ජනාධිපතිවරණ ඉතිහාසය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

වයඹ පළාතට අයත් වන පුත්තලම දිස්ත්‍රික්කය ආසන 5කට බෙදී ගොස් තිබෙනවා. මෙතෙක් පවත්වා ඇති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට තරමක් වාසිදායක වුණු දිස්ත්‍රික්ක අතරට මෙම  දිස්ත්‍රික්කයත් අයත් වනවා. එම නිසාම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලෙන් ජනාධිපතිවරයෙකු පත් වුණු සෑම අවස්ථාවකම පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ඔවුන්ගේ පාර්ශවය යි.

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව පුත්තලම දිස්ත්‍රික්කය පහත ආකාරයට ආසන 5කට වෙන් වී ගියා.

1) පුත්තලම ආසනය

2) ආණමඩුව ආසනය

3) හලාවත  ආසනය

4) නාත්තන්ඩිය ආසනය

5) වෙන්නප්පුව ආසනය 

පුත්තලම ආසනය 

1931 වසරේ සිට පැවති පුත්තලම ආසනය දිස්ත්‍රික්කය තුළ වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිටින ආසනය යි. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු පුත්තලම ආසනය, ඔවුන් පරාජයට පත් වුණේ 1994 ජනාධිපතිවරණයේ දී පමණ යි.

ආණමඩුව ආසනය 

1976 දී හලාවත සහ නාත්තන්ඩිය ආසනවලින් කොටස් එකතු වී ආණමඩුව ආසනය නිර්මාණය වුණා. මෙම දිස්ත්‍රික්කයේ ඇති ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන ආණමඩුව, ඔවුන් පරාජයට පත් වුණේ 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී පමණ යි.

හලාවත ආසනය 

1931 වසරේ සිට පැවති හලාවත ආසනය 80 දශකයේ පැවති ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණා. නමුත්, ඉන්පසුව පැවති ජනාධිපතිවරණවල දී ඔවුන්ගේ පාර්ශවයට මෙම ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ 2005 ජනාධිපතිවරණයේ දී පමණ යි.

හලාවත ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු වුණු ෂර්ලි කොරයා (The Corea Family)

නාත්තන්ඩිය ආසනය 

1947 දී හලාවත ආසනයෙන් කොටසක් කැඩී නාත්තන්ඩිය ආසනය නිර්මාණය වුණා. වර්තමානය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර එකක් වන මෙම ආසනය, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ඔවුන්ගේ පාර්ශවය යි.

වෙන්නප්පුව ආසනය 

1959 දී හලාවත ආසනයෙන් කොටසක් වෙන් වී වෙන්නප්පුව ආසනය නිර්මාණය වුණා. මුල් යුගයේ දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වුණු මෙම ආසනය 1994 වසරෙන් පසුව පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

ජනාධිපතිවරණවල දී පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

මෙය, 80 දශකයේ පැවති ජනාධිපතිවරණ 2 දී ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් බවට පත් වුණා. නමුත්, 1994 වසරේ සිදුවුණු බල පෙරළියෙන් පසුව පැවැත්වුණු 1994 සහ 1999 ජනාධිපතිවරණවල දී මෙම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එනමුත් අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ තුනෙන් 2ක දී මෙම දිස්ත්‍රික්කයේ බලය නැවතත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිමි වුණා. එලෙස එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අවස්ථා 2 දී ඔවුන් දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තේ ඉතාමත් අඩු වැඩි ඡන්ද පරතරයක් රඳවා ගනිමින්. එහි දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් වුණේ, ඔවුන්ට හිතකර පුත්තලම ආසනයෙන් ලැබුණු විශාල වැඩි ඡන්ද ප්‍රමාණය යි. ඒ අනුව මෙතෙක් පවත්වා ඇති ජනාධිපතිවරණ හතෙන් 4ක දී ම පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කය තුළ තිබෙන ආසන 5ම පහසුවෙන් ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන, මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 48,871කින්. එහි දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධන පුත්තලම ආසනය 70.50%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 128,877 (59.12%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 80,006 (36.70%)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව 71.23%ක ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම 1988 ජනාධිපතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ආසන 5ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 30,516කින්. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 125,339 (55.89%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 94,823 (42.28%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ, ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන 5ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 70,584කින්. එහි දී චන්ද්‍රිකා බණ්ඩාරනායක 60%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ එකම අපේක්ෂකයා බවට පත් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 165,795 (62.70%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 95,211 (36.00%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක (english.newstube.lk)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ, රනිල් වික්‍රමසිංහ යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක පුත්තලම ආසනය හැර  දිස්ත්‍රික්කයේ සෙසු ආසන 4ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තේ වැඩි ඡන්ද 20,110ක් ලබා ගනිමින්. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 141,725 (51.47%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 121,615 (44.17%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර පුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂකයින් දෙදෙනාම ප්‍රබල සටනක නිරත වුණා. එහි දී මහින්ද රාජපක්ෂ ආණමඩුව, නාත්තන්ඩිය, සහ වෙන්නප්පුව ආසන ජයග්‍රහණය කරන විට රනිල් වික්‍රමසිංහ පුත්තලම සහ හලාවත යන ආසන දෙක ජයග්‍රහණය කළා. නමුත්, රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද පරතරයකින් පුත්තලම ආසනය  ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල හිමි කරගනු ලැබුවේ වැඩි ඡන්ද 8,578ක් ලබා ගනිමින්.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 169,264 (50.71%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 160,686(48.14%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ, සරත් ෆොන්සේකා යි. එවර පුත්තලම ආසනය හැර පුත්තලම දිස්ත්‍රික්කයේ සෙසු ආසන 4ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තේ වැඩි ඡන්ද 65,748ක් ලබා ගනිමින්. එහි දී මහින්ද රාජපක්ෂ, ආණමඩුව ආසනය 70.37%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 201,981 (58.70%)

සරත් ෆොන්සේකා- ඡන්ද 136,233 (39.59%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ, මෛත්‍රීපාල සිරිසේන යි. එවර මහින්ද රාජපක්ෂ පුත්තලම ආසනය හැර දිස්ත්‍රික්කයේ ඇති සෙසු ආසන 4ම ජයග්‍රහණය කළා. නමුත්, ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පුත්තලම ආසනය විශාල ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කළ නිසා ඔහුට දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි වුණේ වැඩි ඡන්ද 4,322කින්. 

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 202,073 (50.04%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 197,751 (48.97%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව)

Related Articles

Exit mobile version