Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ආසන 14කින් සමන්විත කුරුණෑගල දිස්ත්‍රික්කය ආසන ප්‍රමාණය අතින් දෙවැනි වන්නේ ආසන 15කට බෙදී තිබෙන කොළඹ දිස්ත්‍රික්කයට පමණ යි. එම නිසා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක දී මෙම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම වැදගත් වන්නේ විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් මෙවැනි දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කළ හැකි නිසා යි. එවැනි වැදගත්කමක් ඇති මෙම දිස්ත්‍රික්කය මුල් යුගයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණත් වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත්වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකෙරුණු සීමා නිර්ණයෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික්කය ආසන 14කට වෙන්වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) ගල්ගමුව ආසනය

2) නිකවැරටිය ආසනය

3) යාපහුව ආසනය

4) හිරියාල ආසනය

5) වාරියපොල ආසනය 

6) පඬුවස්නුවර ආසනය 

7) බිංගිරිය ආසනය 

8) කටුගම්පල ආසනය 

9) කුලියාපිටිය ආසනය 

10) දඹදෙණිය ආසනය 

11) පොල්ගහවෙල ආසනය 

12) කුරුණෑගල ආසනය 

13) මාවතගම ආසනය 

14) දොඩම්ගස්ලන්ද ආසනය 

ගල්ගමුව ආසනය 

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී හලාවත ආසනයෙන් කොටසක් කැඩී ගල්ගමුව ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර ආසනයක් වන මෙය ඔවුන් පරාජයට පත්වුණේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

නිකවැරටිය ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම මඟින් සිදුකළ සීමා නිර්ණයේ දී පුත්තලම ආසනයෙන් කොටසක් කැඩී නිකවැරටිය ආසනය නිර්මාණය වුණා. 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ මෙම ආසනය ඉන් පසුව පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දීම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

යාපහුව ආසනය 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී නිකවැරටිය ආසනයෙන් කොටසක් වෙන් වී යාපහුව ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර මෙම ආසනය 1988-2015 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණ 6කදී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

හිරියාල ආසනය 

1959 දී දොඩංගස්ලන්ද ආසනයෙන් කොටසක් වෙන් වී හිරියාල ආසනය නිර්මාණය වුණා. මුල් යුගයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු හිරියාල ආසනය 1982, 1988, 1999, සහ 2005 යන වසරවල පැවැත්වුණු ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලෙන් තරග කළ අපේක්ෂකයා යි. නමුත් පසු යුගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ ග්‍රහණයට නතුවුණු මෙම ආසනය 2010 සහ 2015 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

වාරියපොල ආසනය 

1946 දී පැරණි නාරම්මල ආසනයෙන් කොටසක් කැඩී වාරියපොල ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අවාසිදායක ආසනයක් වන මෙය ඔවුන් ජයග්‍රහණය කළේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

පඬුවස්නුවර ආසනය 

1976 වසරේ දී කටුගම්පල, බිංගිරිය සහ කුලියාපිටිය ආසන වලින් කොටස් එකතු කර පඬුවස්නුවර ආසනය නිර්මාණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක ආසනයක් වන පඬුවස්නුවර ඔවුන් 1988 වසරේ සිට පැවති සෑම ජනාධිපතිවරණයක දීම ජයග්‍රහණය කළා.

බිංගිරිය ආසනය 

1946 වසරේ දී කටුගම්පල ආසනයෙන් කොටසක් කැඩී බිංගිරිය ආසනය නිර්මාණය වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති බොහෝමයක් ආසන මෙන්ම මෙම ආසනයත් වාසිදායක වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම නිසාම 1988-2015 දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ 6 දීම මෙම ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කටුගම්පල ආසනය 

1931 වසරේ සිට පැවති කටුගම්පල ආසනය 1946 දී දණ්ඩගමුව සහ බිංගිරිය ලෙසින් කොටස් 2කට වෙන් වුණා. නමුත් ඉන් අනතුරුව 1959 වසරේ සිදුකළ සීමා නිර්ණයේ දී කටුගම්පල ආසනය යළි ඇති කරනු ලැබුවා. මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය 1988 ජනාධිපතිවරණයෙන් පසුව 5වරක් අඛණ්ඩව ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කුලියාපිටිය ආසනය 

1946 දී කටුගම්පල ආසනයෙන් කොටසක් වෙන් වී දණ්ඩගමුව ආසනය නිර්මාණය වුණා. ඉන් පසුව 1959 වසරේ සිදුකළ සීමා නිර්ණයේ දී දණ්ඩගමුව ආසනයේ නම කුලියාපිටිය ලෙසින් වෙනස් කරනු ලැබුවා. මෙම ආසනය 1994-2015 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් දිස්ත්‍රික්කයේ ඇති අනිකුත් ආසන තරම්ම මෙය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අවාසිදායක ආසනයක් වන්නේ නැහැ.

