කොළොම්බස්ගේ ආගමනයෙන් නිජබිම් අහිමි වූ ස්වදේශීය ඇමෙරිකානුවෝ

ඇමෙරිකානු මහද්වීපයේ (සමස්තයක් ලෙස උතුරු සහ දකුණු ඇමෙරිකානු මහද්වීපයන් දෙකෙ හි එකතුව) බොහෝමයක් රටවල් සෑම වසරක ම ඔක්තෝබර් දොළොස් වැනි දින (ඇමෙරිකා එක්සත් ජනපදයේ දී නම් ඔක්තෝබර් මස දෙවැනි සඳු දින) කොළොම්බස් දිනය සමරන්නේ ක්‍රිස්තු වර්ෂ 1492 ක් වූ ඔක්තෝබර් මස 12 වැනි දින සිදු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස්ගේ ඇමෙරිකානු ආගමනය සිහි කිරීම සඳහා යි. ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති කොළොම්බස් දිනයේ දී වර්ණවත් පෙළපාලි ඉතාමත් සුලබ වන අතර නව ලොවකට මංපෙත් පෑදූ ක්‍රිස්ටෝපර් කොළොම්බස් වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වීම ද ලතින් ඇමෙරිකානු රටවල දී දක්නට ලැබෙනවා.

කොළොම්බස් දින පෙළපාලියක් (trumphotels.com)

නමුත් ඇමෙරිකානුවන් මෙසේ මහත් හරසරින් යුක්ත ව සමරනු ලබන්නේ ක්‍රිස්ටෝපර් කොළොම්බස් සහ ඔහුගේ නාවිකයන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ස්වදේශිකයින් ව වහලුන් බවට පත් කළ, ඔවුන් ව බලහත්කාරයෙන් කතෝලික දහමට හරවා ගත් සහ ස්වභාවික වස්තූන් සොයා යෑම සඳහා ඔවුන්ට වධහිංසා පැමිණ වූ දිනය බව ඔබ දැන සිටියා ද?

අතීතයේ ආසියාවේ බලය මෝංගෝලියානු අධිරාජ්‍යය සතු ව පැවති සමයේ දී සේද මාවත ඔස්සේ යුරෝපීය ජාතිකයන්ට ඉන්දියාවට (සමස්ත දකුණු සහ නැගෙනහිර ආසියාව) සහ චීනයට පැමිණීමට මොන ම අයුරක හෝ බාධාවන් පැවතුණේ නැහැ. ආසියාවට පැමිණ වටිනා සේද රෙදි සහ කුළුබඩු යුරෝපයට රැගෙන යාමට පැවති නිදහස අහිමි වූයේ කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කිවරුන්ගේ පාලනයට නතු වීමෙන් පසු ව යි. මේ හේතුවෙන් පෘතුගීසි නාවිකයින් ආසියාවට ළඟා වීම සඳහා මුහුදු මාර්ගයක් සෙවීම කෙරෙ හි යොමු වුණා.

ක්‍රිස්ටෝපර් කොළොම්බස්ගේ සේයා රුවක් (en.wikipedia.org)

ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොළොම්බස්ගේ සිතේ ද ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා ගැනීම සඳහා සැලැස්මක් පැවති අතර ඔහු එය එවකට පෘතුගාලයේ සිහසුන දැරූ දෙවැනි ජෝන් රජුට ඉදිරිපත් කළ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූයේ නැහැ. පසු ව ඔහු ස්පාඤ්ඤයේ ෆර්ඩිනැන්ඩ් රජු සහ ඉසබෙලා රැජින සමගින් ගිවිසුමකට එළැඹුණේ ඔහු විසින් ඉන්දියාවේ දී සොයා ගන්නා වස්තුවෙන් 90% ක ප්‍රමාණයක් ස්පාඤ්ඤය සඳහා ලබා දීමේ පොරොන්දුව මත යි. ඒ අනුව ස්පාඤ්ඤයේ රාජ්‍ය අනුග්‍රහය සහිත ව වර්ෂ 1492 ක් වූ අප්‍රේල් මස 3 වැනි දින ක්‍රිස්ටෝපර් කොළොම්බස් ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා යෑම සඳහා ස්පාඤ්ඤයේ ‘පාලෝස් ඩි ලා ෆ්‍රොන්ටෙරා’ නැව් තොටින් ඔහුගේ නෞකා ත්‍රිත්වය දියත් කළා.

