සපුමල්ගස්කඩ: වවුනියාව වන මැද නටබුන් අරණ

සපුමල්ගස්කඩ කියන්නේ මෑතකදී පුරාවිද්‍යා සහ ජනතා අවධානයට ලක්වුණු ඉපැරණි පුදබිමක්. වවුනියාව දිස්ත්‍රික්කයේ සැඟවුණූ පුරාවිද්‍යා උරුමයක් වන මේ විහාර බිම ගම්වැසියන් හඳුන්වා තිබුණේ කැලේ පන්සල කියලයි.

මෑතක් වන තෙක් මේ ගැන කිසිම පුරාවිද්‍යා ගවේෂණයක් පවා සිදුව තිබුණේ නැහැ. පුරාණ පබ්බත විහාරයක් ලෙස සැලකෙන සපුමල්ගස්කඩ වනගත විහාරය ගැන සොයා බලමු.

වනගත විහාරයට යන මඟ – සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජමහා විහාරය facebbok page

පිහිටීම

සපුමල්ගස්කඩ කියන්නේ වවුනියාවේ සිට කිලෝ මීටර 35 ක් පමණ ඈතින් පිහිටා තිබෙන උතුරු පළාතට අයත් වනගත පෙදෙසක්. වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලෑ බෝගස්වැව සිංහල ගම්මානවලට කිලෝමීටර් තුනක් පමණ දුරින් වනගත ව මේ පුදබිම පිහිටා තිබෙනවා. වවුනියාව- යාපනය මාර්ගයේ පුලියන්කුලමේ සිට නෙදුන්කර්නි මාර්ගයේ පැමිණ නෙදුන්කර්නි සිට කිලෝමීටර් 5ක් දුරින් පිහිටි කැලෑබද සපුමල්ගස්කඩට පැමිණීමට හැකියාව ලැබෙනවා. කැලෑබෝගස්වැව පැරණි ජලාශය දක්වා ඇති වනගත පාරේ ගමන් කිරීමෙන් ද මේ විහාර බිම වෙත පැමිණීමට හැකි යි.

මේ අවට අනුරාධපුර මුල් කාලයේ පටන් බෞද්ධ ප්‍රබෝධය පැතිර තිබෙන බව එහි වනයට යට ව පවතින නටබුන් රාශියකින් පැහැදිලි වෙනවා. බොහෝ දුරට විනාශ වී ගිය පුරාණ විහාරාරාම අතීත බෞද්ධ ජනපදයක කතාව නිහඬ ව පවසනවා. පැරණි බෙදීම් අනුව මේ පෙදෙස හඳුන්වා ඇත්තේ උත්තර පස්ස යනුවෙන් බව සෙල්ලිපිවලින් හෙළිවෙනවා. වවුනියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි හා යාපනයයි උත්තර පස්සට අයත් වුණේ. වල්ලිපුරම් රන්පතට අනුව යාපනය අර්ධද්වීපය අනුරාධපුර මුල් යුගයේ හඳුන්වා තිබෙන්නේ නකදිව ( නාගදීප) කියල යි. සපුමල්ගස්කඩට ආසන්න ව පැවති කුරුන්දාවශෝක විහාරය ද කිඹුලාගල වවුනියාවේ පුරාණ රජමහා විහාර ලෙස සැලකිය හැකි නටබුන් ස්ථාන දෙකක්. කුරුන්දාවශෝක විහාරයේ ද මෑතකදී පුරාවිද්‍යා සංරක්ෂණය ආරම්භ කළා.

