රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීම​

2014 වසරේ මාර්තු 18 වන දා රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගනු ලැබුණා. ඒ ඉතාමත්ම විවාදාත්මක තත්ත්වයක් යටතේ යි. මෙම ක්‍රියාව පිළිබඳ අදට ද රුසියාව සහ යුක්‍රේනය අතර මතභේදයක් පවතිනවා. යුක්‍රේනය තවමත් කියා සිටින්නේ ක්‍රිමියාව තම රාජ්‍යයේ කොටසක් බවයි. එමෙන්ම මෙම සිද්ධිය හේතුවෙන් රුසියාව මත බටහිර රටවල් විසින් සම්බාධක ද පණවනු ලැබුණා.

තෑගි දුන් ක්‍රිමියාව

අතීතයේදී ක්‍රිමියා අර්ධද්වීපය පාලනය කළේ ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් වූ ක්‍රිමියානු ඛානේටය (Crimean Khanate) විසින්. 1783 දී රුසියාව විසින් එම ප්‍රදේශය අත්පත් කරගැනුනා. 1917 රුසියාවේ ඇති වූ කලබල ද සමග වසර කිහිපයක් මෙම ප්‍රදේශයේ විවිධ තාවකාලික ආණ්ඩු ඇති වුණා. පසුව එම ප්‍රදේශයේ බලය සෝවියට් හමුදා විසින් තහවුරු කරගනු ලැබුණා. සෝවියට් දේශය නිර්මාණය වූ මුල් කාලයේ ක්‍රිමියාව අයත් වූයේ රුසියාවට යි. 1954 දී සෝවියට් රජය විසින් එම ප්‍රදේශය යුක්‍රේනයට පවරා දෙනු ලැබුණා. එය පැවතුණේ ස්වතන්ත්‍ර සමූහාණ්ඩුවක් ලෙස යි. එනම් පූර්ණ සෝවියට් සමූහාණ්ඩුවලින් පහළ මට්ටමේ ස්වතන්ත්‍ර පාලනයක් හිමි ප්‍රදේශයක් ලෙස යි.

මීට අමතරව සෙවැස්ටපෝල් නගරය වෙනමම ස්වතන්ත්‍ර නාගරික ප්‍රදේශයක් ලෙස පැවතුණා. කලක් රුසියාව ද සෙවැස්ටපෝල් පිළිබඳ අයිතිවාසිකම් කීවා. ඊට හේතු වුණේ පැරණි සෝවියට් කළු මුහුදු නාවික බලකායෙහි මූලස්ථානය එහි තිබීම, සහ එහි ජනගහනය වැඩිපුරම රුසියානුවන් වීම ආදී කරුණු යි. කෙසේ නමුත් පසුකාලීනව රුසියාව සහ යුක්‍රේනය කළු මුහුදු බලකාය පිළිබඳ එකඟතාවකට පැමිණියා. ඒ අනුව එම බලකායෙහි යාත්‍රා දෙරට අතර බෙදාගත් අතර ඇතැම් ගොඩනැගිලි සහ යාත්‍රා නැවතුම්පළවල් ආදිය දෙපිරිසම එක්ව භවිතා කළා.

රුසියාව (නිල්), යුක්‍රේනය (කොළ​) සහ ක්‍රිමියාව (කළු) ප්‍රදේශයන්හි සිතියම (Wikimedia Commons)

ස්ටාලින් විසින් සිය පාලන සමය තුළ ක්‍රිමියාවේ වූ ටාටර්වරුන් එම ප්‍රදේශයෙන් පිටුවහල් කළා. 1980 දශකයේ දෙවන භාගයේදී ගොර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ ද සමග ඔවුනට ආපසු ක්‍රිමියාවට පැමිණීමේ අවස්ථාව හිමි වුණා. කෙසේ නමුත්, සෝවියට් දේශයේ අවසන් වසර කිහිපය තුළ ක්‍රිමියාවෙහි අනාගතය පිළිබඳ යම් අවිනිශ්චිතභාවයක් තිබුණා. එක්තරා අවස්ථාවක ක්‍රිමියාව වෙනමම සෝවියට් සමූහාණ්ඩුවක් බවට පත් කිරීමට පවා යෝජනා වුණා. නමුත් සෝවියට් දේශය බිඳ වැටුණ අතර ක්‍රිමියාව යුක්‍රේනයේ කොටසක් ලෙස පැවතුණා.

