ඔබ "පද්මාවත්" චිත්‍රපටය නැරඹුවා ද? එහි අවසානයේ පද්මිණී ‍රැජිණ රාජ්පුත් කාන්තාවන් ද සමග ඇවිලෙන ගිනි ගොඩකට පැන සියදිවි නසාගන්නා දර්ශනය ඔබට මතක ඇති. ඒ, හින්දු රාජ්පුත්වරුන් මහත් සේ ගෞරවයෙන් සැළකූ "ජෝහාර්" චාරිත්‍රය යි. එයත්, එයින් පසුව සිදුකෙරෙන "ශාකා" නම් චාරිත්‍රයත් අද වන විට ඉන්දියාවෙන් තුරන් වී ගොස්.

සාගරය මධ්‍යයේ දී නැවක් අනතුරකට ලක්වූ විට, මුලින්ම එයින් පිටවී ජීවිත ගලවාගැනීමට ඉඩ සලසා දෙන්නේ කාන්තාවන් සහ දරුවන්ට යි. මේ "ලේඩීස් ෆර්ස්ට්" සිරිත වර්තමානයේ දී ජීවිත ගලවාගැනීමට යොදාගත්තාට, ඉන්දියාවේ රාජ්පුත්වරුන් නම් 8 වන සියවසේ සිට 17 වන සියවස දක්වාම වාගේ මේ සිරිත යොදාගත්තේ යුධ පරාජයක දී සියදිවි නසාගැනිමේ දී යි. මේ කියන්නට යන්නේ ඒ කතාව යි.

බලකො‍ටුව බිඳවැටෙද්දී රාජකීය කාන්තාවන් ජෝහාරය සිදුකරයි  (Reddit)

ජෝහාර්

ජෝහාරය, රාජ්පුත් රාජධානිය පැවති සමයේ රාජස්ථානයේ රාජකීය සහ ක්ෂත්‍රීය කාන්තාවන් විසින් සිදුකළ චාරිත්‍රයක්. සිය රාජධානිය මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ ප්‍රහාරයන්ට යටත්වෙමින් පවතින විට, රාජකීය කාන්තාවන් විසින් ගින්නට පැන සියදිවි නසාගැනීම මෙනමින් හැඳින්වුණා. ආක්‍රමණිකයින්ව පරාජය කිරීමට නොහැකි බවත්, බලකො‍ටුව බිඳවැටීමට ආසන්න බවත් පැහැදිලි වූ විට, ආක්‍රමණිකයින්ට හසුවී ලිංගික අඩත්තේට්ටමට ලක්වීමෙන්, බලහත්කාරයෙන් ඉස්ලාමය වැළඳගැනීමට සිදුවීමෙන්, සහ වහළුන් බවට පත්වීමෙන් ගැලවෙන්නට මෙම චාරිත්‍රය යොදාගැනුනා. රාජකීය කාන්තාවන් විශාල පිරිසක් මහා ගින්නක් දල්වා සිය දරුවන් ද සමග එයට පැන දිවි නසාගත්තේ, සතුරනට හසුවීමට වඩා සිය ගෞරවය රැකගෙන මියයෑම උසස් බව සැළකූ නිසා යි.

1586 වසරේ චිත්තෝරයේ සිදු වූ ජෝහාරය - 1590 - '96 අතරේ ලියැවුණු අක්බර්නාම ග්‍රන්ථයෙන් උපුටාගත්තකි  (Wikimedia)

විෂක් අනුභව කිරීමෙන් සියදිවි නසාගැනීම වේදනා අවම ක්‍රමයක් නොවේදැ යි ඔබට සිතෙන්නට පුළුවන්. රාජ්පුත්වරුන් සූර්යවංශිකයින් නිසා ගින්නෙන් දැවී මියයෑම පවිත්‍ර බව සැළකූ නිසායි ඒ ක්‍රමය භාවිතා කළේ.

කෙසේ නමුත් බලකො‍ටුවට පහරදෙන්නේ තවත් හින්දු හමුදාවක්ම නම්, ජෝහාර් හෝ ශාකා සිරිත ක්‍රියාවේ යෙදවුණේ නැහැ. එවන් අවස්ථාවන්හි දී තමාගේ ගෞරවයට හානි නොවන අයුරින් සැළකුම් ලැබෙනු ඇතිය යන විශ්වාසය ඔවුන්ට වුණා.

ජෝහාරයක් ක්‍රියාවට නැංවීම

සිය රාජධානිය සතුරන් අතට පත්වීම අනිවාර්යය බව තහවුරු වූ විට රාජකීය කාන්තාවන් ජෝහාරය සඳහා සැරසෙනවා. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ හිරු බැස යෑමෙන් අනතුරුව යි.

ජෝහාරයට පෙර තබන මේ අත් සළකුණ මියගිය කාන්තාවන් එකිනෙකාගේ අනන්‍යතාව වනවා  (rebootmag)

නියමිත දින අළුයම සිට මෙයට සැරසෙන කාන්තාවන් ස්නානය කොට පිරිසිදු වී, සිය මංගල වස්ත්‍රාභරණයන්ගෙන් සැරසෙනවා. සිය දරුවන්ට ද ඔවුන් සතු හොඳම වස්ත්‍රයන් අන්දවා, ඔවුන්ව ද අබරණින් සරසනු ලබනවා. ඉන්පසු සිදුවන්නේ ජෝහාරයට පෙර යෙදිය යුතු චාරිත්‍රයන්හි නිරතවීම යි. ජෝහාරයේ යෙදීමට නියමිත සියලුම කතුන් සිය දෑත්හි අත්ලවල සින්ධුර තවරාගෙන, එම අත් සළකුණු බලකොටුවේ ඇතුල් බිත්තියක් මත සටහන් කිරීම මෙයින් එක් චාරිත්‍රයක්. අදටත් රාජස්ථානයේ ඇතැම් බලකොටුවල මෙම අත් සළකුණු දැකගන්නට පුළුවන්. ජෝහාරයට පෙර තබන මේ අත් සළකුණ එකිනෙකාගේ අනන්‍යතාව වනවා.

මේ අතරේ පුරුෂ පාර්ශවය ජෝහාරය සඳහා අවශ්‍ය වන චිතකය සකස් කිරීමේ යෙදී සිටිනවා. සාමාන්‍යයෙන් මෙහි කටයුතු සිදුවන්නේ රජුගේ මහ ඇමතිගේ සෘජු අධීක්ෂණය යටතේ යි. මේ සඳහා රාජ්පුත් බලකො‍ටු තුළ "ජෝහාර් කුන්ධ්" නම් ගැඹුරු ළිඳක් සාදා තිබෙනවා. චිතකය තනන්නේ මේ තුළ යි. බොහෝවිට මේ සඳහා ඔවුන් සතුව තිබෙන හොඳම දර යොදාගැනෙනවා.

ජෝහාර් කුන්ධ් (flickr)

හිරු බැස යෑමට ආසන්නවත්ම බ්‍රාහ්මණ පණ්ඩිතයින් විසින් මන්ත්‍ර සජ්ඣායනය ආරම්භ කරනවා. කාන්තාවන් සිය ඉ‍ටුදෙවිවරුන් වන්දනා කිරීමෙහි යෙදෙන අතරේ චිතකයට ගිනි අවුලවනු ලබනවා. චිතකය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවෙන්නට වන කල, කාන්තාවන් සියලු දෙනා සිය දරුවන් ද සමග එයට පැන සියදිවි නසාගන්නවා.

ගින්න යමෙකු ඉක්මනින් මරාදමන්නේ නැහැ. මිනිත්තු ගණනක් පුරාවට ගින්නේ පිළිස්සෙමින් වේදනා විඳින කාන්තාවන්ගේ විලාපය, ඇතැම් සිදුවීමක දී බලකො‍ටුවෙනුත් පිටතට ඇසුණු බවයි ඓතිහාසික වාර්තාවන්ගේ සඳහන් වන්නේ. ගින්නෙන් මරණයේ දී වේදනා විඳීමෙන් යමෙකු පවිත්‍රත්වයට පැමිණ, මෝක්ෂයට ළඟාවනු ඇතැයි රාජ්පුත්වරුන් විශ්වාස කළා.

