එක්සත් ජනපදය රුසියාව ආක්‍රමණය කරයි!

අප දන්නා ඉතිහාසය අනුව නිරවි යුද්ධය තුළ දී පවා සෝවියට් රුසියාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා අතර සෘජු ගැටුමක් ඇති වී නැහැ. අප අසා ඇති කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය, ඇෆ්ඝනිස්තාන් යුද්ධය, ලතින් ඇමරිකානු රටවල මැදිහත්වීම් ආදිය ඉහත රටවල් දෙකේ සහායය ලැබූ අතරමැදියන් සමඟ සිදු වූ ගැටීම්. එසේ වුවත් ඇමරිකානු (එක්සත් ජනපදය: කියවීමේ පහසුව උදෙසා මෙතැන් පටන් “ඇමරිකාව” යනුවෙන් හැඳින්වේ), බ්‍රිතාන්‍ය මූලික කොටගත් මිත්‍ර රටවල් හමුදාවන් හා සෝවියට්, නොහොත් බොල්ෂෙවික්, හමුදාවන් අතර සෘජු ගැටීමක් සිදු වූ එක් අවස්ථාවක් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වනවා.

1917 ඔක්තෝබර් විප්ලවය හා සාම ගිවිසුම

1917 වන විට එවක දෙවන නිකොලායි රජු යටතේ රුසියාව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වී සිටියා. එසේ වුවත් ඉහළ යන ආර්ථික ප්‍රශ්න, සාර් පාලනයේ අකාර්යයක්ෂමතා, හා යුද්ධය ගෙන යන ආකාරය නිසා පොදුවේ රුසියානු හමුදා හා ජනතාව අතර විශාල අප්‍රසාදයක් ගොඩ නැගී තිබුණා. 1917 පෙබරවාරි විප්ලවයෙන් රජු ඉවත් කොට, ජෝර්ජ් ලවෝව් හා පසුව ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි යටතේ අතරමැදි රජයක් පිහිටවූ අතර, එමඟින් යුද්ධය දිගටම පවත්වාගෙන යාමේ උත්සාහයක් ද දරනු ලැබුවා. කෙසේ වුවත් මේ පියවර ද අසාර්ථක වී, 1917 ඔක්තෝබර් විප්ලවයෙන් වී. අයි. ලෙනින් යටතේ බොල්ෂෙවික්වරු බලයට පත්වුණා. බොල්ෂෙවික් නායකයන් හා ජර්මානු නායකත්වය අතර සාම සාකච්ඡා ඇරඹුනේ යුද්ධය නැවැත්වීමේ අරමුණින්. ඒ නිසා 1917 බ්‍රෙස්ට් – ලිටොව්ස්ක් ගිවිසුම අනුව රුසියාව, ජර්මනිය හා ඇගේ මිත්‍ර රටවල් සමඟ යුද්ධයෙන් ඉවත් වුණා.

කෙසේ වුවත් මේ නිසා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු මිත්‍ර හමුදාවන්ට ගැටළු කිහිපයක් ඇතිවුණා. එක අතකින් ජර්මානු හමුදාවන්ට එරෙහිව රුසියාව විසින් පවත්වාගෙන යන ලද යුද්ධයේ නැගෙනහිර පෙරමුණ මුළුමණින්ම බිඳ වැටුනා. එම නිසා මිත්‍ර හමුදාවන්ට බටහිර යුරෝපය කේන්ද්‍රකොට ගත් බටහිර පෙරමුණේ දී වඩාත් බලවත් ලෙස ජර්මානු ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවුණා. මේ අතර රුසියානු අධිරාජ්‍යයට අයත්ව තිබී ජර්මානු හමුදා අතට පත්ව තිබූ එස්තෝනියාව, යුක්රේනය ආදී ප්‍රදේශවලින් ද ඔවුන් ඉවත් වූයේ නැහැ. 1914 යුද්ධය ඇරඹුනු කාලයේ සිටම බ්‍රිතාන්‍ය විසින් විශාල වශයෙන් යුද්ධෝපකරණ රුසියාවට ලබා දී තිබුණා. මෙලෙසම 1917 දී යුද්ධයට එක්වූ ඇමරිකාව විසින් ද ආයුධ විශාල වශයෙන් ලබා දී තිබුණා. සාම ගිවිසුමත් සමඟ මෙම ආයුධ ජර්මනිය අතට පත්වීමේ හැකියාවකුත් තිබුණා.