දඹදෙණිය ආසනය

1946 දී නාරම්මල ආසනයෙන් කොටසක් කැඩී දඹදෙණිය ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර ආසනයක් වන මෙම  ආසනය අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දීම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

පොල්ගහවෙල ආසනය 

1959 දී දඹදෙණිය ආසනයෙන් කොටසක් කැඩී පොල්ගහවෙල ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට එතරම් හිතකර ආසනයක් නොවන පොල්ගහවෙල ආසනය ඔවුන් ජයග්‍රහණය කළේ 1982 ජනාධිපතිවරණයේ දී පමණ යි.

කුරුණෑගල ආසනය 

1931 වසරේ සිට පැවති කුරුණෑගල ආසනය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වනවා. එම නිසාම 1982, 1988, 2005, සහ 2015 ජනාධිපතිවරණවල දී මෙම ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

මාවතගම ආසනය 

1959 දී කුරුණෑගල ආසනයෙන් කොටසක් වෙන් වී මාවතගම ආසනය නිර්මාණය වුණා. දිස්ත්‍රික්කයේ ඇති සෙසු ආසන තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක නොවන මෙම ආසනය 1982, 1988, සහ 2015 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

දොඩංගස්ලන්ද ආසනය 

1946 දී කුරුණෑගල ආසනයෙන් කොටසක් වෙන් වී දොඩංගස්ලන්ද ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අගමැතිවරයෙකු වුණු ජෝන් කොතලාවල තරග කළේ දොඩංගස්ලන්ද ආසනයට යි. එම නිසාම මෙය මුල් යුගයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර ආසනයක් වුණා. නමුත් 1994 වසරෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මෙම ආසනය අවසන් වරට පැවති ජනාධිපතිවරණ 5දී ම ජයග්‍රහණය කළේ ඔවුන්ගේ පාර්ශවය යි.

ජෝන් කොතලාවල (Colombo Telegraph)

ජනාධිපතිවරණවල දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

මුල් යුගයේ පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු කුරුණෑගල දිස්ත්‍රික්කය 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් 1994 වසරේ සිදුවුණු විශාල බල පෙරළියෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් බවට පත්වුණා. එම නිසාම 1994-2015 කාල සමය තුළ පැවති   ජනාධිපතිවරණ 5 දීම කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම   ආසන ජයග්‍රහණය කළ නිසා ඔහුට දිස්ත්‍රික් ජයග්‍රහණය හිමිවුණේ වැඩි ඡන්ද 97,290කින්.

ජේ.ආර් ජයවර්ධන- ඡන්ද 345,769 (55.77%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 248,479 (40.08%)

ජේ.ආර් ජයවර්ධන (Famous People)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. රට පුරාම භීෂණකාරී වාතාවරණයක් පැවති අවස්ථාවක ක්‍රියාත්මක වුණු මෙම ජනාධිපතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50.05%ක් ලෙස සටහන් වුණා. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා අතර දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් කරට කර සටනක් පැවති මෙම ජනාධිපතිවරණයේ දී රණසිංහ ප්‍රේමදාස මෙහි ආසන 14න් 8ක් ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ වැඩි ඡන්ද 16,442ක් ලබාගනිමින්.

රණසිංහ ප්‍රේමදාස – ඡන්ද 41,198 (49.62%)

සිරිමාවෝ බණ්ඩාරනායක – ඡන්ද 39.343(47.39%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන 14ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 137,098ක් ලබාගනිමින්.  එසේම කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂය ඉක්මවා ජයග්‍රහණය කළ මුල්ම අපේක්ෂකයා වීමේ අවස්ථාව චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමිවුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 403,838 (59.40%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 266,740 (39.20%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර හිරියාල ආසනය හැර කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෙසු ආසන 13ම ජයග්‍රහණය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක දිස්ත්‍රික් ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ වැඩි ඡන්ද 51,156ක් ලබාගනිමින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 377,483 (50.77%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 326,327 (43.89%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර මහින්ද රාජපක්ෂ හිරියාල සහ කුරුණෑගල හැර ඉතිරි ආසන 12ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ වැඩි ඡන්ද 49,698ක් ලබාගනිමින්. 

මහින්ද රාජපක්ෂ- ඡන්ද 468,507 (52.26%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 418,809 (46.72%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවරත් දිස්ත්‍රික්කයේ ආසන 14ම අපහසුවකින් තොරව ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 255,190ක් ලබාගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ  63.08% ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත්වුණා.

මහින්ද රාජපක්ෂ – ඡන්ද 582,784 (63.08%)

සරත් ෆොන්සේකා  – ඡන්ද 327,594 (35.46%)

මහින්ද රාජපක්ෂ (rediff.com)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවර මහින්ද රාජපක්ෂ කුරුණෑගල  සහ මාවතගම හැර ඉතිරි ආසන 12ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 80,266ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 556,868 (53.46%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 476,602 (45,76%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles