ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු අයුරු

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය දෙස කාගේත් අවධානය යොමුවෙනවා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණු මහනුවර දිස්ත්‍රික්කය මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් 4ක දී ම ජයග්‍රහණය කළේ ඔවුන්ගේ පාර්ශවය යි.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් වන ආසන 

1976 නොයෙල් තිත්තවැල්ල කොමිසමේ සීමා නිර්ණයෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කය ආසන 13කට බෙදී 

ගියේ පහත ආකාරයට යි.

1) ගලගෙදර                        2) හාරිස්පත්තුව   

3) පාතදුම්බර                       4) උඩදුම්බර  

5) තෙල්දෙණිය                    6) කුණ්ඩසාලේ  

7) හේවාහැට                        8) සෙංකඩගල 

9) මහනුවර                         10) යටිනුවර 

11) උඩුනුවර                       12) ගම්පල 

13) නාවලපිටිය

ගලගෙදර ආසනය 

1931 වසරේ සිට පැවති ගලගෙදර ආසනය 1947 දී අහෝසි වී ගියේ එය ඈඳමින් බිහිවුණු කඩුගන්නාව බහු මන්ත්‍රී ආසනය නිසා යි. නමුත්, 1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමෙන් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව ගලගෙදර ආසනය යළි පිහිටුවනු  ලැබුවා. 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයින් ජයග්‍රහණය කළ මෙම ආසනය ඉන්පසුව, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට ජයග්‍රහණය කිරීමට හැකි වුණේ 2005 ජනාධිපතිවරණයේ දී පමණ යි. ඒ අනුව මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් 4ක දී ම ගලගෙදර ආසනය ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

හාරිස්පත්තුව ආසනය 

1959 දී කඩුගන්නාව බහු මන්ත්‍රී ආසනයෙන් කොටසක් වෙන් වී අකුරණ නම් බහු මන්ත්‍රී ආසනය නිර්මාණය වුණා. එලෙස නිර්මාණය වුණු අකුරණ බහු මන්ත්‍රී ආසනය 1976 වසරේ සීමා නිර්ණයෙන් පසුව හාරිස්පත්තුව ලෙසින් හඳුන්වනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන හාරිස්පත්තුව ඔවුන් පරාජය වී ඇත්තේ 1994 සහ 2010 ජනාධිපතිවරණවල දී පමණ යි. එම අවස්ථාවල දී හාරිස්පත්තුව ආසනය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අහිමි වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා  වටා විශාල ජනරැල්ලක් නිර්මාණය වී තිබුණු නිසා යි.

පාතදුම්බර ආසනය 

1947 දී දුම්බර ආසනයෙන් කොටසක් කැඩී වත්තේගම නම් ආසනය නිර්මාණය වුණා. එලෙස නිර්මාණය වුණු වත්තේගම ආසනය 1976 වසරේ සීමා නිර්ණයෙන් පසුව පාතදුම්බර ලෙසින් හඳුන්වනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ ජනාධිපති අපේක්ෂකයින් විශිෂ්ට ලෙසින් ජයග්‍රහණය කළ 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී පාතදුම්බර ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළත්, ඉතිරි ජනාධිපතිවරණ 4 දී ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

උඩුදුම්බර ආසනය 

1947 දී දුම්බර ආසනයෙන් කොටසක් කැඩී මිනිපේ නමින් ආසනයක් නිර්මාණය වුණා. එලෙස නිර්මාණය වුණු මිනිපේ ආසනය 1976 වසරේ සීමා නිර්ණයෙන් පසුව උඩුදුම්බර ලෙසින් හඳුන්වනු ලැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට තරමක් වාසිදායක එකක් වන උඩුදුම්බර ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1982 සහ 2005 ජනාධිපතිවරණවල දී පමණ යි.

තෙල්දෙණිය ආසනය 

1959 දී මිනිපේ ආසනයෙන් කොටසක් කැඩී තෙල්දෙණිය ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු තෙල්දෙණිය ආසනය ඔවුන් 1982, 1988, 2005, සහ 2015 වසරවල පැවති ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළා.

කුණ්ඩසාලේ ආසනය 

1959 වසරේ දී සිදුවුණු සීමා නිර්ණයෙන් පසුව වත්තේගම ආසනයෙන් කොටසක් කැඩී කුණ්ඩසාලේ ආසනය නිර්මාණය වුණා. තෙල්දෙණිය ආසනය මෙන්ම කුණ්ඩසාලේ ආසනයත් 1982, 1988, 2005, සහ 2015 වසරවල පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළා.

හේවාහැට ආසනය 

1947 දී මහනුවර ආසනයෙන් කොටසක් වෙන් වී ගලහ ආසනය නිර්මාණය වුණා. එලෙස නිර්මාණය වුණු ගලහ ආසනය 1959 සීමා නිර්ණයෙන් පසුව හේවාහැට ලෙසින් හඳුන්වනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණු හේවාහැට ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී පමණයි. ඉන් 1999 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ හේවාහැට ආසනය ඡන්ද 92කින් පමණක් පරාජය වුණු බව මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතු යි. 

