Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

සබරගමුව පළාතට අයත් වන රත්නපුර දිස්ත්‍රික්කය ආසන 8කින් සමන්විත වනවා. ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මධ්‍යස්ථ හැසිරීමක් පෙන්වූ දිස්ත්‍රික්කයක් වන රත්නපුර දිස්ත්‍රික්කය මෙතෙක් පැවති ජනාධිපතිවරණ 7 දී ම ජයග්‍රහණය කළේ එම අවස්ථාව වන විට බලයට පත්ව සිටි පක්ෂය යි. නමුත් වර්තමානය වන විට මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා. එම නිසාම අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 2 දී ම රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිමි වුණේ නැහැ. 

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව රත්නපුර දිස්ත්‍රික්කය ආසන 8කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) ඇහැළියගොඩ ආසනය

2) රත්නපුර ආසනය

3) පැල්මඩුල්ල ආසනය

4) බලංගොඩ ආසනය

5) රක්වාන ආසනය 

6) නිවිතිගල ආසනය 

7) කලවාන ආසනය 

8) කොලොන්න ආසනය 

ඇහැළියගොඩ ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම මඟින් සිදුකළ සීමා නිර්ණයේ දී රත්නපුර ආසනයෙන් කොටසක් වෙන් වී කිරිඇල්ල නමින් ආසනයක් නිර්මාණය වුණා. ඉන් අනතුරුව 1976 වසරේ දී මෙම ආසනයේ නම ඇහැළියගොඩ ලෙස නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ඇහැළියගොඩ ආසනය, අවසන් වරට පැවති ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

රත්නපුර ආසනය 

1931 වසරේ සිටම පැවති රත්නපුර ආසනය අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණා. එම නිසාම මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ 7 දී ම රත්නපුර ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

පැල්මඩුල්ල ආසනය 

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී රත්නපුර ආසනයෙන් කොටසක් වෙන් වී පැල්මඩුල්ල ආසනය නිර්මාණය වුණා. රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවතින සෙසු ආසන තරම්ම මෙය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අවාසිදායක නැහැ. එම නිසාම ඔවුන්ගේ පාර්ශවය 1982, 1988, සහ 2005 ජනාධිපතිවරණවල දී පැල්මඩුල්ල ආසනය ජයග්‍රහණය කළා.

බලංගොඩ ආසනය 

1931 වසරේ සිට පැවති බලංගොඩ ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වනවා. එම නිසාම 1988 වසරෙන් පසුව පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම බලංගොඩ ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

රක්වාන ආසනය 

1959 වසරේ දී බලංගොඩ ආසනයෙන් කොටසක් වෙන් වී රක්වාන ආසනය නිර්මාණය වුණා. වරින් වර දෙපසට දෝලනය වුණු මෙම ආසනය 1982, 1988, සහ 2005 ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට, ඉතිරි ජනාධිපතිවරණ 4 දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

නිවිතිගල ආසනය 

1946 වසරේ දී බලංගොඩ ආසනයෙන් කොටසක් වෙන් වී නිවිතිගල ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අවාසිදායක මෙම ආසනය ඔවුන් ජයග්‍රහණය කර තිබෙන්නේ 1982 සහ 1988 ජනාධිපතිවරණවල දී පමණ යි.

කලවාන ආසනය 

1959 වසරේ දී කිරිඇල්ල සහ නිවිතිගල ආසනවලින් කොටස් එකතු වී කලවාන ආසනය නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වන කලවාන ආසනය, අවසන් වරට පැවති ජනාධිපතිවරණ 5 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කොලොන්න ආසනය 

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ කොලොන්න ආසනයේ යි. 1959 වසරේ දී බලංගොඩ ආසනයෙන් කොටසක් කැඩී නිර්මාණය වුණු මෙම ආසනය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර ආසනයක්. එම නිසාම 1988 වසරෙන් පසුව පැවැත්වුණු සෑම ජනාධිපතිවරණයක දී ම කොලොන්න ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

ජනාධිපතිවරණවල දී රත්නපුර දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු 

80 දශකය තුළ පැවැත්වුණු ජනාධිපතිවරණවල දී රත්නපුර දිස්ත්‍රික්කය වඩාත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. නමුත් ඉන්පසුව ක්‍රම-ක්‍රමයෙන් මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක දිස්ත්‍රික්කයක් බවට පත් වුණා. එම නිසාම අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 5 දී ම රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය 

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. එහි දී ජේ. ආර්. ජයවර්ධන රත්නපුර හැර අනිකුත්  ආසන 7ම ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කර ගත්තේ වැඩි ඡන්ද 23,397ක් ලබා ගනිමින්.

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 175,903 (50.90%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 152,506 (44.13%)

ජේ. ආර්. ජයවර්ධන (Famous People)

1988 ජනාධිපතිවරණය 

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. දැඩි භීෂණකාරී වටපිටාවක පැවති එම ජනාධිපතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව 77.23%ක ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. 1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම, 1988 ජනාධිපතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා රත්නපුර හැර ඉතිරි ආසන 7ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 20,743කින්. 

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 180,622 (51,75%)

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 159,879 (45.81%)

1994 ජනාධිපතිවරණය 

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන 8ම පහසුවෙන් ජයගත් නිසා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 79,341ක් ලබා ගනිමින්. එසේම ජනාධිපතිවරණ ඉතිහාසය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ  ආසන 8ම ජයග්‍රහණය කළ මුල්ම අපේක්ෂකයා වීමේ අවස්ථාව චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමි වුණා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 257,265 (58.10%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 177,924 (40.20%)

චන්ද්‍රිකා බණ්ඩාරනායක (gettyimages)

1999 ජනාධිපතිවරණය 

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රත්නපුර   දිස්ත්‍රික්කයේ ආසන 8ම පහසුවෙන්ම ජයග්‍රහණය කළත්, ලබාගත් ඡන්ද ප්‍රතිශතය 52.13%ක් දක්වා අඩු වී තිබුණා. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 250,409 (52.19%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 202,621 (42.18%)

2005 ජනාධිපතිවරණය 

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ, පැල්මඩුල්ල සහ රක්වාන හැර ඉතිරි ආසන 6ම ජයග්‍රහණය කළා. එම නිසාම රත්නපුර දිස්ත්‍රික් ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හිමි වුණේ වැඩි ඡන්ද 41,422කින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 294,260 (53.01%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 252,838 (45.55%)

2010 ජනාධිපතිවරණය 

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා  යි. එම ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්කයේ ආසන 8ම පහසුවෙන්ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, රත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 174,168ක් ලබා ගනිමින්. එසේම දිස්ත්‍රික්කය තුළ 66.76%ක ඡන්ද ප්‍රතිශතයක් රඳවාගත් මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ රත්නපුර දිස්ත්‍රික්කය වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ අපේක්ෂකයා බවටත් පත් වුණා.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 377,734 (66.76%)

සරත් ෆොන්සේකා- ඡන්ද 203,566 (34.36%)

2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවරත් මහින්ද රාජපක්ෂ රත්නපුර   දිස්ත්‍රික්කයේ ආසන 8ම ජයග්‍රහණය කරමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 86,539ක් වාර්තා කරමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 379,053 (55.74%)

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 292,514 (43.01%)

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

මූලාශ්‍රය- ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2015 (ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව) 

Related Articles