Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනුරාධපුරයේ රාජකීය උද්‍යානය: රන්මසු උයන

ක්‍රි.පූ 437-367 කාල සමයේ මෙරට රජකම් කළ පණ්ඩුකාභය රජතුමා සිය රාජධානිය වශයෙන් තෝරාගනු ලැබුවේ අනුරාධපුරය යි. අනුරාධපුරය අංග සම්පූර්ණ නගරයක් ලෙසින් ගොඩනැගූ එම රජතුමා වැව් සහ වෙහෙර විහාර කිහිපයක් එහි ඉදිකරනු ලැබුවා. පණ්ඩුකාභය යුගයේ සිට විධිමත් අයුරින් නඩත්තු වුණු නගරයට අලංකාරයක් එක් කරමින් මහමෙවුනා උයන ඉදිකරනු ලැබුවේ ඔහුගේ පුත් මුඨසීව රජතුමා යි. 

මුඨසීව රජතුමාගේ රාජ්‍ය සමයෙන් පසුව අනුරාධපුරයේ රාජකීය උද්‍යානයක් ඉදිවුණා. “රන්මසු උයන” යන නමින්   හඳුන්වනු ලබන මේ නව උද්‍යානය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී නිර්මාණය වුණු බවට අනුමාන කළත්, එය තහවුරු කරගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂ්‍ය හමුවී නැහැ. 

රන්මසු උයනේ ඉතිහාස කතා 

දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු, සැඩොල් තරුණියක් වුණු අශෝකමාලාව හිතුමතේ විවාහ කරගත් පුවත ඔබ අසා ඇති. ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි ඔවුන් දෙදෙනාගේ මුල්ම හමුව සිදුව ඇත්තේ මෙම උයනේ දී යි. වර්තමානයේ ඉසුරුමුණි කෞතුකාගාරය තුළ රඳවා තිබෙන පෙම් යුවල කැටයම රන්මසු උයනෙන් හමුවීම එයට කදිම සාක්ෂ්‍යයක් ලෙස ඇතැමුන් සලකනවා. 

රන්මසු උයනට එම නම ලැබී ඇත්තේ මෙහි පොකුණුවල රන් පැහැති මත්ස්‍යයින් සිටි නිසා යි. දැනට වෙස්සගිරිය නමින් වැරදියට ව්‍යවහාර කරන විහාර භූමියේ තිබී හමුවුණු සිව්වන මිහිඳු රජතුමාට අයත් සෙල්ලිපියේ ද  රන්මසු උයන පිළිබඳව සඳහන් කර තිබෙනවා. මෙරට විසූ කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු වුණු සෙනරත් පරණවිතාන විසින් 1940 දශකයේ දී පමණ මෙම භූමි ප්‍රදේශය ආශ්‍රිතව රන්මසු උයන පිහිටා තිබුණු හඳුනාගනු ලැබුවේ ද ඉහත සෙල්ලිපිය කියවීමෙන් පසුව යි. 

පෙම්යුවල කැටයම (silumina)

එම සෙල්ලිපියේ සඳහන් වන ආකාරයට එකල තිසා වැවේ සිට ඉස්සරසමණ විහාරයට අයත් කුඹුරුවලට ජලය සැපයීම සඳහා සොරොව්වක් භාවිතා කර තිබෙනවා. එම සොරොව්වෙන් ජලය සැපයිය යුතු ස්ථාන අතරට රන්මසු උයන, කෙල හෙය, උයන් හෙය, සහ මානෙල් හෙය ආදී ස්ථාන ද ඇතුළත්ව තිබුණා. එහි “හෙය” යන්නෙන් අදහස් කරන්නේ කෙත යන අර්ථය බව මෙරට පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. ඉහත සෙල්ලිපියේ සඳහන් වන විස්තරයට අනුව එකල තිසා වැවේ සොරොව්ව හරහා ඉවතට පැමිණි ජලය පළමුව රන්මසු උයන වෙත මුදාහැර, පසුව කෙත්වලට ලබා දී ඇති බව අනුමාන කළ හැකියි. ඉන් පැහැදිලි වන්නේ රන්මසු උයන තිසා වැව ආසන්නයේ පිහිටා තිබුණු උද්‍යානයක් බව යි. වර්තමානයේ දී අප රන්මසු උයන නමින් ව්‍යවහාර කරන භූමිය තිසා වැවට ආසන්නව පිහිටා තිබෙනවා. එම නිසා මෙය නිවැරදි රන්මසු උයන බවට සැකයක් නැහැ. 