 නටබුන් අතර හිමිවරුන් සමඟ සිටින ගලිගමුවේ ශාන්තබෝධි හිමි -bmy.guide

 

පෙරියකට්ටිකුලම් වනාන්තරය

සපුමල්ගස්කඩ ලෙස මෑතක සිට හඳුන්වන මේ විහාර නටබුන් පිහිටා ඇත්තේ පෙරියකට්ටිකුලම් වන රක්ෂිතයේ යි. පලු, වීර, කළුවර, තිඹිරි, කෝන් ආදී ගසින් පිරි ඝන කැලෑවක් මැද සුන්දර වටපිටාවක විහාරය දැකගත හැකි යි. නටබුන් අනුව පෙනෙන්නේ අද වනගත ව තිබුණත් අනුරාධපුර යුගයේ දී මේ අවට වනාන්තර වෙනුවට ජනාවාස සහ කුඹුරු වැව් ආදිය තිබුණු බව යි. අනුරාධපුර රාජධානිය බිඳවැටුණු පසු ගම්මාන සහ කෘෂිබිම් ද විහාර ද මහ වනයට යට ව ගිය බව පේනවා. වන අලින්, වලස්, දිවි, මුවන්, ගෝනුන්, වල්ඌරන්, මොනරුන් ඇතුළු සතුන් පිරි පරිසරයක් අවට දැකගත හැකි යි.

දළදා ගමන් මඟ

ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසේ දී දළදාව වැඩම කරන විට මෙම විහාරයේ ද නැවතී සිටින්නට ඇතැයි විශ්වාසයක් තිබෙනවා. අනුරාධපුර දක්වා වැඩම කිරීමේ දී රුවන් මඩුව, මාමුඩුව මල් මඩුව, මඩුකන්ද දළදා විහාරය ආදී තැන් ගැන ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එම මතය සනාථ කිරීමට සාධක නම් හමුව නැහැ.

වවුනියාව කෞතුකාගාරයේ තිබෙන සපුමල්ගස්කඩ බෝසත් පිළිමය- සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජමහා විහාරය facebbok page

පැරණි විහාරයට අයත් නටබුන් අක්කර 15ක පමණ බිමක පැතිර පවතිනවා. මෙම පුරාවිද්‍යා බිම ආරක්ෂා කර ගැනීමට කැපවී සිටින්නේ ගලිගමුවේ සාන්තබෝධි හිමියෝ යි. වර්ෂ 2019 දී මෙහි වැඩම කළ ඒ හිමියන් නටබුන් බිමට පුනර්ජීවයක් ලබා දීමට කැප ව සිටිනවා. ඒ සඳහා රජයේ අවධානය ද යොමු ව ඇති අතර දායක දායිකාවන්ගේ සහාය ද ලැබෙනවා. 2020 වර්ෂයේ තාවකාලික ආවාස ගෙයක් ඉදි කර බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් පදිංචි වීම ගැනත් එහි පුරාවිද්‍යා කැණීම් ආරම්භ කිරිම ගැනත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමක් ද කර තිබුණා. මෙම විහාරයට අමතර ව ආසන්න ව පිහිටි කුරුන්ද විහාරයේ කැණීම් ආරම්භ කරන විටත් ඔවුන් විරෝධය පළ කර තිබුණා.

පුරා විදු බිම

විහාරයට නුදුරින් පුරාණ වැවක් ද දැකගත හැකි වෙනවා. මේ විහාර බිම ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවස දක්වා රාජ්‍ය අනුග්‍රහය ලැබූ ප්‍රකට විහාරයක් වශයෙන් පැවති බව නටබුන් දෙස බලන විට පේනවා. මෙම විහාරාරංග අනුව පෙනෙන්නේ අනුරාධපුර යුගයේ මැද භාගයේ ප්‍රකට ව පැවති පබ්බතාරාම ආකෘතියට අයත් වන විහාරයක් විය හැකි බව යි. මේ විහාරය පිළිබඳ ව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් නොවන අතර ඒ ගැන සඳහන් සෙල්ලිපියක් ද හමු ව නැහැ.

 කැණීම් කටයුතු සිදුවෙමින් – kaalama.org

 

පැරණි නටබුන් සහිත පබ්බත විහාරය

මෙහි නටබුන් අතර ප්‍රධාන තැන පැරණි දාගබට හිමි වෙනවා. විහාර බිමේ උස් ස්ථානයක ගරා වැටී පස් ගොඩැල්ලක් වශයෙන් තමයි එය පැවතුණේ. නිදන් හොරුන් හාරා දැමීම නිසා එයට තවත් හානි සිදු ව තිබෙනවා. ගඩොල්වල ස්වරූපය අනුව දාගබ ක්‍රිස්තු වර්ෂ 1 – 3 අතර කාලයට අයත් බව අනුමාන කළ හැකි යි. පිළිම ගෙය, දාගබ, උපෝසථඝරය, බෝධිඝරය ආදී නොයකුත් ගොඩනැඟිලිවල නටබුන් මෙහි පැතිර තිබෙනවා. පිළිම ගෙයි දැක ගත හැක්කේ ගල්කණු පමණ යි. කොරවක් ගල්, ආරාම ගොඩනැඟිලි මෙහි තැන්තැන්වල දැකගත හැකි යි.