හේවාහැට ආසනය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී. බී. ඉලංගරත්න (fragments)

සෙංකඩගල ආසනය 

1959 දී මහනුවර ආසනයෙන් කොටසක් කැඩී සෙංකඩගල ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් බවට පත්ව තිබුණු සෙංකඩගල ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1994 සහ 2010 වසරවල පැවති ජනාධිපතිවරණවල දී පමණ යි. 

මහනුවර ආසනය 

1931 වසරේ සිටම පැවති මහනුවර ආසනය දිස්ත්‍රික්කය තුළ ඇති ආසන 13 අතුරින් එක්සත් ජාතික පක්ෂයට වඩාත්ම වාසිදායක ආසනය යි. 1994 වසරේ දී පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ මහනුවර ආසනය ඉතිරි ජනාධිපතිවරණ 6 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

මහනුවර ආසනය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක එකක් කළ ඊ. එල්. සේනානායක (wikipedia)

යටිනුවර ආසනය 

1959 වසරේ සිදුවුණු සීමා නිර්ණයේ දී කඩුගන්නාව බහු ආසනයෙන් කොටසක් වෙන් වී යටිනුවර ආසනය නිර්මාණය වුණා. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට තරමක් වාසිදායක එකක් වුණු මෙය 1988, 1994, 1999, සහ 2010 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. එසේම 1982 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණු හෙක්ටර් කොබ්බෑකඩුව නියෝජනය කළේ යටිනුවර ආසනය යි.

හෙක්ටර් කොබ්බෑකඩුව (alchetron.com)

උඩුනුවර ආසනය 

1959 දී ගම්පල ආසනයෙන් කොටසක් වෙන් වී උඩුනුවර ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයට හිතකර ආසනයක් වුණු උඩුනුවර ඔවුන් පරාජයට පත් වුණේ 1994, 1999 සහ 2010 වසරවල පැවති ජනාධිපතිවරණවල දී පමණ යි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජනාධිපතිවරයෙකු වුණු  ඩී. බී. විජේතුංග උඩුනුවර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

ගම්පල ආසනය 

1931 වසරේ සිටම පැවති ගම්පල ආසනය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක ආසනයක්. ඔවුන් එම ආසනය පරාජයට පත් වුණේ 1994, 1999 සහ 2010 වසරවල පැවති ජනාධිපතිවරණවල දී පමණ යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලෙන් පත් වූ අගමැතිවරයෙකු වුණු දි. මු. ජයරත්න නියෝජනය කළේ ගම්පල ආසනය යි.

දි. මු. ජයරත්න (news1st.lk)

නාවලපිටිය ආසනය 

1947 දී හැටන් ආසනයෙන් කොටසක් වෙන් වී නාවලපිටිය ආසනය නිර්මාණය වුණා. ගම්පල ආසනය මෙන්ම මෙම ආසනයත් 1982, 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය පිල යි.

ජනාධිපතිවරණවල දී මහනුවර දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

1982 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ 7න් 4ක දී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. 1994 සහ 1999 ජනාධිපතිවරණවල දී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහනුවර දිස්ත්‍රික්කය දෙවරක් ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා බවට පත් වුණා.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජනාධිපතිවරණයේ දී ආසන 13ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 110,974කින්. ලංකා ඉතිහාසය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 7 දී මහනුවර දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂයකට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා වන්නේ ජේ. ආර්. ජයවර්ධන යි.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 289,621 (59.80%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 178,647 (36.89%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදුණේ සිරිමාවෝ බණ්ඩාරනායක යි. එවර ජනාධිපතිවරණයේ දී ආසන 13න් 11ක් ජයග්‍රහණය කළ රණසිංහ ප්‍රේමදාස දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 47,937කින්.

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 234,124 (54.88%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 186,187 (43.65%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ, ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 84,491කින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 320,110 (56.60%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 235,519 (41.70%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 10ක් ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එතරම් අපහසුවකින් තොරව යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 308,187 (50.29%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 276,360 (45.10%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ ආසන 13ම ජයග්‍රහණය කළ නිසා වැඩි ඡන්ද 72,478කින් මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. 

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 387,150 (54.33%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 315,672 (44.30%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13න් 12ක් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, වැඩි ඡන්ද 77,144කින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 406,636 (54.16%)

සරත් ෆොන්සේකා- ඡන්ද 329,492 (43.89%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ, මෛත්‍රීපාල සිරිසේන යි. එහි දී මෛත්‍රීපාල සිරිසේන ආසන 11ක් ජයග්‍රහණය කරන විට මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ ආසන 2ක් පමණ යි. එම නිසාම දිස්ත්‍රික්කය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ මෛත්‍රීපාල සිරිසේන යි.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 466,994 (54.56%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 378,585 (44.23%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles