සබරගමු මහ සමන් දේවාල පෙරහරේ අමුතු කතා

සෑම අවුරුද්දක ම ජුලි මාසයේ දී රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්ලය පැවැත්වෙනවා. ගියවර මෙන්ම මෙවරත් කොවිඩ් අවදානම නිසා පෙරහර, බැතිමතුන්ගෙන් තොරව චාරිත්‍රවලට පමණක් සීමා වී පැවැත්වීමටයි, සිදුව තිබෙන්නේ. මහ සමන් දේවාල පෙරහරට පමණක් සීමා වූ විශේෂ අංග කිහිපයක් ගැන විමසා බැලීමටයි මේ උත්සාහය.

සමන් දේවාල වාහල්කඩ- Wikimedia.org

පෙරහරේ අතීතය

ශ්‍රී ලංකාවේ දේවාල අතුරින් බුදුන්වහන්සේට මුල්තැන දෙන එකම දේවාලය සමන් දේවාලයයි.  රත්නපුර සමන් දෙවොලේ බුද්ධ ප්‍රතිමා මන්දිරයක් සහ නටබුන් දාගැබක් ද දැකගත හැකියි. සමන් දේව ලිඛිත ඉතිහාසය ගම්පොළ යුගය දක්වා ඇදී යනවා. ගඩලාදෙණිය විහාරයේ ගම්පොළ IV වන භුවනෙකබාහු රජුගේ කාලයට අයත් (14 වැනි සියවස) ශිලා ලේඛනයේ “උපුල්වන් සමන් බොක්සල් ස්කන්ධ විභීෂණාදී දෙවියන්ගේ ආඥාව” යනුවෙන් සඳහන් වෙනවා. 14 වන සියවස පමණ වනවිටත් සමන් දේව ඇදහීම උඩරට ප්‍රදේශයේ පවා ප්‍රචලිතව පැවැති බවයි ඉන් පැහැදිලි වන්නේ.

පෙරහර වීදි සංචාරය කරමින්- සබරගමු මහ සමන් දේවාලය facebook page

දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (1236-1270) තඹ සන්නසේ සමන් දෙවියන් උදෙසා ගම්වර පූජා කිරීමක් පිළිබඳ දැක්වෙනවා. කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ රත්නපුර සමන් දේවාල ගල් සන්නසේ රජු දේවාලයට කළ පුද පූජා ගැන සඳහන්. මෙම සන්නස පෘතුගීසින් විනාශ කළත් එහි පුස්කොළ පිටපත් හමු වී තිබෙනවා. සන්නසට අනුව රත්නපුර සමන් දේවාලය ඉදිකරවා ඇත්තේ දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේදීයි. කෝට්ටේ යුගය වනවිට එම පුදබිම ප්‍රකට පූජ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. පසුව සීතාවක රාජධානි සමයේ දී මේ දේවාලය තවත් වර්ධනය වුණා. මෙහි පෙරහරත් සීතාවක රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් ආරම්භ වූ බව විශ්වාස කෙරෙනවා.

කවුරුත් ප්‍රිය කරනා මහ බඹා – – facebook

මහ බඹා කෝලම

සමන් දේවාල පෙහරරේ ඉදිරියෙන් ම ගමන් කරන කැපී පෙනෙන අංගයක් වන්නේ මහ බඹා කෝලමයි. එය ලොකු කුඩා කවුරුන් අතරත් ජනප්‍රිය විනෝදයක් ද ලබාදෙන නර්තන අංගයක්. එය සබරගමු සමන් දේවාලයට පමණක් සීමා වී පැවතියත් පසුකාලීනව  අවට දේවාල කිහිපයකත් එම අංගය රඟදැක්වීම ආරම්භ වී තිබෙනවා. මේ කෝලම සීතාවක රාජසිංහ රජු පෙරහරට එක් කළ අංගයක් බවයි ජන විශ්වාසයේ පවතින්නේ.  එකම මුහුණේ ඉදිරිපස සහ පසුපස මුහුණු ස්වරූප දෙකක් නිරූපණය කෙරෙනවා. මුහුණේ එක් පැත්තක් භයානක ලෙසත් අනෙක් පැත්ත පියකරු ලෙසත් නිර්මාණය කර තිබෙනවා. සමන් දෙවිඳුන් වෙනුවෙන් ඉදි වූ බොල්තුඹේ, මහියංගණය සහ දැරණියගල සමන් දේවාල පෙරහරවලදී ද වර්තමානයේ මහ බඹා දැකගත හැකියි.

 මේ ඒ පිළිබඳව කියවෙන ජන කවියක්:

හොඳ මිනිසුන් හට මහ බඹු වාගේයි කරුණා ගුණයෙන් සලකන්නේ

තද අය දුටු තැන රකුසකු වාගෙයි පැවතුම         රජසිහ නිරිඳුන්ගේ

නිදසුන් කොට එය දක්වනු සඳහා මුහුණු දෙකකි රූපෙට     ගන්නේ

අද දක්වා මෙහි නැටුම සබරගමු නමින් හැඳින්වී           පවසන්නේ

සබරගමු මහ සමන් දේවාල පෙරහරේ ගෙන යන මහ බඹා උසින් අඩි අටක්, දහයක් පමණ වෙනවා. මහබඹා අනුරුවට ඉතාමත් විනීත ලෙස ඇඳුම් අන්දවා තිබෙන බව දක්නට පුළුවන්. මින් අදහස් කරන්නේ ආචාරශීලිත්‍වයයි. දකුණතේ අමෝරාගත් කඩුවක් සහ මල් පොකුරක් තියෙනවා. වම් අත ඉඟටියට තබා ගෙන සිටිනවා.

 පෙරහර කරඬුව වැඩම කරමින් – සබරගමු මහ සමන් දේවාලය facebook page

මහ බඹා මගින් නිරූපණය වන්නේ රාවණාගේ සහෝදරයකු වූ කුම්භකර්ණ බවටත් සමහරුන් මත පළ කර තිබෙනවා.  මහ බඹාගේ වියරු හා සාමකාමී මුහුණු දෙකෙන් කුම්භකර්ණ සංකේතවත් වන බවත්, ඔහුට මහ බඹා යනුවෙන්අන්වර්ථ නාමයක් පට බැඳුණු බවත් කියැවෙනවා. මෙය තාවකාලික පඹයකු වැනි පිළිරුවක් වන අතර එය තනන්නේ උණ ලී භාවිතයෙන්. මහ බඹා ගේ සැකිල්ල ඔසවා ගත් පුද්ගලයකු මහ බඹු පිළිරුව පෙරහරේ ගමන් කරවනවා. මහ බඹා නිර්මාණය කිරීම පැවරී ඇත්තේ නිවිතිගල කොලොම්ඹුගමුවේ කෝලම්කරුවන්ගේ පරම්පරාවටයි.

No photo description available.
සමන් දේවාලයේ දික්ගෙය – facebook.com/ceylongemssl

අතුරුදහන් වූ දිග්ගෙයි නැටුම

දේවාලවල ඉදිරිපසින් දිග්ගෙය නමින් දිගින් වැඩි පළලින් අඩු විශේෂ මණ්‌ඩපයක්‌ සැකසීම පුරාණයේ සිට දකින්න ලැබුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණයක්. සමන් දේවාලයේ දිග්ගෙය දිගින් අඩි 60ක්ද පළලින් අඩි 14ක් ද වෙනවා. මෙම මණ්ඩපයේ දේව ගීතිකා, ප්‍රශස්‌ති කාව්‍ය ගයමින් ස්‌ත්‍රීන් විසින් ම පමණක්‌ පවත්වන ලද දිග්ගෙයි නර්තනය භාරතීය දේවදාසී නර්තන ක්‍රමයේ ආභාසයෙන් නිර්මාණය වූ බව බොහෝ විචාරකයන්ගේ පිළිගැනීමයි. 

එම නාටිකාංගනාවන් යටි කයට දුහුල් වස්‌ත්‍ර ඇඟ ලා, උඩුකය නග්න ව (නිරුවත්ව) අනුරාගී හැඟීම් දනවන අයුරින් නර්තන ඉදිරිපත් කළ බවට ඒ සඳහා භාවිත කළ පුරාණ ගීත සාහිත්‍යයෙන් පැහැදිලි වෙනවා. පසුකාලීන ව දේවාලයේ නර්තනයට එක්වූ නිලතල ලද ස්‌ත්‍රීන් මන්ත හැට්‌ටය සහ ඔසරියෙන් සැරසී රංගනයේ නිරතවී තිබෙනවා.

සමන් දේවාල ඇසළ පෙරහරේ දිය කපා, අවසන් රාත්‍රියේ දෙවියන්ගේ චිරස්‌ථිතිය සඳහා ප්‍රශස්‌ති ගායනා කරමින් ස්‌ත්‍රීන් පවත්වන මෙම නර්තනය බස්‌නායක නිලමේ ප්‍රධාන නිලමේවරුන් හා ප්‍රභූන් ඉදිරියේ පමණක්‌ රඟදැක්‌ වූ රහස්‌ නැටුමක් බවට පසුව පත් වුණා. සබරගමු ජන කලාවේ අංගයක්‌ ලෙස සැලකිය හැකි වුවත් වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ සහිත වූ දිග්ගෙයි නර්තනය පසුකාලීනව අභාවයට ගොස් තිබෙනවා.

