මහසෙන් රජු තැනූ නෑබිලියට කොරහක් සෑදූ බිසෝ බණ්ඩාර කුමරිය

මහසෙන් රජු විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ප්‍රදේශයේ ඉදිකර තිබෙන මින්නේරි වැව හා එම දිස්ත්‍රික්කයේ ම මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකර තිබෙන කවුඩුල්ල වැව පිළිබඳ ව ඔබ බොහෝ දෙනෙක් අසා තිබෙන්න පුළුවන්. මෙම වැව් දෙක ආශ්‍රිත වනාන්තර භූමි පිළිවෙලින් මින්නේරිය ජාතික වනෝද්‍යානය ලෙසත්, කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ලෙසත් නම් කර තිබීම මෙලෙස ප්‍රසිද්ධ වීමට බලපෑ ඇති ප්‍රධානම හේතුව යි.

පොළොන්නරු ප්‍රදේශයේ මෙම වැව් ආශ්‍රිත ජීවත් වෙන ගැමියන් මින්නේරිය හා කවුඩුල්ල නිර්මාණය කිරීමේ සිදුවීම හා බැදුණු ඓතිහාසික ජනප්‍රවාද රැසක් පිළිබඳ ව විවිධ දේ පවසනවා. ඉතින්, අද ලිපිය මෙම වැව් ආශ්‍රිත බැදුණු ජනප්‍රවාද කිහිපයක් පිළිබඳ ව යි.

මහසෙන් රජතුමා

මහසෙන් රජු (PicLuck)

ක්‍රි. ව. 276 දී පමණ මහසෙන් කුමරු අනුරාධපුර රාජධානියේ සිහසුනට පත් වෙන්නේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු දෙටුතිස්‌ රජුගේ අභාවයෙන් පසුව යි. ඉන් අනතුරුව අභයගිරි භික්ෂු පරපුර කෙරෙහි ඉතා පැහැදීමෙන් කටයුතු කළ රජු මෙම සමයේ දී මහාවිහාරික භික්ෂු පාර්ශවය හා දේපොළ විනාශ කිරීමට කටයුතු කරනවා.

අභයගිරි භික්ෂූන්ගේ උපදෙස් මත ක්‍රියා කළ රජු මහා විහාර සංකීර්ණය සම්පූර්ණයෙන් කඩා බිඳ දමා භූමිය මත තල වැපිරීමට කටයුතු කළ බව සඳහන් වෙනවා. නමුත් පසු කාලයේ දී තම ප්‍රධාන ඇමතිවරයෙක් වූ මේඝවර්ණ අභයගේ උපදෙස් මත නැවත මහා විහාර පාර්ශවය වෙත තම පක්ෂපාතිත්වය දක්වනු ලබනවා. ඒ මහජනතාවගෙන් එල්ල වෙන විරෝධතාවය වැළක්වීමේ අරමුණෙන් යුතුව යි.

පසු කාලයේ දී ඔහු විසින් අනුරාධපුරයේ මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ද වැව් අමුණු කරවනවා. මහසෙන් රජු කරවූ මින්නේරි වැව, මහ කණදරාව, හුරුළු වැව, හා මහගල්කඩවල යන වැව් ලංකා වාරි ශිෂ්ටාචාරයේ මහා දැවැන්ත නිර්මාණය ලෙස සැලකිය හැකියි. එලෙස රජු විසින් කරවූ මහා වැව් ප්‍රමාණය 16ක් බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා.

මහසෙන් රජු විසින් මින්නේරිය කරවීම

මින්නේරිය වැව (AmazingLanka.com)

ජනප්‍රවාදවල සඳහන් වෙන ආකාරයට රජු අනුරාධපුරයේ රජකම් කරන සමයේ පොළොන්නරුවට පැමිණි අවස්ථාවක එක ප්‍රදේශයක ගවයන්ගෙන් දොවා ගත් කිරි ඉතා රසවත් බව ආරංචි වෙනවා. එය තවදුරටත් සොයා බැලූ විට නියං සමයේ තණ කෑමට මුදාහරින ගව පට්ටි ඉතා ඈතට ගොස් තණ කොළ කා වතුර බී පැමිණෙන බවත් දැනගැනීමට ලැබෙනවා.

