අවුරුදු දහසකට පෙර රජ කාලේ ලංකාවේ දුන් අපූරු දඬුවම්

අද අපි භාවිත කරන්නේ යටත් විජිත කාලෙන් උරුම වුණු රෝම ලන්දේසි නීතිය යි. එය ඉංග්‍රීසි කාලෙ තවත් දියුණු කර හඳුන්වා දුන්නා. අදින් අවුරුදු 1000කට ඉහත අනුරාධපුර රාජධානිය තිබුණු කාලෙ අපේ රටේ පැවතියේ කුමන නීති ද දඬුවම්  ක්‍රම ද කියලා දැගනගන්නට අප තුළ ලොකු කුතුහලයක් තිබෙනවා. අතීත ලංකාවේ රජවරුන්, ඇතැම් බරපතළ අපරාධකරුවන් “දෙතිස් වධයට කැපකොට” මරණයට පත් කළ බවක් ද අප අසා තිබෙනවා.

පැරණි සෙල්ලිපිවලින් හෙළි වන්නේ පුරාණ රජ කාලෙ සාධාරණ නීති ක්‍රමයක් පැවති බව යි. මේ ඒ ගැන ඔබට පැවසීමට ගත් උත්සාහයක්.

කස පහර දීම -groundviews.org

පුරාණ නීති

රජු රටේ නායකයා වූවත් සියලු ම ජන කොටස්‌වලට සමාන ලෙස සැලකිය යුතු බව එදා තිබූ රජ නියමය වුණා. අග්‍රබෝධි රජුගේ කාලයේ දී බොරු නඩු කියන්නන්ට විරුද්ධ ව කටයුතු කළ බැව් කියවෙන අතර අනුරාධපුරයේ රජ කළ එළාර රජු තිරිසන් සතුන්ට පවා නීතියෙන් පිළිසරණ ලබා දුන් බව මහාවංශයේ සඳහන් වෙනවා. පුරාණ රාජධානි යුගවලදී දරුණු වැරදිවලට මරණීය දණ්ඩනය, අත් පා කපා දැමීම වැනි දඩුවම් දුන්නත් සුළු වැරදිවලට ලබාදුන් දඬුවම වූයේ මාර්ග ඉදිකිරීම්, පූජනීය ස්‌ථාන වැඩිදියුණු කිරීම්, ආහාර වගා කටයුතු ආදී දේවල්.

යම් යම් වැරදිවලට හසු වූ පිරිස්‌ විහාර දේවාල ආදියේ නඩත්තු කටයුතු සඳහා ද යොදවා තිබෙනවා. රාජ්‍ය පාලන නීති ගැන වංශ කතාවල සඳහන් නොවුණත් අනුරාධපුර යුගයට  අයත් සෙල්ලිපි කිහිපයකින් ම ඒ සඳහා උදාහරණ සැපයෙනවා. රාජ්‍ය නීති ගැන පළමු වරට සඳහන් වන්නේ 3 වැනි කාශ්‍යප ( 7832-738) රාජ්‍ය කාලයට අයත් ගැරඬිගල ශිලා ලිපියෙ යි. එම ශිලා ලිපියෙන් රාජ්‍ය ආඥාවක් ප්‍රකශයට පත් කිරීමක් ද කරනවා. එය හඳුන්වා ඇත්තේ අත්තානි පරිහාර ප්‍රදානය නමින්.

‘වැවස්ථා පහණ්’ යනුවෙන් ශිලා ලිපි විශේෂයක් ද ක්‍රි. ව. 800න් පසු හමු වෙනවා. ගල් පුවරුවක කොටවා කාටත් පෙනෙන පරිදි සිටුවා තබන එම සෙල්ලිපිවල රජවරුන් කලින් කළ නිකුත් කරන ලද නීති සඳහන් වෙනවා.  නීති ක්‍රම සහ දඬුවම් ගැන වඩාත් විස්තරාත්මක ව කරුණු දැක්වෙන්නේ වේවැල්කැටිය සෙල්ලිපිය සහ සොරබොර ටැම් ලිපියේ යි.

