්පසුව පැවති සියලුම ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

මතුගම ආසනය 

1931 වසරේ සිටම පැවති මතුගම ආසනය අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක එකක් වුණේ නැහැ. එම නිසාම 1982 වසරෙන් පසුව පැවති ජනාධිපතිවරණවල දී මතුගම ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කළුතර ආසනය 

1931 වසරේ සිටම පැවති කළුතර ආසනය 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් ජයග්‍රහණය කළා. නමුත්, ඉන්පසුව පැවති සියලුම ජනාධිපතිවරණවල දී කළුතර ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

බේරුවල ආසනය 

1959 දී කළුතර ආසනයෙන් කොටසක් කැඩී බේරුවල ආසනය නිර්මාණය වුණා. 1988-2010 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල බේරුවල ආසනය ජයග්‍රහණය කළා. 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්ද 12කින් බේරුවල ආසනය ජයග්‍රහණය කළ බවත් මෙහි දී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

අගලවත්ත ආසනය 

1947 දී මතුගම ආසනයෙන් කොටසක් කැඩී අගලවත්ත ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක ආසනයක් වුණු අගලවත්ත ඔවුන් ජයග්‍රහණය කළේ 1982 වසරේ දී පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී පමණ යි.

ජනාධිපතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

1982 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ 7න් 6ක දී කළුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී 1994-2010 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල පරාජය නොවී සිටීම සුවිශේෂී සිදුවීමක් ලෙස දැක්විය හැකියි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජනාධිපතිවරණයේ දී ආසන 8ම ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන කළුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 25,718කින්.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 211,592 (50.15%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 185,874 (44.06%)

ජේ. ආර්. ජයවර්ධන (Dailynews)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක කළුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල සටනක නිරත වුණා. එවර සිරිමාවෝ බණ්ඩාරනායක කළුතර දිස්ත්‍රීක්කයේ ආසන 6ක් ජයග්‍රහණය කරන විට රණසිංහ ප්‍රේමදාස ජයග්‍රහණය කළේ ආසන 2ක් පමණයි. එම නිසා දිස්ත්‍රික්කය ඡන්ද 10,251කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක යි. 

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 179,751 (49.57%)

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 169,510 (46.74%)

සිරිමාවෝ බණ්ඩාරනායක (gettyimages)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක කළුතර දිස්ත්‍රික්කයේ ආසන 8ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ විශාල ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 295,686 (61.50%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 178,466 (37.10%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කළුතර දිස්ත්‍රික්කයේ ආසන 8ම ජයග්‍රහණය කළේ එතරම් අපහසුවකින් තොරව යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 281,217 (52.88%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 217,423 (40.88%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර මහින්ද රාජපක්ෂත් සියලුම ආසන ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට හැකි වුණා. 

මහින්ද රාජපක්ෂ- ඡන්ද 341,693 (55.48%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 266,043 (43.20%)

මහින්ද රාජපක්ෂ (gettyimages)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවරත් දිස්ත්‍රික්කයේ සියලු ආසන ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ඉතිහාසයේ කළුතර දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවට පත්වුණා. 

මහින්ද රාජපක්ෂ – ඡන්ද 412562 (63.06%)

සරත් ෆොන්සේකා  – ඡන්ද 231807 (35.43%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එහි දී මහින්ද රාජපක්ෂ ආසන 6ක් ජයග්‍රහණය කරන විට මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ ආසන 2ක් පමණ යි. එම නිසාම දිස්ත්‍රික්කය එවරත් ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ යි.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 395,890 (52.65%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 349,404 (46.46%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles