පඩිකෙම්ගල බෝධිඝරයේ පාත්‍රා රෝපිත බෝධි වෘක්ෂය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික ස්මාරක අතර අදටත් වැඩි දෙනෙක් නොදන්නා තැන් බොහෝමයි. මේ නටබුන් අතර තිබෙන පඩිකෙම්ගල කියන්නේ අනුරාධපුර යුගයට අයත් පබ්බත විහාර වර්ගයට අයත් පූජනීය ස්ථානයක්.

අටපට්ටම් හැඩැති කැටයම් සහිත බෝධිඝරය මෙහි ඇති සුවිශේෂ ස්මාරකයක්. ඒ හැරුණුවිටපොළොවට යටවුණු නටබුන් රාශියක්  තවමත් තිබෙන පඩිකෙම්ගල ඉතිහාසය සොයා යාමට දැරූ උත්සාහයක් තමයි මේ.

පඩිකෙම්ගල පිහිටා ඇති අයුරු- Sundayobserver.lk

 පිහිටීම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහගල්වැව ග්‍රාමසේවා වසමේ මේ පුරාවිද්‍යා රක්ෂිතය පිහිටා තිබෙනවා. මහගල් වැව  වැවට මායිම් ව  අලංකාර වටපිටාවක් මේ පුදබිම අසල දී දැක ගැනීමට පුළුවන්. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස තරම් ඈත අතීතයකට පඩිකෙම්ගල හිමිකම් කියන බව එහිදී දැක ගත හැකි නටබුන්වලින් තහවුරු වී තිබෙනවා.  මේ පුද බිමට පඩිකෙම්ගල යැයි නම ලැබිමට හේතු වී ඇත්තේ  එහි පිහිටි ජලයෙන් පිරි ගල් කෙමක්.   

කෙමට බැසීමට ගල් පඩි කපා තිබෙන නිසා  එය පදනම් කරගෙන මේ විහාරයන්ට පඩිකෙම්ගල යන නම තබා ඇත්තේ මෑත අතීතයේදී යි. එහි පුරාණ නම කුමක්දැයි හඳුනා ගෙන නැහැ. වනගත ව පැවති මේ නටබුන් ස්ථානයට  වර්ෂ 1958 තරම් මෑතක ලූනම ඥානානන්ද හිමියන් ඇතුළු  භික්ෂූන් වහන්සේ පිරිසක් පැමිණ එහි විහාර බිමක් ආරම්භ කළා.  පබ්බත විහාරයට අයත් ස්මාරක වන දාගැබ, බෝධිඝරය, පිළිම ගෙය, උපෝසථඝරය වැනි අංග මෙයට ඇතුළත්ව පැවති බව නටබුන්වලින් හෙළි ව තිබෙනවා.

විහාර බිමේ පැරණි මුරගල්- Sundayobserver.lk 

නටබුන් පබ්බත ආරාමය

පඩිකෙම්ගල නටබුන්  පිහිටා තිබෙන්නේ තරමක් උස් වූ කඳු ගැටයක් ආශ්‍රිත ව යි. අක්කර 50ක පමණ භූමියක විහාරයට අයත් නටබුන් විසිරී පවතිනවා. කළුගල් කුට්ටිවලින් නිම කළ උස් පදනම් මත ආගමික ගොඩනැඟිලි ඉදිකර තිබූ බව පේනවා.  ප්‍රධාන පිවිසුම් දොරටව හරහා ආරාම බිමට පැමිණීමට උස් පඩි පෙළක් තිබෙන්නට ඇති වුවත් අද එය දැක ගත නොහැකි යි.  ඉතිරි ව ඇති මුර ගලෙන් පෙන්නුම් කරන්නේ එවැනි ප්‍රවේශ දොරටුවක් තිබෙන්නට ඇති බව යි.

 නූතන  විහාරය ගොඩනඟා ඇත්තේ පිවිසුම් දොරටුවේ වම් පසින් පහත බිමේ යි. සංඝාවාසය ඇතුළු නූතන ගොඩනැගිලි එහි දැක ගත හැකි වෙනවා.  පුරාණ නටබුන් පිහිටි කඳුගැටයේ ඉහළට පිවිසීමට නූතන විහාරය පසුකර ගමන් කළ යුතු වෙනවා.  වල් බිහි වී ගිය උස් ගඩොල් ගොඩැල්ලක් කඳුගැටයට ආසන්න ව පිහිටි අතර එය පුරාණ දාගබ යි. 

ඒ අවට අනුරාධපුර මුල් යුගයේ ලක්ෂණ සහිත ගඩොල් තැනින් තැන විසිරී තිබෙනවා. දාගබ අසල ම දාගබේ තිබෙන්නට ඇති බව සැලකිය හැකි දෙකඩ කළ යන්ත්‍ර ගලක් ද දැකගත හැකි යි. එය දෙකඩ කර ඇත්තේ නිදන් හොරුන් බව පේනවා.  දාගබ හැරුණු විට කැණීම් කර සංරක්ෂණය කර ඇති පිළිම ගෙය,  වෙනත්  පැරැණි ගොඩනැඟිලිවලට අයත් දැනට ශේෂ ව පවතින දැවැන්ත ගල් කණු, අලංකාර මුරගල්, යන්ත්‍රගල්, සිරිපතුල් ගල් කියාපාන්නේ අනුරාධපුර යුගයේදී මෙම විහාරය රුහුණේ ඉතා සශ්‍රීක විහාරයක් ලෙස ප්‍රකට ව පැවති බව යි.