වේවැල්කැටිය සෙල්ලිපිය හමුවූ ස්ථානයේ නටබුන් – amazing lanka.com

වේවැල්කැටිය සෙල්ලිපිය

රඹෑව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ මැදවච්චිය සිට හොරොව්පොතානට යන මාර්ගයේ 11 වැනි සැතපුම් කණුව ආසන්නයේ තමයි මේ සෙල්ලිපිය පිහිටා තිබෙන්නේ. මේ ගැන මුලින් ම වාර්තා කර ඇත්තේ 1872 වසරේ දී, විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේ දී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු භාර නිලධාරියා වශයෙන් 1875 වර්ෂයේ දී කටයුතු කළ ගෝල්ඩ් ස්මිත්. ඔහු 1875 වර්ෂයේ පටන් ලංකාවේ ශිලා ලේඛන පර්යේෂණ සිදු කර තිබෙනවා. ලංකා ශිලාලේඛන අධ්‍යයනයට ඔහු සිදු කළ වැදගත් ම දායකත්වය වන්නේ කොටස් දෙකකින් යුක්තව ඔහු සම්පාදනය කළ Ancient Inscriptions of Ceylon කෘතිය යි.

උඩරට රාජධානි සමයේ දුන් දඬුවම්- රොබට් නොක්ස්ගේ An Historical Relation of the Island of Ceylon

 

මීට අවුරුදු 1,000කට විතර කලින්, එහෙම නැත්නම් ක්‍රිස්තු වර්ෂයෙන් 10 වැනි සියවසේ පමණ ලංකාවේ තිබුණු නීතිය වගේම දඬුවම් ගැන මේ ලිපියේ විස්තර වෙනවා. පැරණි අධිකරණ හා නීතිරිති පිළිබඳ දැක්වෙන මේ වේවැල්කැටිය සෙල්ලිපියේ  තවත් වැදගත්කමක් වන්නේ ලංකාවේ විවිධ තැන්වලින් එහි පිටපත් ගණනාවක් හමු වීම. මහාචාර්ය සිරිමල් රණවැල්ල සඳහන් කරන ආකාරයට  කහටගස්දිගිලියේ දොඹවලගම , අනුරාධපුර වෙස්සගිරිය, මළුවේයාය, හිඟුරක්ගොඩ, නාවුල ගිරිතලේ පාර අද්දර කෝට්ටපිටිය ඇතුළු ස්ථාන කිහිපයකින් ම එහි පිටපත් හමු වී තිබෙනවා.

ලිපියේ සඳහන් රජු  ක්‍රිස්තු වර්ෂ 956 – 972 කාලයේ රට පාලනය කළ IV වැනි මිහිඳු රජු වශයෙන් හඳුනා ගෙන තියෙනවා.

දසගම් පාලක සභාව

දසගම් නම් පාලන පද්ධතියක් ගැන මෙහි සඳහන් වෙනවා. ගම් 10ක එකතුවෙන් මෙකී පාලනය සිදු වූ අතර, එහිදී ඒ ඒ ගම් සඳහා වගකිවයුතු තැනැත්තන්  බැගින් පත්කර තිබෙනවා. එම ගම් පාලනය වුණේ ඔවුන්ගේ නීතිරීති මත යි.  යම් හෙයකින් හෝ ගම්වැසියකු වරදක් කරන්නේ නම් එකී වරද නිවැරැදි කිරීමටත්, වරදේ ස්වභාවය අනුව දඬුවම් පැමිණවීමටත් බලය ලැබී තිබුණේ දසගම් පාලක සභාවට යි. එය උඩරට පාලන කාලයේ  සිට රජරට පැවති වරිග සභාවට සමාන සභාවක් බව පේනවා.

 සෙල් ලිපියේ ඇති ආකාරයට දසගම් තුළ මිනිමැරීමක් සිදුවුවහොත් එම දසගම් ප්‍රධානින් ඒ ගැන නඩුව අසා මිනිමරුවාට මරණීය දණ්ඩනය ලබාදිය යුතු යි.

 සෙල්ලිපිය පිහිටා ඇති අයුරු – amazing lanka.com

එහිදී වැදගත් ම දේ වන්නේ යම් හෙයකින් හෝ වැරැදි කළ තැනැත්තා අල්ලා ගැනීමට අපහසු වුවහොත් රජයට දඩ ගෙවීමට ‘දසගම් පාලකයන්ට’ සිදුවීම යි. වැරැද්දක් සිදුකර දින 45ක් ඇතුළත වැරැදිකරුවා අල්ලා ගත යුතු වෙයි. එසේ නොවන්නේ නම් රජයේ නිලධාරීන් රන් කළං 150ක් ගෙවිය යුතු බව සඳහන් කර තිබෙනවා. වැරැදිකරුවා ආයුධයකින් තුවාල කිරීම් සිදු කර ඇත්නම් ඔහු රජයට ගෙවිය යුතු දඩය  රන් කළං 50ක්. මෙසේ වැරැදිකරුවකු අල්ලා ගැනීමට දසගම් පාලකයන්ට නොහැකි වූයේ නම් ඔවුන් රන් කළං 50ක් රජයට ගෙවිය යුතු යි. මෙවැනි නීතියක් පනවා ඇත්තේ අපරාධකරුවන් ඇල්ලීමෙන් වැලකීමට දසගම් පාලකයක්ට නොහැකි වන ලෙස යි.