යුක්‍රේනයේ කොටසක් ලෙස පවතින සමයෙහි ක්‍රිමියාවේ ස්වතන්ත්‍ර බලතල අඩු කෙරුණා. මෙහි ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වූ රුසියානු ජාතිකයන් ඒ පිළිබඳ එතරම් සතුටින් පසු වූයේ නැහැ.

යුක්‍රේන උද්ඝෝෂණ සහ රුසියාව​

2013 වසරේ නොවැම්බරයේ දී යුක්‍රේනයේ ජනාධිපති වික්ටර් යනුකොවිච්ට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් හටගත්තා. මීට මූලිකව හේතු වුණේ යුක්‍රේනය, යුරෝපා සංගමය සමග අත්සන් කිරීමට නියමිත වූ ගිවිසුමක් අත්සන් කිරීම අවසන් මොහොතේ අත්හිටුවීම යි.

මේ අවස්ථාවේ කීව් අගනුවර සහ වෙනත් ඇතැම් ප්‍රදේශයන්හි යනුකොවිච්ට එරෙහිව උද්ඝෝෂණ මතු වුණා. නමුත් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයන්හි සහ ක්‍රිමියාවේ වූයේ වෙනස් තත්ත්වයක්.

ක්‍රිමියාව යනුකොවිච්ගේ ප්‍රාදේශයන්හි පක්ෂයෙහි (Party of Regions) බලකණුවක් වුණා. එහි පාර්ලිමේන්තුවේ ආසන 100න් 80ක්ම හිමිව තිබුණේ ද එම පක්ෂයට යි. යනුකොවිච්ට එරෙහිව මතු වූ විරෝධය උත්සන්න වෙද්දී ක්‍රිමියානු නායකත්වය අනෙක් අතට අදිනු දැකිය හැකි වුණා.

යනුකොවිච්ට එරෙහි උද්ඝෝෂණ (Getty Images)

2014 පෙබරවාරි 22 වන දා යනුකොවිච් බලයෙන් පහ කරනු ලැබුණා. ඒ සමගම ක්‍රිමියාව තුළ නව යුක්‍රේන අන්තර්වාර පාලනයට එරෙහි උද්ඝෝෂණ හටගත්තා. ඒ වන විටත් සෙවැස්ටපෝල් නගරයේ පාලකයින් ස්වයං ආරක්ෂක බලකා පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. පෙබරවාරි 22න් පසු තත්ත්වය වේගයෙන් වෙනස් වුණා.

පෙබරවාරි 27 වන දා ක්‍රිමියාවේ උත්තරීතර කවුන්සිලයේ ගොඩනැගිල්ල මත රුසියානු ධජ ලෙළ දුන්නා. මේ අතර රජයේ ගොඩනැගිලි සමහරක් රුසියානු විශේෂ බලකා සෙබළුන් විසින් අත් කරගනු ලැබුණ බවට වාර්තා පළ වුණා. නමුත් රුසියාව කියා සිටියේ ඔවුන් ක්‍රිමියානු ස්වයං ආරක්ෂක සෙබළුන් බව යි. මේ අතර ක්‍රිමියානු අගමැති ලෙස සර්ගේයි අක්සියොනොෆ් පත් කරනු ලැබුණා. සාමාන්‍යයෙන් ක්‍රිමියාවේ අගමැති පත් කළේ එම ප්‍රදේශයේ උත්තරීතර කවුන්සිලයේ ද නිර්දේශ අනුව යුක්‍රේන ජනාධිපති විසිනුයි. මේ අවස්ථාවේ උත්තරීතර කවුන්සිලය සඳහන් කළේ තමන් නිත්‍යානුකූල ජනාධිපති ලෙස පිළිගන්නේ වික්ටර් යනුකොවිච් බව යි.

