Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් ලෙසින් පැවතුණු නුවරඑළිය දිස්ත්‍රික්කය ආසන 4කින් සමන්විත යි. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආසන අතුරින් නුවරඑළිය-මස්කෙළිය ආසනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එය ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් සිටින ආසනය නිසා යි. එම නිසාම  ලංකා ඉතිහාසය තුළ පැවති ජනාධිපතිවරණවල දී නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම වැදගත් වුණේ නුවරඑළිය-මස්කෙළිය ආසනයේ ජයග්‍රහණය යි. නමුත් බොහෝ අවස්ථාවල දී එම ආසනයේ වාසිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිමිවුණු නිසාම මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් 6ක දීම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. 

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව නුවරඑළිය දිස්ත්‍රික්කය  ආසන 4කට වෙන්වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) නුවරඑළිය-මස්කෙළිය ආසනය

2) කොත්මලේ ආසනය

3) හඟුරන්කෙත ආසනය

4) වලපනේ ආසනය

නුවරඑළිය-මස්කෙළිය ආසනය 

1947 දී හැටන් ආසනය, නාවලපිටිය සහ මස්කෙළිය ලෙසින් ආසන 2කට වෙන්කරනු ලැබුවා. නමුත් නුවරඑළිය ආසනය 1931 වසරේ සිටම පැවතුණා. 1976 වසරේ දී නොයෙල් තිත්ත්වැල්ල කමිටුව විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව නුවරඑළිය සහ මස්කෙළිය ආසන එකතු වී නුවරඑළිය-මස්කෙළිය නම් ආසනය නිර්මාණය වුණා. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ඇති ආසන අතුරින් වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ නුවරඑළිය-මස්කෙළිය ආසනය තුළ යි. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වුණු නුවරඑළිය-මස්කෙළිය ආසනය ඔවුන් පරාජයට පත්වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි. 2005 සහ 2015 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ සහාය ලැබුණු අපේක්ෂකයා මෙම ආසනය ඡන්ද ලක්ෂයකට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ බව මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි.

නුවරඑළිය-මස්කෙළිය ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයයේ ගාමිණී දිසානායක (dailynews)

කොත්මලේ ආසනය 

1931 වසරේ සිට පැවති තලවකැලේ ආසනය 1947 දී තලවකැලේ සහ කොටගල ලෙසින් ආසන 2කට වෙන්කරනු ලැබුවා. ඉන් පසුව 1959 දී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම සිදුකළ සීමා නිර්ණයෙන් පසුව කොටගල ආසනයේ නම කොත්මලේ ලෙසින් වෙනස් වුණා. නුවරඑළිය-මස්කෙළිය ආසනය මෙන්ම කොත්මලේ ආසනයත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල පරාජයට පත්වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි.

හඟුරන්කෙත ආසනය 

1947 දී නුවරඑළිය ආසනය නුවරඑළිය සහ මතුරට ලෙසින් ආසන 2කට වෙන්වුණා. 1959 දී මතුරට ආසනයෙන් කොටසක් කැඩී හඟුරන්කෙත ආසනය නිර්මාණය වුණා. මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණු හඟුරන්කෙත ආසනය පසු කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණා. එම නිසාම ඔවුන් 1994, 1999, 2010, සහ 2015 ජනාධිපතිවරණවල දී හඟුරන්කෙත ආසනය ජයග්‍රහණය කළා.

60 දශකයේ හඟුරන්කෙත ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වූ එම්.ඩී බණ්ඩා. (lankadeepa)

වලපනේ ආසනය 

1959 දී මතුරට නමින් තිබුණු ආසනය කොටස් 2කට වෙන්වන විට ඉන් එක් කොටසකින් වලපනේ නම් ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂයට වඩාත් හිතකර ආසනයක් වුණු වලපනේ ඔවුන් පරාජයට පත්වුණේ 1994 සහ 2010 ජනාධිපතිවරණවල දී පමණ යි.