මාස කිහිපයක දිගු මුහුදු චාරිකාවකින් අනතුරු ව ක්‍රිස්තු වර්ෂ 1492 ඔක්තෝබර් 12 වැනි දින කොළොම්බස් ඇතුළු පිරිස බහමාස් දූපතට ගොඩ බට අතර එහි දී ඔහුට හමු වූ සාමකාමී සහ මිත්‍රශීලී අරාවෙක් ගෝත්‍රිකයින්, ඉන්දියාවේ සංචාරය කරන්නට යෙදුණු යුරෝපීයයන් පැවසූ අන්දමින් ම අඳුරු පැහැයෙන් යුතු වූ අතර ම ආගන්තුක සත්කාරයට බොහෝම ළැදි වූවන් වුණා.

ජෝන් වැන්ඩලින් සිතුවම් කළ කොළොම්බස්ගේ ගොඩ බැසීම (en.wikipedia.org)

තමන්ගේ දේශයට පැමිණි සුදු ජාතික ආගන්තුකයින්ට ආහාර සහ ජලය ලබා දී ඔවුන් ව සුහද ව පිළිගත් ආරවෙක් ගෝත්‍රිකයන් ගැන කොළොම්බස් ඔහුගේ සටහන් පොතේ ලියා තැබුවේ මේ ලෙස යි.

“ඔවුන් අප වෙත ගිරවුන්, කුන්තයන්, කපු නූල් බෝල සහ තවත් බොහෝ දෑ රැගෙන ආ අතර ඒවා වීදුරු බෝල සහ මිණිගෙඩි සමග හුවමාරු කර ගත්තා. ඔවුන් සතු වූ සෑම දෙයක් ම ඔවුන් හුවමාරු කර ගත්තේ කැමැත්තෙන් ම යි. හොඳින් වැඩුණු ඔවුන්ට ශක්තිමත් සිරුරු සහ කඩවසම් අංග ලක්ෂණ පිහිටා තිබෙනවා. වංශ සලකුණු නොමැති ඔවුන් කොතරම් නොදැනුවත් ද කියනවා නම් මගේ කඩුව ඔවුන්ට පෙන් වූ විට එය මුවහත් කෙළවරින් අල්ලා ගත් ඔවුන් එයින් සිරුර කපා ගත්තා. යකඩ භාවිත නොකරන ඔවුන් කිණිසි සකස් කරන්නේ වේවැල්වලින්. වහලුන් ලෙස යොදා ගන්න ඔවුන් කදිම යි. මා සතු ව තවත් සේවයකයින් පනස් දෙනෙක් සිටිනවා නම් ඔවුන් ලවා මට ඕනෑම දෙයක් කරවා ගන්නට හැකි වේවි.”

කොළොම්බස් මේ බව ස්පාඤ්ඤ රජු වෙත ලියා යැවීමෙන් අනතුරු ව පොරොන්දු වූ පරිදි ම සොයා ගන්නා ලද වස්තුවෙන් 10% ක් ඔහු වෙත හිමි වූ අතර ‘මහා සමුද්‍රයේ නාවුක සේනාධිපති’ නම් ගෞරව නාමය ද ඔහු වෙත පිරි නමනු ලැබුවා. ඉන් අනතුරු ව එළැඹුණු මාස කිහිපය තුළ කියුබාවේ, කැරිබියානු දූපත් හි සහ හිස්පැණියෝලාවේ සංචාරය කරන්නට යෙදුණු කොළොම්බස්, 1493 ජනවාරි මාසයේ දී ස්පාඤ්ඤය බලා යාමට නැව් නැග්ගේ ඇමෙරිකානු මහද්වීපය අත්පත් කර ගැනීමට ප්‍රමාණවත් තරම් සේනාවක් රැගෙන ඒම සඳහා යි.

ඉයුජීන් ඩෙලෙක්වා සිතුවම් කළ යළි ස්පාඤ්ඤයට පැමිණි කොළොම්බස් (en.wikipedia.org)

කියුබාව ආසියාව ලෙස ද හිස්පැණියෝලාව චීනය ලෙස ද හඳුනා ගත් ක්‍රිස්ටෝපර් කොළොම්බස්, ඒ පිළිබඳ ව ඔහුගේ සටහන් පොතේ වදන් ගළපා ඇත්තේ මේ අයුරින්.