පුරුෂයින්ගේ චාරිත්‍රය

යුද්ධයක් අතරතුර සියදිවි නසාගැනීම් ජෝහාරයෙන් කෙළවර වන්නේ නැහැ. යටත්වීමට ආසන්න බලකො‍ටුව තුළ තවමත් රාජ්පුත් පුරුෂයින් ජීවත්ව සිටිනවා. නමුත් බලකො‍ටුව යටත්වීමේ දී ආක්‍රමණිකයින්ට හසුව ඉස්ලාමය වැළඳගැනීමට සිදුවීම සහ වහල්භාවය අනිවාර්යය යි. රාජ්පුත්වරයෙකු කිසිදා සතුරන්ට යටත්වන්නේ නැහැ. එනිසා එයින් මිදීම සඳහා රාජ්පුත් පුරුෂයින් "ශාකා" නම් වෙනමම චාරිත්‍රයක් අනුගමනය කරනු ලැබුවා.

මහා අක්බර් රන්තම්බෝර්හි රාජ්පුත් බලකො‍ටුවට කඩාවැදීම දැක්වෙන පැරණි චිත්‍රයක්   (Wikimedia)

ශාකා ප්‍රතාව

බලකො‍ටුවේ කාන්තාවන් ජෝහාර් පිළිපැදීමෙන් පසුදින ශාකා ක්‍රියාවට නැංවෙනවා. අළුයම අවදිවන පුරුෂයින් ස්නානය කොට පවිත්‍ර වී, කුංකුම කහ පැහැයෙන් වර්ණ ගැන්වූ වස්ත්‍රයන්ගෙන් සැරසෙනවා. මේ සැරසෙන්නේ යළි නොඑන ගමනකට. එහෙයින් සාමාන්‍යයෙන් සටනක දී ආරක්ෂාව සඳහා පළඳින සන්නාහයන් මෙහි දී භාවිත වන්නේ නැහැ.

ඉන්පසු සියලුම පුරුෂයින් ජෝහාරය සිදු වූ චිතකය වෙත ගොස්, පෙරදින එහි පණපිටින් පිළිස්සුණු සිය බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ අළු ස්වල්පයක් නළලේ තවරාගන්නේ ඔවුන්ගේ ගෞරවණීය පරිත්‍යාගයට උපහාර ලෙස යි. අනතුරුව, හින්දූන්ගේ පූජනීය පැළෑටියක් වන තුල්සි (හීන් තලා) පත්‍රයක් මුව තුළ රුවාගන්නා ඔවුන්, බලකො‍ටුවේ දොර‍ටු සම්පූර්ණයෙන්ම විවර කොට, දෙපයින් හෝ අසුන් පිට නැගී සිය සතුරන් වෙත සෘජුවම ගමන් කරනවා. සරලවම කිවහොත් "ශාකා" යනු සිය මරණය කරා ඇවිදයාම යි.

රාජ්පුත් පුරුෂයෙකු ශාකා ප්‍රතාවේ යෙදේ - 17වන සියවසේ ඇඳි චිත්‍රයකි  (Wikimedia)

ශාකාහි අරමුණ වන්නේ සටන් කරන අතරේ සතුරන් අතින් මරණයට පත්වීම යි. එම යුද්ධයෙන් තමාට ජයගැනීමට නොහැකි බව දන්නා නිසා, තමාට හැකි පමණ සතුරන් ප්‍රමාණයක් මරා දමමින්, අවසානයේ එහිදීම මරණයට පත්වීම ඔවුන් අපේක්ෂා කළා. එමඟින් සිය භාර්යාවන් සහ දරුවන් පෙරදින ගින්නෙන් ලැබූ මෝක්ෂය තමාට ද අත්වනු ඇතැයි රාජ්පුත් විශ්වාසය වුණා. පෙරදින ජෝහාරයට සහභාගී නොවූ, යුධයේ දක්ෂ රාජ්පුත් කාන්තාවන් ද පුරුෂයින් සමගම මේ ශාකා චාරිත්‍රයට සහභාගී වීම සිරිතක්ව පැවැතියා.