රන්මසු උයන (Lakpura)

රන්මසු උයනේ වාරි තාක්ෂණය

අනුරාධපුර යුගයේ වාරි තාක්ෂණය ගැන කතා කරන විට වසභ රජතුමාගේ නම අමතක කරන්නට බැහැ. වසභ රජතුමා අනුරාධපුර රාජධානිය පාලනය කළ සමයේ හංසයන් සහිත කෘතිම පොකුණු නගරය තුළ නිර්මාණය කර තිබුණු බව පැරණි මූලාශ්‍රයයන්හි ලියැවී තිබෙනවා. එකල තිසා වැවේ සිට රන්මසු උයනට ජලය ගෙන යාම සඳහා උම්මග්ග ජල මාතිකා නමින් උමං ජල පද්ධතියක් ඉදිකර තිබුණා. රන්මසු උයන ආශ්‍රිතව ඉදිකර තිබෙන පොකුණු දෙස නිරීක්ෂණය කිරීමේ දී මෙන්න මේ සුවිශේෂී ලක්ෂණ දැකගන්නට පුළුවන්. 

1) උමං මාර්ග මඟින් ජල පරිවහනය 

2) ගඩොල් භාවිතා කරමින් ඉදිකළ විවෘත ජල පරිවහනය 

3) පොකුණ අභ්‍යන්තරයට අඩු පීඩනයකින් ජලය ඇතුළු කිරීම 

3) පොකුණ අභ්‍යන්තරයට අඩු පීඩනයකින් ජලය ඇතුළු කිරීමට ඇති සැකැස්ම (Divaina)

4) ගලෙහි බෑවුම භාවිතා කරමින් ජලය රූරා වැටීම සඳහා තිබෙන නිදහස් ජල මාර්ග 

5) වැසි ජලය පොකුණු වෙත ඒකරාශී වීම වැළැක්‌වීම සහ එම ජලය ක්‍රමානුකූලව ඉදිරියේ ඇති දිය අඟල වෙත ගෙනයාම

6) කුඩා බිසෝ කොටු භාවිතා කරමින් පාලනයකින් යුතුව ජලය පොකුණු වෙත මුදාහැරීම

4) කුඩා බිසෝ කොටු භාවිතයෙන් ජලය පොකුණු වෙත මුදාහැරීමට ඇති සැකැස්ම (Divaina)

7) පොළොවේ ඇති ස්‌වභාවික උස්‌ පහත් භූ විෂමතාවයන් භාවිත කරමින් ජලය පරිවහනය කිරීම

8) විශාල පීඩනයකින් සහ වේගයකින්  තිසා වැවේ සොරොව්වෙන් මුදාහැරෙන ජලය දීර්ඝ මාර්ගයක්‌ ඔස්‌සේ ගලා යැමට සලස්‌වා ස්‌වභාවිකව වේගය පාලනය කිරීම 

9) සුවිශේෂී ජල තාක්‌ෂණික උපාංග සහ  මූලධර්ම භාවිත කිරීම

පොකුණක දක්නට ලැබෙන සිදුරක් (Divaina)

විශ්ව සලකුණ 

අක්කර 40ක පමණ විශාලත්වයකින් යුත් රන්මසු උයනේ පිහිටා තිබෙන ගල් තලාවක පිටුපස අරුම පුදුම සලකුණක් දක්නට ලැබෙනවා. තරු දොරටුවක් ලෙසින් හඳුන්වනු ලබන මෙහි පිටතින් පිහිටා තිබෙන වෘත්තයේ ඉබ්බන්, මත්ස්‍යයින්, කැස්බෑවන්, කකුළුවන්, මුහුදු අශ්වයින්, මුහුදු සිංහයන්, හක්බෙල්ලන් ආදී ජලජ ජීවින් කැටයම් කර තිබෙන ආකාරය දැකිය හැකියි. එසේම මෙම විශාල වෘත්තය මැද සමචතුරශ්‍රයක් තුළ වෘත්ත හතක් ඇඳ තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. වෘත්තයේ ඉතිරි කොටස් තුළ නොයෙක් ආකාරයේ ජ්‍යාමිතික හැඩතල සහිත විවිධ පරිමාණයේ සෘජු කෝණ සටහන් කර ඇති ආකාරය දක්නට ලැබෙයි. සටහනේ උඩ “පණතෙපණස” යනුවෙන් ලියා ඇති පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් 53 නිරූපණය වෙයි. මෙම සටහනේ ඇඳ ඇති සත්ත්ව රුප හා අනෙකුත් සලකුණුවල එකතුව 53ක් බව නිරීක්ෂණය කළ හැකියි. 

