Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

ලංකා ඉතිහාසය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 7 දී ම ජයග්‍රාහී අපේක්ෂකයා පොළොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා මැතිවරණ සිතියම තුළ ඇති දිස්ත්‍රික්ක 22ක අතුරින් ජනාධිපතිවරණ ඉතිහාසය තුළ එවැනි සිදුවීමක් දක්නට ලැබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දී පමණ යි. එම නිසාම පොළොන්නරුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හමුවන සුවිශේෂී දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික්කය පහත ආකාරයට ආසන 3කට වෙන් වී ගියා.

1) මින්නේරිය ආසනය

2) මැදිරිගිරිය ආසනය

3) පොළොන්නරුව ආසනය

මින්නේරිය ආසනය 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී පොළොන්නරුව ආසනයෙන් කොටසක් වෙන් වී මින්නේරිය ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයෙකු වූ සී. පී. ද සිල්වා දේශපාලනයට පිවිසුණේ මෙම ආසනය නියෝජනය කරමින්. එම නිසාම 1994-2010 කාල සමය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 4 දී ම මින්නේරිය ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 69.46%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මින්නේරිය ආසනය ජයග්‍රහණය කිරීම යි. එසේම එය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසනයක් වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අවස්ථාව බවටත් පත් වුණා.

සී. පී. ද සිල්වා (BBC)

මැදිරිගිරිය ආසනය 

1976 දී පොළොන්නරුව සහ මින්නේරිය ආසනවලින් කොටස් එකතු වී මැදිරිගිරිය ආසනය නිර්මාණය වුණා. 80 දශකය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ 2 දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මෙම ආසනය ජයග්‍රහණය කළා. නමුත් ඉන් අනතුරුව ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ 2015 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී පමණ යි.

පොළොන්නරුව ආසනය

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී අනුරාධපුර ආසනයෙන් කොටසක් කැඩී පොළොන්නරුව ආසනය නිර්මාණය වුණා. මෙම ආසනයත් මැදිරිගිරිය සහ මින්නේරිය ආසන මෙන්ම 1994-2010 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එසේම ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන දිවිය ආරම්භ කළෙත් මෙම ආසනයෙන්.

මෛත්‍රීපාල සිරිසේන (dailynews.lk)

ජනාධිපතිවරණවල දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

ජනරැල්ල ගලා යන දිශාව අනුව ප්‍රතිඵල තීරණය වන දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කය 1994, 1999, 2005, සහ 2010 ජනාධිපතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා ජයග්‍රහණය කළා. ඒ අනුව මෙතෙක් පවත්වා ඇති ජනාධිපතිවරණ හත තුළ දී වැඩිම වාර ගණනක් මෙම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එසේම මේ දක්වා පවත්වා ඇති ජනාධිපතිවරණ 7 දී ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ අපේක්ෂකයා දිස්ත්‍රික්කයට අයත් ආසන 3ම ජයග්‍රහණය කර තිබීමත් සුවිශේෂී සිදුවීමක්.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන ආසන 3ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන පොළොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 22,171කින්. 

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 59,414 (56.26%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 37,243 (35.26%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදුණේ සිරිමාවෝ බණ්ඩාරනායක යි. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 29.73% ලෙස සටහන් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මින්නේරිය  ආසනයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 9.43% ලෙස සටහන් වුණා. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම 1988 ජනාධිපතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ආසන 3ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 6,219ක් ලබා ගනිමින්. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 26,392 (55.54%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 20,173 (42.45%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 3ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 29,620ක් ලබා ගනිමින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 88,907 (59.10%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 59,287 (39.40%)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය හිමි කරගනු ලැබුවේ වැඩි ඡන්ද 16,065ක් ලබා ගනිමින්. එසේම ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 3ම දෙවරක් ජයග්‍රහණය කළ මුල්ම අපේක්ෂකයා බවට පත් වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යි. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 88,663 (51.55%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 72,598 (42.21%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා වුණු මහින්ද රාජපක්ෂ ආසන 3ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කරගනු ලැබුවේ වැඩි ඡන්ද 13,357ක් ලබා ගනිමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 110,499 (52.61%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 97,142 (46.25%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ, සරත් ෆොන්සේකා යි. එවරත් දිස්ත්‍රික්කයේ ආසන 3ම අපහසුවකින් තොරව ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 69,863ක් ලබා ගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ 64.92%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගත් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත් වුණා. එහි දී ඔහු බිඳ දැමුවේ, 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පොළොන්නරුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබුණු 59.10%ක ඡන්ද ප්‍රතිශතය යි.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 144,889 (64.92%)

සරත් ෆොන්සේකා- ඡන්ද 75,026 (33.62%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එහි දී මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන දිවිය ආරම්භ කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 3ම ජයග්‍රහණය කිරීමට සමත් වුණු නිසාම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 42,334ක් ලබා ගනිමින්.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 147,974 (57.80%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 105,640 (41.27%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles