Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අවස්ථා කිහිපයක දී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක මෙන්ම සමසමාජ පක්ෂ නායක එන්. එම්. පෙරේරා දේශපාලනයට පිවිසුණු කෑගල්ල දිස්ත්‍රික්කය ආසනය 9කින් සමන්විත වනවා.

රත්නපුර දිස්ත්‍රික්කය සේ ම ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මධ්‍යස්ථ හැසිරීමක් පෙන්වූ දිස්ත්‍රික්කයක් වන කෑගල්ල දිස්ත්‍රික්කය මෙතෙක් පැවති ජනාධිපතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ එම අවස්ථාව වන විට බලයට පත්ව සිටි පක්ෂය යි. 

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික්කය ආසන 9කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) දැදිගම ආසනය

2) ගලිගමුව ආසනය

3) කෑගල්ල ආසනය

4) රඹුක්කන ආසනය

5) මාවනැල්ල ආසනය 

6) අරණායක ආසනය 

7) යටියන්තොට ආසනය 

8) රුවන්වැල්ල ආසනය 

9) දැරණියගල ආසනය 

දැදිගම ආසනය 

1931 වසරේ සිට පැවති දැදිගම ආසනය කිහිප වරක් ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක නියෝජනය කළ ආසනය යි. නමුත්, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මෙම ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී පමණ යි.

ඩඩ්ලි සේනානායක (Daliy News)

ගලිගමුව ආසනය 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දැදිගම ආසනයෙන් කොටසක් වෙන් වී ගලිගමුව ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක් වුණු ගලිගමුව ආසනය, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කෑගල්ල ආසනය 

1931 වසරේ සිටම පැවති කෑගල්ල ආසනය දිස්ත්‍රික්කය තුළ පවතින ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත්ම වාසිදායක ආසනය යි. එම නිසාම ඔවුන් කෑගල්ල ආසනය පරාජයට පත් වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

රඹුක්කන ආසනය 

1959 වසරේ දී කෑගල්ල සහ මාවනැල්ල ආසනවලින් කොටස් එකතු වී රඹුක්කන නම් ආසනය නිර්මාණය වුණා. 1982 සහ 1988 වසරවල පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මෙම ආසනය ජයග්‍රහණය කළා. නමුත්, ඉන් අනතුරුව පැවැත්වුණු කිසිදු ජනාධිපතිවරණයක දී ඔවුන්ට මෙම ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ.

මාවනැල්ල ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී කෑගල්ල ආසනයෙන් කොටසක් වෙන් වී මාවනැල්ල ආසනය නිර්මාණය වුණා. මෙම දිස්ත්‍රික්කය තුළ පවතින ආසන අතුරින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත්ම වාසිදායක ආසනය වන්නේ මාවනැල්ල ආසනය යි. එම නිසාම 1982, 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී මාවනැල්ල ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

අරණායක ආසනය 

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී මාවනැල්ල ආසනයෙන් කොටසක් වෙන් වී අරණායක ආසනය නිර්මාණය වුණා. වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1982, 1988, සහ 2005 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට, ඉතිරි ජනාධිපතිවරණ 4 දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

යටියන්තොට ආසනය 

1959 වසරේ දී රුවන්වැල්ල ආසනයෙන් කොටසක් වෙන් වී යටියන්තොට ආසනය නිර්මාණය වුණා. හිටපු සමසමාජ පක්ෂ නායක එන්. එම්. පෙරේරා මෙම ආසනය දිගු කලක් නියෝජනය කළ නිසා මෙය කාගේත් අවධානය දිනාගත් ආසනයක් වුණා. නමුත්, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වරින් වර දෙපසට දෝලනය වුණු යටියන්තොට ආසනය 1982, 1988, සහ 2005 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට ඉතිරි ජනාධිපතිවරණ 4 දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

එන්. එම්. පෙරේරා (Daily Mirror)

රුවන්වැල්ල ආසනය 

1931 වසරේ සිටම පැවති රුවන්වැල්ල ආසනය එන්. එම්. පෙරේරා සහ රණසිංහ ප්‍රේමදාස පවා තරග කළ ආසනයක් බවට පත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත් හිතකර ආසනයක් වන රුවන්වැල්ල ආසනය අවසන් වරට පැවති ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

දැරණියගල ආසනය 

1946 වසරේ දී රුවන්වැල්ල ආසනයෙන් කොටසක් වෙන් වී දෙහිඕවිට නම් ආසනය නිර්මාණය වුණා. ඉන්පසුව, 1976 වසරේ දී දෙහිඕවිට ආසනයේ නම දැරණියගල නමින් වෙනස් කරනු ලැබුවා. මුල් යුගයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මෙම ආසනය 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් ඉන්පසුව පැවැත්වුණු කිසිදු ජනාධිපතිවරණයක දී  ඔවුන්ගේ පාර්ශවයට දැරණියගල ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ.

ජනාධිපතිවරණවල දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක දිස්ත්‍රික්කයක් වුණු කෑගල්ල 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් ඉන්පසුව ක්‍රම-ක්‍රමයෙන් මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක දිස්ත්‍රික්කයක් බවට පත් වුණා. එම නිසාම අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම කෑගල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන දිස්ත්‍රික්කයේ ආසන 9ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තේ වැඩි ඡන්ද 68,906ක් ලබා ගනිමින්.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 195,444 (57.02%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 126,538 (36.92%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව 68.55%ක ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. එහි දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රණසිංහ ප්‍රේමදාස කෑගල්ල ආසනය හැර ඉතිරි ආසන 8ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 48,951කින්. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 168,720 (57.11%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 119,769 (40.54%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන 9ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 51,969ක් ලබා ගනිමින්. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 211,676 (56.10%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 159,707 (42.30%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කෑගල්ල   දිස්ත්‍රික්කයේ ආසන 9ම ජයග්‍රහණය කළත් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 51.30%ක් දක්වා අඩු වී තිබුණා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 210,185 (51.30%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 176,376 (43.05%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මාවනැල්ල, අරණායක සහ යටියන්තොට හැර ඉතිරි ආසන 6ම ජයග්‍රහණය කළා. එම නිසාම කෑගල්ල දිස්ත්‍රික් ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිමි වුණේ වැඩි ඡන්ද 15,701කින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 239,184 (51.02%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 223,483 (47.67%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා  යි. එම ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කයේ ආසන 9ම පහසුවෙන්ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ කෑගල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 121,762ක් ලබා ගනිමින්. එසේම කෑගල්ල දිස්ත්‍රික්කය තුළ 61.80%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මෙම දිස්ත්‍රික්කය වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත් වුණා.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 296,639 (61.80%)

සරත් ෆොන්සේකා- ඡන්ද 174,877 (36.44%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවර මහින්ද රාජපක්ෂ මාවනැල්ල ආසනය හැර කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතිරි ආසන 8ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 25,597ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 278,130 (51.82%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 252,533 (47.05%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව) 

Related Articles