මෙම සලකුණ පිළිබඳව බොහෝ අය විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සෙනරත් පරණවිතාන සහ එච්.සී.පී. බෙල් යන පුරාවිද්‍යාඥයන්ගේ මතය වුණේ මෙමඟින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් නිරූපණය කරන බව යි. මෙය මහායාන තාන්ත්‍රයානිකයින්ගේ යන්ත්‍රයක් බව මාර්ටින් වික්‍රමසිංහගේ  අදහස යි. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක අදහස් කරන්නේ මෙය ලෙන ඉදිරිපස ගලෙහි කොටා ඇති ආසනවල හිඳ කිසියම් භාවනාවක හෝ කිසියම් මානසික අභ්‍යාසයක යෙදෙන්නට උපයෝගී කරගන්නට ඇඳ  ඇති රූප සටහනක් බව යි.

මෙවැනි සලකුණු ලෝකයේ ස්ථාන කිහිපයක පමණක් දක්නට ලැබෙන නිසා මෙය විශ්වය සමග සම්බන්ධ අද්භූත ස්ථානයක් බවට ද මතයක් පළවී තිබෙනවා. නමුත් තවමත් විශ්ව සලකුණ පිළිබඳව අනාවරණය කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා අනාගතයේ දී මෙම සලකුණ නිර්මාණය කිරීමට හේතුව දැනගැනීමට හැකිවනු ඇති. 

සක්වල චක්‍රය (tlc.lk)

රන්මසු උයන යළි ප්‍රතිසංස්කරණය කිරීම 

වසර 1400කට ආසන්න කාලයක් පැවති අනුරාධපුර යුගය අවසන් වීමෙන් පසුව පොළොන්නරු යුගය ආරම්භ වුණා. ක්‍රි.ව 1215 දී කාලිංග මාඝ සිදුකළ ආක්‍රමණයෙන් පසුව පොළොන්නරු යුගය අවසන් වුණා. ඉන් අනතුරුව රාජධානි නිරිතදිගට සංක්‍රමණය වීමත් සමග රජරට වල් බිහිවුණා. ඒ සමගම රන්මසු උයන ද විනාශයට පත්වුණා. එලෙස විනාශයට පත්ව තිබුණු රන්මසු උයනේ නටබුන් එච්.සී.පී බෙල් විසින් යළි සොයාගනු ලැබුවේ 1901 වසරේ දී යි. නමුත් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු 1940 දශකයේ දී සිදුවුණේ සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ යි. ඒ අනුව 1946 වසරේ දී මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ වුණා. එහිදී විනාශ වී තිබුණු පොකුණු ඒවායේ නියම ගැඹුරට සුද්ධ පවිත්‍ර කර, ඒවායේ කැඩී තිබුණු කොටස් යළි පිළිසකර කරනු ලැබුවා. එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ දී 1901 වසරේ දී බෙල් විසින් ලියා තිබුණු වාර්තාව බොහෝ උපකාර වුණා. 

1946 වසරෙන් ආරම්භ වුණු කැණීම් කටයුතු 1948 වසර වන විට සෑහෙන දුරකට අවසන් වී තිබුණා. ඒ වන විට ඒ, බී, සී යන පොකුණු ද ඇළ මාර්ගය ද සුද්ධ පවිත්‍ර කරගෙන තිබුණා. පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් පසුව පත්වුණු විවිධ පුරාවිද්‍යා කොමසාරිස්වරුන් රන්මසු උයනේ සංරක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවා. එම නිසා වර්තමානය වන විට රන්මසු උයන නැරඹීමට යන සංචාරකයන්ට එහි තිබෙන නටබුන් ඉතාමත් හොඳින් නරඹන්නට පුළුවන්.

රන්මසු උයනේ වර්තමාන ස්වරූපය (Incredible Lanka)   

අනුරාධපුරයේ නටබුන් නැරැඹීමට යන බොහෝ උදවිය රන්මසු උයනට යන්නේ නැහැ. ඒ එහි තිබෙන වැදගත්කම පිළිබඳව අවබෝධයක් නොමැති කම නිසා යි. එකල ලාංකිකයන් සතුව තිබුණු අපූරු හැකියාවන් නිරූපණය කරන මෙම උද්‍යානය ඔබ සැම අනිවාර්යෙන්ම දැකබලා ගත යුතු ස්ථානයක්. එම නිසා ඉදිරියේ දී අනුරාධපුරය නැරඹීමට යන අවස්ථාවක දී රන්මසු උයනට ගොස් එහි එහි අසිරිය දැකබලා ගන්නට අමතක කරන්න එපා! 

 

කවරයේ ඡායාරූපය- රන්මසු උයන (Inspirock)

මූලාශ්‍රයයන්- පුරාවිදු පර්යේෂණ- මහාචාර්ය සෙනරත් පරණවිතාන

                      පුරාණ අනුරාධපුරය- මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

Related Articles