ජනාධිපතිවරණවල දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වන ආසන හතරෙන් විශාලම ආසනය වන නුවරඑළිය-මස්කෙළිය ආසනයේ සිටින ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය සෙසු ආසන 3හිම සිටින මුළු ඡන්ද දායකයන්ගේ ප්‍රමාණයටත් වඩා වැඩියි. එම නිසාම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයා තීරණය වන්නේ නුවරඑළිය-මස්කෙළිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලය මත යි. එක්සත් ජාතික පක්ෂය 1994 ජනාධිපතිවරණයේ දී පමණක් නුවරඑළිය දිස්ත්‍රික්කය  පරාජයට පත්වුණා. එදා එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය දිස්ත්‍රික්කය පරාජයට පත්වුණේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක නුවරඑළිය-මස්කෙළිය ආසනය ජයග්‍රහණය කළ නිසා යි. 

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර් ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන  ආසන 4ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ.ආර් ජයවර්ධන නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 51,924කින්. එසේම 1982 ජනාධිපතිවරණයේ දී ජේ.ආර් ජයවර්ධන 60%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දී පමණ යි.

ජේ.ආර් ජයවර්ධන- ඡන්ද 109,017 (63.10%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 57,093 (33.05%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව 75%කට වැඩි ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම 1988 ජනාධිපතිවරණයේ දී ත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ආසන 4ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ  වැඩි ඡන්ද 47,228කින් 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 112,135 (62.15%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 64,907 (35,98%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනරැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමිවුණේ පොදුජන එක්සත් පෙරමුණට යි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජනාධිපතිවරණයක දී නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ එකම අවස්ථාව එය යි. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 168,929 (57.10%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 116,928 (39.60%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා එවර ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ප්‍රබල සටනක් පැවතුණා. එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක හඟුරන්කෙත ආසනය ජයග්‍රහණය කරන විට රනිල් වික්‍රමසිංහ ඉතිරි ආසන 3ම ජයග්‍රහණය කළා. නමුත් රනිල් වික්‍රමසිංහ එම ආසන 3ම එතරම් පරතරයක් සහිතව ජයග්‍රහණය නොකළ නිසා ඔහුට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකිවුණේ වැඩි ඡන්ද 5626කින්. මෙය එක්සත් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නුවරඑළිය දිස්ත්‍රික්කය 50%කට අඩු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ එකම අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්වනවා.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 152,836 (48.68%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 147,210 (46.88%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන 4ම පහසුවෙන්ම ජයග්‍රහණය කළා. එහි දී නුවරඑළිය මස්කෙළිය ආසනය වැඩි ඡන්ද 122,890කින් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ දී යම් අපේක්ෂකයෙකු ආසනයක් ඡන්ද ලක්ෂය ඉක්මවා ජයග්‍රහණය කළ මුල්ම අවස්ථාව ලෙසින් එය ඉතිහාසයට එක්වුණා. එසේම රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 150,878කින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය 70.37%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින්. එය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ යම් අපේක්ෂකයෙකු නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය යි.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 250,428 (70.37%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 99,550 (27.97%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ ආසන මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන විට ඉතිරි ආසන 2ක සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළා. එහිදී නුවරඑළිය-මස්කෙළිය ආසනය සරත් ෆොන්සේකා  වැඩි ඡන්ද 50,262කින් ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිවුණේත් ඔහුට යි.

සරත් ෆොන්සේකා- ඡන්ද 180,604 (52.14%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 151,604 (43.77%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවර මෛත්‍රීපාල සිරිසේන හඟුරන්කෙත ආසනය හැර සෙසු ආසන 3ම ජයග්‍රහණය කළා. එවර ඔහු නුවරඑළිය-මස්කෙළිය අසනය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 113,840කින්. එම නිසා වැඩි ඡන්ද 127,266කින් දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිවුණේ මෛත්‍රීපාල සිරිසේනට යි.

මෛත්‍රීපාල සිරිසේන – ඡන්ද 272,605 (63.88%)

මහින්ද රාජපක්ෂ – ඡන්ද 145,339 (34.06%)

Related Articles