හිස විනාශ වුණු බුදු පිළිමයක්- සූරියවැව අපේ ගම facebook page

 ඉතිහාසය

පුරාණ රෝහණයේ ප්‍රථම පාලකයා ලෙස සැලකෙන්නේ දේවානම් පියතිස්ස රජුගේ සොහොයු‍රකු වුණු මහානාග යුව රජු යි. අනුරාධපුර  රජ මැඳුරේ ම  මහානාග යුව රජුට විරුද්ධ ව කුමන්ත්‍රණ සිදු වූ නිසා  රුහුණට පලා ආ යුව රජු වර්තමාන තිස්සමහාරාමය අසල මාගම අගනුවර කර ගනිමින් රෝහණයේ රාජධානියක් පිහිටුවා ගෙන  තිබෙන බව වංශකතා සඳහන් කරනවා.

ඒ අවට පාලනය කරන අතර ම මහානාග යුව රජු බුදු දහමට අනුග්‍රහය සලසමින් විහාරාරාම රාශියක් ඉදිකරවනවා. යටාල විහාරය, නාග මහ විහාරය, උද්ධකන්දර විහාරය ඇතුළු විහාර කරවන අතර පඩිකෙම්ගල විහාරයත් ඒ රජුගේ කර්මාන්තයක් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මහාවංශයේ මෙම විහාරය ගැන සඳහන් වන්නේ නැහැ. එමනිසා විහාරයේ ඉතිහාසය ගොඩනැඟීමට සිදු වී ඇත්තේ විහාර භූමිය පුරා දක්නට ලැබෙන නටබුන්වල ස්වභාවය අනුව යි.

 බෝධිඝරයේ අලංකාරත්වය-heritage and culture traveler facebook page

අලංකාර බෝධිඝරය

පඩිකෙම්ගල නටබුන් අතර දැක ගත හැකි ආකර්ශනීය ම ස්මාරකය වන්නේ අටපට්ටම් හැඩැති බෝධිඝරය යි. එය පුරාණ රුහුණේ අලංකාර ම බෝධිඝරය ලෙස සැලකෙනවා. එය දුලබ වාස්තු විද්‍යාත්මක සැලසුමක් සේ සැලකිය හැකි යි. පස්වලට යට ව පැවති මෙම ස්මාරකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කර  1988 දී මතුකර  පුරාණ ස්වරූපය සුරැකෙන සේ සංරක්ෂණය කර තිබෙනවා.  පැති අටක් සහිත එම බෝධිඝරය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත යි.  පිටත මාලයට ගඩොල් බිත්ති සහ ඒ මත සිටවූ ගල් කණු යොදා ගෙන කර තිබෙනවා. දැනට පිට මාලයේ ගඩොල් පදනම සහ ගල් කණු දෙකක් පමණක් ශේෂ වී පවතිනවා. එමඟින් පැහැදිලි වන්නේ පිටත මාලය හා සම්බන්ධ ව පැවැති වහලයකින් බෝධිඝරය ආවරණය වී පැවති බව යි.  

බෝධිඝරයේ මධ්‍ය කොටසේ පිවිසුමෙන් ඇතුළු වූ විට එහි මැද දක්නට ලැබෙන්නේ සෙන්ටි මීටර 27ක පමණ උසකින් හා පතුලේ විශ්කම්භය සෙන්ටි මීටර 50ක් පමණ වූ වෘත්තාකාර කුඩා වේදිකාවක්. බිම ඇතිරූ ගල්පුවරු මත ගලින් ම නිර්මාණය කර ඇති මෙම නිර්මාණයේ ස්වභාවය අනුව බෝධිඝරය මධ්‍යයේ බෝධි වෘක්ෂයක් රෝපණය කිරීමට තරම් ඉඩකඩක් ඇති බවක් පේන්නේ නැහැ.  

 බෝධිඝර කැටයම් -History – ඉතිහාසය  facebook page

  පාත්‍රයක රෝපිත බෝධිය

බෝධිඝරයේ අලංකාරම නිර්මාණය මෙම කොටස වන අතර, එය බොරදම් කැටයම්, හස්ති හිස් පෙළක් හා වාමන රූප පෙළකින් ද අලංකාර කර තිබෙනවා. ප්‍රවේශ දොරටුව හැර සෙසු පැති හතෙහි මධ්‍යයේ විශ්කම්භය සෙන්ටි මීටර 9ක් පමණ වූ වෘත්තාකාර පුවරු දැක ගත හැකි යි. එම පුවරුවල බුදු සිරිතේ අවස්ථා කැටයම් මඟින් නිරූපණය කර තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් එම කැටයම් පුවරු ගෙවී ගොස් හඳුනා ගත නොහැකි ලෙස විනාශ වෙලා. වෘත්තාකාර පුවරුවලින් දැනට හඳුනාගත හැක්කේ සුජාතා සිටු දියණියගේ කිරිපිඬු පූජාව දැක්වෙන කැටයම් පලකය පමණ යි.