“හිස්පැණියෝලාව ආශ්චර්යමත් දේශයක්. එහි ඇති කඳු වැටි, නිම්න භුමි සහ වගා බිම් ඉතාමත් අලංකාර මෙන් ම සාරවත් ඒවා. බොහෝමයක් මුහුදු වෙරළවල් හි දී හොඳ ම තත්ත්වයේ ඇති ස්වභාවික වරායන් දකින්නට ලැබෙනවා වගේ ම සෑම ගං ඉවුරක් දෙපස ම රන් සොයා ගත හැකි යි. මෙහි ඕනෑ තරම් කුළුබඩු, රන් ආකර සහ අනෙකුත් ලෝහ වර්ග පවතිනවා.”

ඇමෙරිකාවේ දී කොළොම්බස් සොයා ගත් වහලුන්, රන් ආකර සහ සාරවත් ගොවිබිම් ගැන සතුටට පත් වූ ස්පාඤ්ඤ රජු ඇමෙරිකාව යටත් කර ගැනීම සඳහා නෞකා 17 ක් හා නාවුකයින් 1,200 කට අධික පිරිසකින් සමන්විත බල ඇණියක් ලබා දුන්නා. ඉදිරි වසර කිහිපය පුරාවට රජුට ලබා දුන් පොරොන්දුව ඉටු කරනු වස් කොළොම්බස් සිදු කළේ ස්වදේශිකයින් ව අමානුෂික ලෙස රන් ආකරවල වැඩට යෙදවීම යි. ඔහුට අවනත නොවූවන්ගේ හිස් ගසා දැමීම සහ කන් කපා දැමීම සිදු වුණා. මේ හේතුවෙන් දෙවසරක් තුළ දී රතු ඉන්දියානුවන් 250,000 ක අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.

කොළොම්බස්ගේ නෞකා (flotillafacts.com)

ස්වදේශික පිරිමින් වහලුන් ලෙස රන් ආකරවල සේවයේ යෙදෙන විට මනා රුවකින් යුතු වූ කාන්තාවන්ට සිදු වූයේ ලිංගික වහලුන් ලෙස අලෙවි වීමට යි. මේ සඳහා නව හැවිරිදි වියේ පසු වූ දැරියන් ද ඇතුළත් වූ බව කොළොම්බස්ගේ නාවුක සටහන් පොත කියවීමේ දී පැහැදිලි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1500 දී ඔහු ඇතුළත් කළ සටහනක් මෙසේ යි.

“සාමාන්‍ය ගොවි කතක් සඳහා කැස්ටෙලානෝ (පැරණි ස්පාඤ්ඤ රන් කාසියක්) සියයක් ලබා ගැනීම ඉතා පහසු කටයුත්තක්. ගැහැනුන් ව මිලට ගැනීමට කැමති ගනුදෙනුකරුවන් ඕනෑ තරම් සිටින අතර මේ දිනවල වෙළඳපොළේ ඉහළ ම ඉල්ලුමක් ඇත්තේ වයස අවුරුදු 9 – 10 අතර වයසේ පසු වන දැරියන් සඳහා යි. ”

ඉපැරණි හිස්පැණියෝලාව (en.wikipedia.org)

ස්පාඤ්ඤ ජාතිකයන් විසින් යුරෝපයට සපයන්නට යෙදුණු රන් සැපයුම සහ අනෙකුත් වස්තූන් සලකා බලා හය වැනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා විසින් ඇමෙරිකානු මහද්වීපය, ෆර්ඩිනැන්ඩ් රජු සහ ඉසබෙලා රැජිනගේ පරම බලයට යටත් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර එහි පිටපතක් ස්වදේශික ඇමෙරිකානුවන්ට ලබා දී ඇත්තේ පරිවර්තනය කිරීමකින් තොර ව යි. ඒ අනුව 16 වැනි සියවස ඇරඹෙන විට ඇමෙරිකානු මහද්වීපය, එහි ජීවත් වූවන්ට නොදැනීම ස්පාඤ්ඤය සතු වූයේ යුරෝපයේ බලවත් රාජ්‍යයන්ට නව ලෝකයක් තැනීම සඳහා මංපෙත් විවර කර දෙමින්.

කවරයේ පින්තූරය: (en.wikipedia.org)

මූලාශ්‍ර:

  1. indiancountrymedianetwork.com
  2. en.wikipedia.org
  3. americanindiansource.com
  4. understandingprejudice.org
  5. historyisaweapon.com

Related Articles