ගැටබරු දේවාලයේ රජ්ජුරුබණ්ඩාර දෙවියෝ

‘‘රුහුණේ පුංචි කතරගම’’ කියලා ප්‍රකට වී පවතින්නේ දෙනියායේ කොටපොළට නුදුරු ගැටබරු දේවාලය යි. මෙහි පුරාණ ලෙන් විහාරයක් ද දැකගත හැකි යි.  රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරන වාසස්ථානය ලෙස මොරවක් කෝරළේ ජනතාව  ගැටබරුව සලකනවා. මේ ගැටබරු රජමහා විහාරයේ සහ දේවාලයේ වතගොත විමසා බැලීමට ගත් උත්සාහයක්.

විහාර හා දේවාල බිමට පිවිසෙන වාහල්කඩ තොරණ – Antiquitysl.com

 පිහිටීම

මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළයි ගැටබරු රජමහා විහාරය සහ දේවාලය තියෙන්නේ. ගැටබරුවට ගාල්ල – දෙනියාය ප්‍රධාන මාර්ගයේ ගාල්ල සිට කිලෝ මීටර් 69ක්  ගමන් කළ යුතු යි. කොටපොළ නගරය පසුකර කිලෝ මීටර් 3ක් දුරින් මෙම ස්ථානය පිහිටා තිබෙනවා.

මේ පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ කුඩා කඳුගැටයක යි. එයට පිවිසීමට මහා මාර්ගය අද්දර සිට විහාර බිමට පිවිසීමට වාහල්කඩ අතරින් පියගැට පෙළක් තරණය කළ යුතු යි. ඉතා සුන්දර පරිසරයක් මේ පුදබිම අවට දැකගත හැකි යි. එක පැත්තකින්  දෙනියාය අවට පැතිරුණු ගොන්ගල ඇතුළු රක්වාන කඳු පන්තිය දැකගත හැකි අතර අනෙක් පැත්තෙන්  සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙනවා. ඊට අමතර ව මොරවක්කෝරළයේ කඳු වටේ ම පැතිර යනවා. පුදබිම පිහිටා ඇත්තේ  මුහුදු මට්ටමින් අඩි 1500ක් තරම් උසකින්. ඒ නිසා අවට සිසිල් සුවදායක දේශගුණයක් ද අත්විඳ ගත හැකි යි.

ගැටබරු කන්ද වෙත දිවෙන පියගැට පෙළ- serendib.btoptions.lk

ප්‍රාදේශීය දේව සංකල්පය

අප රටේ බොහෝ පෙදෙස්වල ඒ ඒ පළාත්වලට අධිපති ලෙස සැලකෙන ප්‍රාදේශීය දෙවිවරුන් ඇදහීම පුරාණයේ සිට දැකගත හැකි යි. රජරට හා වන්නියේ පෙදෙස්වල ගැමියන් අදහන්නේ අය්යනායක දෙවියන්. සියනෑ කෝරළයේ සහ කැලණි ගඟබඩ ජනතාව රංවල දෙවියන්ට පුද සත්කාර කරනවා. මාදම්පේ මුහුදුබඩ තනියවැල්ලේ දේව ඇදහීම දැකගත හැකි යි.

ඒ අයුරින් රුහුණේ බටහිර ප්‍රදේශයට අධිපති ලෙස සැලකෙන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් හෙවත් ගැටබරු දෙවියනු යි. ගැටබරු විහාරයටත්  වඩා ප්‍රසිද්ධ ව පවතින්නේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලය යි. ඈත අතීතයේ රුහුණුපුර සතර දිග් භාගයෙන් බස්නාහිර දිග් භාගයට අයත් පෙදෙසක් ලෙස සැලකූ මොරවක් කෝරළයේ අණසක පතුරන රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් වැඩ සිටින අඩවියක් ලෙසට ගැටබරුව සැලකෙනවා.

මෑතක දී ප්‍රතිසංස්කරණය කර ඇති ලෙනේ පිහිටි දේවාලය- gatabarudeyyo.blogspot.com

 රජ්ජුරුබණ්ඩාර කව්ද?

මේ දෙවියන් නිරූපණය කර ඇත්තේ ප්‍රාදේශීය ප්‍රභූවරයෙක් ලෙස යි. හිස ඔටුන්නකින් සරසා තිබෙන අතර උඩුරැවුළක් සහිත යි. ගෙලෙහි තැල්ලක් බැඳ තිබෙනවා. ගෙලට දැමූ මාලයක් දැකගත හැකි යි. උඩරට නිලමේවරයෙක් සේ සැරසී සිටිනවා.

කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන්ගෙන් පැවත එන කෙනෙක් ලෙසට රජ්ජුරු බණ්ඩාර සැලකෙනවා. ඔහු ප්‍රාදේශීය උපරාජ්‍යයක පාලනය කළ බවත් මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද පැවසෙනවා. ඓතිහාසික මූලාශ්‍ර අනුව කෝට්ටේ යුගයේ සිටි සුදු මල්බණ්ඩාර නොහොත් ශ්‍රීවර්ධන කුමරු අම්බුළුගල කුමරුට එරෙහි ව සටන් වදින අතර පරාජයට පත්ව චීනයට පිටත් ව ගිය බව සඳහන් වෙනවා. එහිදී චීන රජ පවුලේ ආශිර්වාදය ඇති ව ඔහු ජීවත් වනවා. ශ්‍රී වර්ධන කුමරුට ලංකාවේ සිටිය දී දරුවන් තිදෙනකු සිටි අතර රජ්ජුරු බණ්ඩාර ඉන් එක් අයෙක්.

 දේවාලයට අයත් පූජනීය ස්ථාන- serendib.btoptions.lk

 

මේ කුමරු බස්නාහිර රජ්ජුරු බණ්ඩාර යනුවෙන්ද හැඳින්වෙනවා.තම පියා චීනයට ගිය පසු එවකට රට පාලනය කළ කෝට්ටේ අටවන වීරපරාක්‍රමබාහුට ( 1484- 1508) විරුද්ධව දෙවනි සිංහල සංගය ( සිංහල කැරැල්ල) කළ බවත් එය ජයගත් බවත්  රජ්ජුරු බණ්ඩාර යාදින්නේ මෙසේ සඳහන් වෙනවා:

ඔබ වහන්සේ සිංහල රාජාවලියේ රාජ කුමාර පන්නේ ගෙවා ගැටවර වියට එළඹ රාජ තේජසින් බැබළි බැබළී දිලිසි දිලිසී රන් ඔටුන්න හිස පළන්`දාන රන්දුන්න සලිත කරගෙන රන් හීය සලිත කරවාගෙන දරුණු රීරි යක්ෂයා ඇතුළු යක්ෂයක්ෂණියන් දහස් ගණනක් වහල් මෙහෙවරට අරගෙන ගිනිගත් සැඩ හිරු සේ ගිනි ජාලාවක් පරිද්දෙන් සතුරන් මැදට පැන ගෙන හඬගහන තරමට හාමුදුරුවනේ අහස ගුගුරුවා ජයඝෝෂා කරමින් කුළු ගවයන් පිරිස් මැදට ලා ගෙන රණ මොණරුන් රණ ඉත්තෑවුන් පන්තිගෙන්වාලා ඉටි හොරේ හත් පොළකට කඩාපුපුරුවාලා කළුගල් කෝට්ට දහ අටක් කඩාඉහිරුවාලා පරසතුරන්ට පහර පිට පහර දී දී හිස් ලූ ලූ අත ලූහු බන්දවා සිංහලසංගයෙන් ජයගෙන හතුරු වුන දිය ගන්නා ළිඳේ කළු පණුවන් ලවා ගොන්ගල් කන්දේඅකාලයේ සී සානවා දැක ගවයත් නඟුලත් මිනිහත් ගල් වෙන්න වරම් දී අයුක්තියටඅසාධාරණයට එරෙහි වෙලා මහත් වූ තේජානුභාවයෙන් වැඩ සිටි බව සැබෑ වී නම්සත්‍යවාදී වී නම් දින නැති නඩු නැති දේවයන් වහන්ස සමා අවසරයි.

මරණයෙන් පසු දේවත්වයට

මරණයෙන් පසු දේවත්වයට පත්වුණු රජ්ජුරු බණඩාර අසාධාරණයට එරෙහි ව කරන ඉල්ලීම්වලදී බැතිමතුන්ට කඩිනම් ප්‍රතිඵල ලබාදෙන දෙවි කෙනෙක් ලෙස ඒ ප්‍රදේශයේ ප්‍රකට යි. මේ දෙවියන් අධිපති ස්ථාන ගැනත් යාදින්නේ කියවෙනවා:

රන් දොර වෙසෙනා රන් ඔටුණු හිස දරාපු වීර වික්‍රමාන්විත සිද්ධ නෙළුගල බස්නාහිර රජ්ජුරු බණ්ඩාර පාත හාමුදුරුවනේ..ඔබ වහන්සේ රාජ චන්ද්‍ර පරවේණියට ඌරු මුත්තට මාළිගා තැන්නේ පුරාණ රාජ මාළිගාවට එළමන්දෙණියේ රාජකීය ගබඩාගමට ගැටබරුවට සිත්තම් ගල්ලෙනට දම්මුල්ලට ගල් ඇටුඹේ පුරාණ දේවාලයට රන්මල් කන්දටපොළතුගොඩ දේවායට දෙවිනුවරට කළුතර පස්යොදුනට පළි මඩම් ගණ කෝවිල් පනස් එකකටයහතින් දිවැස් කරුණා හෙළා වදාරන හාන්දුරුනේ….