හරක් මැරුවාට මරණ දඬුවම

මිනී මැරිමේ චේතනාවෙන් තුවාල සිදු කළ හොත් ජීවිත මිල වශයෙන් රන් කළං 50ක දඩයක් ගෙවිය යුතු වේ. දඩවල මේ ආදායම හිමි වන්නේ ආණ්ඩුවට යි. අපරාධයට උදවුකරුවකු හිටියහොත් ඔහුගෙන් ද රන් කළං 50ක් දඩ වශයෙන් ගත යුතු යි. මේ දඩය ගෙවීමට නොහැකි නම් ගේදොර රාජසන්තක වෙනවා. දේපොළ හිමිකමක් නොමැත්තේ නම් අත්පා කපා දැමීමේ දඩුවමට යටත් විය යුතු යි. අය කර ගත් දඩ පෙර සිරිත් පරිදි ගම්ලද්දන් හා පමුණු ලද්දන් අතර බෙදා ගැනීම සිදු වෙනවා.

මී හරක්, එළ හරක් හා එළුවන් සොරගෙන මැරූ තැනැත්තන් මරණ දඩුවමට යටත් විය යුතු යි. මේ සතුන් සොරා ගත හොත් ඔවුන්ගේ කිසිලි හණ ගසා අතහැරිය යුතු යි. යම් අකාරයකින් ඔවුන් අල්ලා ගත හොහැකි වුවහොත් අත් පා කපා දැමීමට අවස්ථාව තිබෙනවා. රාජ නියෝග කඩ කරන, නොසලකා හරින පුද්ගයලයන් දඬුවම් ලෙස රත් කළ තහඩු මත සිටවිය යුතු යි.

උල හිඳුවා මරණ දඬුවම දෙන අයුරු – torturemag.org

 

යම් ආකාරයකින් නීතිවිරෝධි දෙයක් සිදුකර දසගම් ඒකකයෙන් පිටත සිටින තැනැත්තෙක් නැවත දසගමට පැමිණි විට ඒ තැනැත්තා අල්ලා ගෙන රාජ්‍ය නිලධාරින්ට දන්වා අපරාධයට අදාළ දඩුවම් ලබාදිය හැකි යි. දසගම් සීමාව තුළට පිටත අපරාධකරුවකු පැමිණ මිනීමැරුමක් කළවිට හෝ මංකොල්ලකෑමක් කළ හොත් අපරාධකරුවා හඳුනාගෙන කිලධාරින් ඒ පුද්ගලයාට දියයුතු දඬුවම් පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගත හැකි යි. ( කඩපලා සොරුන් ගත් අයතියෙන් නියත කළාක් අයිතිය හිමි හට් ගෙනදී එල්වනු කොට් ඉසා) ඉන්පසු මංකොල්ල කෑ භාණ්ඩ අයිතිකරුවන්ට ලබා දී වරදකරු එල්ලා මැරීම කළ හැකි බව සඳහන් වෙනවා. අපරාධකරු අල්ලා ගැනීමට නොහැකි වුවහොත් දසගම් වැසියන් රන් කලං 125ක් රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවිය යුතු වෙනවා. එමෙන් ම යම් කිසිවකු වරදක් කර වෙන ගමකින් දසගමට පැමිණි විට ඔහුට දසගමට අයිති දඬුවම් ලබා නොදිය යුතු යි.

සොරබොර වැව – Wikipedia.org

සොරබොර ටැම් ලිපියේ අල්ලසට එරෙහි දඬුවම්

වර්තමානයේ ‘බදුලු ටැම්ලිපිය’ ලෙස හඳුන්වන ශිලාලේඛනය බදුලු කච්චේරී භූමියෙහි පිහිටුවා ඇත්තේ 1870 වසරේදී යි. මේ ටැම්ලිපිය සොයා ගෙන ඇත්තේ මහියංගණයට නුදුරු සොරබොර වැව ආසන්නයෙන්.‍ දැන් මේ ලිපිය බදුල්ලේ, මහජන පුස්තකාල භූමියේ  පිහිටුවා තියෙනවා. 