මෙම කොටසේ ගල් පුවරුවල ඉහළ එක් පැත්තක දෙක බැගින් වන සේ සැකැසූ සතරැස් සිදුරු සහිත යි. බෝධිඝරය ඇතුළත කළ පුරාවිද්‍යා කැණීම්වලදී ගලින් කළ පාත්‍රයක කොටසක් හමු වුණා.  ජනප්‍රවාදයේ පවතින මතය වන්නේ ද මධ්‍යයේ පිහිටි පීඨිකාව මත තැබූ පාත්‍රයක රෝපණය කළ බෝධි වෘක්ෂයක් තැන්පත් කර වන්දනා මාන  කරන්නට ඇති බව යි. බෝධිඝරයේ නිර්මාණ ලක්ෂණ දෙස බැලූ විට පෙනී යන කරුණ වන්නේත් පාත්‍රයක සිට වූ බෝධීන් වහන්සේ නමක් පුරාණයේ මෙහි පැවැති බව යි. එය පාත්‍රයක රෝපණය කර ඇති නිසා විශාල ගසක් බවට පත්වීම වැලකෙන්නට ඇති. අපට නම් හිතෙන්නේ එය පුරාණ රජ කාලේ පැවති බොන්සායි බෝධියක් විය හැකි බව යි.

 පිළිම ගෙය සංරක්ෂණය කරමින් – Sundayobserver.lk

වෙනත් නටබුන්

පිළිම ගෙයක නටබුන් ද මෙහි පවතිනවා. එය පිළිම ගෙය වටා යන සේ කළ ගඩොල් ප්‍රාකාරයක් ද සහිත යි. එම ගොඩනැඟිල්ල ද පුරාවිද්‍යා සංරක්ෂණයට ලක් කර තිබෙනවා. බෝධිඝරය පසෙකින් නැඟී සිටි ගල් කණු දාසයක් සහිත ගොඩනැඟිල්ල කුමක් දැයි තවමත් හඳුනා ගෙන නැහැ.  ඒ අසලින් වැසිකිළි ගලක් ද හමු වී තිබෙනවා. ඒ නිසා මෙය ආගමික ගොඩනැඟිල්ලක් නොව ගිමන්හලක් යැයි මතයක් ද පවතිනවා.

 සංරක්ෂණය කළ පිළිම ගෙය- සූරියවැව අපේ ගම-  facebook page

 

කැටයම් නොකළ සඳකඩ පහණ, බුදු පිළිමවල නටබුන්, කොරවක්ගල සහිත ශෛලමය පියගැට පෙළ ආදී නටබුන් වනගත ව පවතින අයුරු දකගත හැකි යි . තවත් තැනෙක ඉතා උස් වූ ගල් කණු රැසකින් යුත් ගොඩනැඟිල්ල  ධර්ම ශාලාවක් යැයි අනුමාන කරනවා. භික්ෂුන් වහන්සේ වැඩ සිටියේ යැයි සැලකෙන කුටි හයක නටබුන්වල පදනම් ද මෙහි පිහිටා තිබෙනවා.  

 මහගල්වැව අද්දර නටබුන්- Govermeta.com

මහගල්වැව

පඩිකෙම්ගලට නුදුරින් පිහිටා ඇත්තේ පුරාණ වැවක් සේ සැලකෙන මහගල් වැව යි. මලල ආරෙන් පෝෂණය වන එහි විශාලත්වය ජල ධාරිතාව අක්කර අඩි 2760ක්. එය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද වන විට අක්කර 300 ක් පමණ වන කුඹුරු වගාබිම් සඳහා දෙකන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සපයා දෙනවා. විහාර බිමට නුදුරින් මෙම වැව් තාවුල්ලේ මෙගලිතික සුසාන භූමියක් ද හමු ව තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ අවට ජනාවාස ව පැවති බව ඒ අනුව පැහැදිලි වෙනවා. මහගල්වැව පිටවාන ආශ්‍රිත ව තවත් පුරාවිද්‍යා නටබුන් කිහිපයක් ම හමු ව තිබෙනවා. ඒ අවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ ගවේෂණවලින් පුරාණ ස්මාරක සහිත ස්ථාන 33ක් හඳුනා ගෙන ඇති බව සඳහන්. මේ ස්ථාන සියල්ල ම අනුරාධපුර මුල් යුගයට ලක්ෂණ සහිත යි. නිදන් හොරුන්නේ අතවරයට ලක්වූ මේ ස්ථාන කැණීම් කර නැති නිසා ඒ ගැන පැහැදිලි විස්තරයක් නම් පැවසීමට අසීරු යි.

කවරයේ ඡායාරූපය - අටපට්ටම් බෝධිඝරය- Sundayobserver.lk 

මූලාශ්‍ර :

දිනමිණ

Govermeta.com

Sundayobserver.lk

Lankadeepa.lk

Related Articles