Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන මොණරාගල දිස්ත්‍රික්කය අවසන් වරට පැවැති ජනාධිපතිවරණ 2 දී ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට 60%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාදුන්නා. එසේම 2010 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා වුණු මහින්ද රාජපක්ෂ ලබාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම නිසාම පසුගිය කාල සමයේ පැවැත්වුණු ජනාධිපතිවරණවල දී මොණරාගල කාගේත් අවධානයට ලක් වුණු දිස්ත්‍රික්කයක් බවට පත් වුණා. 

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මොණරාගල දිස්ත්‍රික්කය ආසන 3කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) බිබිලේ  ආසනය

2) මොණරාගල ආසනය

3) වැල්ලවාය ආසනය

බිබිලේ ආසනය 

1931 වසරේ සිටම පැවති බිබිලේ ආසනය මුල් යුගයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වුණා. නමුත් අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම බිබිලේ ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

මොණරාගල ආසනය 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී බුත්තල ආසනයෙන් කොටසක් වෙන් වී මොණරාගල ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන මොණරාගල ආසනය ඔවුන් පරාජයට පත් වුණේ 1982 සහ 1988 වසරවල පැවති ජනාධිපතිවරණවල දී පමණ යි.

වැල්ලවාය ආසනය 

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී මොණරාගල ආසනයෙන් කොටසක් වෙන් වී වැල්ලවාය ආසනය නිර්මාණය වුණා. මෙම ආසනය මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඇති ආසන අතුරින් වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිටිනා ආසනය යි. මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණු මෙම ආසනය 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් ඉන් අනතුරුව පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම මෙම ආසනය ජය ගැනීමට හැකි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට යි.

ජනාධිපතිවරණවල දී මොණරාගල දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

80 දශකය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණවල දී මොණරාගල දිස්ත්‍රික්කය වඩාත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. නමුත් ඉන්පසුව ක්‍රමයෙන් මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වීම ආරම්භ වුණා. පසු යුගයේ දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමත් සමගම මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් බවට පත් වුණා.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන මොණරාගල දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළ නිසා ඔහුට දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ වැඩි ඡන්ද 7,149කින්.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 51,264 (49.38%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 44,115 (42,49%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. රට පුරාම භීෂණකාරී වටපිටාවක් නිර්මාණය වී තිබුණු අවස්ථාවක පැවති එම ජනාධිපතිවරණයේ දී, මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 17.01%ක් ලෙස සටහන් වුණා. එහි දී මොණරාගල ආසනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 6.51% වන විට, වැල්ලවාය ආසනයේ ප්‍රතිශතය 12.66%ක් බවට පත්ව තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ පැවති ජනාධිපතිවරණයේ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ජයග්‍රහණය කළ සිරිමාවෝ බණ්ඩාරනායක, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 7,749ක් ලබා ගනිමින්.

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 16,872 (63,21%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 9,123(34,18%)

රණසිංහ ප්‍රේමදාස (gettyimages) 

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ, ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක මොණරාගල දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 44,594ක් ලබාගනිමින්. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 96,620 (63.20%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 52,026(34.00%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට,, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මොණරාගල  දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන්ම ජයග්‍රහණය කළත්, ලබාගත් ඡන්ද ප්‍රතිශතය 51.07% දක්වා අඩු වී තිබුණා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 92,049 (51.07%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 73,695 (40.89%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට,, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එහි දී මොණරාගල දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, වැඩි ඡන්ද 33.850කින් දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තා. 

මහින්ද රාජපක්ෂ- ඡන්ද 126,094 (56.94%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 92,244 (41.65%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට,, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත්  ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වැඩිම ඡන්ද ප්‍රතිශතය මොණරාගල දිස්ත්‍රික්කයෙන් ලබා දීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම නිසාම  දිස්ත්‍රික්කයේ ආසන තුනම ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, මොණරාගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 91,632ක් ලබා ගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ 69.01%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගත් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මොණරාගල දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත් වුණා.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 158,435 (69.01%)

සරත් ෆොන්සේකා- ඡන්ද 66,803 (29.10%)

මහින්ද රාජපක්ෂ (gettyimages) 

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට,, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් මහින්ද රාජපක්ෂ මොණරාගල   දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 67,469ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 172,745 (61.45%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 105,276 (37.45%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව) 

Related Articles