මහාචාර්ය සිරිමල් රණවැල්ල  සඳහන් කරන්නේ මෙය පිහිටුවා ඇත්තේ සිව් වන උදය ( 946-954) රජු බව යි. මේ සෙල්ලිපිය පිහිටුවීමට හේතුව තිබෙන්නේ සොරබොර අසල පිහිටා තිබූ හෝපිටිගම නම් වෙළෙඳ නගරයේ සිදුවන අසාධාරණ වැඩ නැවැත්වීමට යි.  රජතුමා මහිංයගන විහාරය වඳින්න ආ වෙලාවේ වෙළෙඳපොළට සම්බන්ධ අය  මේ අවනඩුව රජතුමාට පවසා තිබෙනවා. නීති නොකතා ඇතැමුන් දඩ හා සංතෝෂම් මුදල් ගත් බව දැන ගෙන රජතුමන් නීති සඳහන් කර සෙල්ලිපිය පිහිටුවනවා.

ටැම් ලිපියේ පෙළ – Silumina.lk

 

දහ වැනි සියවස පමණ වන විට පොහොය දිනය ලංකාවේ නිවාඩු දිනයක් ව පැවති බවට බදුලු ටැම් ලිපිය අනාවරණය කරන කරුණක්. පෝදා වෙළඳාම් කරන්නකු වෙතින් තෙල් බද්දක් දඩය වශයෙන් නියම කර ඇති අතර, එම තෙල් වැය කොට මහියංගණ විහාර භූමියෙහි පහන් දැල්වීමට නියම කර තිබෙනවා. 

අදත් අපට නිතර ම අසන්නට ලැබෙන අල්ලස 10 වැනි සියවසේ දි  මුළුමනින් ම තහනම් කර තිබුණා. බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන්නේ ‘ගමට ආ රදොලන් රහමස් දී ගිතෙල් නොගන්නා ඉසා’ යනුවෙන්. එයින් කියවෙන්නේ රාජ්‍ය නිලධාරීන් ගම්වලට වැද රා මස් ආදිය අල්ලසට දී ගිතෙල් ලබා නොගත යුතු බව යි. මේ එහි සඳහන් නීති කිහිපයක්:

  • පෙර සිරිත් දඩ මිස නීති විරෝධී ආකාරයෙන් දඩ නොගත යුතු යි
  • යමකුට දඬුවමක් කරනවා නම් එය වෙනත් ස්ථානයක සිදු නොකර එම ස්ථානයේ ම කළ යුතු යි
  • දඩය අදාළ පුද්ගලයාගෙන් ම අය කර ගන්නවා මිස අඹුදරුවන්ගෙන් එය අය කර නොගත යුතු යි
  • දඩ අය කර ගැනීමට පැමිණි රාජකීය නිලධාරින් රා, මස් ගිතෙල් ආදිය නොගත යුතු යි
  • වතු පෙත්වලට වැදී රා බීම නොකළ යුතු යි
  • සොර වෙළෙඳාම් නොකළ යුතු යි
  • බඩුගෙන එන අයගේ තවලම් ගොනුන්, ප්‍රධානින් විසින් නොගත යුතුයි
ටැම් ලිපිය බදුල්ල මහජන පුස්තකාලය අසල ඇති අයුරු – archaeology.lk

 

බදු අය කිරීමට ගෙවල්වලට යෑම මෙන් ම අඹුදරුවන්ට පීඩා වන සේ කඩා වැදී බදු අය කරගැනීම මේ ටැම්ලිපිය මගින් තහනම් කර තිබෙනවා.  ගමෙහි දී ම දඩ අය ක රගත යුතු අතර  ගම් වැසියන් ගමෙන් පිට වෙනත් ස්ථානයකට ගෙන්වා දඩ අය කර ගැනීම, රාජ්‍ය නිලධාරීන් ගම්වැසියන් දෙන මස්, රා, කිරි, දීකිරි, ගිතෙල් අල්ලස් ලෙස ගැනීම ද තහනම් කොට තිබෙනවා. බදු මුදල් නොගෙවා, නිලධාරීන්ට අල්ලස් දීම එකල ද සිදු වී ඇති බව මෙන් ම කල් ඉකුත් වූ ද්‍රව්‍ය වෙළෙඳාම හා කූට ව්‍යාපාර ද මේ ලිපිය මගින් තහනම් කර තිබෙනවා.

කවරය- උල හිඳුවා මරණ දඬුවම දෙන අයුරු - An Historical Relation of the Island of Ceylon - රොබට් නොක්ස්ගේ කෘතියෙනි - torturemag.org

මූලාශ්‍ර:

archaeology.lk

අභිලේඛන- පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථ මාලා-සංස්. ආචාර්ය නන්දදේව විජේසේකර

කෞතුකාගාර - 14 වන කලාපය  ( 2008) ජාතික කෞතුකාගාර දෙපා.

Related Articles