චෙකොස්ලොවැකියානු හමුදා සේනාංකය

ඕස්ට්‍රො-හංගේරියන් අධිරාජ්‍යයට යටත්ව තිබූ එක් රටක් වූයේ, එකල බොහීමියාව ලෙස හැඳින්වූ, පසුව චෙකොස්ලොවැකියාව බවට පත්වූ රට. රුසියාවට එරෙහිව නැගෙනහිර පෙරමුණේ, ඔස්ට්‍රො-හන්ගේරියානු අධිරාජ්‍යය වෙනුවෙන් සටන් කළ චෙකොස්ලොවැකියානු භටයන් විශාල පිරිසක් රුසියාවේ සිරකරුවන් බවත් පත්වුණා. එහෙත් තම රට නිදහස් කරගැනීමේ ආශාවෙන් පෙළුණු ඔවුන් පසුව රුසියානුවන්ට පක්ෂව සේනාංකයක් ලෙස සංවිධානය වුණා. 50,000ක පමණ පිරිසකගෙන් සමන්විත වූ මොවුන්ගේ අනාගතය රුසියාව යුද්ධයෙන් ඉවත් වීමත් සමඟ අස්ථිර වුණා. මොවුන්ගේ අපේක්ෂාව වූයේ ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය ඔස්සේ ආපසු බටහිර පෙරමුණට ගමන් කොට මිත්‍ර හමුදා වලට සහාය වීම යි. එහෙත් බොල්ෂෙවික් රුසියාවට අවශ්‍ය වූයේ ඔවුන් යුද්ධයේ දී මධ්‍යස්ථ ස්ථාවරයක් ගැනීමයි. ඒ නිසා චෙකොස්ලොවැකියානුවන් නිරායුධ කිරීමට වුව ද බොල්ෂෙවික්වරු පසුබට වූයේ නැහැ. එයට එරෙහිව බලෙන්ම දුම්රිය ලබාගෙන සටන් කරමින් හෝ ආපසු බටහිර පෙරමුණට යාමට චෙකොස්ලොවැකියානු හමුදා සූදානම් වුණා. ජර්මානු හමුදාවලට තර්ජනයක් ඇති කරවිය හැකි මෙම චෙකොස්ලොවැකියානු සේනාංක මුදවා ගැනීමට මිත්‍ර හමුදාවන්ට ද අවශ්‍ය වුණා.

චෙකොස්ලොවැකියානු භටයන් ට්‍රාන්ස් සයිබිරියානු දුම්රියේ ගමන් කරමින් (MindMeister)

මිත්‍ර හමුදා මැදිහත් වීම

රුසියාවේ ඇතිවෙමින් තිබූ තත්ත්වය යුද්ධයට සම්බන්ධ මිත්‍ර හමුදාවන්ට ගැටළුවක් බවට පත්වුණා. එක් අතකින් නැගෙනහිර පෙරමුණ බිඳවැටීමත්, අනික් අතින් තමන් සැපයූ අවි ආයුධ ජර්මන් හමුදා අතට පත් වීමේ හැකියාවත් නිසා එම තත්ත්වයන් පාලනය කිරීමට මුලින්ම රුසියාවට ළඟාවන්නේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා. මෙහි දී ප්‍රධාන වශයෙන් බලපාන්නේ කොමියුනිස්ට් විරෝධයක් හෝ බොල්ෂෙවික් රජය පෙරළීමේ අවශ්‍යතාවයක් නොවේ. එවැනි අදහස් බ්‍රිතාන්‍ය රජය තුළ දරනු ලැබුවේ වින්ස්ටන් චර්චිල් පමණයි. ඒ හැරුණු විට එවක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් හා කැබිනට් මණ්ඩලය විසින් මෙය සැලකුනේ ජර්මනියට එරෙහි යුද්ධයේම තවත් පියවරක් ලෙසයි. මුල දී බ්‍රිතාන්‍ය හමුදා එක් සේනාංකයක් මුර්මන්ස්ක් වලත්, ආර්කන්ගෙල්ස්ක් වලත් ස්ථානගත වුණා. ඔවුන් ප්‍රධාන වශයෙන් සිදු කළේ තොටුපළවල් ආරක්ෂා කිරීමත්, මිත්‍ර හමුදා සැපයූ අවි ආයුධවල ආරක්ෂාව සහතික කිරීමත්. වරින් වර බොල්ෂෙවික්වරුන් සමඟ ගැටුම් ඇතිවීම නොවැළක්විය හැකි වුවත් විශාල පරිමාණයේ ප්‍රහාරයන් සිදුවූයේ නැහැ. මේ වන විට “ධවල” හමුදා නොහොත් බොල්ෂෙවික් විරෝධීන්, හා කොමියුනිස්ට්වාදීන් අතර ගැටුම් ආරම්භව තිබුණා. මේ නිසා විශාල වශයෙන් අවි ආයුධ ප්‍රධාන කොටම බ්‍රිතාන්‍ය පාර්ශ්වයෙන් බොල්ෂෙවික් විරෝධී සෙන්පතියන් වෙත ලැබුණා. මෙහිදී සයිබීරියාවේ අද්මිරාල් අලෙක්සාන්ද්ර් කොල්චැක් හා දකුණු රුසියාවේ ඇන්තන් දෙනිකින් විශේෂ යි.