ක්‍රිමියාවේ සිම්ෆෙරපෝල් හි පාර්ලිමේන්තුව අසල කොසැක්වරුන් (TIME)

මීළඟ දිනවල ක්‍රිමියාවේ යුක්‍රේන යුධ කඳවුරු අසල සහ රජයේ ගොඩනැගිලි අවට මුහුණු වසාගත් සෙබළුන් දකින්නට ලැබුණා. මේ විවිධ බලකායන්ට අයත් රුසියානු විශේෂ සෙබළුන් බව යුක්‍රේනය සඳහන් කළ නමුත් රුසියාව මෙම චෝදනාව දිගටම ප්‍රතික්ෂේප කළා. යුක්‍රේනය ඔවුන්ව හැඳින්වූයේ “කුඩා හරිතවර්ණ මිනිසුන්” ලෙසයි.

ක්‍රිමියානු ජනමත විචාරණය

මේ අතර ක්‍රිමියාව මාර්තු 16 වන දා ජනමත විචාරණයක් පවත්වන බව නිවේදනය කළා. මෙහි දී ලබාදුන් තෝරගැනීම් වූයේ රුසියානු ෆෙඩරේෂනයට එක් වීම හෝ 1992 ව්‍යවස්ථාව බලාත්මක කිරීම යි. 1992 ක්‍රිමියානු ව්‍යවස්ථාව අනුව එම ප්‍රදේශයට විශාල ස්වයං පාලන අයිතියක් ලැබීමට නියමිත වුණා. මේ අනුව මෙම තෝරාගැනීම් දෙකෙන් කුමක් සිදු වුව ද ක්‍රිමියාව යුක්‍රේනයෙන් ඉවත් වීම අනිවාර්යය වුණා.

මාර්තු 11 වනදා ක්‍රිමියානු සහ සෙවැස්ටපෝල් පාලනයන් ක්‍රිමියාවේ ස්වාධීනතාව ප්‍රකාශ කළ අතර මාර්තු 16 වන දා ජනමත විමසුම අනුව රුසියාවට එක් වීම අනුමත වුවහොත් ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළා.

මාර්තු 16 ජනමත විමසුමේදී ක්‍රිමියාවේ මෙන්ම සෙවැස්ටපෝල්හි ද ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 95ක් පමණ රුසියාවට එකතු වීම පිළිබඳ කැමැත්ත පළ කළා. මෙහි දී යුක්‍රේන සහ ක්‍රිමියානු ටාටර් ජනයා ඡන්දය දීමෙන් වැළකී සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ අතර ඡන්ද දූෂණ වූයේ යයි ද චෝදනා පළ වුණා.

රුසියාව සහ ක්‍රිමියාව එක් වීමේ ගිවිසුම අත්සන් කිරීම (kremlin.ru)

කෙසේ නමුත් කලක පටන් සිදු කළ විවිධ සමීක්ෂණවලින් පෙන්වා දී තිබුණේ ක්‍රිමියාවේ ජීවත් වූ රුසියානු ජනතාවගෙන් අති බහුතරයක් ද​, අනෙක් ජනයාගෙන් සුළුතරයක් ද එම ප්‍රදේශය රුසියාවට එක් වීම කෙරෙහි පක්ෂ බව යි. මේ අනුව යම් හෙයකින් සර්ව සාධාරණ ජනමත විමසුමක් පැවැත්වූව ද රුසියාවට එක්වීම කෙරෙහි බහුතර කැමැත්ත ලැබීමට නියමිතව තිබුණේ යයි කිව හැකියි. මතභේදය පැවතියේ මෙම ජනමත විචාරණය නීත්‍යානුකූල වූයේ ද යන්න යි.

කෙසේ නමුත් මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල මත මාර්තු 18 වන දා ක්‍රිමියාව සහ රුසියාව ඒකාබද්ධ වන ගිවිසුම අත්සන් කරනු ලැබුවා. මෙය බටහිර රටවල් විසින් පිළිගනු ලැබුණේ නැහැ. රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ද බටහිර රාජ්‍යයන් කටයුතු කළ අතර​, G-8 කණ්ඩායමෙන් ද රුසියාව ඉවත් කෙරුණා. අදට ද යුක්‍රේනය විසින් ක්‍රිමියාව තමන්ට අයත් ප්‍රදේශයක් ලෙස සලකනු ලබනවා.

Cover Image: රුසියානු සෙබළුන් යයි සැක කළ පිරිසක් ක්‍රිමියාවේ බලක්ලාවා නගරය අසළ (TIME)

Related Articles