ගවයන්ගේ පිටේ තල ඇට පිරවූ සිදුරු සහිත ගෝනි බැඳ යවන ලෙස රජු අණ කරන්නේ මේ ප්‍රදේශය සොයාගැනීමේ අරමුණෙන්. පින්න හේතුවෙන් දින කිහිපයකින් අනතුරුව තල ඇට පැළ වී තිබූ අතර, එම මාර්ගය ඔස්සේ ගොස් ගොනුන් තණ කෑ ප්‍රදේශය සොයාගැනීමට හැකියාව ලැබෙනවා.

මෙවන් නියං සමයක වුව ද ජලය රැඳී තිබෙන මේ ප්‍රදේශයේ වැවක් තැනීමට සුදුසු බව රජු විසින් තීරණය කරනවා. මේ ආශ්‍රිත ව වැල් මී තිබුණු බැවින් ගොනුන් ඒවා ආහාරයට ගැනීමෙන් රසවත් කිරි දොවා ගැනීමට හැකි වුණා. ඒ හේතුවෙන් මිහිරි කිරි තිබූ ගම හෙවත් මිනිහිරිගම ලෙසත්, පසු ව මින්නේරිය ලෙසත් හැඳින්වූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. තවත් කතාවක සඳහන් වෙන්නේ මෙම ප්‍රදේශයේ ඉතා සරුවට මෙනේරි වැවුණු බැවින් මෙනේරිගම පසු ව මින්නේරිය වූ බව යි.

බිසෝ බණ්ඩාර කුමරියගේ පුත් කුමරුව වැවට බිලි දීම

මින්නේරි දෙවියන් සිහිවීම සඳහා ඉදිකර ඇති වැවේ දේවාලය   (lankatraveldirectory.com)

මහසෙන් රජු මින්නේරිය වැව නිර්මාණය කිරීමේ කටයුතු සඳහා අනුරාධපුරෙන් පැමිණ රිටිගල ප්‍රදේශයේ තාවකාලික මාළිගාවක් ඉදිකර නවාතැන් ගන්නවා. මින්නේරිය ප්‍රදේශය එකල යක්ෂ ගෝත්‍රිකයන්ගේ භූමියක් වූ අතර එහි නායකයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් වැව සෑදීමට විරුද්ධ වූ හෙයින් ඔහු ව මරා දැමීමට රජු කටයුතු කරනවා.

දෙවන නායකයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැව සෑදීමට ඔහු තම කැමැත්ත පළ කරනවා. නමුත් වැව සාදා නිම කිරීමට ප්‍රථම, සෑම දිනෙකම එකම ස්ථානයකින් වැව් බැම්මේ කොටසක් කැඩීයාම සිදුවෙනවා. මෙය දිගින් දිගටම සිදු වූ බැවින් රජු ඉතා අසීරුතාවයකට පත් වෙනවා.

බොහෝ කලක් මේ සඳහා උත්සාහ කරන නමුත් වැවේ වැඩ නිම කිරීමට මහසෙන් රජුට හැකි වන්නේ නෑ. මේ අතරවාරයේ සිහිනෙන් රජු කරා පැමිණෙන මියගිය යක්ෂ නායකයා වැවේ වැඩ සාර්ථක ව නිම කිරීමට නම් රාජකීය ලේ සහිත නර බිල්ලක් අවශ්‍ය බව පවසනවා.

රජු විසින් මෙය රාජකීය පවුලට දැනුම් දීමෙන් අනතුරුව රජුගේ සොයුරිය වන බිසෝ බණ්ඩාර කුමරියගේ පුත්‍රයාව ඒ වෙනුවෙන් බිලි දීමට හැකි බව බිසෝ බණ්ඩාර දේවිය පවසනවා.

