තුන්වරක් සිහසුනට පත් අවසන් චීන අධිරාජයා

වසර දහස් ගණනක ඉතිහාසයක් තිබූ චීන අධිරාජ්‍යය 20 වන සියවස මුල දී කඩා වැටුණා. මෙම කඩා වැටීමට හේතු වූ ෂින්හායි විප්ලවය පිළිබඳ අප මීට පෙර ලිපියකින් විස්තර කළා ඔබට මතක ඇති. එම ලිපියේ දී අපි බොහොම කෙටියෙන් අවසන් චීන අධිරාජයා පිළිබඳ සටහනක් තැබුවා. අද අපේ බලාපොරොත්තුව මේ අධිරාජයාගේ ජීවිත කතාව විස්තර කිරීම යි.

යුධ අපරාධ අධිකරණය​

දෙවන ලෝක යුද්ධය අවසානයේ දී ජර්මනියේ න්‍යුරම්බර්ග් හි දී වගේම ජපානයේ තෝකියෝවෙදිත් යුධ අපරාධ අධිකරණයක් ස්ථාපිත කරනු ලැබුවා. ඒ යුධ අපරාධවලට සම්බන්ධ වූ බව කියන ලද ජපන් හමුදා සහ දේශපාලන ප්‍රධානීන්ට එරෙහිව නඩු විභාගය සඳහා යි. 1946 අගෝස්තුවේ දී මෙම අධිකරණය ඉදිරියේ සාක්ෂ්‍ය දීම සඳහා පැමිණියේ පුදුමාකාර ජීවිත පුවතක් සහිත වූ අයෙක්.

“මගේ නම අයිසින් ජියෝරෝ. අයිසින් ජියෝරෝ පූ යී. 1909 දී මම චීනයේ අධිරාජයා ව සිටියා”, යනුවෙන් ඔහු අධිකරණයට තමන්ව හඳුන්වා දුන්නා.

පූ යී අධිරාජ්‍යයා වෙයි

අයිසින් ජියෝරෝ පූ යී චින් රාජවංශයේ කුමරුවකු වුණ අතර, ඔහුගේ පියා සයිෆෙන්ග්, 1875 සිට 1908 තෙක් නිල වශයෙන් සිහසුන දැරූ ගුවන්‍ෂූ අධිරාජ්‍යයාගේ සහෝදරයකු වුණා. පූ යී උපන්නේ 1906 පෙබරවාරි 7 වන දා යි.

ගුවන්‍ෂූ අධිරාජයාගෙන් පසුව සිහසුන දැරීම සඳහා පූ යී සුදුසු බව තීරණය කළේ එවකට සැබෑ ලෙසම චීනයේ රජපවුලෙහි බලය අත තබාගෙන සිටි ට්සෙෂී වැන්දඹු අධිරාජිණිය විසින්. මේ අනුව 1908 නොවැම්බර් 13 වන දා රජ මාලිගා සංකීර්ණය වූ තහනම් නගරයෙහි සේවය කරන නපුංසකයින් ඇතුළු පිරිසක් පැමිණ පූ යී ව මාළිගය වෙත ගෙන ගියා. ඔහුගේ පවුලේ කිසිවකුටවත් පූ යී සමග යාමට ඉඩ දුන්නේ නැහැ. මෙසේ ඔහුව බලයෙන් රැගෙන යාම පිළිබඳ පූ යී බියට පත්ව හැඬීමට වූ අතර​ ඔහුව පාලනය කිරීමට අන් මඟක් නොවූයෙන් පූ යී ගේ කිරිමව පමණක් රජ වාසල කරා ගෙන යනු ලැබුණා.

පූ යී එදින ට්සෙෂී අධිරාජිණිය හමුවට රැගෙන යන ලද අතර අමුත්තන් පිරිසක් මැද වයස්ගත ට්සෙෂී අධිරාජිණිය දුටු ළදරුවා බියට පත් වූ බව සඳහන් වනවා.

මීළඟ දින දෙක තුළ බලාපොරොත්තු නොවූ පරිදි චිං රජපවුලෙහි මරණ දෙකක් සිදු වුණා. 1908 නොවැම්බර් 14 වනදා ගුවන්‍ෂූ අධිරාජයා මියගිය අතර නොවැම්බර් 15 වනදා ට්සෙෂී ද මියගියා. මේ අනුව පූ යී රජකමට පත් වූයේ ඔහුගේ පියා සහ ලොංග්යූ වැන්දඹු අධිරාජිණිය භාරකාර පාලකයින් ලෙස සිටිය දී යි. පූ යී සිහසුනට පත් කරන ලද්දේ 1908 දෙසැම්බර් 2 වන දා යි.