නටබුන්වල ස්වරූපය අනුව එය පුරාණ පබ්බත විහාර ආකෘතියට අනු ව තැනූ විහාරයක් බවට මත පළ වී තිබෙනවා. පබ්බත විහාර නාගරික කලාපවලින් බැහැර ව ඉදි කළ විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලැබූ ඉසුරුමත් විහාර වර්ගයක් බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කරනවා. පබ්බත විහාරවල දාගබ, බෝධි වෘක්ෂය සහිත බෝධිඝරය, ප්‍රතිමා ගෘහය සහ පොහොය ගෙය ප්‍රධාන ගොඩනැඟිලි ලෙස පැවති අතර ප්‍රධාන නොවන සැලැස්මට සංඝාවාස, දාන ශාලා, වැසිකිළි, ඡන්තාඝර ආදිය අයත් වුණා. ලංකාවේ මෙවැනි විහාරාරාම 100කට ආසන්න ව හමු වන අතර දඹුල්ලේ මැණික්දෙන, කළුදිය පොකුණ, මල්අස්න, පිදුරංගල ආදිය වඩාත් ප්‍රකට යි.

 සංරක්ෂණය කළ පිළිම ගෙය – – සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජමහා විහාරය facebbok page 

 

වර්ෂ 2015 දී පමණ විට ප්‍රතිමා ගෘහයත් පැරණි ගොඩනැගිලි කීපයකුත් නිදන් හොරුන් හාරා එහි තිබූ සඳකඩපහණ කඩා දමා තිබුණු බව ඒ කාලයේ මෙම විහාරයට ගමන් කළ ගවේ‍ෂකයන් පවසනවා. විහාරබිම මැද කළුගල් කුලුනුවලින් ඉදිකළ ගොඩනැඟිල්ලක නටබුන් තිබෙනවා. අඩි 8.5ක් උස ගල්කණු පේළි දෙකක් එහි දැකගත හැකි යි. එය පිළිම ගෙය විය හැකි බවට අනුමාන කෙරෙනවා. ශාන්තබෝධි හිමියන්ගේ උනන්දුව මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් 2020 වසරේ දී මෙහි ප්‍රතිමා ගෘහයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණා. ඒ අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ද එක්වුණා. ප්‍රතිමා ගෘහයේ තිබූ හිටි පිළිමය වවුනියා කෞතුකාගාරයට රැගෙන ගොස් තැන්පත් කර තිබෙනවා. එහි හිස, දෑත් සහ පාද ද විනාශ වෙලා.

පිළිම ගෙය කැණීමේදී ශෛලමය බෝධිසත්ව ප්‍රතිමාවක් සහ තාරා දෙවඟන ප්‍රතිමාවක් ද හමු වූ අතර ඒවා වැඩි ආරක්ෂාව සඳහා දැනට වවුනියා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. බෝසත් පිළීමයේ ද දෑත් සහ දෙපා දැකගත නොහැකි යි. පිළිම ගෙයට එහි පිටතින් පිහිටි ප්‍රාකාරය මතින් පිළිම ගෙය පිහිටි බිමට පැමිණීමේ දොරටුවේ එක් සඳකඩපහණකුත්, පිළිමගෙය තුළට ප්‍රවේශ වන දොරටුවේ තවත් සඳකඩපහනකුත් දක්නට පුළුවන්. මුල් සඳකඩපහණ ඉතා චාම් වන අතර කැටයම් රහිත යි. එහි කව හතරක් සලකුණු කර තිබෙනවා. මුරගල්වල ඉපැරණි ලක්ෂණයක් වන පුන්කලස් කෙටූ ගල් දෙකක් ද හමුවෙනවා. ප්‍රතිමා ගෘහයේ කණුවල විශාලත්වය අනුව එය දෙමහල් ව පවතින්නට ඇතයි සැලකෙනවා. උඩ මාලය ධාතු මන්දිරයක් ලෙසට භාවිත කරන්නට ඇති බවට අනුමාන කරනවා.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ගොඩනැඟිල්ල සංරක්ෂණය කර තිබෙනවා.