ශ්‍රීවර්ධන කුමරුගේ දරු පරම්පරාව මාතර දීගල වලව්වේ ජීවත්ව සිට ඇති බව ජනප්‍රවාදවල සඳහන් වන කරුණක්. වැඩිමහල් පුත‍්‍රයා වන මහ රජ්ජුරු බණ්ඩාර අගලවත්තේ ලියනගෙදර ජීවත්ව සිට තිබෙන බවත් මේ පිරිසගෙන් පැවති අය පසුව කෝට්ටේ රාජධානියට පැමිණ ජීවත්වීම ඇරඹූ බවත් පැවසෙනවා.

ගැටබරු ලෙන් විහාරය – anjlefire.com

 ලෙන් විහාරය

කටාරම් සහිත ලෙන් විහාරය කඳු මුදුනට ආසන්න ව පිහිටා තිබෙනවා. එය තරමක් කුඩා ලෙනක්. ලෙන තුළ සැතපෙන බුදු පිළිමයක් ඇතුළු විහාර අංග පිහිටා තිබෙනවා. මෙම ප්‍රතිමා සහ සිතුවම් පසුකාලීන ප්‍රතිසංස්කරණවල දී නවීකරණය කර ඇති නිසා පෞරාණික අගය නම් අඩු වෙලා ගිහින්. බෝධි වෘක්ෂය, දාගබ, සංඝාවාස ගොඩනැගිලි ඇතුළු සියලු විහාර අංග සහිත මෙහි අලුත් ගොඩනැඟිලි රාශියක් ද දැක ගත හැකි යි.

මෑතක දී තැනූ විහාර දාගබ -Antiquitysl.com

 වනගත වූ විහාරය නැවත සොයා ගැනීම

මේ පිළිබඳ ව සඳහන් අපූරු පුරාණෝක්තියක් අපට අසන්නට ලැබෙනවා. ඒ මෙසේයි:

වර්ෂ 1834 දී එක් දිනක කොටපොළ, කෙසෙල්කොරටුවේ ගෙදර පදිංචිව සිටි එලියස් හාමි නම් ගැමියා දඩයමක් සොයා ගැටබරු කන්දට ගොස් තිබෙනවා.එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනක යි. ගෝනා හඹා ගිය ගැමියාට දැකගත හැකිව ඇත්තේ ගල් ලෙනෙහි තිබෙන දහ අට රියන් බුදු පිළිමයක්.

එම සිද්ධිය ගම පුරා පැතිර යනවා. ඒ ගැන උනන්දු වුණු  මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා අවට ගැමියන්ගේ ද  ආධාර උපකාරයෙන් එම ලෙන පිහිටි තැන තාවකාලික සංඝාවාසයක් ඉදි කර තිබෙනවා. එහි භික්ෂුන් වහන්සේ නමක් ද නවත්වා දානමානාදිය ලබාදීමට කටයුතු කර තිබෙනවා. එසේ ගැටබරු රජමහ විහාර පරම්පරාවේ ප්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන්.ඉන් පසු දේවාලය ද ටිකින් ටික දියුණුවට පත්වී තිබෙනවා.

 ඇසළ පෙරහරේ අවස්ථාවක්- silumina.lk

 

පසුව වර්ෂ 1953 දී  උඩ මළුවේ විහාර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ කෙරෙනවා.එයට මුල් ව ඇත්තේ අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්. ඉන් වසර හයකට පසුව1956 වසරේ දී  ගැටබරු පෙරහර වීථි සංචාරය ආරම්භ වුණා. අද වන විට විශාල බැතිමතුන් පිරිසක් මෙහි පිහිට පතා ඇදී එනවා.

කවරයේ ඡායාරූපය- ගැටබරු දේවාලය සහ රජ්ජුරු බණ්ඩාර දේව ප්‍රතිමාව- serendib.btoptions.lk - exploesrilanka.lk 

මූලාශ්‍ර:

මාතර උරුමය- දෙනගම ධම්මික රණවීර

lankadeepa.lk

divaina.com

budusarana.lk

Related Articles