මෙතෙක් වාර්තා වී ඇති ජෝහාරයන්

ඉන්දියානු ඉතිහාසයෙන් වාර්තා වන ජෝහාරයන් බොහොම යි. මෙයින් බහුලවම සාකච්ඡා කෙරෙන ජෝහාරයන් කීපයක් තිබෙනවා. අප මින් පෙර ලිපියකත් සඳහන් කළ, 1303 වසරේ අල-උද්-දීන් ඛල්ජිගේ ආක්‍රමණය අතරතුරේ චිත්තෝරයේ සිදු වූ "පද්මිණී ‍රැජිණගේ ජෝහාරය" ඉන් එකක්. ඊට අමතරව 1535 දී බහදූර් ෂාහ්ගේ ආක්‍රමණය අවස්ථාවේත්, 1568 දී මහා අක්බර්ගේ ආක්‍රමණය අවස්ථාවේත් චිත්තෝරය ජෝහාරයන් දෙකකට මුහුණපානවා.

වර්ෂ 1298 දී ජයිසල්මේර්හි මහා ජෝහාරයක් සිදුවන්නේත් අල-උද්-දීන් ඛිල්ජිගේ ආක්‍රමණයක් නිසාවෙන්ම යි. රාජ්පුත් කාන්තාවන් 24 000ක් ගින්නට පැන සියදිවි නසාගන්නා අතර, පසුදින පුරුෂයින් 3800ක් ශාකා චාරිත්‍රයේ යෙදී මරණයට පත්වෙනවා. ඉන් වසර 100කට පමණ පසු සිදුවන ආක්‍රමණයක් අතරතුරේ රාජ්පුත් කාන්තාවන් 16 000ක් ජෝහාරයේ යෙදෙනවා.

රන්තම්බෝර්හි සටන සහ ජෝහාරය දැක්වෙන, 1825 දී කළ සිත්තමක් (Wikimedia)

ඊට අමතරව 1232 දී ග්වාලියෝර්හි, 1301 දී රන්තම්බෝර්හි, 1327 දී කම්පිලිහි, 1528 දී චන්දේරිහි, 1532 සහ 1543 දී රයිසෙන්හි, සහ 1634 දී බුන්දෙල්කන්ධ්හි දී මහා ජෝහාරයන් සිදුව ඇති බව ඉන්දියානු ඓතිහාසික වාර්තාවන්හි සඳහන්.

චාරිත්‍රයන්හි අවසානය

මූඝල් රාජධානියේ අක්බර්ගේ සමය පමණ වන විට, සිය රාජධානියේ ආරක්ෂාව උදෙසා මූඝල්වරුන් සමග ගිවිසුම් වලට එළැඹීම රාජ්පුත්වරුන් සිරිත්කොට ගත්තා. අප පෙර ලිපියක සඳහන් කළ ජෝධා බායිගේ විවාහය එවැන්නක ප්‍රතිඵලයක්. ජෝහාර් සහ ශාකා වැනි චාරිත්‍රයන් නැති වී යන්නේ මේ සමග යි.

කාලය ගතවද්දී මූඝල්වරුන් සහ රාජ්පුත්වරුන් බලයෙන් දුර්වල වූ අතර, ඔවුන්ගෙන් හිස්වූ ස්ථානය ‍රැකගැනීමට මරාථවරුන් සමත්වුණා. නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම හා පසුකලෙක ගිවිසුම්ගතව සිය ආරක්ෂාව තහවුරු කරගත් රාජ්පුත්වරුන්ගේ රාජධානීන්, ඉන්දියාව නිදහස ලබද්දී අහෝසි වී ගොස් රාජස්ථාන ප්‍රාන්තයට අයත්වුණා. අද වන විට ඔවුන්ගේ මහා බලකො‍ටු හිස්ව ගොස්, සංචාරකයින් ගැවසෙන පුරාවිද්‍යා ස්මාරකයන් බවට පත්ව තිබෙනවා.

ජෝධ්පූර් බලකො‍ටුව වර්තමානයේ (andBeyond)

මූලාශ්‍රයයන්:

worldatlas.com

impdays.com

ancient-origins.net

scroll.in

indiatoday.in

indiafacts.org

Cover image: පද්මිණී ‍රැජිණගේ ජෝහාරය - රවී වර්මාගේ සිතුවමකි  (dollsofindia.com)