අවසානයේ දී කුඩා රාජ කුමාරයාව බිලි දී වැව ගොඩනැගූ බව සඳහන් වෙන අතර තවත් අවස්ථාවල කුමාරයා වෙනුවට වෙස් ගැන්වූ වලසෙක් බිලි දුන් බවත්, කුමාරයා නිරුපද්‍රිත ව සිටි බවත් සඳහන් වෙනවා.

නෑබිලියට සරිලන කොරහ

කවුඩුල්ල වැව (Flickr)

රාජකීය උත්සවයකින් අනතුරුව මින්නේරිය වැවේ වැඩ අවසන් කර දියවර මුදා හරින දවසේ බිසෝ බණ්ඩාර කුමරිය තම වැඩිමහල් සොහොයුරා වන මහසෙන් රජුට ත්‍යාගයක් දීමට අවශ්‍ය බව පවසා මින්නේරිය නුදුරුව මැදිරිගිරිය ප්‍රදේශය කරා රජු ව කැටුව යනවා.

වනාන්තරයෙන් වට වූ මනරම් ප්‍රදේශයක මින්නේරිය වැවට වඩා විශාල වැවක් බිසෝ බණ්ඩාර කුමාරිය විසින් කරවා තිබූ අතර, රජු මින්නේරිය වැව කරවන කාල සීමාව තුළ තමන් කවුඩුල්ල නම් මෙම වැව කරවූ බව කුමරිය ප්‍රකාශ කරනවා.

තව ද, අයියා විසින් තැනූ කුඩා මින්නේරිය වැව නෑබිලියකට උපමා කරන ඇය “අයියාගේ නෑබිලියට මම කොරහක්  තැනුවෙමි යි “ ප්‍රකාශ කරනවා. මෙම ප්‍රකාශයෙන් මහත් සේ කිපෙන මහසෙන් රජු තමන් යටතේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් යොදවා වැව විනාශ කිරීමට කටයුතු කළ බව ජනප්‍රවාදයේ සඳහන්. තමන් ඉතා මහන්සියෙන් නිර්මාණය කරවූ වැව විනාශ වීම දරා ගැනීමට නොහැකිව කුමරිය වැවේ සොරොව්ව අසලට පැන දිවි නසා ගත් බවත් සඳහන් වෙනවා.

දේවත්වයට පත් වූ බිසෝ බණ්ඩාර කුමරිය

තම නැගණිය දිවි නසා ගැනීමත්, ජනතාවගෙන් එල්ල වූ අප්‍රසාදය හේතුවෙනුත් විනාශ වූ කවුඩුල්ල වැව නැවත ගොඩනැංවීමට රජු කටයුතු කරනවා.

ඒ අනුව ඉතිහාස මුලාශ්‍රවල කවුඩුල්ල වැව කරවූයේ මහසෙන් රජු ලෙස සඳහන් වුව ද, මැදිරිගිරිය ආශ්‍රිත ගම්වල වෙසෙන ජනයා පවසන්නේ මේ නිර්මාණයේ හිමිකාරිත්වය හිමිවිය යුත්තේ බිසෝ බණ්ඩාර කුමරියට බව යි.

මින්නේරිය ප්‍රදේශයේ ගොවි ජනයා මින්නේරිය ඉදිකළ මහසෙන් රජු “මින්නේරි දෙවියන්” ලෙස දේවත්වයෙන් අදහනවා සේ ම, මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව බිසෝ බණ්ඩාර කුමරිය, ”බිසෝ බණ්ඩාර දේව මෑණියන්” ලෙස දේවත්වයෙන් සිහිකරනු ලබනවා.

කවරයේ පින්තූරය – Roar Media

මූලාශ්‍රයයන්:

divaina.com/2013/06/12/badada04.html

blogspot.com/2014/09/02.html

amazinglanka.com/wp/kaudulla-tank/

dinamina.lk/2018/02/12/

Related Articles

Exit mobile version