ජානගත රෝගවලින් පෙළුණු රාජකීයයෝ

තම පෙළපතෙහි පාරිශුද්ධ බව ආරක්ෂා කරගනු වස් ලොව බොහෝ රාජකීයයන් ආවාහ විවාහ කටයුතු සිදුකරගනු ලැබුවේ තම පෙළපතින්ම හෝ, තවත් රාජකීය පෙළපතකින් පමණ යි. මේ නිසා පරම්පරාවෙන් පරම්පරාවට ජාන හුවමාරුව සිදුවූයේ ද පෙළපත් කිහිපයක් අතර පමණ යි. ජීව විද්‍යාත්මකව මෙය එතරම් යහපත් තත්ත්වයක් නොවන අතර, විවිධාකාරයේ රෝගාබාධයන් රාශියක් සහිත ජනිතයන් ඇති වන්නට හේතු වෙනවා.

පැරණි රාජකීය පවුල් සැලකීමේ දී ඒවාවල සමහර සාමාජිකයින් ජානගත ආබාධවලින් පෙළුණු බැව් නිරීක්ෂණය වෙනවා. මේ ලිපි ද්විත්වයෙන් අප ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ කිහිපයක් පිළිබඳ තතු යි.

කෑමේ හා කතා කිරීමේ අපහසුතාවයෙන් පෙළුණු ස්පාඤ්ඤයේ දෙවන චාල්ස් රජු

Wikimedia Commons

යුරෝපයේ හැප්ස්බර්ග් රජ පරම්පරාව සියවස් ගණනාවක් තිස්සේ යුරෝපයේ වඩාත් බලවත් රාජකීය පරම්පරාවක් සේ වැජඹුණා. මේ පරම්පරාවේ ආරම්භය 13 වන සියවස කරා දිවෙන අතර, ඔස්ට්‍රියාව, ස්පාඤ්ඤය වැනි රටවල සිහසුන කිහිප විටක්ම හෙබවූයේ මේ පරම්පරාවෙන් පැවත ආ රජවරුන්. ප්‍රංශයේ අවසන් රැජින මාරි ඇන්ටොයිනට් ද මේ පෙළපතෙන් පැවත ආ කාන්තාවක්.

මේ රජ පෙළපත ආවාහ විවාහ සිදුකිරීමේ දී ඒවා තමන්ගේ ලේ ඥාතීන් අතරම සිදුකරගන්නට නිතරම වාගේ කටයුතු කළා. මෙ නිසාම කෙමෙන් කෙමෙන් ජානමය වශයෙන් ඔවුන් දුර්වල වුණා. විශේෂයෙන් “හැප්ස්බර්ග් යටි හනුව” යනුවෙන් හැඳින්වෙන ආකාරයේ විශාල යටි හනුව මේ පෙළපතේ බොහෝ දෙනාට පිහිටා තිබුණා.

ස්පාඤ්ඤයේ දෙවන චාල්ස් රජු හට සිය මවු පිය දෙපාර්ශවයෙන්ම මෙම විශාල යටි හනුවට අදාල ජාන ලැබී තිබුණා. මේ හේතුවෙන් ඔහු හට පාලනය කර ගැනීමට අපහසු තරමේ කරදරකාරී යටි හනුවක් උපතෙන්ම ලැබුණා. මේ හේතුව නිසා ඔහු ආහාර ගැනීමේ දී හා කථනයේ දී මහත් අපහසුවකට ලක් වුණා. එමෙන්ම නිතරම පාහේ ඔහුගේ මුවින් පාලනයකින් තොරව ඛේටය වෑස්සෙන්නට වුණා.

උක්ත අපහසුතාවලට අමතරව ජානමය දුර්වලතා නිසා ඔහු හට උපතේ පටන් වසර 8ක් ගත වන තුරු නිසි ලෙස ඇවිදීමේ හැකියාව තිබුණේ නැහැ. ඉන් පසුවත් ඔහු ඇවිද්දේ අපහසුවෙනු යි. මේ කාරනා නිසා ඔහු කිසි ලෙසකින් ආකර්ෂණීය අයෙකු නම් වූයේ නැහැ. දෙවරක් විවාහ වුව ද මෙවුන්දමෙහි යෙදීමේ ඇති වූ අපහසුතා නිසා ඔහු හට දරුවන් සිටියේ ද නැහැ. ඔහු 1700 වසරේ දී 39 හැවිරිදිව සිටිය දී මියයන්නේ ස්පාඤ්ඤයේ හැප්ස්බර්ග් පාලනය නිමා කරමිනු යි.

වික්ටෝරියා රැජින හා හීමොෆීලියාව

royal.uk

19 වන හා 20 වන සියවසේ යුරෝපයේ පැවතුණු බොහෝ රටවල රාජකීය පවුල් යම් ආකාරයකින් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින හා ලේ ඥාතීත්වයක් ඉසිළුවා. ඇගේ දියණියක වූ ඇලිස් කුමරිය රුසියාවේ අවසාන සාර් බිසව වූ අලෙක්සාන්ද්‍රා රොමනෝෆ්ගේ මව වූ අතර, එඩිංබරෝ ආදිපාදවරයාගේ මිත්තණිය ද වුණා. මීට අමතරව ඉන්දියාව ටද ඇගේ සම්බන්ධකමක් ඇති වී තිබුණා. 20 වන සියවසේ ආරම්භය වන විට යුරෝපය පුරා වික්ටෝරියා රැජිනගේ ජාන ව්‍යාප්තව තිබුණා.