පූ යී 1912 දී (National Geographic)

කුඩා කළ පූ යී ඉතා අස්ථාවර ජීවිතයක් ගත කළා. එක් අතකින් චීනයේ අධිරාජයා දිව්‍යමය වරමින් සිය තනතුරට පත්වන බව සම්ප්‍රදාය මඟින් පිළිගනු ලැබුණා. ඒ අනුව ඔහුගේ වචනය පිළිගත යුතු වුණා. මේ අතර ඔහු තවමත් නොවැඩුණ​, එමෙන්ම සිය පවුලෙන් ද වෙන් කරන ලද ළදරුවකු වුණා. මේ අනුව එක් අතකින් සුළු දේටත් රජවාසල සේවකයින්ට​ දඬුවම් පමුණුවන කෲර අයකු ලෙස ද අනෙක් අතින් තනිවූ චරිතයක් ලෙස ද පූ යී වර්ධනය වුණා.

අධිරාජ්‍යය බිඳ වැටීම

මේ වනවිට චීනය පුරා මතුවෙමින් පැවති ව්‍යාකූල තත්ත්වය පිළිබඳ අවබෝධ කරගැනීමට තරම් පූ යී වැඩී සිටියේ නැහැ. 1911 ඔක්තෝබරයේ දී චිං රාජවංශයට එරෙහිව මතුවූ හමුදා කැරැල්ලක් කෙටි කලකින් දකුණුදිග චීනයේ බොහෝ ප්‍රදේශයන්ට පැතිර ගියේ රජපවුලෙහි බලයට දරුණු අභියෝගයක් එල්ල කරමින්. මෙම කැරැල්ල මර්ධනය කිරීම සඳහා අධිරාජ්‍ය හමුදාවල අණදෙන නිලධාරියා ලෙස හමුදා ජෙනරාල් යුවාන් ෂිකායි පත් කරනු ලැබුණා.

භාරකාර පාලනයෙන් සයිෆෙංග් ඉවත් කරවීමට යුවාන් ෂිකායි සමත් වුණා. පසුව කැරලිකාර සමූහාණ්ඩුවාදීන් සමග එකඟත්වයකට පැමිණි යුවාන්, ලොංග්යූ වැන්දඹු අධිරාජිණියට දන්වා සිටියේ පූ යී සිහසුන අතහැර චීනය සමූහාණ්ඩුවක් ලෙස ප්‍රකාශ කළ යුතු බව යි. මේ අනුව 1912 පෙබරවාරි 12 වනදා ලොංග්යූ අධිරාජිණිය විසින් අධිරාජයා සිහසුන අත හැරීමේ ප්‍රකාශය නිකුත් කරනු ලැබුණා.

බලය අහිමි වූ පසු ද පූ යී ට අධිරාජයා යන තනතුර දැරීමට අවසර දෙන ලද අතර, තහනම් නගරයේ ජීවත් වීමට ද අවස්ථාව දෙනු ලැබුණා. මේ අතර යුවාන් ෂිකායි චීනයේ ජනාධිපති බවට පත් කෙරුණා.

නැවත අධිරාජයා ලෙස

1912 පටන් 1924 තෙක් පූ යී ජීවත් වුණේ තහනම් නගරයේ යි. මේ අතර රටේ දේශපාලනය ව්‍යාකූලත්වයට පත් වූ අතර විවිධ යුධ නායකයින් විවිධ ප්‍රදේශයන් හි බලය අල්ලාගත්තා. 1917 දී බීජිං නගරය අල්ලාගත් චෑංග් ෂුන් නම් යුධ නායකයා ජූලි 1 වනදා පූ යී යළිත් අධිරාජයා ලෙස නම් කළා. නමුත් මෙම පියවර ජනප්‍රිය වූයේ නැහැ. මේ අතර වෙනත් යුධ නායකයකු බීජිං අල්ලාගත් අතර ජූලි 12 වනදා අධිරාජයා යළි සිහසුනෙන් පහ කෙරුණා. නමුත් ඔහුට තහනම් නගරයේ ජීවත් වීමේ අවසරය දිගටම ලැබුණා.