කාන්තාවන් නර්තනයේ යෙදෙමින්- සබරගමු මහ සමන් දේවාලය facebook page

ස්‌ත්‍රීන්ට ම පමණක්‌ වෙන් වූ ලංකාවේ එකම නර්තන ක්‍රමය  දිග්ගෙයි නර්තනය ලෙස සැලකෙනවා. සබරගමු මහ සමන් දේවාලයේ වසර සත්සියයක්‌ පමණ අඛණ්‌ඩව පවත්වාගෙන ආ මෙම චාරිත්‍ර ක්‍රමය අවසන් වරට රඟ දක්‌වා තිබුණේ ක්‍රි.ව 1948 දී බව පැවසෙනවා. එම අවසන් නැටුමට එක්ව සිටි නාටිකාංගනාවන්ගේ පරම්පරා හතර ලෙස රත්නපුර, ඕපනායක, හුණුවල විසූ නෝනාහාමි, රම්මල්හාමි සහ ඩිංගිරි මැණිකේ යන හුණුවල මාණික්‍යමහගේලා ලෙස සඳහන් වෙනවා. ඔවුන්ගේ පෙළපත් නාමය වී ඇත්තේ බ්‍රාහ්මණරාල කාව්‍ය මලවරන්නැහැලාගේ යන්නයි. එකල මහ පෙරහර වකවානුවේ අවස්ථා පහක දී දික්ගෙයි නැටුම ඉදිරිපත් කළ යුතු වුණා. ඒ නැටුමේ ගායනය සඳහා භාවිත කරන්නේ කාන්තා නැටුමට ගැළපෙන සින්දු මාත්‍රයට අයිති කවි විශේෂයක්. දින 4 ක දී දික්ගෙය නැටුම් කණ්ඩායම් 4 ක් වෙන වෙනම රැඟුම් ඉදිරිපත් කරනවා. අවසන් දිනයේ කණ්ඩායම් 4 ම නටා අවසන් කිරීම තමයි සම්ප්‍රදාය වුණේ. කණ්ඩායම් 4 ම එක්වන අවසන් දිනය එම නැටුමේ උච්චත ම අවස්ථාව ලෙස සැලකුණා.  දිග්ගෙයි නැටුම අහෝසි වීමෙන් පසු අද ශේෂ වී ඇත්තේ කාන්තාවන් ඉදිරිපත් කරන ආලත්ති බෑම නම් වූ කෙටි නාට්‍ය විලාසිතාව පමණයි.

දික්ගෙයි නැටුම සඳහා සුවිශේෂ ඇඳුමක් ද තිබුණා. ඒ සඳහා ඇඳ තිබෙන්නේ ‘මන්ත හැට්ට’ නම් හැට්ටයයි.  කරවටා රැළි පටියක් සහිත වළලු කර දක්වා ඇති හැට්ටයක් හා ඔසරියක් එහිදී ඇඳ තිබෙනවා. මේ නැටුම සඳහා සහභාගි වන කණ්ඩායම් 4 ට කවි නිල 4ක් ද පැවතුණා.  දිග්ගෙයි නටන කණ්ඩායම්වලට ගම්වර ද ලබා දී තිබුණා.  මේ නැටුමට වාදනය කර තිබෙන්නේ පටහ බෙර නමින් සඳහන් වන විශාල බෙරයක්.

 ගඟේ පෙරහර යාත්‍රා කරමින් – lankadeepa.lk

ගඟේ පෙරහර

අවසන් රන්දෝලි පෙරහරින් පසු දිය කැපීමේ පෙරහර පවත්වනවා. මෙහි විශේෂත්වය නම් කළු ගඟ දිගේ ඔරු පාරු සහිත පෙරහරකින් දිය කැපීමට ගමන් කිරීමයි. අලුයම් කාලයේ දිය කැපීමේ පෙරහර දේවාලයෙන් පිටත්වී රත්නපුර – පාණදුර පාරට පැමිණ එතැන් සිට කොටාඹේ තොටුපොළ දක්වා අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායයට අයත් නර්තනාංග සහිත ව ගමන් කරනවා.
කොටාඹේ තොටුපොළේ සිට පෙරහර කළු ගඟ දිගේ ඔරු අඟුල්වල  මල්වල රතඹලා ඇල්ල දක්වා ගමන් කිරීම ඉතා අලංකාර දසුනක්.

 දිය කැපීමට සූදානම් වෙමින් – dinamina.lk

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ගඟේ  පෙරහර මෙයයි. කිලෝ මීටර් හයක් පමණ කළු ගඟ දිගේ පෙරහර ඉහළට ගමන් කරනවා.  දිය කැපීමේ චාරිත්‍රයට දේවාලයේ රාජකාරිකරුවන්, කපු මහතුන් මෙන් ම ගම්වාසීන් ද සහභාගි වෙනවා.  දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව ගිය මග ඔස්සේම තොටුපළ දක්වා යළි පැමිණෙනවා. දිය කපා ආපසු එන ගඟේ පෙරහරට බැතිමතුන් පඬුරු දමන්නේත්, පූජා වට්ටි පූජා කරන්නේත් දියට බැස ගමන් කිරීමෙනුයි.

කවරයේ ඡායාරූපය- මහබඹා කෝලම පෙරහරේ ගමන් කරමින් - facebook 

මූලාශ්‍ර:

සබරගමුව වංශ කතාව- 2 වන වෙළුම

දේව පුරාණය  සමන් දෙවොල - මඩලගම වජිරබුද්ධි හිමි

Dinamina.lk

Lankadeepa.lk

සමන් දේවාල පෙරහරේ ඓතිහාසික පසුබිම- විනී ලයනල් ගලහිටියාව - divaina.com 

Related Articles