වික්ටෝරියා රැජිනගේ ස්වාමිපුරුෂයා වූයේ ඇල්බට් කුමරු යි. ඔහු ඇගේ ආසන්නතම ඥාති සොයුරෙක් වුණා. එමෙන්ම ඇය හීමොෆීලියා වාහක කාන්තාවක් වුණා. මේ සඳහා වූ ජාන විකෘතිතාව ඇගෙන් දරුවන්ට ලැබුණු අතර, ඒ හේතුවෙන් එය පසුකාලීනව යුරෝපයේ රාජකීය පවුල් කිහිපයකටම පැතිරී ගියා. ඇය හට එම රෝගයෙහි විශාල බලපෑමක් නොතිබුණ ද, මෙම රෝගය හේතුවෙන් ඇති වූ සංකූලතා කරණ කොටගෙන  ඇගේ එක් දරුවෙකු හා මුණුපුරන් පස් දෙනෙකු මියගියා.

වික්ටෝරියා රැජින හීමොෆීලියා බී වර්ගයේ වාහකයෙකුව සිටියා. ඇගේ සැමියා ද ඥාති සොයුරෙක් වීම ද යහපත් තත්ත්වයක් වූයේ නැහැ. කෙසේ නමුත් මේ සියල්ල මධ්‍යයේ වසර 63ක් බ්‍රිතාන්‍යයේ කිරුළ හොබවමින් වසර 82ක් ජීවත් වන්නට ඇයට හැකි වුණා.

තෙවන ජෝර්ජ් රජුගේ ප්‍රොෆයිරියාව හා උමතු භාවය

royal.uk

එංගලන්තය, ඉතා පැරණි රජ පෙළපත් සහ පෙළපත තුළම එකිනෙකා අතර ආවාහ විවාහ කටයුතු කර ගැනීම යන කරුණු දෙක පිළිබඳවම අතීතයේ පටන්ම මහත් වූ ප්‍රසිද්ධියක් ඉසිළුවා. කෙසේ නමුත් මේ නිසා ඔවුනට අත් වූ වාසිවලට වඩා අවාසි නම් ප්‍රබල වුණා.

බ්‍රිතාන්‍යයේ තෙවන ජෝර්ජ් රජු ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ බ්‍රිතාන්‍යය ඇමෙරිකානු විප්ලවය පරාජය වූ සමයේ බ්‍රිතාන්‍ය කිරීටය දැරූ රජු ලෙස යි. ඔහුටත් සිය පරම්පරාවෙන් එන ඉතා දුර්ලභ ජානගත රෝගාබාධයක් වැලඳී තිබුණා. ප්‍රොෆයිරියාව යනුවෙන් හැඳින්වෙන මේ රෝගාබාධය හේතුවෙන් දම්- නිල් පැහැයෙන් මුත්‍රා පිටවීම ද සිදුවෙනවා. මීට අමතරව ඔහු සිහි මඳ ගතියකින් ද පෙළුණා. මේ සිහිමඳ ගතිය ද ජානමය ආබාධයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානය වන විට සැලකෙනවා.

තෙවන ජෝර්ජ් රජු ලියන ලද ලියමන්වල වාක්‍යය බොහෝ සෙයින් දිගු වුණා. සමහර විටෙක ඒවා වචන 400 ද ඉක්මවූ, තේරුම් ගැනීමට අපහසු ඒවා වුණා. එමෙන්ම ඔහු කථා පැවත්වීමට ගත් විට ද අනවශ්‍ය ලෙස ඒවා දිගු කළා. සිය මුවෙන් පෙණ වෑස්සෙන තුරු ඔහු කතා කළා. මේ නිසා ඔහු උමතු රජෙක් ලෙස බොහෝ දෙනා හැඳින්වූවා. වෛද්‍යවරුන් ඔහුට දීර්ඝ කාලීනව ප්‍රතිකාර කළ අතර, ඔහුගේ මේ මානසික තත්ත්වය ඇමෙරිකානු විප්ලවය පරාජය වීමට බොහෝ සෙයින් බලපෑ බවට ඉතිහාසඥයින් මත පළ කරනවා.

උක්ත රෝගාබාධයන්ට අමතරව ඔහු සමේ රෝගයකින් ද පෙළුණා. මේ නිසා සිදු කළ ප්‍රතිකාරවලින් ද මුත්‍රා නිල් පැහැති විය හැකි බැව් සමහරක් විද්වතුන් පවසනවා. මේ නිසා මොහු ප්‍රොෆයිරියාවෙන් පෙළුණු බවට ඇති මතය සමහරෙක් බැහැර කරනවා. කෙසේ නමුත් ඔහු පෙළුණු උමතු තත්ත්වයට ප්‍රධානතම හේතුව ඔහුගේ පරම්පරාව තුළ නිසියාකාර ජාන සංකලනයක් සිදු නොවීම බව අති බහුතරයක් දෙනා පිළිගන්නවා.

කවරයේ පින්තූරය- pinterest.com

Related Articles