තහනම් නගරයේ ජීවිත කාලය

1919 මාර්තු මාසයේ දී පූ යීගේ ගුරුවරයා ලෙස සර් රෙජිනෝල්ඩ් ජොන්ස්ටන් පැමිණියා. ඔහු පූ යී ට බටහිර සංස්කෘතියෙහි අංග ඉගැන්වූ අතර කලක් පූ යී අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට ද සිහින මැව්වා. නමුත් චීන සමූහාණ්ඩු රජය උරණ කරගැනීමට අකමැති වූ බ්‍රිතාන්‍ය රජය පූ යී ට එංගලන්තයට යාමට අවසර ලබා දුන්නේ නැහැ.

මේ අතර පූ යී බටහිර ක්‍රමයට අඳින්න පළඳින්න පටන් ගත්තා. මැංචූවරුන්ගේ සාම්ප්‍රදායික ගොතන ලද දිගු කොණ්ඩය කපා දමා බටහිර ක්‍රමයට කොණ්ඩය කැපීමට පටන් ගත්තා.

බටහිර ඇඳුමින් සැරසුණ පූ යී (South China Morning Post)

පූ යී විවාහ වූයේ 1922 දී යි. ඔහුගේ බිරිඳ බවට පත් වූයේ ගොබුලෝ වන්රොං නම් මැන්චූ රදල තරුණියක්. මේ අතර වෙන්‍ෂියු නම් අනෙක් තරුණියක ඔහුගේ පරිවාර බිරිඳ බවට පත් වුණා. විවාහ වූ දිනයේදී පූ යී චකිතයට පත්ව මංගල ඇඳෙන් නික්ම ගිය බව සඳහන් වනවා. මෙය ලිංගික කරුණු පිළිබඳ ඔහුගේ නොදැනුවත්කම හේතුවෙන් සිදු වූවක් බව විශ්වාස කෙරෙන අතර ඔහු ලිංගික බෙලහීනයකු හෝ සමලිංගිකයකු හෝ වූ බවට මතු වූ කටකතාවලට මෙය විශාල හේතුවක් වුණා. එම විවාහය සාර්ථක නොවූ අතර පසු කලෙක වන්රොං අබිංවලට ඇබ්බැහි වුණා.

තහනම් නගරයෙන් පිට කිරීම​

1924 දී ෆෙංග් යූෂියෑංග් නම් වූ යුධ නායකයකු බීජිං හි බලය අල්ලාගත්තා. ඔහු තීරණය කළේ පූ යී තහනම් නගරයෙන් පිටමං කළ යුතු බව යි. 1924 නොවැම්බර් 5 වනදා පූ යී ගේ නාමික අධිරාජ තනතුර අහෝසි කරන ලද අතර ඔහුට පැය තුනක් ඇතුලත තහනම් නගරයෙන් පිටවන ලෙස අණ කෙරුණා. පූ යී සිය පියාගේ මාළිගයෙහි ටික දිනක් ජීවත් ව පසුව ටියැංජින් හි ජපන් කලාපයට පදිංචියට ගියා.

පූ යී සැමවිටම යළි චිං රාජවංශය අධිරාජ්‍යත්වයට පත් කිරීමේ සිහිනය දුටු අතර විවිධ යුධ නායකයන් සමග ද සබඳතා පැවැත්වූවා. ඔහුගේ ධනය අපේක්ෂාවෙන් විවිධ අය ඔහු වෙත ළං වුණා. මේ අතර පූ යී වඩ වඩා ජපානය වෙත ආකර්ෂණය වුණා.

මේ අතර 1931 දී ඔහුගේ පරිවාර බිරිඳ වූ වෙන්‍ෂියු ඔහුගෙන් දික්කසාද වුණා. සාමාන්‍යයෙන් අධිරාජයකුගේ බිරිඳක ඔහුගෙන් දික්කසාද වීම කිසි විටෙකත් සිදු නොවූ දෙයක්. එහෙයින් පූ යී ගේ ප්‍රතිරූපයට ද විශාල කැළලක් ඇති වුණා.