1918 ජූලි වන විට ජනාධිපති වුඩ්රෝ විල්සන් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ බලපෑම මත හමුදා සේනාංක දෙකක් රුසියාවට යැවීමට කටයුතු කළා. මේ අනුව 5000ක සේනාංකයක් ආර්කන්ගෙල්ස්ක් වෙතටත්, තවත් 7000ක සේනාංකයක් (එවක ඇමරිකානු යටත් විජිතයක්ව පැවති) පිලිපීනයේ සිට සයිබීරියාවේ ව්ලැඩිවොස්ටොක් වෙතටත් යැවීමටත් කටයුතු කළා. මේ හැරුණු විට ජපන් සේනාංක ද සයිබීරියා දෙසින් රුසියාවට ඇතුළු වුණා. මේ අනුව අවසානයේ 150,000ක පමණ මිත්‍ර හමුදාවක් රුසියාවේ ස්ථානගත වී සිටියා.

ඇමරිකානු භටයන් ව්ලැඩිවොස්ටොක් හිදී (http://www.criticalenquiry.org/history/polarbear.shtml)

මේ මිත්‍ර හමුදා සහ බොල්ෂෙවික්වරුන් අතර වරින් වර ගැටුම් ඇතිවුණා. කෙසේ වුවත් 1918 නොවැම්බර් මස ජර්මනියත් සමඟ සාම ගිවිසුම අත්සන් කිරිීමත් සමඟ තවදුරටත් මිත්‍ර හමුදාවන් රුසියාවේ රැඳී සිටීම අවශ්‍ය වූයේ නැහැ. එසේ වුවත් මේ වන විට ප්‍රශ්නයට නව මුහුණුවරක් ගෙන තිබුණා. මුලින්ම මෙය ජර්මානු විරෝධී මෙහෙයුමක් වුවත්, බ්‍රිතාන්‍ය රජය තුළ සිටි වින්ස්ටන් චර්චිල් වැනි අමාත්‍යවරුන්ට අවශ්‍ය වූයේ “කොමියුනිස්ට් තර්ජනය තොටිල්ලේදීම මරා දැමීම” ට යි. එමෙන්ම එවකට ඇමරිකාව තුළ ද “රක්ත භීතිකාවක්”, එනම් කොමියුනිස්ට් විරෝධී රැල්ලක්, ඇති වී තිබුණා. මේ නිසා ලෝකයේ පළමු කොමියුනිස්ට් රාජ්‍යය යටපත් කිරීමේ මෙහෙයුමක් ලෙස බොල්ෂෙවික් විරෝධී “ධවල” සේනාංකවලට සහයෝගය පල කිරීම පැවතුනා.

මැදිහත් වීම අවසන් වීම

එසේ වුවත් තමන් ලබා දෙන ආධාර හා සේනාංක ප්‍රමාණය වැඩි කොට ඒ වන විට ඇරඹී තිබූ සිවිල් යුද්ධයේ දී කමියුනිස්ට් විරෝධී පාර්ශ්වයට තීරණාත්මක සහයෝගයක් ලබා දීමට මේ රටවල රජයන් කටයුතු කළේ නැහැ. යුද්ධය අවසන් වූ පසු ඇතිව තිබූ ආර්ථික ප්‍රශ්න, සහ යුද්ධය අවසන් වූ පසුත් එවැනි හමුදාමය මැදිහත්වීම් එම රටවල ජනතාව අනුමත නොකිරීමත් මීට හේතු වුණා විය හැකි යි. කෙසේ වුවත් පළමු ලෝක යුද්ධය අවසන් වීත් වසරකට ආසන්න කාලයක් රුසියාවේ රැඳී සිටි මිත්‍ර හමුදාවන් 1920 මුල් භාගය වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කොටගෙන තිබුණා. එමෙන් රුසියානු සිවිල් යුද්ධයෙන් රතු හමුදාව ක්‍රමයෙන් ජයගනිමින් තිබුණා. මේ හමුදාමය මැදිහත් වීම නිසා මිත්‍ර හමුදා වල සිය ගණනකගේ ජීවිත ද අහිමි වුණා. කෙසේ වුවත් ඉන් පසු කිසිම දිනක සෝවියට් රුසියානු හා ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හමුදාවන් එකිනෙකා සමඟ ගැටීමක් ඇතිවූයේ නැහැ.

කවරයේ ඡායාරූපය : criticalenquiry.org

මූලාශ්‍ර:  

https://www.archives.gov

http://portalus.ru/modules/english_russia/

Related Articles