සංරක්ෂණය කළ දාගැබ – සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජමහා විහාරය facebbok page

දාගබ

සපුමල්ගස්කඩ ප්‍රතිමා ගෘහයට ආසන්නයේ ම දැනට හඳුනා නොගත් ගොඩනැඟිල්ලක් ද දැකගත හැකි යි. එහි ප්‍රවේශයේ පැවති කොරවක් ගල් දෙකක් සහිත සඳකඩපහණ නිදන් හොරුන් පෙරළා දමා නිදන් සොයා තිබෙනවා. පස් ගොඩැල්ලක් වශයෙන් ගස් වැවී තිබූ දාගබ නිදන් හොරුන් හාරා හානියට පත් කර තිබුණා. පුරාණ දාගබ පිහිටා ඇත්තේ මෙම ගොඩනැඟිල්ලට නුදුරින්.

බොහෝ දුරට වැනසී තිබූ දාගබේ කැණිම් 2021 වරෂයේ ජනවාරි පළමුවැනිදා ආරම්භ කෙරුණා. කැණීම අවසන් කර ඇති අතර පසුව පුරාවිද්‍යා සංරක්ෂණය ආරම්භ කර තිබෙනවා. දාගැබ් මළුවේ පිහිටි, වන්දනාව පඳහා මුල් යුගයේ භාවිත කළ සිරිපතුල් ගල් කිහිපයක් ද කැණීම්වලදී හමු වුණා. ඒවා බොහෝ දුරට ගෙවී ගිහින්. මේවා නිර්මාණය කර ඇත්තේ හුණුගල් විශේෂයකින්. දාගබේ සිට මීටර් සීයක් පමණ ඔබ්බෙන් දැක ගත හැක්කේ බෝධිඝරය යි. එය ද බොහෝ දුරට විනාශ වුණු ගොඩනැගිල්ලක්.

 නටබුන් බිම වටා පිහිටි වනපෙත – lanka24news.com

 

පබ්බත විහාර බිම වටා පිහිටි ප්‍රාකාරයක නටබුන් ද තැනින් තැන හඳුනාගෙන ඇති අතර එයට ප්‍රවිෂ්ඨ වීමට මුරගල් සහිත දොරටු හතරක් ද දක්නට ලැබෙනවා. මෙම විහාරය සංරක්ෂණය වන්නේ ස්වේච්ඡා සංවිධාන සහ බැතිමතුන්ගේ මූල්‍ය ආධාරයෙන්. කැණිම් සහ සංරක්ෂණ්‍ය සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ඔවුන් විසින් ලබාදී තිබෙනවා. මේ විහාරය තවමත් සම්පූර්ණයෙන් සංරක්ෂණය වී නැති අතර මේ ආකාරයට සපුමල්ගස්කඩ මෙන්ම කුරුන්ද විහාරයද දැන් ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. පුරාණයේ උතුරේ පැවති බෞද්ධ ප්‍රබෝධය ගැන මේ පුරාවිද්‍යා ස්ථාන ඇසුරින් අපට මනෝ චිත්‍රයක් මවාගත හැකියි.

 නටබුන් ගොඩනැගිල්ලක්- සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජමහා විහාරය facebbok page

කවරයේ ඡායාරූපය - සපුමල්ගස්කඩ නටබුන් - සපුමල්ගස්කඩ පබ්බතාරාමය සහ රජමහා විහාරය facebbok page 

මූලාශ්‍ර :
ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම- ප්‍රිශාන්ත ගුණවර්ධන
budusarana.lk
divaina.com 

Related Articles