මැන්චුකුවෝ හි අධිරාජයා

1931 සැප්තැම්බර් මාසයේ “මුක්ඩෙන් සිද්ධියෙන්” පසුව ජපානය විසින් මැන්චූරියාව සිය පාලනය යටතට ගත්තා. ජපානය සිය පාලනයට නෛතික ස්වභාවයක් ලබාදීම සඳහා එහි වෙනම රජයක් ස්ථාපිත කිරීමට තීරණය කළා. මුල් කාලීනව එය රාජාණ්ඩුවක් නොවූ අතර ජපනුන් පූ යී ට කියා සිටියේ ඔහු එහි ප්‍රධාන විධායකයා වන බව යි. මෙසේ ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් දෙන ලද්දේ මැන්චූරියානු ජනතාව මෙම රජයට පක්ෂ බව පෙන්වීමේ ප්‍රයෝගයක් ලෙස යි. යථා කාලයේ දී මැන්චුකුවෝ රාජ්‍යය අධිරාජ්‍යයක් ලෙස නම් කරන බව ජපනුන් පූ යී ට ප්‍රතිඥා දුන්නා.

ජපනුන්ගේ මැන්චුකුවෝ ප්‍රයෝගය ජාතීන්ගේ සංගමය රැවටීමට ප්‍රමාණවත් වුණේ නැහැ. එහෙත් එහි ප්‍රතිඵලය වූයේ ජපනුන් ජාතීන්ගේ සංගමයෙන් ඉවත්වීම යි.

1939 සැප්තැම්බර් 1 වන විට ජපන් පාලනය යටතේ වූ ප්‍රදේශ. මැන්චුකුවෝ ප්‍රදේශය තද රතු පාටින් වේ. (Wikimedia Commons)

1934 දී මැන්චුකුවෝ රාජ්‍යය අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේ කංග්ටේ යන නාමයෙන්. නාමිකව ඔහු අධිරාජයා වුණත් එම රාජ්‍යයේ සියලු කටයුතු සිදු වූයේ ජපනුන්ට අවශ්‍ය ආකාරයට යි.

1945 අගෝස්තුවේ දී යුද්ධය අවසන් වීමත් සමග පූ යී සෝවියට් අත්අඩංගුවට පත් වුණා. ඔහුත් ඔහුගේ පාලනයට සම්බන්ධ වූ නිලධාරීන් කිහිප දෙනෙකුත් කලක් සෝවියට් දේශයේ චිටා ප්‍රදේශයේ රඳවනු ලැබ සිටියා.

මහජන චීනයේ දී

1949 දී කොමියුනිස්ට්වාදීන් චීනයේ බලයට පත් වූ පසු පූ යී චීනයට බාර දීමට සෝවියට් පාලනය කටයුතු කළා. පූ යී විශ්වාස කළේ ඔහුව මරණ දණ්ඩනයට යටත් කරනු ඇති බව යි. නමුත් මාඕ සේතුංට අවශ්‍ය වූයේ අනෙකක්.

පූ යී 1964 දී (Getty Images)

පූ යී ට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල වූ අතර ඔහු ඒ පිළිබඳ දිගු පාපොච්ඡාරණයක් ද ලිවීමට කටයුතු කළා. එහිදී ඔහු මැන්චුකුවෝ හි අධිරාජයා ලෙස තම ජනතාව පීඩාවට පත් කිරීමට ජපනුන්ට සහය වූ අයුරු පිළිබඳ කම්පාවෙන් කරුණු දැක්වූවා.

චීන කොමියුනිස්ට්වාදීන් විසින් පූ යී ට “නැවත අධ්‍යාපනය ලබාදීමට​” කටයුතු කළා. එනම් කොමියුනිස්ට්වාදය ඉගැන්වීම මඟින් නව මිනිසකු නිර්මාණය කිරීමේ උත්සාහය ආරම්භ කළා. කලක් මෙසේ සිරගතව සිටි ඔහු 1959 දෙසැම්බරයේ දී පොදු සමාවක් යටතේ නිදහස් කෙරුණා.

1962 දී පූ යී 38 හැවිරිදි රෝහල් සේවිකාවක වූ ලී ශුෂියාන් හා විවාහ වුණා. මේ අතර ඔහු චීන මහජන දේශපාලනික උපදේශන සභාවෙහි ලේඛණ අංශයෙහි සංස්කාරවරයකු ලෙස ද සේවය කළා. 1967 ඔක්තෝබර් 17 වන දා ඔහු මිය ගියා. ඔහුට දරුවන් සිටියේ නැහැ.

Cover Image: පූ යී අධිරාජයා සහ වන්රොං අධිරාජිණිය (South China Morning Post)

මූලාශ්‍රයයන්:

Related Articles